කඩෝල් ඇතා

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට

    ශ‍්‍රී
    දළදා මාලිගාවේ පෙරහරේ සාධාතුක කරඬුව වැඩම කරන්නා වූ මංගල හස්ති රාජයා පෙරහර නැරඹීමට පැමිණෙන සෑම අයකුගේම අවධානයට පාත‍්‍ර වන්නේය. දෑලේ ගමන් කරන තවත් ඇතුන් දෙදෙනෙකු සමඟ හීන් සීරුවේ සාධාතුක කරඬුවද සමඟ පෙරට ඇදෙන මේ මංගල හස්ති රාජයා ලංවෙත්ම පෙරහර නරඹන පිරිස් අසුන්ගෙන සිටින තැන්වලින් නැඟිට සාධුකර දෙන්නට අමතක නොකරති.
    d09073112-2.jpg
    සධාතුක කරඬුව වැඩම කරවීම සඳහා සෑම අතෙකුටම අවකාශ ලැබෙන්නේ නැත. එම මහඟු පුන්‍යකර්මයට දායකවීමට ලැබෙන්නේ පින් ඇති මංගල හස්ති රාජයකුට පමණි. එවැනි ඇතකු පහත සඳහන් ලක්ෂණවලින් සමන්විත විය යුතු වන්නේය.
    1. ඉතා හොඳින් වැඩුණු සිරුරක් පැවැතීම.
    2. ඉහතර (හිස) හොඳින් ඔසවා සෘජුව තේජාන්විත ස්වරූපයක් පෙන්නුම් කිරීම.
    3. හොඬය, සතරපාද ලිංගය හා වල්ගය බිම ස්පර්ශ වීම.
    4. පිටකොන්ද (ආසනය) කරඬුව තැන්පත් කෙරෙන රන්සිව්ගෙය පහසුවෙන් තැබීමට හැකිසේ පිහිටීම.
    5. දකුණු දළය වම් දළයට වඩා මදක් ඉහළට එසවී තිබීම.
    6. ඉතා තැන්පත් නුවණින්ද, උපශාන්ත ගමනින්ද, සන්සුන් මනසින්ද, තීක්ෂණ බුද්ධියෙන් හා කරුණා ගුණයෙන් යුතුවීම.
    7. මැදි වයසේ පසුවීම.
    d09073112-1.jpg
    ඉහත ගුණයන්ගෙන් පරිපූර්ණ වූ මංගල හස්ති රාජයකු ලෙස ප‍්‍රකට වූ ශ‍්‍රී දළදා මාලිගාවේ රාජා පුරා අඩසියවසක් සාධාතුක කරඬුව පෙරහරේ වැඩම කර වූයේය. එවන් වූ භාග්‍යවන්ත හස්ති රාජයකු යළි මේ මිහිපිට උපදීද යන්න පවා සැක සහිතය. පෙරහරේ ගමන් කරනවිට පාවඩ එලීමට ප‍්‍රමාද වුවහොත් රාජා පය ඉදිරියට නොතබන බව එකළ පෙරහර නැරඹූවෝ පවසති. දිනක් පෙරහරේ ගමන් කරමින් සිටින විට රාජා එක්වරම නැවතුනේය. ඉදිරියට යන ලෙස ඇත්ගොව්වන් කළ බල කිරීම් පවා මායිම් නොකළ රාජා නිසොල්මන්ව සිටියේය. පසුව කළ පරීක්ෂාවේදී හෙළිවූයේ සාධාතුක කරඬුව තැන්පත් කර ඇති රන්සිව්ගෙය බැඳ තිබූ පටියක් ගැලවී ඇති බවයි. මේ ආකාරයේ ගුණ නුවණකින් හෙබි රාජා පෙරහර අවසන් කර සාධාතුක කරඬුව තම පිටමතින් ඉවතට වැඩමවන විට කඳුළු සලන බව කියති.
