වතිකානුව
2013 දී බෙනඩික්ට් XVI පාප් වහන්සේ ඉල්ලා අස් වූයේ සියවස් ගණනාවක අපයෝජන චෝදනා වලින් කතෝලික පල්ලිය බැටකා තිබූ මොහොතකය. මෙය අද ඊයේ අත්දුටු ප්‍රවනතාවක් නොව දහසයවන සියවසේ ප්‍රොතෙස්තන්ත ප්‍රතිසංස්කරණ වාදී පූජක මාටින් ලූතර් විසින් පවා විවෘතවම අභියෝගයට ලක්කොට තිබූ කරුණකි. එහෙත් පූජකාරාම වල අඳුරු බිත්ති තුල බාලවයස්කරුවන් අපචාරයට ලක්වීම එදා පුජක පන්තිය භුක්ති විදී වරප්‍රසාද හමුවේ නිහඬව යටපත් කෙරිණ.
කෙසේ වුවද විසි වන සියවසේ සමාජීය වාතාවරණය තුල මෙම අපකීර්තිමත් රහස තවදුරටත් සැඟවිය හැකි නොවීය. 2002 දී Boston Globe ආයතනය විසින් කල කෙරුන සුප්‍රසිද්ධ Spot Light විමර්ශනය මීට නිදසුනකි. පූජ්ක අපයෝජන පිළිබඳ විශේෂඥයෙකු වන බ්‍රයන් ක්ලයිට්ස් පවසන පරිදි, කතෝලික පල්ලිය තුල අපයෝජන රටා ලේඛනගත කිරීමේ (මෙන්ම ඒවා වසන් කිරීමේ) ඉතිහාසය අවම වශයෙන් 50 දශකය දක්වා දිව යයි. එක්සත් ජනපද බිෂොප්වරුන්ගේ ක්‍රමවේහදය වූයේ ස්වාධීන බලධාරීන්ට අපයෝජන වාර්තා කරනු වෙනුවට වඩා පල්ලිය විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත චූදිත පූජකයන් යොමු කිරීමය.
කෙසේ වුවද කැපී පෙනෙන කරුණ වන්නේ 1970/80 කාලයේ ජර්මනියේ මියුනිච් හි අගරදගුරු වරයෙකුව සිටි බෙනඩික්ට් පාප තුමාද අවම වශයෙන් එවන් අපයෝජන සිද්ධීන් හතරක් යටපත් කිරීමට හෝ නොනිසි ලෙස හැසිරවීමට වගකිව යුතු බවට චෝදනා නැඟී තිබීමය. එහෙත් උන්වහන්සේ එම බෙනඩික්ට් XIV චෝදනාව ප්‍රතික්ෂේප කරති. රාජ්‍යතාන්ත්‍රික මුක්තිය හිමි වතිකානුවේ උත්තරීතර අධිකාරියෙන් හරස් ප්‍රශ්නනැගිය නොහේ.
බෙනඩික්ට් හිටපු පාප් වහන්සේ
අවස්ථා තුනක් සඳහා බලපාන පරිදි නැවත නීති සංශෝධනය කිරීමට වත්මන් ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදු වූයේ මෙවන් තත්යක් යටතේය. ඒ අනුව බාලවයස්කරුවන් අපයෝජනය, අපයෝජනක් වාර්තා කිරීමට අපොහොසත් වීම හෝ වසන් කිරීමට උත්සාහ කිරීම සහ පූජකයෙකු විසින් ළමා කාමුක දර්ශන සන්තකයේ තබා ගැනීම යන කරුණු වලට’රහස්යභාවයේ නීතිය’ මින් මතුවට බලනොපානු ඇත.
