කලු කොටියා සහ ඇලි - වැලි මුවා

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    කලු කොටියා සහ ඇලි - වැලි මුවා

    අද උදේ කොල්ලොත් එක්ක කැලේ රිංගපු ජයසූරිය මහත්තයාවයි, කොල්ලන්වයි දෙබරු කාලා. දෙබරු හත් දෙනෙක් කෑවොත් නයෙක් කාපු තරම් විසයි කියලා කතාවක් තියෙනවා. අමාරුද කියලා බලන්න මමත් දුවලා ගියා. මම නිල නිවාසෙට ගිහින් බලනකොට ජයසුරිය මහත්තයා පැනඩෝල් පෙති දෙකක් බීලා ඇවිද ඇවිද හිටියා. දෙබරු, කොන්ඩෙත් අඩු ජයසූරිය මහත්තයගෙ ඔලුවම කාලා, ගෙඩි දෙකක් ඇවිල්ලා. ඒ උනාට ඉතිං ජයසූරිය මහත්තයාට නයි පොළොංගු කෑවත් එක තැනකට වෙලා ඉඳලා පුරුද්දක් නෑ.

    විශ්‍රාම යන්න ආසන්න වයසෙ ඉන්න, වැඩි කතා බහක් නැති, කලුම කලු පාට, උස හීන්දෑරි පෙනුමක් ඇති ජයසූරිය මහත්තයා, හොර බොරු, තක්කඩිකම් කුපාඩිකම් නොකරන, කවුරුත් ගෞරව කරන චරිතයක්. ඉතාම තරුණ වයසෙදි විල්පත්තුවෙන් වනදිවිය අරඹලා දැන් ගිරිතලේ ජාතික වනජීවී පුහුණු කේන්ද්‍රයෙ උපදේශකවරයෙක් වෙලා ඉන්නවා. අද මට ජයසූරිය මහත්තයාගෙ දක්ෂතාව, කැපවීම හා ඉවසීම නිසාම නිර්මාණයවුනු ගිරිතලේ වනජීවී කෞතුකාගාරය ගැන ලියන්න හිතුනා. මේ වෙනකොට ඒක ලංකාවෙ සියලුම දුලබ වන සත්තුන්ගෙ හම පුරවලා හදාපු නිදර්ශක දකින්න තියෙන කෞතුකාගාරයක්. ඒ සමහර නිදර්ශක ලංකාවෙ වෙන කොහේවත් නෑ.

    සතුන්ගෙ හම සංරක්ෂණය කරලා, නිදර්ශකයක් විදිහට පුරවලා සකස් කරන කලාවට කියන්නෙ 'චර්ම පරිකර්ම ශිල්පය' (Taxidermy) කියලා. නිතර අහන්න දකින්න නොලැබෙන දෙයක් නිසා ඒ ගැන ටිකක් විස්තර කළානම් හොඳයි කියලා හිතෙනවා.

    දෙපාර්තමේන්තුවෙ කාට උනත්, කොහේදි හරි මැරුණ සතෙක්ගෙ සිරුරක් ලැබුනොත් මතක් වෙන්නෙ ගිරිතලේ. නරක් වෙලා නැත්නම් අයිස් එක්ක පෙට්ටියක දාලා හැකි ඉක්මනින් මෙහාට එවනවා. ජයසූරිය මහත්තයාත් ගෝලබාල පිරිසත් එක්ක පිහි, මන්න ලෑස්ති කරගෙන ඉඳලා සතා ලැබුන ගමන් ගේම පටන් ගන්නවා. වැඩට බැස්සහම ජයසූරිය මහත්තයාට ‍රැයක් දවාලක් නෑ.

    මැරිච්ච සතෙකුගෙ හම ඉවත් කරන්න කලින්, ඉස්සෙල්ලාම කරන්නෙ සතාගෙ සිරුරේ දිග පළල සහ අනෙක් වට මිනුම් අරගන්න එක. සතා නැවත නිර්මාණය කරලා ඉවර උනහමත් ඒ මිනුම් ඒ විදියටම තියෙන්න ඕනෑ. නැත්නම් නියම හැඩය එන්නෙ නෑ.