    දළදා පෙරහරට අඩ සියවසක් තිස්සේ රාජා කළ උතුම් සේවය සලකා රාජා ජාතික වස්තුවක් ලෙස ප‍්‍රකාශයට පත් කළේය. වර්ෂ 1988 ජූලි 16 දින රාජා මෙලොව හැර ගියේ දස දහස් සංඛ්‍යාත ජනතාවකගේ දෑස් කඳුලේ ගිල්වමිනි.
    අද වනවිට මෙරට හීලෑ අලි සංඛ්‍යාව 120 දක්වා පහත බැස තිබේ. ඒ අතර දළ ඇතුන් සිටිනුයේ 20 ක් පමණී. අවධානය යොමුකළ යුතු විශේෂ කරුණ වන්නේ එම ඇතුන් අතර සාධාතුක කරඬුව වැඩම කළ හැකි ආකාරයේ සුදුසුකම් ප‍්‍රකට කරනුයේ ඇතුන් අට දෙනෙකු පමණක් වීමය.
    මිල්ලංගොඩ ලොකු රාජා, පොඩි රාජා, නඳුන්ගමුවේ රාජා, ඉන්දි රාජා, රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා, වෑවලදෙනියේ රාජා, බෝතලේ වලව්වේ ගාමිණි, හුනුපිටිය ගංගාරාමයේ පොඩි රාජා එම හස්ති රාජයෝ වෙති.
    දැනට ජීවත්ව සිටින හීලෑ දළ ඇතුන් අතරින් දිගම දළ යුගළට හිමිකම් කියන්නේ මිල්ලංගොඩ ලොකු රාජාය. උසම හීලෑ අලියා ලෙස කාගේත් ගෞරවාදරයට පාත‍්‍ර වූ ගන්නෝරුවේ අලියා පසුගිය වසරේ මෙලොව හැර ගියේ වයෝවෘද්ධභාවයට පත්වූ පසුය.
    මංගල හස්ති රාජයා මත රන්සිවිගෙය තැන්පත් කරනුයේ අලංකාර ලෙස ඇඳුම් ඇන්දවීමෙන් පසුය. දළ කොපු පළදවා, දෙකන්වල චාමර සවිකර, විදුලි බුබුළුවලින් ඇතා සැරසූ පසු සාධාතුක කරඬුව රන්සිව්ගෙයෙහි තැන්පත් කරනුයේ සුබ නැකතකට අනුවයි. පෙරහරේ පාවඩ සහිතව ගමන් ගන්නා ඇතා ගෙවදීමෙන් පසු කැවුම්, කිරිබත් හා පළතුරුවලින් ඇතාට සංග‍්‍රහ කරනු ලබයි. කරඬුව හෝ දේව ආභරණ වැඩම කිරීමට කැපකරනු ලබන ඇතකු මතට කිසිදු දිනක කාන්තාවක් නංවන්නේ නැත.
    දැනට ජීවත්ව සිටින හීලෑ අලි ඇතුන් අතරින් 90% ක් පමණම වයස අවුරුදු 60 සම්පූර්ණ කර අවසන්ය. මේ අලි ඇතුන් දැන් පා තබා ඇත්තේ ඔවුන්ගේ ජීවිතයේ අවසන් භාගයටය. මෙයින් පැහැදිලි වන්නේ ඉදිරියේදී මෙරට හීලෑ අලි සම්පත ශීඝ‍්‍ර ලෙස පහත වැටීමට ඇති අවදානමකි.
