කඩේ යන බින්දුට මාධ්‍ය සංවිධාන එරෙහි වෙයි

ugmdjmali

Member
Feb 22, 2007
1,175
69
0
CMB, Dehiwala
කඩේ යන බින්දුට මාධ්‍ය සංවිධාන එරෙහි වෙයි

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු වන ‍මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් තමන් කඩේ යන බවත්, ඒ සම්බන්ධයෙක් කිසිදු ලැජ්ජාවක් නොමැති බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ සෝමරත්න දිසානායක පසුගියදා රූපවාහිනී දේශපාලන සංවාදයකට එක් වෙමින් පළ කළ අදහසක් පිළිබඳව මාධ්‍ය සංවිධාන 5 ක් එකතුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත. මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ‍්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය, ශ‍්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යන මාධ්‍ය සංවිධාන 5යි. එම මාධ්‍ය සංවිධාන විසින් නිකුත් කර ඇති ඒකාබද්ධ නිවේදනය මෙසේය.

සිරස රූපවාහිනි සේවය ම`ගින් විකාශය කරනු ලබන "සටන"නැමැති දේශපාලන සංවාද වැඩසටහනට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවෙකු වශයෙන් සහභාගීවෙමින් චිත‍්‍රපටි අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා "අපේ ඇතැම් මාධ්‍ය තුළින් අපේකම,අපේ අනන්‍යතාවය,දේශියත්වය,දේශීය සාරධර්ම කියන ඒවට තර්ජන තියනවා. ඒ කියන්නේ කිසියම් නොහික්මුනු අසංවර මාධ්‍ය,විද්‍යුත් මාධ්‍ය අපේ රටේ තියනවා. ඒවා කිසියම් සංවර කිරීමක්,මෙල්ල කිරීමක් නැතුව මේ රටේ අපි කියන සංස්කෘතික ප‍්‍රබෝධයට සංස්කෘතික ප‍්‍රතිස්ථාපනයට යන්න බැහැ"යනුවෙන් කළ ප‍්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙළාදකින අප මාධ්‍ය සංවිධාන එම ප‍්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටිමු.

සෝමරත්න දිසානායක මහතා සංස්කෘතිය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්නත්, ඔහු එය නිර්වචනය කරන්නේ කෙබඳු ආකාරයෙන්ද යන්නත් අපට පැහැදිලි නොමැති අතර ඔහු මෙවැනි බරපතල ප‍්‍රකාශයක් කිරීමට පෙර පුද්ගලික විද්‍යුත් මාධ්‍ය මේ රටේ සංස්කෘතියට හානි කර ඇති ආකාරය නිදසුන් සහිතව පෙන්වාදිය යුතු අතර එවැනි කිසිදු විචාරයකින් තොරව පටු දේශපාලන වාසි තකා මෙවැනි බරපතල ප‍්‍රකාශ සිදු කිරීම මඟින් ඔහු කර ඇත්තේ මාධ්‍ය නිදහසට බරපතල තර්ජනයකි. මෙය බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දකින අප මේ මොහොතේදී ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේද මේ පිළිබඳ සිය පැහැදිලි ස්ථාවරය ප‍්‍රකාශ කරන ලෙසය.
අත්සන් කෙළේ

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍රකලාවේදීන්ගේ සංගමය
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
ශ‍්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංසදය
ශ‍්‍රී ලංකා දෙමළ ජනමාධ්‍යවේදීන්ගේ සන්ධානය



Frm:LT