කර්මය විපාක දීමට මතක තබා ගන්නේ අප සිත තුළමද?

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    කර්මය විපාක දීමට මතක තබා ගන්නේ අප සිත තුළමද?

    කර්මය විපාක දීමට මතක තබා ගන්නේ අප සිත තුළම දැ? යි පසුගිය සෙනසුරාදා දින 66 වන ධර්ම සාකච්ඡා වාරයේ දී පින්වතෙක් විසින් අසා තිබුණි. මේ එයට ලබා දුන් පිළිතුරයි.

    මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබා ගැනීමේ දී පහත සඳහන් කරුණු ගැන අවබෝධයක් තිබිය යුතු ය.

    1. සිත කියන්නේ කුමක්ද?
    2. කර්මය කියන්නේ කුමක්ද?
    3. මොළය කියන්නේ කුමක්ද?
    4. කර්මය විපාක දීමට මතක තබා ගන්නෙ කොහේද?

    මෙම මාතෘකා වලට පිළිතුරු ලබා ගැනීමෙන් පසුව අවසානයේදී කර්මය විපාක දීමට මතක තබා ගන්නේ අප සිත තුළම දැ? යන්නට පිළිතුර ලැබේ.

    1. සිත කියන්නේ කුමක්ද?

    සිත කියා කියන්නේ, “ආරම්මණ විජාණන ලක්ඛණං චිත්තං” අරමුණු දැන ගැනීමේ ස්වභාවයටයි. මෙම සිත එකක් නොවන අතර එය පැවත එන සිත් පරම්පරාවකි. සිතකට ආයුකාලය තිබෙන්නේ උප්පාද, ඨිති, භංග යන ක්ෂණ තුනක කාලය පමණී. එවැනි සුළු මොහොතකින් සිතක් ඇතිව නැතිව යන විට ඊළඟ සිත ඇති වේ.

    මේවා සිත් පරම්පරාවක් බව නොවැටහෙන්නේ සිත් ඉතා වේගයෙන් ඉපිද නැතිව යන නිසාත්, අතරක් නැතිවම හටගන්නාත් නිසා ය. සිත් එකවර දෙකක් ඇති වන්නේ නැත. එක වරකට හට ගන්නේ එක සිතක් පමණි. ඒ හට ගන්නා සිතද එක අරමුණක් පමණක් ගන්නා අතර අරමුණු දෙකක් ගන්නේ නැත. එසේම එක සිතක් එකවර ගනු ලබන්නේද එක් අරමුණක එක් ස්වභාවයක් පමණි. අරමුණක ස්වභාව දෙකක් එකවර ගන්නේද නැත.

    මේ සිත හඳුන්වන්නට සිත, මනස, චිත්තය, විඤ්ඤාණය, මනායතනය, විඤ්ඤාණස්කන්ධය, භවාංගය ආදී නම් රාශියක් තිබේ.

    මිනිස් ශරීරයක සිත් පරම්පරාව පවතින්නේ හෘදය වස්තුව මැද දොඹ ඇටයක් පමණ කුඩා වලක අඩ පතක් පමණ පිරී පවතින ලේ ඇසුරු කර ගෙන ය. එම වස්තු දසකය පහළ වන්නේ මිනිස් ශරිරයේ හදවත් මස හැදෙන්නටත් පෙර, ශරීරය ලේ පාටටවත් හැරෙන්නට පෙර, ශුක්‍ර ඩිම්බ සංසේචනයන් තල තෙල් පැහැයට පවතිමින් පඤ්චුපාදානස්ඛන්ධය පහළ වන මුල්ම අවස්ථාවේ දී ම ය. (ජලාබුජ මනුෂ්‍ය)

    මේ සිත අතිශයින්ම සුන්දරය. සිත ගැන හොඳින් තේරුම් ගන්නට සිත හට ගන්නා ආකාරය, සිතේ ආයුෂ, සිත උපදින්නේ කවර තැනකද? චුති සිත, ප්‍රතිසන්ධි සිත, භවාංග සිත, චුති ප්‍රතිසන්ධි භවාංග නොවන ද්වාර සිත්, අකුසල කුසල විපාක ක්‍රියා ලෝකෝත්තර සිත්, යනාදී කරුණු දැන ගෙන සිටිය යුතු ය.