    මෙම පසුබිම තුළ ඉදිරියේදී පෙරහර මංගල්‍යයන් සඳහා අලි ඇතුන් සොයා ගැනීම වඩා දුෂ්කර වනු නොඅනුමානය. මෙම තත්ත්වය නිවැරදිව වටහා ගනිමින් බලධාරින් මෙරට හීලෑ අලි සම්පත වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු නොකළහොත් පෙරහර සංවිධානය කිරීමට සිදුවන්නේ අලි ඇතුන් නොමැතිවය.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ආසියාවට සාඩම්බරය කැන්දූ අපේ මිල්ලංගොඩ රාජා

    millaniya1.jpg

    අප්පුහාමි මිල්ලංගොඩ

    ශ්‍රී දළදා මැඳුරේ විසූ "රාජා" නම් හස්‌තියා අපි අදත් සිහිපත් කරනුයේ මහත් භක්‌ත්‍යාදරයකිනි. ඈත එපිට මඩකලපුවේ එරාවුර් හි වනපෙතක ඉපිද, අඩසිය වසකටත් වඩා කල් අති උතුම් දළදා කරඬුව පෙරහැරේ වැඩමකරවීමේ භාග්‍ය ලබමින් පිංවත් රාජා ජාතික වස්‌තුවක්‌ වශයෙන් පිදුම් ලැබුවේය. එවන් සද්කාර්යකට දායක වෙමින් රාජාගේ වියෝගයෙන් පසු මෙලොව ඇති අති උතුම්ම කටයුත්තක්‌ වන දළදා කරඬු වහන්සේ පෙරහැරේ වැඩමකිරීමේ අවස්‌ථාව ලබාගත් ඇත් රජුන් කිහිප දෙනෙකි.

    millaniya2.jpg

    එසේම වසර ගණනාවක්‌ තිස්‌සේ නොකඩවා දළදා පෙරහැරට සහභාගි වෙමින් මෙම උතුම් සංස්‌කෘතික මංගල්ලය විචිත්‍ර කරනවා පමණක්‌ නොව දළදා සමිඳුන්ට සිදුකරන්නාවූ පූජනීය වන්දනාව පිංකමක්‌ බවට පත්කරගත් ඇත් රජුන්ද කිහිප දෙනෙකි. අද මහලු වයසේ සිටියද, "මිල්ලංගොඩ රාජා" ද එවැන්නෙකි දළදා මාළිගාවේ රාජාගේ ඇවෑමෙන් පසු පුරා වසර 10ක්‌ - 12ක්‌ පමණම නොකඩවා කරඬුව වැඩමකරමින් හා දළදා පෙරහැරද වර්ණවත් කරමින් අඩ සියවසකට ආසන්න කාලයක්‌ මිල්ලංගොඩ රාජා ද මේ පිංකමේ දායකයකු වී සිටී. මෙවර ඒ භාග්‍යය රාජාට හිමි නොවූවත් මේ සුපින්වත් ඇත් රජු ආසියාවේම සාඩම්බරය වී ඒ මහා ගෞරවය ශ්‍රී ලංකාද්වීපයට ගෙන දී ඇති බවද දන්නෝ විරලයහ. ඒ ආසියාවේ දිගුම දළ ඇති ඇත්රජා ලෙසිනි.

    මිල්ලංගොඩ රාජා, අද කෑගල්ලේ මිල්ලංගොඩ වලව්වේ අප්පුහාමි මිල්ලංගොඩ මහතාට අයත්ව ජීවත් වුවත් රාජා ඉපදුණේ වයඹ පළාතේ ආණමඩුව ප්‍රදේශයේ සුන්දර වනපෙතකය. 1946 දී අලින් අල්ලන්නට ගත් රජයේ බලපත්‍රයකින් අප්පුහාමි මිල්ලංගොඩ මහතා මේ රාජාව අල්ලා ගන්නා විට වයස අවුරුදු හතරක පමණ කෙළිලොල් දඟකාරයෙකි. එසේ නම් මිල්ලංගොඩ රාජාගේ දැන් වයස අවුරුදු 70 ක්‌ පමණ වන බවයි මිල්ලංගොඩ මහතා පවසන්නේ.

