කාලි යනු කව්රුන්ද? මෙයයි කාලි යක්ෂණියගේ කතාව |

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo


    කාලි යක්ෂණියගේ කතාව
    ඔන්න පුංචි යාලුවනේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කාලි යක්ෂණියගේ කතාව.
    න හී වේරේන වේරානී
    සම්මන්තීධ කුදාචනං
    අවේරෙන ච සම්මන්ති
    එස ධම්මෝ සනන්තනො
    වෛරයෙන් වෛරය නොසන්සිඳේ. අවෛරයෙන්ම වෛරය සන්සිඳේ. එය සැමදා පවත්නා ස්වභාවයකි.
    ඒ දවස් වල යාලුවනේ අපේ බුදුපියාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ තමයි වැඩ වාසය කළේ. ඒ සැවැත් නුවර සතුටින් ජීවත් වුණු මව්පිය දෙපළක් හිටියා. එයාලට සුරතල් පුංචි දරු පැටියෙකුත් හිටියා. ඔන්න යාලුවනේ දවසක් ඒ තරුණ අම්මා තමන්ගේ දරුවගේ තොටිල්ල ළඟට යනකොට කළුම කළු දත් දෙකකුත් එළියට ඇවිත් තියෙන කෙනෙක් එතන ඉන්නවා දැක්කා. මේ අම්මා කෑගහගෙන ගෙට දිව්වා. එතකොට තමයි හරියටම දැක්කේ ඒ ඉන්නේ යක්ෂණියක් කියලා. ඒ යකින්නි හයියෙන් හිනා වෙලා නොපෙනී ගියා. ළඟට ගිහින් බලනකොට ළමයා මැරිලා හිටියා. ඒ යකින්නි ළමයගේ ලේ බීලා. අම්මායි තාත්තයි ගොඩක් දුක් වුණා.
    ඉතින් යාලුවනේ ටික දවසක් යනකොට ආපහු මේ අම්මාටයි තාත්තටයි දරු පැටියෙක් ලැබුණා. අර යකින්නි ආපහු ආවා. ඒ ළමයගෙත් ලේ බීලා මැරුවා. ඒ වතාවෙත් අම්මයි තාත්තයි හොඳටම ඇඬුවා. ආයෙමත් ඒ අම්මටයි තාත්තටයි ලස්සන දරු පැටියෙක් ලැබුණා. මේ අම්මයි තාත්තයි බයෙන් හිටියේ. මේගොල්ලන්ට හිතාගන්න බෑ මොකක්ද මේ වෙන්නේ කියලා. මැණිකක් වගේ හරි පරිස්සමෙන් මේ දරුවාව ආරක්ෂා කළා. දවසක් මේ අම්මා නාන තොටුපළට දරුවව අරගෙන ගියා. දරුවා නාවලා ඉවුරෙන් තියලා අම්මා නාන්න ගත්තා. මේ අතරෙදි ඈතින් කළුපාට තිතක් වගේ දෙයක් එනවා අම්මට පේනවා. අම්මට වැටහුණා කාරණය මොකක්ද කියලා. අම්මා හයියෙන් කෑගහගෙන දරුවත් අරගෙන බුදු හාමුදුරුවෝ වැඩ සිටි ජේතවනාරාමයට ගියා. ඒ වෙලාවෙදි බුදු හාමුදුරුවෝ දම්සභා මණ්ඩපයේ වැඩ සිටියා.
    ඉතින් යාලුවනේ මේ අම්මා දුවගෙන ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඉදිරිපිට තමන්ගේ දරුවාව තියලා බුදුහාමුදුරුවන්ට විස්තර කිව්වා. මේ යක්ෂණිය තමන්ගේ දරුවා විනාශ කරන්න හදන බවත්, පෙර දරුවන් දෙදෙනාම විනාශ කරපු බවත් මේ අම්මා බුදුහාමුදුරුවන්ට කිව්වා. යක්ෂණිය ජේතවනාරාමය ඇතුළට ආවේ නැහැ. දොරටුව ළඟට වෙලා හිටියා. ඊට පස්සේ පුංචි යහලුවනේ බුදුහාමුදුරුවෝ මේ යක්ෂණියට කතා කළා. යක්ෂණිය බයෙන් බයෙන් බුදුහාමුදුරුවො වැඩ සිටි ස්ථානයට ආවා. ඇවිල්ලා පැත්තකින් ඉඳ ගත්තා. ඒ අතරෙදි බුදු හාමුදුරුවෝ මේ යක්ෂණියට කිව්වා තමන් වහන්සේ කියන ගාථාව හොඳින් අහගන්න කියලා. අර්ථය සිහි කරන්න කියලා. එතකොට ඒ යක්ෂණියගේ පව්කාර ජීවිතයෙන් ඇයට ගැලවෙන්නට පුළුවන් බව බුදු හාමුදුරුවෝ දේශනා කළා. ඔයාලා දන්නවද බුදුහාමුදුරුවො කිව්ව ගාථාව මොකක්ද කියලා. මම මුලින් ම ඒ ගාථාව සඳහන් කළා.