    2. කර්මය කියන්නේ කුමක්ද?

    කර්මය කියන්නේ ඉතාමත් ම ගැඹුරු විෂයකි. එය බුදු බුදුදහම තුල උගන්වන ප්‍රධානම මාතෘකාවකි. එය ගැන භාග්‍යවතුන් වහන්සේ ආකාර රාශියකට දේශනා කර තිබේ.

    එයින් එක් ආකාරයක් වන්නේ බොහෝ ප්‍රසිද්ධ "චෙතනාහං භික්ඛවෙ, කම්මං වදාමි." "පින්වත් මහණෙනි, චේතනාව කර්මය යැයි දේශනා කරමි." යන දේශනාවයි. “චේතනාව” ලෙස හදුන්වන්නේ සිතත්, සිතේ යෙදෙන චෛතසිකත් ඒ ඒ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ආදී කටයුතුවල යොදවාලන ශක්තියට නමකි.

    මේ චේතනාව හැර සිතත්, සිතේ යෙදෙන චෛතසිකත් ඒ ඒ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම ආදී කටයුතුවල යොදවාලන ධර්මතා විසි එකක් තිබේ. ඒවා නම්:- බොජ්ඣංග ධර්ම සත, මාර්ග අංග අට, අභිධ්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි, අනභිධ්‍යා, අව්‍යාපාද, සම්මා දිට්ඨි යන ධර්මතා විසි එකය. චේතනාව සමග කර්මයේ වන ධර්ම විසි දෙකක් තිබේ. සෑම තැනකදීම මේ ධර්මතා විසි දෙකම කර්ම බවට පත් වන්නේ නැත. ඒ ඒ ධර්මතා ඒ ඒ තැන්වලදී වෙන වෙනම කර්ම බවට පත්වන ආකාරයක් තිබේ.

    කර්මය බවට පත්වන සිත එකකි. විපාකය බවට පත්වන සිත තවත් එකකි. එය තවත් ආකාරයකින් කිවහොත් කර්මය බවට පත් පත්වන්නට ඒ ඒ තිස් එක් භූමියේ වසන සත්වයින්ගේ චිත්ත සන්තති වල යෙදෙන, කුසල හෝ අකුසල ආදී නානාප්‍රකාර ධර්මතා සහිත හේතු ධර්ම (ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අදෝස, අමෝහ) යෙදෙන ජවන් සිත් අනුව, ඒ නාම රූප ධර්ම වලට ඒ මොහොතේ පටන් කවදා හෝ සසරින් එතෙර වන තෙක් ලැබෙන ප්‍රතිඵල විපාක ධර්ම වේ.

    ඒ අකුසල් හෝ කුසල් සිත් අනුව සසරේ වසනා තාක් ප්‍රතිසන්ධි විපාක ද, (උපත ලබාදීම) ප්‍රවෘත්ති විපාක ද (ප්‍රතිසන්ධියෙන් පසුව චුතිය දක්වා කාළ පරාසය තුළ පල දෙන කර්ම විපාකය) ලැබේ.

    (කර්මය ගැන බොහෝ කරුණු කිව යුතු වූවත්, ලිපියට ප්‍රමාණවත් කරුණු කිහිපයක් පමණක් දක්වා ඇත.)

    3. මොළය කියන්නේ කුමක්ද?

    වර්තමානයේ යම් යම් පුද්ගලයින් (විද්‍යාඥයින්) විසින් මොළය ගැන දැනට සොයාගෙන තිබෙන කාරණා කිහිපයක් පහත දක්වමු. අතීත විද්‍යාඥයන් ගේ දැනුම වර්තමානයේ වෙනස් වූවාක් මෙන් මේවා ද, අනාගතයේ අනිවාර්යයෙන්ම වෙනස්කම් වලට භාජනය විය හැකි ය. නමුත් දැනට පිළිගන්නා මොළය පිළිබඳ කරුණු කිහිපයක් සොයාගත් අය පවසන ආකාරයයි මේ.

