ඔහු එල්ලා මැරූ හඬ

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
ඔහු එල්ලා මැරූ හඬ

සොහේයිල් යාෆාත් නිරපරාදේ මිනීමැරුම් චෝදනාවකට ලක්‌ වූයේ 2001 වසරේදීය. තමාට එල්ලවුණු චෝදනා වලින් නිදොස්‌ වී නිදහස්‌ වෙන්නට කලියෙන් අවුරුදු දහයක සිර දඬුවමක්‌ විඳින්නට සොහෙයිල්ට සිදුවිය.

සොහෙයිල් විසින් විස්‌තර කළ මේ අත්දැකීම් වාර්තාවකට ගොනු කළේ මාධ්‍යවේදී රිමෙල් මොහිදීන් විසිනි. මේ වාර්තාව ඔක්‌තෝබර් 10 වැනි දිනට යෙදෙන "ජගත් මරණීය දණ්‌ඩන විරෝධී දිනය" වෙනුවෙන් ඉදිරිපත් කරන ලද්දකි.
chu3.jpg


හිරකාරයකුට මරණීය දණ්‌ඩන නිවේදනය දෙන හැම වතාවකදීම මුළු බන්ධනාගාරෙම මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වෙනවා.

පාකිස්‌ථානයෙ අනිත් හැම බන්ධනාගාරයක්‌ වගේම සාහිවාල් මධ්‍යම බන්ධනාගාරයත් එහෙම පිටින්ම පිරිලා. කොයි තරම් පිරිලද කිව්වොත් මේ ගොඩනැඟිලි වල පුරවන්න පුළුවන් ගානට වැඩිය දෙගුණයක්‌ හිරකාරයෝ දැනටමත් මේ සිර මැදිරි වල පුරවලා..

හිරකාරයෝ දහස්‌ ගාණක්‌ සිර මැදිරිවලට දාපු තැනක ඝෝෂාව ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඒ බන්ධනාගාරෙ හිරකාරයෙක්‌ විදිහට මං ගෙවපු අවුරුදු දහයක කාලෙන් එක

රැයක්‌වත් මං හරියට නිදා ගත්තද කියල මට මතක නෑ..

මිනිස්‌සු නින්දෙන් ගොරවන, අඬන, සමහර විට හීනෙන් බය වෙලා කෑ ගහන සද්ද නිසා එක දිගට නින්දක්‌ නැතිව ගෙවුණ රෑ කාලවල් කොයි තරම්ද.

මේ කන්දොස්‌කිරියාව තියෙන රාත්‍රීන් හැමදාමත් එක වගේ. වෙනසක්‌ වෙන්නෙ අපේ අතරින් කෙනෙක්‌ පෝරකයට යන දාකට විතරයි. එදාට මුළු බන්ධනාගාරයම නිහඬයි. හැබැයි ඒ නිශ්ශබ්දතාවය මැද්දෙ කාටවත් නින්දක්‌ නම් යන්නෙ නෑ.

මරණ වරෙන්තුව තියෙන හිරකාරයාව බන්ධනාගාරයේ අනිත් හිරකාරයන්ගෙන් වෙන් කරනවා. එතකොට අපි දන්නවා එයාට යන්න වෙලාව ඇවිත් කියලා.

මරණ දඬුවමට නියම වුණේ නැති සාමාන්‍ය හිරකාරයො පවා ඉන්නෙ නොසන්සුන් හිත් වලින්. උගුලකට අහුවෙලා ඉන්න සත්තු වගේ අපි හැමෝම කරන එකම දෙයක්‌ තියෙනවා. ඒ තමයි යාඥා කරන එක.. සමහර විට.. පොළවෙ ඉන්න බලවත් අය අපේ කන්නලව්වට ඇහුම්කන් දුන්නෙ නැති නිසා ඊටත් ඉහළින් ඉන්න බලවත්ම කෙනාට අර අසරණයා ගැන අභියාචනාවක්‌ ඉදිරිපත් කරනවා වගේ.. මරණයට කැපවෙලා ඉන්න අසරණයා වෙනුවෙන් හාස්‌කමක්‌වත් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලනවා වගේ.. හරි අරමුණක්‌ නැතිව අපි යාඥා කරනවා.

උදේ පාන්දරට හිරකාරයෝ ගණන් කරන ඡේලර්ලා එන්න පරක්‌කු වෙනකොට අපිට ඒ අසුභ සංඥාව ලැබෙනවා. සාමාන්‍ය දවසකට හිරකාරයෝ ගණන් කරන්න ඡේලර්ලා එන්නේ උදේ 5.30 ට. ඒත් මරණ දඬුවමක්‌ ක්‍රියාත්මක කරන දවසකට ඒ අය එන්නෙ උදේ අටට. ඒ දවසට කවුරුවත් වචනයක්‌වත් කතා කරන්නෙ නැති තරම්. වෙනදට තොරතෝංචියක්‌ නැතිව ගෝසා කරන රේඩියෝව, රූපවාහිනිය එහෙමත් නිශ්ශබ්ද වෙලා.