    මිල්ලංගොඩ රාජා ගැන මීට පෙර වතාවකද කතාවක්‌ ලියන්නට මට අවස්‌ථාවක්‌ උදාවිය. එවක මා ලියා තැබුවේ දළදා මාලිගාවේ රාජා මෙන්ම රටටත්, ආසියාකාරටත් කීර්තියක්‌ අත්කර දුන් මිල්ලංගොඩ රාජාද ජාතික වස්‌තුවක්‌ බවට පත් කළ යුතු බවයි.

    මිල්ලංගොඩ රාජා අද ආසියාවේ දළ දෙක දිගුම ඇතු වශයෙන් සැලකෙන්නේ මේ වාර්තාව බිඳ දමන්නට හෝ මේ වාර්තාව සමකරන්නට හෝ ආසියාවෙන් වෙනත් ඇතකු ඉදිරිපත්ව නොමැති බැවිනි. මෙම වර්ගයේ ඇතුන් ලෝකයේ ජීවත්වන්නේ ආසියාවේ පමණක්‌ බැවින් එසේ නම් මෙය ආසියාතික වාර්තාවක්‌ නොව ලෝක වාර්තාවක්‌ වීමටද ඉඩ තිබේ. එනම්, මිල්ලංගොඩ රාජා තබා ඇති ඒ සුවිශේෂ වාර්තාව අනුව රාජාගේ දළයක දිග අඩි හතකි. අඩි 11 1/2 ක්‌ පමණ උසකින් සමන්විත රාජාගේ මෙම දිගු දළ යුගළ වක්‍ර නොවී සෘජුවම පිහිටා ඇති බැවින් හිස පහත් කරන විට පවා දළ යුගළ පොළොවේ ගැටේ. මේ සාඩම්බරයම විටෙක මේ ඇත් රජුට බාධාවකි. ආහාර ගැනීම සඳහා කලක පටන් බිමට නැමිය නොහැකි නිසා රාජා බලවත් දුෂ්කරතාවකින්ද පෙළේ. එහෙත්, මිල්ලංගොඩ අප්පුහාමි මහතා මේ ඇත් රජුට දක්‌වන්නේ මහත් ඇල්මක්‌ හා ලෙංගතුකමකි. ඔහු සතුව තවත් අලි - ඇතුන් කිහිප දෙනකුම වෙසෙන අතර අනිකුත් අලින් ලවා රාජාගේ ආහාර ටිකද රාජාට ළංකර දේ. මෙතෙක්‌ රාජා කිසිදු බර වැඩක නොයොදා නිදහසේ ඉන්නට අවස්‌ථාව සලසාදී ඇත්තේ මහනුවර ඇසළ පෙරහැර, අළුත්නුවර, කැළණිය, කෑගල්ල වැනි ප්‍රකට පෙරහරවලට මිල්ලංගොඩ රාජා ලබාදුන් ආකර්ෂණය, ඇත්රජුගේ ගෞරවයට පුදකරමිනි. මිල්ලංගොඩ අප්පුහාමි මහතා කියන පරිදි මාසිකව රාජාගේ නඩත්තුව සඳහා රුපියල් 45000 ක පමණ වියදමක්‌ දැරීමට සිදුවෙයි. මේ සියලු වැය තම සතුටට හරවාගෙන ඇත්රජුට උපස්‌ථාන කළත්, දැන් රාජා තරමක්‌ අසනීපයෙන් පසුවන්නේ වයෝවෘද්ධවී ඇති නිසාමය. මිනිසාගේ මෙන්ම දැන් මිල්ලංගොඩ රාජාගේද දත් දිරා ගොසිනි. හකු ගෙවී ගොසිනි. ඉදින් පෙර පරිදි රළු ආහාර දැන් රාජාට උරුම නැත. මෘදු මොළොක්‌ ආහාර හා විශේෂයෙන් පශු වෛද්‍යවරුන්ගේ උපදෙස්‌ පරිදි විශේෂිත ආහාර වට්‌ටෝරුවකින් රාජා යෑපෙන්නේ මෙලොව අනිත්‍ය මොනවට පසක්‌ කරවමිනි. සැබැවින්ම මිල්ලංගොඩ රාජා ද පිං කළ ඇත් රාජයෙකි. අමා මහ බුදුහිමියන්ගේ පූජෝපහාරයට තම දිවියම කැප කළ මොහු රටට, ජාතියට, ආසියාවටම ආඩම්බරයකි. මහා සාඩම්බරයකි. ඒ සාඩම්බරය තවත් දිගුකලක්‌ දිලෙන්නට අපි ආයුබෝ වේවායි මිල්ලංගොඩ ඇත් රජුට ප්‍රාර්ථනා කරමු.
