ගොකණ්ඨක , වජ්‍රකණ්ඨක , ගොක්ෂුරක , ගොකණටක , සුරක , කෝකිල ආදී නාමයන් කිහිපයම කටු ඉකිරිය හෙවත් නීරමුල්ලිය හදුන්වනු ලබන නාමයන් වෙයි. ඉංග්‍රීසියෙන් Long leaved Barleria ලෙසින් හදුන්වන අතර දෙමළෙන් නීර්මුල්ලී , නිරේමුල්ලී , ගෝබී නමින්ද සංස්කෘතයෙන් කෝකිලාක්ෂ , ඉක්ෂුරක , ඉක්ෂුගන්ධා ආදී ලෙසට හදුන්වනු ලබයි. නිල් පැහැයට හුරු මල් සහිත වර්ගය සුදු මල් සහිත වර්ගය ලෙසට ඉකිරිය ශාකය ප්‍රබේද දෙකක් දැකිය හැකිය.
තෙත් හෝ ජලාශ්රිත ප්රදේශවල 1.25 m තෙක් උසට වැඩෙන සෘජු කඳක් සහිත බහු වාර්ෂික පැළෑටියකි. සිලින්ඩරාකාර කඳේ ගැට අසල රෝම සහ තියුණු කටු පිහිටා ඇත. දිගැටි පත්රද බූව සහිතය. පුෂ්ප 6-8 වලයන් ලෙස පිහිටා ඇත. පෙති (දල) දම් නිල් පැහැතිය. ඵලය 1 cm පමණ දිග ස්ඵෝටිකාවකි. මෙරට වියළි හා තෙත් කලාපයේ විවෘත වගුරු බිම්වල පාර දෙපස ජලය සහිත ස්ථානවල සුලභව දක්නට ලැබේ. මෙහි නිල් පැහැති මල් සහිත වර්ගයක් සහ සුදු මල් සහිත වර්ගයක් ඇත. සුලභව දක්නට ඇත්තේ නිල් පැහැති මල් පිපෙන වර්ගයයි. නීරමුල්ලි රසවත් පලාවක් ලෙස ආහාරයට එක්කර ගත හැකිය. මෙය Acanthaceae කුලයට අයත් ශාකයකි. මේ ශාකය ඉන්දියාව , ලංකාව ආදී රටවල වැඩි වශයෙන් දක්නට ලැබේ. නීරමුල්ලි දෙමළ භාෂාවෙන් නිරේමුල්ලි යනුවෙන්ද බෙන්ගලි භාෂාවෙන් කුලේචාරි යනුවෙන්ද හඳුන්වන්වයි. දෙමළ භාෂාවෙන් හැදින්වූ නාමය සිංහල භාෂාවෙන් නීරමුල්ලි වී ඇත.
මේ ශාකයේ කොළ , කඳ , මුල් , මල් යනාදී සියලුම ශාක කොටස් ඖෂධයක් ලෙස භාවිතයට ගනු ලබයි.නීරමුල්ලි ශාකයේ ඇති රසායනික සංයුතිය පිළිබඳව බැලීමේදී මුලේ ඇල්කලොයිඩ් අඩංගුව ඇත. තවද පොටෑසියම් සල්පේට් හා පොටෑසියම් ක්ලෝරයිඩ් අධිකව පැවතීම නිසා මුත්රා රෝග අවස්ථා වලදී මෙම ශාකය ඖෂධයක් වශයෙන් ගැනීමෙන් මහත් වූ මෙහෙයක් සිදු කරයි. මෙම ඖෂධ භාවිතා කිරීමෙන් මුත්රා අඩස්සි , මුත්‍රා ගල් , ආම වාත , වාත රෝග ,නාඩි දුබලතාව , සෙංගමාලය , පිපාසය , හෘද රෝග , පිත්තාතිසාරය , රත්පිත් යනාදී රෝග සඳහා ඉතා හිතකර වේ. නීරමුල්ලිය ශාකය අපට ප්රයෝජනවත් වන්නේ ප්රධාන වශයෙන් ආහාරයක් වශයෙනි. එය එළවළුවක් මෙන් අපට සාදා ගැනීමට හැකියි. ඖෂධීය පානයක් වශයෙන්ද තම්බා ගන්නට හැකි වෙනවා. එමඟින් මුත්රා මාර්ගය ආශ්‍රිත රෝගවලදී බෙහෙවින් ප්රයෝජනවත් වෙනවා.