පාකිස්‌ථානයෙ බන්ධනාගාර නිතරම පිරිසිදුවට තියෙනවා. බන්ධනාගාර පිරිසිදුවට තියාගන්න වගකීම පැවරිලා තියෙන්නෙ බන්ධනාගාර

රැඳවියන්ටමනෙ. මේ හිරකාරයන්ට කාලය ගෙවා ගන්න වෙන කරන්න දේකුත් නැහැනෙ. ඒ නිසා ඒ ගොල්ලො පිරිසිදු කිරීම උනන්දුවෙන් කරනවා. සමහර වෙලාවට මරණීය දණ්‌ඩනය තීන්දු වෙච්ච කෙනෙක්‌ එල්ලා මරණ එකේ වැඩ රාජකාරිවලට උදව් වෙන්නත් ඒ අයට සිද්ධ වෙනවා.

මරණ දණ්‌ඩනයෙ කටයුතුවලට උදව්වට යොදා ගන්න රැඳවියන් තමයි එල්ලා මරණ සිරකරුවාගේ මළසිරුර අයින් කරන්නෙ. එල්ලා මරපු සිරකරුවාගේ මිනිය විනාඩි තිහක්‌ එතනම නිශ්චලව තියෙන්න ඉඩ අරිනවා. ඒක පාකිස්‌ථානු බන්ධනාගාර අත්පොත් වල තියෙන නියමයක්‌. ඊට පස්‌සෙ ඒ ගොල්ලො මෘත ශරීරය පිරිසිදු කරලා, Ñචාර්පායිÑ ඇඳුම් කට්‌ටලයකුත් එක්‌ක ඒ මළ සිරුර බන්ධනාගාරයෙන් පිටත බලාගෙන ඉන්න මියගිය සිරකරුවාගේ පවුලේ අයට ලබා දෙනවා. මෘත ශරීරය ගෙනියන්න ගිලන් රථයක්‌ හොයා ගන්න වෙන්නෙ මැරුණු සිරකරුවාගේ පවුලේ අයගෙ වියදමින්මයි.

ඒ විදිහට ඥාතීන් ඇවිත් භාරගත්තෙ නැති, කාත් කවුරුවත් නැති අයගෙ මළ සිරුරු වල දමන්න බන්ධනාගාරයෙම සොහොන් බිමක්‌ තියෙනවා. ඒ වගේ සොහොන් බිමක වුණත් වළ දැමෙන අය හරි අඩුයි. බොහොමයක්‌ සිරකරුවන්ට තමන්ගෙ පවුලෙ අය ඉන්නවා. බාහිර ලෝකයෙන් අපිව කොන් කරලා තිබුණත්, තාමත් අපිව අපරාධකාරයො විදිහට නැතිව මිනිස්‌සු විදිහට දකින සමීපතමයන් අපිටත් ඉන්නවනෙ..

මාත් එක්‌ක එකට හිරමැදිරියෙ උන්නු

රැඳවියකුගෙ මරණ දඬුවම දැකගන්න මට 2006 අවුරුද්දෙදි අවස්‌ථාවක්‌ ලැබුණා.

මාමි පාබල් හොඳ උස මහත මනුස්‌සයෙක්‌. අඩි හයක්‌වත් උස ඇති. ගැඹුරු කටහඬකුත් තිබුණා. එයා සාහිවාල් හිරගෙදරට ආවෙ අවුරුදු ගාණකට කලින්. බන්ධනාගාරෙ ඇතුලෙදි හැමෝම එක්‌ක හරි සුහදව හිටියා. වෙන එකක්‌ තියා බන්ධනාගාර නිලධාරීන් පවා පාබෙල්ගෙ ආශ්‍රයට ප්‍රිය වුණා.

එයාගෙ ගතිගුණ ගැන හිතල බලනකොට එයා මිනීමැරුමක්‌ කරපු මනුස්‌සයෙක්‌ කියන එක අමතක කරන්න අමාරු වුණේ නෑ. එයා නිතරම විහිලු තහලු කළා.

Ñහිරේට දාන්න ඕන විදිහෙ අපරාධ මං ඇති පදම් කරල තියෙනව. ඒත් මේ මිනීමැරුම ඒ අතරින් එකක්‌ නම් නෙවෙයි..Ñ කියලා හිනා වෙන්න එයාට පුළුවන්කම තිබුණා.

ඒත් මරණ දඬුවමේ දවස ලං වෙනකොට එයා පුංචි දරුවෙක්‌ වගේ වැලපුණා.

එයාව පෝරකයට එක්‌කගෙන ගියේ බාගෙට උස්‌සගෙන කියල කිව්වොත් වැරැදිත් නෑ.