    මොළය යනු සිතුවිලි, මතකය, හැඟීම්, ස්පර්ශය, කුසලතා, දැක්ම, හුස්ම ගැනීම, උෂ්ණත්වය, කුසගින්න සහ අපගේ ශරීරය නියාමනය කරන සෑම ක්‍රියාවලියක්ම පාලනය කරන සංකීර්ණ අවයවයකි. මොළය සහ කොඳු ඇට පෙළ එකට සම්බන්ධ වී මධ්‍යම ස්නායු පද්ධතිය සාදයි. සාමාන්‍ය වැඩිහිටියෙකුගේ මොළයේ බර රාත්තල් 3 ක් පමණ වේ. මොළයේ මේදය 60% පමණ වේ. ඉතිරි 40% ජලය, ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් සහ ලවණ එකතුවකි. මොළය සම්පූර්ණයෙන්ම මාංශ පේශි වලින් සෑදී නැත. එහි නියුරෝන සහ ග්ලියල් සෛල ඇතුළු රුධිර වාහිනී සහ ස්නායු තිබේ.

    මොළයේ ඇති සෑම කලාපයක්ම විවිධ භූමිකාවන් ඉටු කරයි. තොරතුරු සැකසීම හා අර්ථ නිරූපණය කරන කළාපයක්ද, එම තොරතුරු ස්නායු පද්ධතියේ අනෙකුත් කොටස් වෙත සම්ප්‍රේෂණය කරන කළාපයක්ද තිබේ. ශරීරය පුරා පවතින රසායනික ද්‍රව්‍ය හරහා මොළයට විද්‍යුත් සංඥා ලැබේ.

    සමහර පණිවිඩ මොළය තුළ තැන්පත් වන අතර අනෙක් ඒවා කොඳු ඇට පෙළ හරහා සහ ශරීරයේ විශාල ස්නායු පද්ධතිය හරහා අන්තයන්ට සම්ප්‍රේෂණය කෙරේ. මේ සඳහා මධ්‍යම ස්නායු පද්ධතිය රඳා පවතින්නේ බිලියන ගණනක් වූ නියුරෝන (ස්නායු සෛල) මතය.

    මොළයේ විශාලතම කොටස වන මස්තිෂ්කය චලනය ආරම්භ කර සම්බන්ධීකරණය කරන අතර උෂ්ණත්වය නියාමනය කරයි. මස්තිෂ්කයේ අනෙකුත් අංශ මඟින් කථනය, විනිශ්චය කිරීම, සිතීම සහ තර්ක කිරීම, ගැටලු විසඳීම, හැඟීම් සහ ඉගෙනීම සඳහා හැකියාව ලැබේ. එයින් කෙරෙන අනෙකුත් කාර්යයන් අතර දැකීම, ශ්‍රවණය, ස්පර්ශය සහ වෙනත් ඉන්ද්‍රියන්ට සම්බන්ධ ක්‍රියාකාරකම් ය.

    මස්තිෂ්කයේ බාහිර ආවරණය කරන මෂ්තිෂ්ක බාහිකය මොළයේ බරට අඩක් පමණ ඇතුළත් වේ.

    ප්‍රධාන ස්නායු 12 ක් ඇති අතර සුවඳ දනවන ස්නායුව. දෘෂ්ඨි ස්නායුව. අක්ෂි චලන ස්නායුව. ඇසේ මාංශ පේශි පාලනය කරන ස්නායුව. මුහුණේ චලනය, රසය ආදිය දනවන ස්නායුව. සමබර වීම සහ ශ්‍රවණය පහසු කරවන ස්නායුව. කණට සහ උගුරට චලනය වීමට ඉඩ සැළසීම ආදිය කරන ස්නායුව. හදවත, උගුර සහ ආහාර දිරවීමේ පද්ධතියේ චලන ක්‍රියාකාරිත්වය පාලනය කරන ස්නායුව. බෙල්ල සහ උරහිස් වල නිශ්චිත මාංශ පේශිවලට සහය දක්වන ස්නායුව. ආදී ස්නායුවල විවිධ ක්‍රියාකාරකම් වන අතර තවත් මොළයේ ස්නායු 10 කින් විවිධ කටයුතු සිදු කරයි.