    න හී වේරේන වේරානී
    සම්මන්තීධ කුදාචනං
    අවේරෙන ච සම්මන්ති
    එස ධම්මෝ සනන්තනො
    ඔය ගාථාව ඇහෙන කොට යක්ෂනිය අඬන්න ගත්තා. රැස් වෙලා හිටපු පිරිසටත් මේක මහා ප්‍රශ්නයක් වුණා. කුතුහලයක් වුණා. ඈත අතීතයේ මිනිස් ලෝකයේදී ඇති වුණු වෛරයක් පලිගැනීමක් විදිහට භවයෙන් භවයේ ඇදීගෙන ආපු හැටි බුදු රජාණන් වහන්සේ පහදලා දුන්නා. ඔයාලට මම දැන් ඒ අතීත කතාව කියන්නම්.
    එක්තරා කාලෙකදි සැවැත් නුවර මේ යක්ෂණියයි මේ අම්මයි එකම පවුලක බිරින්දෑවරු දෙදෙනෙක් වෙලා හිටියා. ඒක මෙන්න මෙහෙමයි වුණේ. එක්තරා ධනවත් පවුලක පුරුෂයෙක් කාන්තාවක් විවාහ කර ගත්තා. ඒ කාන්තාවට දරුවන් ලැබුණේ නැහැ. මේ නිසා ඒ දෙමව්පියෝ කණස්සල්ලෙන් හිටියේ. දරුවෙක් නැති වුණොත් පරම්පරාව විනාස වෙනවයි කියලා නිතර රණ්ඩු කළා. ඒ නිසා ඒ පුරුෂයා තවත් කාන්තාවක් විවාහ කර ගත්තා. ඒ කාන්තාවට බොහොම සැලකිලි ලැබුණා. කලින් විවාහ කර ගත්තු කාන්තාව මේ කාන්තාවට ඊර්ෂ්‍යා කරන්න පටන් ගත්තා. ටික කාලයක් යනකොට මේ අලුතෙන් ආපු කාන්තාවට දරුවෙක් ලැබෙන්න හිටියා. ඉතින් ගොඩක් සතුටට පත්වුණු මේ කාන්තාව හැමෝටම ඒ ගැන කිව්වා. කලින් විවාහ වුණු කාන්තාවටත් ඒ ගැන කිව්වා. ඒ කාන්තාවට මේ ගැන ඉරිසියාවක් ඇති වුණා. ඇස් රතු වුණා. තරහවක් ඇති වුණා. ඒ නිසා මේ කලින් බිරිඳ මොකක්ද දන්නවද කළේ. දෙවැනි බිරිඳට ලැබෙන්න හිටිය දරුවා විනාශ කරන්න වස දුන්නා. ඉතින් මේ දරුවා බඩේ ඉන්නකොටම මරණයට පත්වුණා. මේ කාන්තාව යාන්තමින් බේරුණා. කාටවත් හිතාගන්න බැරි වුණා මේ සිදුවුණු දේට හේතුව. ඔහොම කාලයක් ගතවෙනකොට ආයෙමත් මේ කාන්තාවට දරුවෙක් ලැබෙන්න හිටියා. ඉතින් ඇය ආයෙමත් සතුටු වුණා. හැමෝටම මේ ගැන කිව්වා. අර කලින් කාන්තාවටත් මේ ගැන කිව්වා. එතකොට ඒ කාන්තාව ආයෙමත් දරුවා කුසේ දීම විනාශයට පත් වෙන්න බෙහෙත් දුන්නා. ඉතින් ඒ දරුවත් මරණයට පත් වුණා. ඒ වෙලාවෙත් මේ කාන්තාවගේ ජීවිතය බේරුණා. ඒ වෙලාවෙදි ගෙදර හැමෝම පළමු කාන්තාව සැක කළා. රණ්ඩු දබර ඇති වුණා.