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ලාංකේය අනන්‍යතාවය ලොවට හඬගා කියන අනුපමේය සංස්කෘතික මංගල්‍යය කල එළි බසිද්දී සුදු පියවිලි මත සර්වාභරණයෙන් විභූෂිතව, දෑලේ ඇතුන් සමගින්, නයියණ්ඩි හා උඩරට නර්තන කණ්ඩායමක් පෙරටු කරගෙන ගජගා වන්නමේ තාලයට පාද තබමින් මංගල හස්තිරාජයා පෙරහර කරඬුව වැඩම කරගෙන ඉදිරියට එද්දී අප කාගේත් සිත් මෙයින් දශක දෙකකට පෙර අතීතයට දිව යන්නේ නිරායාසයෙනි. ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රී දළදා මාළිගයේ මංගල හස්ති රාජයා වූ ‘රාජා’ සිහිපත් වීම නිසයි. මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් අලි අල්ලන්නෙකු වූ උම්මාරු ලෙබ්බේ නමැත්තා රජයෙන් ලබාදෙන බලපත්‍ර අංක 1318 යටතේ 1925 වසරේ ජනවාරි මස 5 වනදා මන්නාරම් ප්‍රදේශයේ ඝන වනාන්තරයේ දී ඇත් පැටියෙකු අල්ලා ගන්නා ලද්දේ ය. එවිට වයස අවුරුදු දොළහක් පමණ වූ එම ඇත් පැටවා අඩි හතර හමාරක තරම් උසකින් යුක්ත වූ බැව් කියැවේ. උම්මාරු ලෙබ්බේ එසේම අල්ලාගත් තවත් ඇත් පැටවෙකු ද සමග මෙම ඇත් පැටවා යටිනුවර, ගිරාගම වලව්වේ පදිංචි විශ්‍රාමලත් රටේ මහතෙකු වූ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට 1925 වසරේ දෙසැම්බර් මස 11 වන දින රු.3,300/- ක මුදලකට විකිණීමට කටයුතු කළේ ය.
    එම වසරේම දෙසැම්බර් මස 30 වැනි දින මඩකලපු දිසාපති වෙනුවට වැඩ බැලූ නිලධාරි මහතෙකු වූ විශ්වලිංගම් නමැත්තෙකු විසින් මඩකලපුව සිට වාලච්චේනේ, තෝපාවැව, මාතලේ හරහා මහනුවරට ඇත්පැටවා ප්‍රවාහනය කිරීම සඳහා නිකුත් කෙරුණු බලපත්‍රයකට අනුව ඇත්පැටවා මහනුවරට ගෙනැවිත් තිබේ.
    මෙම ඇත්පැටවුන් දෙදෙනා මාම්පිටිය දිසාවේගේ සුරතලුන් වශයෙන් ගිරාගම වලව්වේ කෙළි දෙළෙන් හැදී වැඩුණ හ. එක් ඇත් පැටවෙක් නමින් ‘රාජා’ විය. අනෙක් ඇත් පැටවා ‘දත් පූට්ටුවා’ නම් විය. ‘රාජා’ ඇත් පැටවා කුඩා කල බරපතල ලෙස රෝගාතුර වූ අතර තම සුරතලා සුවපත් කර දෙන ලෙස ඉල්ලා මාම්පිටිය දිසාවේ අලුත්නුවර දේවාලයට බාරයක් වූ බව කියැවේ. අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ රාජා සුවපත්වූයෙන් දිසාවේ බාරය ඔප්පු කරන ලදි. කෙසේ වෙතත් එතුමන් වයෝවෘද්ධභාවයට පැමිණි නිසාවෙන් රාජාත්, අනෙක් ඇත් පැටවාත් මහනුවර ශ්‍රී දළදා මාළිගයට පූජා කිරීමට තීරණය කෙරිණි.