    ජයසූරිය මහත්තයාට උදව්වෙන්නෙ නානායක්කාර
    1+edited.jpg
    ඊට පස්සෙ සතාගෙ බඩ පැත්තෙන් සිරුරෙ දිග අතටත්, අත පය දිගේත් පැලුම් කීපයක් දානවා. කෝට් එක ගලවන්න පටන් ගන්නෙ ඊලඟට. හමට යටින් තියෙන මේද තට්‍ටුව නො එන විදිහට තියුණු සැත් පිහිවලින් (Surgical knives) ඉතාම ඉවසිල්ලෙන් මේ වැඩේ කරන්න ඕනෑ. හිස් කබලයි, කුර, නියපොතු තියෙන සත්තුන්ගෙ ඒවායි, හමේම ඉතුරු වෙන විදියට තමයි හම ගලවාගන්නෙ.

    ඉතින් ලොකු සතෙක් නම් හම ඉවත් කරගන්න සමහරවිට පැය හත අටක් ගත වෙනවා. ඊට පස්සෙ ඇල්කොහොල් ද්‍රාවණයෙ දාලා, ඇලවිලා තියෙන මේද කොටස් හූරලා දාලා, පිරිසිදු කරගන්න සමහරවිට දවස් ගනණක් ගත වෙනවා. හොඳින් පිරිසිදු කරගත්තු හම තවත් රසායනික ද්‍රව්‍ය ගණනාවක් දාලා සතියක් දෙකක් පදම් වෙන්න තියනවා.

    නිමකරගත් ආකෘතිය

    2.jpg
    ඒ අතරතුර සතාගෙ ආකෘතිය හදාගන්නවා. ආකෘතිය හදා ගන්නෙ සතාගෙ නිදර්ශකය හදලා ඉවරවුනහම නිරූපනය විය යුතු ඉරියව්ව ගැන හිතලා. නිමවුන නිදර්ශකයෙන් ස්වාභාවිකබව මතුවෙන තරමට තමයි නිර්මාණ කරුවාගෙ දක්ෂතාව ප්‍රදර්ශණය වෙන්නේ. ජයසූරිය මහත්තයා ලඟ ඒ දක්ෂතාව උපරිමයෙන් තියෙනබව මේ එක්ක තියෙන පින්තූරවලින්ම පේනවා.


    කම්බි නවලා, වෑල්ඩිං කරලා, හදා ගන්න සැකිල්ලට නයිලොන් නූල් වලින් පිදුරු බැඳලා තමයි ආකෘතිය හදා ගන්නෙ. සතාගෙ සිරුරෙන් ලබාගත්ත මිනුම්වලට අනුව හදාගන්න මේ ආකෘතියට හම පොරවන එක තමයි ඊළඟට කරන්නෙ. හම පොරවලා, කොනක ඉඳලා පිදුරුවලට උඩින්, හමට යටින්, කඩදාසි පල්ප්වලින් පුරවන්න ඕනෑ. ජයසූරිය මහත්තයාගෙ ගෝලයො ටික පරණ පත්තර වතුරෙන් පොඟවලා, වංගෙඩිවල දාලා කොටලා දෙන පල්ප්, ප්ලාස්ටර් ඔෆ් පැරිස් එක්ක කලවං (කවලං ..?) කරලා තමයි ටිකෙන්ටික සතාව පුරවන්නේ. ඒ එක්කම හමේ කැපුම ටික ටික මහලා වහන්නත් ඕනෑ. ඒ හරිය ජයසූරිය මහත්තයා තනියමමයි කරන්නේ. සතාගෙ මාංශ පේෂිවල හැඩය ගැන පවා හිතලා තමයි ඒ ටික කෙරෙන්නේ.