    මේ සෑම කාරණාවකින්ම පෙනෙන්නේ මොළය යනු ශරීරයේ ප්‍රධානම අංගයක් වන අතර ආශ්වාස ප්‍රශ්වාස කිරීම ආදී ශරීරය පවත්වා ගැනීමට වුවමනා අවශ්‍ය අවයව ක්‍රියා කරවීමට මොළයේ උපකාරය අත්‍යවශ්‍යම වේ.

    ඇස, කන, නාසය, දිව, ශරීරය, හෘර්ද වස්තුව ආදී සිත් හට ගන්නා ප්‍රසාද වස්තූන් වලට උපද්‍රවයක් ඇති නොවන්නට ඒවායේ නිරෝගී භාවය රැකගැනීමට මොළය ප්‍රධාන වශයෙන්ම උපකාර වේ.

    දරුවෙක් බිහි වුවාට පසුව හෘර්ද වස්තුව, පෙනහළු, ආදී අභ්‍යන්තර ශරීර අවයවයන් ක්‍රියා කරවන්නට මොළය අත්‍යාවශ්‍ය වේ. ශරීර උෂ්ණත්වය සම මට්ටමින් පැවැත්වීම, ආහාර පැසවීම, මළමුත්‍රා ක්‍රියාකාරීත්වය, ආදී ශරීරයේ සියල්ල පවත්වා ගන්නට මොළයේ ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය වේ. නමුත් මේ මොළය සෑදී ක්‍රියාත්මක ශක්තිය දැක්වීමට මිනිස් මව්කුසකදී නම්, සත්වයෙක්ගේ ප්‍රතිසන්ධියෙන් සති දාහතරකට ටිකක් අඩු හෝ වැඩි කාළයක් පමණ ගත වේ.

    සමහර විට මව් කුසින් බිහිවන ළදරුවන්ට මොළයක් පිහිටන්නේද නැත. ඔවුන් උපත ලබා සුළු මොහොතකින් මිය යයි. එයට හේතුව වන්නේ ආශ්වාස ප්‍රාස්වාස කිරීම් ආදී ශරීරය පවත්වා ගැනීමට උවමනා අවශ්‍ය අවයව ක්‍රියා කරවන්නට මොළයේ උපකාරය අවශ්‍ය නිසාය. අහේතුක සුගති උපතක් වන අංගවිකල දරුවන්ගේ ශරීරය ක්‍රියාකාරී වන්නට ඔවුන්ගේ තරමට කර්මානුරූපව ලැබෙන මොළයක් ඇත.

    සිත් පරම්පරාව පවතින්නේ කර්මයෙන් හටගන්නා හෘර්ද වස්තු පරම්පරාව ඇසුරු කරගෙන ය. මොළය ද ඒ ඒ සත්වයන් ගේ කර්ම විපාකාදී විවිධ හේතූන්ගෙන් හට ගන්නා රූප ධර්ම සමූහයකි.

    මොළය වර්තමාන ශරීරයේ ක්‍රියාකාරීත්වයට උපකාරවන ශාරීරික අංගය යි. නමුත් සම්පූර්ණයෙන්ම මතකය පවතින්නේ චිත්ත සන්තානයේ ක්‍රියාකාරීත්වය මතයි. ඒ සඳහා ශාරීරිකව මොළය උපකාර වන කාරණාවක් පමණි.

    මොළය සසර පැවැත්ම සිදු කරන කාරණාව නොව, ශරීරයේ පැවැත්මට අවශ්‍ය කරන අත්‍යවශ්‍යම අංගයක් වේ.

    මොළය මියගියා යැයි වෛද්‍යවරු විසින් තීරණය කළ අයගේ මොළය නැවත ක්‍රියාකාරී තත්වයට පත්ව සුපුරුදු ජීවන රටාවට පැමිණි අවස්ථා ද තිබේ.

    4. කර්මය විපාක දීමට මතක තබා ගන්නෙ කොහේද?