    එකී තීරණය ක්‍රියාවට නගමින් 1937 වසරේ ජූලි මස 31 වන දින ඇසළ පුර පසළොස්වක පොහොය දිනයක් වූයෙන් එදින මහනුවර දී අස්සන් කළ ඔප්පුවකින් ඇත් පැටවුන් දෙදෙනාගේ අයිතිය ශ්‍රී දළදා මාළිගයට පැවරිණ. එවකට රාජාගේ උස අඩි අටක් පමණ වූ බව කියැවේ. ටිකිරි බණ්ඩා රත්වත්තේ මැතිතුමා දිය වඩන නිළමේ තනතුර දරණ සමයේ සිදු වූ මේ අසිරිමත් පූජාව රැස්ව සිටි සැදැහැවතුනගේ දෙනෙතට කඳුළු නංවන දසුනක් වූයේ දියවඩන නිළමේතුමාගේ දෑතෙහි රාජාගේ සොඬ තබා කෙණ්ඩියෙන් පැන්වත් කරද්දී කුඤ්චනාද කළ නිසාවෙනි.
    රාජා හස්තියා එතැන් පටන් මහනුවර ශ්‍රී දළදා මාළිගයේ ඇසළ පෙරහරේ ගමන් කර තිබේ. නමුදු විසිවන සියවසේ මැද භාගයේ සිට මියයන තෙක් පෙරහර කරඬුව සහිත රන් සිවිගෙය පෙරහරෙහි වැඩම කරවීම රාජා සතු ප්‍රධාන කාර්යය විය. දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවිමේ උතුම් කටයුත්ත සඳහා යොදාගනු ලබන්නේ මංගල හස්ති රාජයෙකි. හස්තියෙකු මංගල හස්තිරාජයෙකු වීමට නම් මංගල ලකුණු හතක් පිහිටිය යුතු බව පිළිගැනේ.
    එනම් හස්තියාගේ සිරුරේ හත් පොළක් පොළව මත ස්පර්ශ විය යුතු වේ. පාද සතර, සොඬය. වලිගය සහ ලිංගය එම ස්ථාන හතයි. රාජා හස්තියා සතුව ද එම ලක්ෂණ දක්නට ලැබී තිබේ. ඊට අමතර වශයෙන් මෙම හස්තිරාජයාගේ පිට සමතලව පිහිටීමද විශේෂතම ලක්ෂණයක් විය. අභිමානවත් ලෙස හිස එසවීමේ ගති ලක්ෂණය ද දකුණු දළය වම් දළයට වඩා මඳක් ඉහළින් පිහිටා තිබීම ද රාජා හස්තියා පෙරහර කරඬුව වැඩමකරවීමට සුදුසුකම් ලැබීමට වඩාත් හේතුභූත විය.
    මංගල ලකුණුවලින් සමන්විත වීමට අමතර වශයෙන් රාජා හස්තියා තීක්ෂණ බුද්ධි මහිමයකින් යුත් සත්ත්වයෙකු වූ බැව් තතු දන්නෝ පවසති. ඊට උදාහරණ කිහිපයක් ගෙනහැර දැක්විය හැකිය. 1955 වසරේ ඇසළ පෙරහර සමයේ එක් දිනෙක පෙරහරේ කරඬුව වැඩම කරවාගෙන ගමන් කළ රාජා මහනුවර රැජිණ හෝටලය අසල දී හිටිවනම නතර වී තිබේ. රාජා පෙරහරේ ඉදිරියට කැඳවාගෙන යාමට ගත් සියලු තැත ව්‍යවර්ථ විය.