    කඩදාසි පල්ප් එක
    3.jpg
    කෝට් එක පොරවලා ඉවරවෙලා අවසානයෙදි ඇස් දෙක සවි කරන්න ඕනෑ. ප්ලාස්ටික් තහඩු කෑලි එක මත එක අලවලා, නියම ප්‍රමාණයට රවුමට කපලා, පීරිගාලා, පොලිෂ් කරලා, සතාගෙ ඇස්වල ස්වාභාවික හැඩය සහ වර්ණය දෙන එක ලේසි වැඩක් නෙමෙයි. ඒවගෙ දෙයක් කරන්න උවමනා ඉවසීම කෙනෙකුට පිහිටන්නෙ ඉතාම කලාතුරකින්. නියම විදිහට සතාගෙ ඇස් දෙක ආවහම නිදර්ශකයට පුදුම ජීවී බවක් ලැබෙනවා.
    4.jpg

    5.jpg

    සතාගෙ ඔලුව පුරවලා, මහලා හදාගන්න එක ඉතාම ඉවසිල්ලෙන් කරන්න ඕනෑ



    ජයසූරිය මහත්තයාගෙ අතින් නිර්මාණයවුන සුවිශේෂීම නිදර්ශකය තමයි, 2009 වර්ෂයේ දෙනියාය පැත්තේ තේ වත්තකදි, වනසතුන් දඩයම සඳහා ඇටවූ උගුලකට අහුවෙලා මැරුණු, කලු කොටියාගෙ නිදර්ශකය. කලු කොටියෙකුගේ නිදර්ශකයක්, අපේ ගිරිතලේ ක‍ටුගේ ඇරෙන්න සිරි ලංකාවෙ වෙන කොහේවත් නෑ. කලු කොටියෙක් බිහිවෙන්නෙ ඉතාම දුලබ ප්‍රවේණි ලක්ෂණයක් ප්‍රමුඛ වීමෙන්, ඉතා කලාතුරකින්. ලංකාවෙ මෙතෙක් කලු කොටින් වාර්තා වෙලා තියෙන්නෙ මධ්‍ය කඳුකරයෙ වැසි වනාන්තරවලින් විතරයි. ලෝකෙ අනිත් රටවලත් කලු කොටියා ඉන්නෙ වැසි වනාන්තරවල විතරයි.




    හම පෙරවූ ආකෘතිය
    6.jpg
    සතුන් අතර ඇලි (Albino) සතෙක් බිහි වෙන්නේ සමේ වර්ණය ගෙන යන ප්‍රවේණි ලක්ෂණය යටපත් වීමෙන්. ඒවගෙ සතෙක්, තමන්ට ආවේනික වර්ණ රටාව නොලැබීම නිසා අනිත් සතුන් අතර කැපිලා පේනවා. ගිරිතලේ කෞතුකාගාරයේ ඉන්න ඇලි - වැලි මුවා (Barking deer) පස්සර පැත්තෙදි බල්ලො කාලා මැරිච්ච එකෙක්. කැපිලා පේන සුදු පාට නිසා ඇලි සත්තු පහසුවෙන් විලෝපී සත්තුන්ගේ ගොදුරු බවට පත් වෙනවා.

    කබල්ලෑවා, හම්බාවා, උරුලෑවා, හඳුන් දිවියා, වල් බලලා, දිය බල්ලා, ගෝනා, නරියා, මීමින්නා වගෙ නිතර දකින්න නැති සත්තු ගොඩක් ජයසූරිය මහත්තයා හදලා තියෙනවා. මාස ගානක් දිවා රෑ පරිප්පු කාලා හදාපු අඩි 6 ක් විතර උස ඇත් පැටවාගේ නිදර්ශකය අනුරාධපුරේ, තිරප්පනේදි දඩයක්කාරයො වල් ඌරන්ට දාපු 'හක්ක පටස්' කාලා මැරිච්ච එකෙක්. අඩි 8 ක් විතර දිග පිඹුරෙකුත් ඉන්නවා. ඌව දැකලා ක‍ටුගේ බලන්න එන සමහර ගෑණු දුවනවා.

    කොටියෙකුගේ බාහිර ලක්ෂණයි, ඇතුලෙ ඇට සැකිල්ලයි දෙකම දකින්න පුලුවන් විදියට හදලා තියෙන නිදර්ශකය ජයසූරිය මහත්තයාගෙ අපූරු නිර්මාණයක්.
    7.jpg
    8.jpg


    මාදුරු ඔය පැත්තෙ මැරිලා ඉඳලා ගනාපු ගැට කිඹුල් තඩියගෙ දිග 16 කට වැඩියි. කාලෙකට ඉස්සෙල්ලා ඒකනම් හැදුවෙ කොලඹ විශ්ව විද්‍යාලෙ සුරතිස්ස ආචාර්යතුමා. ජයසූරිය මහත්තයා හදාපු හැල කිඹුලෙකුත් ඉන්නවා.

