කැලණි සරසවි සිසුන්ගේ මවුපියෝ ‘අන්තරේට’ එරෙහි උද්ඝෝෂණයක
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ අත්තනෝමතික ක්‍රියාකාරීත්වය කෙරෙහි දැඩි විරෝධය පළ කරමින් සරසවි සිසුන්ගේ මවුපියන් ප්රමුඛ කැලණිය ප්‍රදේශවාසීහු කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (27) උද්ඝෝෂණයක නිරත වූහ.
![]()
කැලණිය සරසවිය ඉදිරිපිට ඊයේ පැවැති උද්ඝෝෂණයේ අවස්ථාවක්.
‘අන්තරය වහා ඉවත් වනු’, ‘ජනපතිතුමනි අන්තරය තහනම් කරනු’ ‘අහිංසක ශිෂ්‍ය දියණියන් ගැන නොසිතන JVP අන්තරේ වහා පන්නනු’ ‘විභාගය අතළඟ අන්තරේ දොර ළඟ’ යනුවෙන් සටන්පාඨ පුවරු ප්‍රදර්ශනය කරමින් ප්‍රදේශයේ ජනතාව පැයකට ආසන්න කාලයක් විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතා පැවැත්වූහ.
එම අවස්ථාවට සහභාගි වූ බියගම කාන්තා සංවිධානයේ සාමාජිකා බිමල්කා පොත්තෙවෙල මහත්මිය සඳහන් කළේ විශ්වවිද්‍යාලයේ සීමිත සිසුන් පිරිසක් මෙහෙයවන අන්තරය මගින් පටු දේශපාලන වාසි තකා සරසවි සිසුන් අධ්‍යාපනයෙන් බැහැරව සරසවිය තුළ කලහකාරී වාතාවරණයක් ගොඩනගන බවය.
ඈත ප්‍රදේශවලින් පැමිණෙන බහුතරයක් සිසුන් මෙම අන්තරයට යටත්වන බවද සියලුම සරසවි සිසුන් වෙනුවෙන් අන්තරයට විරෝධය පළ කරන බවද පොත්තෙවෙල මහත්මිය පැවසුවාය.
එම අවස්ථාවේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු සඳහන් කළේ පෙරේදා (26) කොළඹ අභියාචනාධිකරණ මහේස්ත්‍රාත් මහී විජේවීර මහතාගේ නියෝගයට අනුව එදින නේවාසිකාගාර වලින් සිසුන් පිරිසක් ඉවත්ව ගිය බවත් පොලිසිය ඒ සම්බන්ධයෙන් වන සියලුම නීතිමය පියවර මේ වන විට ගෙන ඇති බවත්ය.
ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටි අතර උද්ඝෝෂණයෙන් අනතුරුව ඔවුහු සාමකාමීව විසිර ගියහ.









