දේශපාලන වාසි ලබා ගන්න එහෙම නැතිනම් ඩීල් සංස්කෘතියක් ඇති කරන්න ඒවාට යටවෙලා පාස්කු පරීක්ෂණත් වෙනදා සිදු වූ ආකාරයටම කාපට් එක යට හැංගීමට කිසිදු උත්සාහයක් දැරිය යුතු නැති බවත් ඒවා අපි බලාපොරොත්තු නොවන බවත් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ පවසයි.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (03) කොළඹ අගරදගුරු නිල නිවසට පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අගරදගුරු හිමියන්ට හමුවීමට පැමිණි අවස්ථාවේදීය. නැගෙනහිර හිටපු ආණ්ඩුකාර, ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා සෘජුව සම්බන්ධතාවයක් දක්වන බැටිකලෝ කැම්පස් නම් ආයතනයට මුදල් ගලා ඒම පිළිබඳව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාවේදී තොරතුරු හෙළිවී තිබිම සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරමින්ය.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් අගරදගුරු හිමිපාණන් වහන්සේ පැවසුවේ ” අපි දන්නේ එක දෙයයි. අපි අඳුරේ ඉන්නේ. කොමිසමේ කාලේ ඉවර වෙන්න යන්නේ. පාස්කු ප්‍රහාරයට වගකිවයුතු කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් තමයි මේ බව දැන දැනත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැති දේශපාලඥ – ආරක්ෂක කණ්ඩායම. ඊට වඩා ලොකු කණ්ඩයම තමයි මේ ප්‍රහාරය සැලසුම් කරපු , ඊට මුදල් වියදම් කරපු ඒ අන්තවාදීන්ට උදව් කරපු අය. ” යනුවෙනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් එම කොමිසමේ සාක්ෂි දීමට පැමිණෙන දේශපාලඥයින් සහ ආරක්ෂක අංශවල සාමාජිකයින් පිළිබඳව තොරතුරු මාධ්‍ය මගින් හෙළිකළද එයට සෘජුවම සම්බන්ධ පිරිස් පිළිබඳව තොරතුරු කිසිවක් වාර්තා නොකරන බව පැවසීය. ” ප්‍රහාරයට සෘජුව සම්බන්ධ අනෙක් පාර්ශවය පිළිබඳව සෑහීමට පත්වෙන් පුළුවන් පරීක්ෂණයක් වෙලා නෑ. ආණ්ඩුවෙන් ඉල්ලන්නේ අවාසනාවන්ත ලෙස මේක පස්සට දාන්න එපා. අරක්ෂක අංශ නිදාගන්න හොද නෑ. ප්‍රහාරය පිටුපස්සේ හිටපු අයත් එක්ක ඩීල්වලට යටවෙලා වෙනදා වගේ පරීක්ෂණ කාපට් එක යට හංගන්න එපා. ජනාධිපතිවරයා ස්ථීර පොරෝන්දුවක් දුන්නා. ආණ්ඩුව ඒක කරන්නේ නැත්නම් අපිට වෙන විකල්පයක් හොයන්න වෙනවා. වෙන කණ්ඩායමක් පත් කර ගන්න වෙනවා.” යනුවෙන් අවධාරණය කළේය