    කර්මය විපාක දීමට මතක තබා ගන්නේ කොහේද? කියා ඇසුවොත් ඔහුට පිළිතුරු දිය යුත්තේ මේ ලෝකයේ කිසිවක් ස්ථිරව පවතින්නේ නැති බවයි. සත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් කියා දෙයක් නැති අතර, මේවා නාම රූප ධර්ම වේ. මේ නාම රූප ධර්ම හේතු ඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් යුක්ත ධර්මතා සමුදායක් වේ.

    ඒ ධර්මතාවයන් හට ගත් සැණෙකින් නැතුව යයි. නැතිව යන විටම ඒ නාම රූප පරම්පරාවට ගැලපෙන නාමරූප ධර්මතා නැවතත් ඇති වේ. නැවතත් නැතුව ගොස් කර්ම චිත්ත සෘතු ආහාර ආදී හේතූන් ගෙන් නැවතත් ඇතිවේ. නැවතත් නැතිව යයි. නැවතත් ඇති වේ. පටිච්චසමුප්පාද සහ පට්ඨාන ධර්ම ආදිය අනුව මේ කරුණු තේරුම් ගත යුතු ය.

    මතකය තිබෙන්නේ භවාංග සිතේ යැයි ද සමහරු කියති. එයද වැරදි ප්‍රකාශයකි.

    භවාංග සිත යනු භවයෙන් භවයට වෙනස් වන එකකි. එයද ක්ෂණත්වයට පත්වන විපාක සිත් පරම්පරාවකි. එය ස්වභාවයෙන්ම ප්‍රතිසන්ධි සිතට සෑම අතින්ම සමාන වෙයි. එම ප්‍රතිසන්ධි භවාංග සිත් ස්වභාවයේ ආරම්භය වන්නේ, කලින් භවයේ චුතියට පෙර ජවන් චිත්ත වීථිය යි. ඒ ජවන් සිත් පහට හේතු වන්නේද, ඔහුගේ හෝ ඇයගේ කර්මාදිය යි. ඒ කර්ම ආදියට ද නාමරූප ධර්ම ප්‍රත්‍ය වූ ආකාරයක් තිබේ. මේවා හේතුඵල ධර්මයන් ගේ ක්‍රියාකාරීත්වයකි.

    එසේනම් කර්ම විපාක දීමට මතකයේ තබා ගන්නේ කොහේද?
     
    • Like
    Reactions: NRTG

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මතකය එසේ තබා ගන්නා ස්ථිරසාරව පවතින අවයවයක් නැත. සියල්ලම අනිත්‍ය ධර්ම වේ. සිත අරුම පුදුම ධර්මයකි. එයට අරමුණු කළ නොහැකි දෙයක් නැත. සිත අරමුණක් සමග ඇති වන විට එයත් සමඟ යෙදෙන ගති ධර්ම වගයක් තිබේ. ඒවා චෛතසික ලෙස හඳුන්වනු ලැබේ. සිත අරමුණට නංවන, අරමුණේ හසුරුවන, ඒ ඒ කාරණාවල යොදවන, ඒ ඒ ආකාරයට අදාල කාරණා උපදවන, ආදී ලෙස සිදුවන සියලුම චිත්ත චෛතසික ක්‍රියාවලිය දැනගන්නට චිත්ත චෛතසිකයන්ගේ සම්ප්‍රයෝග නය ආදිය දැනගෙන සිටිය යුතුය.

    ද්වාර හයෙන් මනෝ ද්වාරයට ඕනෑම අතීත, වර්තමාන, අනාගත, කාල මුක්ත ප්‍රඥප්තීන් ආදී ධර්මාරම්මණයක් ගත හැකි ය. ඒ ගන්නා අරමුණුු සමග මනසිකාරය ආදී සබ්බ චිත්ත සාධාරණ චෛතසිකත්, විතර්ක විචාර ආදී චෛතසික ධර්මත්, ඒ ඒ කුසල අකුසල ස්වභාවයන් අනුව ඒ ඒ චෛතසික ආදියත් යෙදේ.

    කල්පනා කරමින් නැවත මතකයට ගන්නා ඒ ස්වභාවය චිත්ත චෛතසික ක්‍රියාවලියකි. ශරීරයේ මොළය ඒ ක්‍රියාවලියට උපකාරක ධර්මතාවයක් පමණි. මොළයේ මතකය ගබඩා වී ඇත්නම් මියගිය පසු ඒවා තවත් කෙනකුට ගැනීමට පුළුවන් විය යුතු ය.