* මුත්රාශයේ ගල් ඇති අයට ලුණුවර පොතු , නීරමුල්ලිය මුල් කලං 6 බැගින් කෂාය කර බීම , පොල්පලා , නීරමුල්ලිය තැම්බූ ජලය සතියකට වරක් පමණ බීම මගින් එම රෝගයෙන් සහනය ලැබිය හැකිය.
* වැඩිහිටියන්ගේ කකුල් ඉදිමුන විට නීරමුල්ලිය කොළ තැම්බූ ජලයේ කකුල් බාහා තබමින් සේදීම හා තැම්බුණු කොළවලින් තැවීම සිදුකරයි.
* රුධිර ධාවනය වේගවත් කරන නිසා අධි රුධිර පීඩනය ඇති අයට අහිතකරයි.
* මුත්ර කාරක, කාමොද්දීපක, ඉදිමුම් නසන, ශුක්ර දුබලතාවන් නසන ආදී ගුණයන් සහිතයි.
මුත්රා හොඳින් පෙරීම හා පිරිසිදු කිරීම මින් සිදුවෙනවා. ලේ පිරිසිදු කරනවා. ඒ වගේම මුත්රා ගල් සෑදීමේ ප්රවණතාව අඩුවේ. කිරිදෙන මව්වරුන්ට කිරි වඩන බවද සඳහන් වේ. සතියකට දින 01 ක් හෝ 02ක් පමණ ගැනීම සෑහෙන අතර දිනපතා ගැනීමෙන් වකුගඩු පද්ධතියට හානිගෙන එන්නට පුළුවනි..
නීරමුල්ලිය මැල්ලුම -
නීරමුල්ලිය කරටි සිහින්ව කපාගෙන රතුළූණු, සුදුළූණු, ලුණු, කහ සහ පොල් ද එක්කර ගනිමින් මැල්ලුම සකස් කර ගන්න
නීරමුල්ලිය භාවිතයේදී රස ව්යංජනයක් වශයෙන් ද නැතහොත් තම්බා බීමෙන් මධුර රසය තිත්ත රසයද අඩංගුව ඇත. නීරමුල්ලිය වගා කිරීමේදී බීජ මගින් හා කිනිති වශයෙන් කපා සිටවීම සිදු කළ හැක. ගම්බද ප්රදේශ වල වගාවක් වශයෙන්ද වගා කෙරේ.
ඉකිරිය ශාකයෙ අන්තර්ගත රසායනික ගුණ අතර මුල්වල ඇල්කලොයිඩ Lupeol සහ පත්‍රවල Hentriacontane අඩංගු වන අතර මුල්වල වාෂ්පශිලී තෙල් ස්වල්ප වශයෙන් අඩංගු වේ. Phytosterol නම් රසායනික ද්‍රව්‍යද අඩංගුය.
ඔසු පැල දකුණු පලාත් පිටුවේ හා ඔසුතුරු පොතින් මෙන්ම අන්තර්ජාලයෙ ලිපි ඇසුරින් සැකසුනකි ...
මෙවැනි ස්වභාවික ශාක හඳුනා ගැනීමටත් විශේෂයෙන් ඒවා මතු පරපුර උදෙසා ආරක්ෂා කර දීමට උනන්දුවන්න !!! ශාක හා සබැඳි පාරම්පරික දැනුම ද සමාජගත කිරීම සත් ක්‍රියාවකි. පැලයක් සිටුවමින් යුතුකම ඉටුකරන්න මහී දෙවගනගේ ආරක්ෂාව තහවුරු කරලීමට
බෙහෙත් පිටුවෙනි