වෛද්‍ය නිලධාරියෙක්‌, මහේස්‌ත්‍රාත්වරයක්‌, බන්ධනාගාර පරීක්‌ෂකවරයෙක්‌, කම්මල්කාරයෙක්‌, එක්‌ක මාමි පාබෙල් අතින් මැරුණු කෙනාගෙ පවුලෙ අය දෙන්නෙකුත් එතන හිටියා. මාමි පාබෙල්ට සමාව දෙන්න අවසාන මොහොතෙදිවත් තීරණය කරන්න පුළුවන්ද කියලා බන්ධනාගාර කාර්ය මණ්‌ඩලයෙ අය මැරුණු කෙනාගෙ පවුලෙ අයත් එක්‌ක සාකච්ඡා කළා.

අන්තිම වතාවට ආගම සිහි කරන්න ඕන කියලා බන්ධනාගාර පරීක්‌ෂකවරයා මාමි පාබෙල්ට මතක්‌ කළා. එත් මාමි පාබෙල්ට ඒක ඇහෙන්න නැතිව ඇති. එයා පොඩි දරුවෙක්‌ වගේ දිගින් දිගටම අඬා වැලපුණා. අඬ අඬාම එයා කිව්වෙ තමන් මිනීමැරුමක්‌ කළේ නැති බවයි, තමන්ට මරණ දඩුවම දෙන එක මිනීමැරීමක්‌ මිසක යුක්‌තිය ඉටුකිරීමක්‌ නොවෙන බවයි තමයි..

මරණ දඬුවමට සූදානම් කරලා මාමි පාබෙල්ගෙ ඔලුව වහලා ආවරණයක්‌ දැම්මට පස්‌සෙත් තමන්ට ජීවිත දානය දෙන්න කිය කියා මාමි පාබෙල් ආයාචනා කළා.

ලෝකෙන්ම මරණ දඬුවම ලබන සංඛ්‍යාව වැඩිම රට වෙලාත් පාකිස්‌ථානයෙ රජයෙන් පත් කරපු අලුගෝසුවන් ඇත්තෙම නැති තරමයි. එදා දවසට අලුගෝසුවෙක්‌ හිටියෙ නෑ. ඒ නිසා එල්ලුම් ගහේ ලීවරය ඇද්දෙ බන්ධනාගාර නිලධාරියෙක්‌මයි.

"මට වෙන කරන්න දෙයක්‌ නෑ මාමි. මේක මගේ රාජකාරිය.. පුළුවන්නම් මට සමාව දෙන්න.." ලීවරය අදින්න කලින් ඒ නිලධාරියා මාමි පාබෙල්ට ඔලුව නවලා ආචාර කරලා කිව්වා.


පෝරකයට පහලින් තියෙන වලට මිනිය වැටෙන සද්දෙ..

ඒක කවදාවත් කෙනකුට අමතක කරන්න බැරි සද්දයක්‌.

එල්ලපු කෙනාගෙ සුෂුම්නාව බිඳෙන සද්දෙ, බෙල්ල හිරවෙනකොට කටින් එන හීන් කැස්‌ස.. එල්ලුම් ගහේ කණුවේ කිරි කිරි සද්දෙ පසාරු කරගෙන මගේ පපුවෙ කවදාවත් සුව නොවෙන තුවාලයක්‌ හැදුවා.

ඔලුවට දාන වැස්‌ම නිසා එයා අන්තිම හුස්‌ම පොද ගන්න කරන අරගලයවත්, එයාගෙ දිව එලියට පනින දර්ශනයවත් පෙනුණෙ නම් නෑ. එයාට දීලා තිබුණ එකම ගෞරවය ඒක විතරයි.

මරණ දණ්‌ඩනය නියම වුණ සිරකරුවකුගෙ බෙල්ලට තොණ්‌ඩුව දමන නිලධාරියෙක්‌ වුණත් ඒ රාජකාරිය ඉෂ්ඨ කළාට පස්‌සෙ ලොකු කම්පනයක්‌ අත් විඳිනවා ඇති. ඒ වගේ දවසකට පස්‌සෙ ඒ නිලධාරීනුත් හිරකාරයන්ට වෙනදාට වඩා කාරුණිකව සලකන්නෙ ඒ හින්දා වෙන්නත් ඇති. අවුරුදු ගාණක්‌ තිස්‌සෙ මේ හිර මැදිරිවලට යන එනකොට, උදේ හවස දැකපු දන්න කෙනෙකුව තමන්ගෙ අතින් එල්ලලා මරන්න සිද්ධ වෙන එක කෙනෙකුට කොහෙත්ම සැහැල්ලු අත්දැකීමක්‌ වෙන්නෙ නැහැනෙ. ඒ තරම් මනුස්‌සයෙකුගෙ හිතට වද දෙන රාජකාරියක්‌ මේ ලෝකෙ තවත් ඇති කියලා මට හිතෙන්නෙ නෑ.

නිම්මි මුදිතා හේරත්