වත්මන් ප්‍රැන්සිස් පාප්වහන්සේ වතිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව හෙවත් කියුරිය (curia) සමඟ
අපයෝජන අර්බුදයේ මූලයන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන විශ්ලේෂකයින් අවදානය යොමුකරන්නේ ඇත්තේ පූජකයන්ගේ බ්රහ්මචාරී පිළීවෙත අධ්යාත්මික වශයෙන් අවධාරණය කිරීමේ අවශ්‍යතාව කෙරෙහිය. එහෙත් මෙම සංකල්පය පල්ලියේ ඉගැන්වීම් තුල පවා එතරම් පැහැදිලි නැත. දේව ධර්මය පිළිබඳ විශේෂඥයෙකු වන කිම් හේන්ස්-අයිට්සන් පෙන්වා දෙන්නේ විවාහය පිළිබඳ පල්ලියේ අදහස පළමු සියවසේ පටන් වෙනස් වී ඇති බවයි. නිදසුනක් ලෙස "තමන්ව පාලනය කරගත නොහැකි අයට පිළිගත හැකි තේරීමක්" ලෙස ශාන්ත පාවුළුතුමා පවා විවාහය "අකමැත්තෙන්" අනුමත කළ බවක් පෙනෙන බව ඔහුගේ තර්කය වේ. ශතවර්ෂ ගණනාවක් පුරා මතභේදයට තුඩු දුන් ලිංගිකත්වය සහ විවාහය පිළිබඳ ආකල්ප, කතෝලික සහ නැගෙනහිර ඕතඩොක්ස් පල්ලිය අතර භේදයට පමණක් නොව රෙපරමාදු ප්‍රතිසංස්කරණ වලටදබෙහෙවින් දායක වූ බව සැලකිය යුතුය.
සහස්‍ර දෙකක් පැරණි කතෝලික පල්ලිය අපකීර්තියට හේතුවී ඇත්තේ ලමා අපචාරය පමණක් නොවේ: දැන් දැන් වතිකානුවට එරෙහිව නැගෙන දූෂණ චෝදනාද නැඟේ. කලක් ෆ්‍රැන්සිස් පාප්තුමාගේ සමීපතම සගයෙකු කාදිනල්වරයෙකුවන ඇන්ජෙලෝ බෙකියු ලන්ඩනයේ දේපළ ව්‍යාපාරයක් සඳහා පල්ලියේ මුදල් මුදල් යුරෝ මිලියන 350 ක් අවභාවිත කළ බවට පවරා ඇති නඩුව එවැන්නකි. කාදිනල්වරයා විසින් වන්දනාකරුවන්ගෙන් ලද පරිත්‍යාග මුදල් මතබේධාත්මක ගණුදෙනු වලට වැය කිරීම මෙන්ම තම උපන් ගම වන සාඩීනියාවේ පවත්වාගෙන යන සහෝදරයන්ගේ ව්‍යාපාරවලට වතිකානුවේ මුදල් යෙදවීම හා වතිකානු බුද්ධි සේවා කටයුතු වලට වෙන් කල මුදලින් සුඛෝපහෝගී භාන්ඩ මිලට ගැනීම පිලිබඳ චෝදනාද ඊට ඇතුළත්ය. මේ පිළිබඳ නඩු විභාගය මීලඟ සතියේ යලි කැදවීමට නියමිතය.
චූදිත බෙකියු කාදිනල් තැන
දිළීදු ගව ලෙනක ඉපිද හිබෲ පූජක පන්තියේ අත්තනෝමතිකත්වයට එරෙහිව නැඟී සිටීමේ වරදට කුරුසිය මත වද විඳි ජේසුස් වහන්සේ මේ කෙරුම් කියුම් කෙසේ විනිශ්චය කරනු ඇත්දැයි අපි නොදනිමු. එහෙත් විනිවිද භාවයෙන් යුතුව මෙම වැරදි නිවැරදි කිරීමට වතිකානුව අපොහොසත් වන්නේ නම් එය අප සමිඳාණන්ගේ අවසන් ගණන් ගැනීමට පෙර කතෝලික පල්ලියේ තවත් බෙදීමකට තුඩු දීමටනම් බෙහෙවින් ඉඩ ඇත.
© Chamara Siriwardene
…………………………