    ඉතින් මේක කියවන කස්ටිය පොලොන්නරුව පැත්තෙ ආවොත්, ගිරිතලේ වැව් බැම්ම උඩින් ඇලහැර පාරෙ කිලො මීටර් 2 ක් ඇලහැර පැත්තට ඇවිත් අපේ ක‍ටු ගේ බලලා යනවා නම් අපි කැමතියි. ගිය පාර නිවාඩුවට ලංකාවට ආපු වෙලාවෙ අපේ හෙන්රියා නම් (Henryblogwalker) කොලු පැටියයි නංගියි එක්ක තකහනියක් ඇවිත් දවස් දෙකතුනක් ඉඳලම ගියා.

    9+Edited.jpg
    10.jpg


    නිම කල ගෝනාගේ නිදර්ශකය
    හැබැයි ඉතින් ආණ්ඩුවෙ වැඩක් නිසා අපේ ක‍ටුගේ බලන්න පොඩි මුදලක් අය කරනවා. සුද්දන්ගෙන් නම් ලංකාවෙ අයගෙන් ගන්න මුදල වගේ දහ ගුණයක් ගන්නවා. අය කිරීම් දැක්වෙන දැන්වීම බලන සුද්දෝ වැඩි දෙනෙකුට මල පනිනවා. උන් ජනේලෙ ගාවට ඇවිත්, අත රවුම් කරලා මූණ වටේට තියලා නොමිලෙම වීදුරුවෙන් ඇතුළ බලලා ආපහු යනවා.

    B+Leopard.png
    අවුරුද්දෙ දවස් තුන්සිය හැටපස් දවසෙම අපේ ක‍ටුගේ විවෘතයි. සුසන්තට හරි ට්‍රෙවිස්ට හරි කලින් ඇමතුමක් දුන්නොත් පාසල් දරුවො වගේ විශේෂ කණ්ඩායම්වලට වීඩියෝ දර්ශණ ඇතුලත් වනජීවී සංරක්ෂණය ගැන දැනුවත් කිරීමේ වැඩසටහනක් යොදා ගන්න පුලුවන් (027 2246773, 4). ඒවට අය කරන්නෙ නෑ. කෞතුකාගාරය බලන්න එන අයට වැඩිදුර විස්තර ලබාදීලා උදව් වෙන්නෙ ලඟදී දෙපාර්තමේන්තුවෙ සේවයට එක්වුනු ජයසූරිය මහත්තයාගෙ පුතා, අසංක. උගෙත් ඇඟ පුරාම මොළේ. ජීවිතේට සතෙක් කුරුල්ලෙක් දිහා නොබලපු එකෙක් ආවත්, බලෙන්ම වනජීවී සංරක්ෂණය ඇඟේ ගහලා අරින්න දක්ෂයි.


    ගිරිතලේ ජාතික වනජීවී කෞතුකාගාරයෙ ප්‍රදර්ශණය වෙන්නෙ වන සත්තුන්ගෙ නිදර්ශක විතරක්ම නෙමෙයි. ඉතාම නිහඬව, කිසිම කං කෙඳිරියක් නැතිව, අවුරුදු තිස් ගනණක් තිස්සෙ මේ රටේ වනජීවී සම්පත් සංරක්ෂණය කරන්න තමන්ගෙ උපරිම කාලය, ශක්තිය හා ජීවිතේ තවත් බොහෝ දේ වැය කරපු මිනිහෙකුගෙ අප්‍රමාණ කැපවීම හා නිර්මාණශීලීබවත් එතන ප්‍රදර්ශණය වෙනවා.

    B+Deer.png
    L+Skeleton.jpg
    5.JPG
    10.JPG
    12.JPG
    25.JPG
    29.JPG
    11.JPG
    41.JPG


    repost ද දන් නැ
    කතෘ අයිතිය-ගාමිණී විජිත් සමරකෝන්
    උපුටාගැනීම--ගාමිණීගෙ විජිතය