    නැතිනම් ජීවත්ව සිටින විට ඒවා වෙනත් තාක්ෂණික උපකරණයකට ගැනීමට පුළුවන් විය යුතු ය.

    එසේත් නැතිනම් තවත් මොළයකට මේ මොළයේ තිබෙන මතකය යැවිය හැකි ක්‍රමයක් තිබිය යුතු ය.

    එසේත් නොහැකි නම් භාහිර අයෙකුට අනුන්ගේ මතක ගබඩාව වන මොළය කුමන හෝ ආකාරයකින් ඔහුගෙන් මුදවාගෙන සිතන පතන විදිහ වෙනස් කරමින් හැසිරවිය හැකි විය යුතු ය. අලුත් දේවල් පිටතින් මොළයට ඇතුල් කර, නොතිබූ මතකයන් එකතු කළ හැකි විය යුතු ය. එවැනි දේවල් කළ නොහැකි ය.

    මොළයෙන් සිදුවන්නේ ඒ ශරීරයට අදාළ පැවැත්මට වූ උපකාර වන වැඩ කොටසක් පමණි. අනෙක් කරුණු වලට මෙන්ම, මතකයට ද එය උපකාර වේ. නමුත් මතකය ස්ථිරසාරව තැනක රැඳී පවතින්නේ නැත. එයද හේතු-ඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය අනුව පවතී. සිත දියුණු කර අභිඤ්ඤා උපදවා ගත් කෙනකුට ආත්මභාව ලක්ෂ කෝටි ගණන් ඈත එපිට කරුණකට වුවත් සිත නංවා ඒ අතීතයට ගිය කාරණා මතක් කර ගත හැකි ය. එතන සිදුවන්නේ අරමුණට සිත නැංවීමයි. එයට උපකාර වූයේ ඊට අදාළ වූ විතක්ක, විචාර, චේතනා, මනසිකාර ආදී අනෙකුත් චෛතසික ධර්ම ආදිය යි. මේවා ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රිය ආදීන්ගේ ක්‍රියාකාරීත්වයක් පමණි.

    චිත්තක්ෂණයකට හෝ චිත්තක්ෂණ 17 කට වඩා ආයු කාලයක් ඇති නාමරූප ධර්ම ආදිය නැති බැවින්, මතකය ලෙස ස්ථිරව පවතින දෙයක් ගැන කතා කරන්නට දෙයක් නැත.

    මේ ඉහත මාතෘකාව ගැන ඉතා කෙටියෙන් කරුණු දැක්වීමක් පමණි.

    තෙරුවන් සරණයි.

    මෙයට මෙත් සිතින්,
    තපෝවනයේ රතන ස්ථවිර

    මිණිපුර අමා ශාන්ති තපෝවනය
    පැල්වාඩිය - රත්නපුර
    විමසීම්:- තපෝවන කාර්‍යාලය 0452229458 / 0770644222

    මිණිපුර අමා ශාන්ති තපෝවන ආරණ්‍ය සේනාසනයෙන් සිදුකෙරෙන භාවනා වැඩසටහන් සහ අභිධර්ම පන්ති, සූත්‍ර ධර්ම දෙශනා ආදී වැඩසටහන් වලට සහභාගි වීමට පහත සඳහන් ගෲප් වලට සම්බන්ධ වෙන්න.

    වැඩසටහන් දැනුවත් කිරීම:-
    https://chat.whatsapp.com/GPajgrpQm7L9FAk3bP6QZO

    ධර්ම කරුණු දැණුවත් කිරීම :-
    https://chat.whatsapp.com/EiOZhkf918VAU0omRvV7wU

    Telegram :- https://t.me/amashanthi

    YouTube :- https://www.youtube.com/channel/UCnRjougx501-eR6SEod8ZJA copied .
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,179
    113
    Mother Earth
    hHidQp.jpg
    hHidQp.jpg
    hHidQp.jpg
    hHidQp.jpg
    hHidQp.jpg
    hHidQp.jpg
    හානේ හරිෂෝක් කතාව.