    කලක් ගතවෙන කොට යාලුවනේ, ආයෙමත් දෙවැනි කාන්තාවට දරුවෙක් ලැබෙන්න හිටියා. නමුත් මේ ගැන කාටවත්ම කියන්න ගියේ නැහැ. ඉතාමත් පරිස්සමෙන් තමන්ගෙ දරු ගැබ ආරක්ෂා කළා. ඒ වුණාට දරුවා ටිකෙන් ටික වැඩෙනකොට ඒ කාන්තාවගේ කුස ඉදිරියට නෙරා ආවා. ඒකෙන් මේ පළමු කාන්තාව දැන ගත්තා ආයෙමත් දරුවෙක් ලැබෙන්න ඉන්න බව. ඇය හොර රහසේම දරුවාව මැරෙන්න බෙහෙත් දුන්නා. මව්කුසේ ඉන්නකොටම ඒ දරුවත් මියදුණා. ඒ වගේම තමයි මේ දෙවැනි කාන්තාවට ගොඩක් අමාරු වුණා. ඇයත් මැරෙන්න ආසන්නවයි හිටියේ. ඒ අම්මට ඇතිවුණු වේදනාව, කම්පනය, දුක නිසාම මේ අම්මා තරහෙන් කෑ ගැහුවා. උපදින හැම ආත්මයකම ඒ ගැහැනියගෙන් පළිගන්න බව කිව්වා. මේ තරහෙන්ම ඇය මියගියා.
    දන්නවද යාලුවනේ ඊට පස්සේ ආත්මෙදි ඒ දෙන්නා සත්තු වෙලා ඉපදුණා.ඒ ආත්මයේදී එකිනෙකාගේ දරුවන් විනාශයට පත් කළා. ඉතින් මේ ආත්මෙදි යක්ෂණිය වෙලා තියෙන්නෙ එදා ද්වේශයෙන් මැරුණු දෙවෙනි බිරිඳ. මිනිස් දුවක් වෙලා තියෙන්නෙ එදා වස දීලා දරුවන්ව විනාශ කරපු පළවෙනි බිරිඳ. මේ දෙන්නා ආත්මයෙන් ආත්මය වෛරයෙන් තමයි කටයුතු කරලා තියෙන්නෙ. එකිනෙකාගේ දරුවන් මරන්න මෙයාලා කටයුතු කළා.
    ඉතිං යාලුවනේ බුදුහාමුදුරුවෝ ඔය විදියට වෛරයට හේතු වුණු කරුණු පැහැදිලි කළා. බුදු හාමුදුරුවෝ ඒ වෙලාවේ දී දේශනා කළා වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නැහැ කියලා. අවෛරයෙන් ම තමයි වෛරය සංසිඳෙන්නේ කියලා. කලින් සඳහන් කරපු ගාථාවෙන් පැහැදිලි වෙන්නේ ඒ ගැන. ඉතින් පුංචි යාලුවනේ ඔයාලත් පොඩි කාලේ ඉදන්ම පුරුදු වෙන්න ඕනේ කාටවත් වෛර නොකර ජීවත් වෙන්න. හැමදෙනාටම මෛත්‍රී කරන්න පුරුදු වෙන්න ඕනේ. මේ කතාවෙන් ඔයාලට ගන්න පුළුවන් ආදර්ශය තමයි ඒ.
    ඉතින් යාලුවනේ ආයෙමත් දවසක මේ වගේ දහම් කතාවක් අරගෙන මම එන්නම්. ඔයාලට සුභ අනාගතයක් වේවා!!!
    ------ Post added on Aug 5, 2021 at 2:44 AM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,391
    1
    62,016
    113
    Mother Earth
    එක එක්කෙනාගෙ විශ්වාසය තමයි. මගේ හිතට අනුව බුදු හාමුදුරුවො ඇරෙන්න වෙන කෙනෙක් ගැන මම විශ්වාස කරන්නෙම නෑ.