     
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    පෙරහර ද නැවතිණ. එවකට දියවඩන නිළමේ තනතුර හෙබ වූ සී.බි.නුගවෙල මැතිතුමා ඇතු ඉදිරියට පැමිණ කතා කළ ද රාජා ගොරවා නිහඬ විය. එතුමන්ගේ උපදෙස් මත විපරම් කර බලන විට රන්සිවිගෙය බැඳ තිබූ බඳ පටියක් කැඩී ඇති අයුරු දක්නට ලැබිණ. එසේ තිබිය දී ඉදිරියට ගමන් කළේ නම් වන්නට තිබුණු විනාශය රාජා වටහා ගත්තා වැනි ය.
    රන්දෝලි පෙරහර වීදි සංචාරය කරද්දී ශ්‍රී දළදා කරඩුව වැඩම කරවාගෙන පෙරහරෙහි ඉදිරියට රාජාට ගමන් කිරීම පිණිස සුදු පාවාඩ එලන අතර, එක් පාවාඩයක කෙළවරට රාජා පැමිණි පසු අනෙක් පාවාඩය එලන තෙක් ඉදිරියට නොයන බව බොහෝ දෙනා දැක තිබෙනු නිසැක ය. එපමණක් නොව පාවාඩයක කෙළවරට පැමිණ ඉදිරි පාවාඩය එලීමේදී ඈතට ඇදීයාම වළකාලනු පිණිස එයට තම සොඬ තබා තද කරමින් පාවාඩ එලන පිරිසට හැකි පමණින් තම සහාය පළ කිරීම තවත් දසුනකි.
    වාර්ෂික ඇසළ මහ පෙරහර අවසන් දින දවල් පෙරහර ගෙවැදුණු පසු රන්සිව් ගෙය තම පිටමතින් ඉවත් කරද්දී රාජා තම දෙනෙතින් කඳුළු වගුරන අයුරු අපි කුඩා කල දැක ඇත්තෙමු. කාලයාගේ ඇවෑමෙන් අසූව දශකයේ අගභාගයේදී පමණ වයෝවෘද්ධභාවය නිසාම ක්‍රම ක්‍රමයෙන් දුර්වල ලක්ෂණ පෙන්නුම් කළ රාජාට 1987 ජනවාරි මස පළමුවන දින සිදු වූ රිය අනතුර නිසා පිටුපස පාද පණ නැති වෙන්නට පටන් ගැනීමත් සමග තත්ත්වය එන්න එන්නම වර්ධනය විය. මේ නිසා රාජා හස්තියා කෙරෙහි එවකට පැවති රජයේ අවධානය යොමු වූ අතර මේ කාලයේම නීතිමය මට්ටමින් ‘ජාතික වස්තුවක්’ ලෙස රජය මගින් ප්‍රකාශයට පත් කෙරිණ. බෙලහීන තත්ත්වයෙන් මුදවා ගන්නට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රජයේ පූර්ණ අනුග්‍රහය ලැබිණ. රාජා ඔත්පල වූ අවස්ථාවේ සිට අවසන් මොහොත දක්වා හැකි උපරිම ප්‍රතිකාර, සාත්තු සප්පායම් ලබා දීමට එවකට හිටපු දියවඩන නිළමේ නෙරන්ජන් පි‍්‍රයදර්ශන ලොකු බණ්ඩා දුල්ලෑව විජයරත්න මහතා මහත් පරිශ්‍රමයක් දැරීය.
    ඝන වනාන්තරයේ ඇත් රැළක ජන්ම ලාභය ලැබූව ද මිනිස් ඇසුරේ කල් ගෙවමින් කිසිම දිනක මිනිසකුට කළ නොහැකි බුද්ධ පූජාවක යෙදීමට වාසනා මහිමය ලද රාජා හස්තියා 1988 ජූලි මස 16 වන දින පෙරවරු 10.16 ට දියවඩන නිළමේ තුමාගේ නිල නිවසේ දී අභාවයට පත්විය. ගරුතර මහා සංඝයා වහන්සේ ආගමික වතාවත් ඉටුකර ලීමෙන් පසු නවීන තාක්ෂණික විද්‍යාත්මක ක්‍රම අනුගමනය කොට ඇත් සිරුරේ කල් පවතින සියලු කොටස් ක්‍රමවත් ලෙස වෙන්කොට දේහය ගෞරවාන්විතව මිහිදන් කොට ස්මාරකයක් ද බඳවන ලදි. අභාවයෙන් වසරක් ගෙවුණු තැන රජයේ සහ ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත ඇතා ජීවමාන ස්වරූපයෙන් ප්‍රතිනිර්මාණය කර රාජා ජීවත්ව සිටි කාලයේ පරිහරණය කරන ලද ඇත් සැට්ට, පළඳනා, මෙවලම්.
    උපකරණ තැන්පත් කොට, ජීවිතයේ විවිධ අවස්ථා දැක්වෙන ඡායාරූප ද සහිත කෞතුකාගාරයක් ශ්‍රී දළඳා මාළිගාවත්, පැරැණි රජ මාළිගාවත් අතර ගොඩනැගිල්ලක සකසා ඒ පින්බර හස්තිරාජයාගේ උතුම් බුද්ධ පූජාවට ජාතික උපහාරය පුදා මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලදි. මියගිය පසු මේ අයුරින් ප්‍රතිනිර්මාණය කොට කෞතුකාගාරයක ප්‍රදර්ශනය කරනු ලබන ලොව දෙවැනි හස්තිරාජයා වීමේ දුලබ වාසනාව මියගිය රාජා හස්තියාට ලැබිණ. ඒ අතරින් පළමුවැන්නා වනුයේ කෙන්යාවේ අහමඩ් නමැති හස්තියා ය. රාජා හස්තියා ප්‍රතිනිර්මාණය කොට කෞතුකාගාරයේ තැන්පත් කොට එය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරන ලද්දේ 1989 වසරේ දෙසැම්බර් මස 12 වන දින ය.
    එදින ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශය නිවේදන අංක 182 යටතේ ශත හැත්තෑ පහක වටිනාකමින් යුත් “ ශ්‍රී දළදා මාළිගාවේ රාජා හස්තියා” යන මැයෙන් සමරු මුද්දරයක් ද නිකුත් කරන ලදි.
    ලොව ප්‍රකට ආගමික මෙන්ම සංස්කෘතික මංගල්‍යයක් වන මහනුවර ඇසළ පෙරහරේ ශ්‍රී දළදා කරඬුව අඩසිය වසක තරම් කාලයක් වැඩමකොට, ලොව පුරා බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට ලක් වූ මේ පින්බර රාජා හස්තියා මිය ගොස් පුරා වසර විස්සක් ගෙවී ගියද අදටත් ඒ අඩුව අඩුවක් මැයි ඇත් කුලයක උපන්නද, මිනිස් සමාජයේ ඇතැම් මිනිසුනටත් වඩා උත්තරීතර ගුණාංගයන්ගෙන් යුත් රාජා හස්තිරාජයා උතුම් බුද්ධ පූජාවක යෙදීමෙන් ජනිත කරගත් පුණ්‍ය මහිමයෙන් නිවන් සුව අත්වේවා! යි පතමින් එකී හස්තියාට කෘතෝපහාරයක් වශයෙන් මේ සමරු සටහන තබමි.
     

    Pisachaya

    Member
    Dec 10, 2010
    50
    3
    0
    Niyamai elama tama...dan nathi godak dewal dana gaththa..ubata godak pin..me wage tawa ewa daanna puluwan nam..!!