කියන_තරම්_සුගති_භවයන්_දුලභද

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    #කියන_තරම්_සුගති_භවයන්_දුලභද?
    අපි හැම මේ ගෙවාගෙන එන සසර ගමන ඉතා බියකරු කටුක සසරක් බව ඔබ අසන ලද ධර්ම දේශනා ආශ්‍රයෙන් හා කියවන ලද ධර්ම ග්‍රන්ථ ආශ්‍රයෙන් පැහැදිලි වී ඇත..

    අද මේ ලිපියෙන් ගෙනහැර දක්වනුයේ
    •සසර යනු කුමක්ද..
    •සුගතියක ඉපදීම කෙතරම් දුලභද යන වගය..

    සංසාරය සංසාරය කියා ඔබ කෙතෙක් අසා ඇතිමුත් යම් විටෙක සසර යනු කුමක්ද යන්න ඔබ හරියාකාරව නොදන්නවා විය හැක.. සසර යනු "ක්ෂණයක් පාසා ඉපිඳ බිඳී යන නාම / රූප ධර්මතාවයන්ට ම කියන තවත් නමක් කීවොත් ඔබ පුදුමයට පත් නොවැනු ඇත.. පුහුදුන් සත්ත්වයා සිතා සිටින්නේ සසර යනුවෙන් එක්තරා ස්ථානයක් හෝ ස්ථානයන් ගණනාවකි.. එය සම්මුතියෙන් සිතුවද වරදක් නොවුනමුත් පරමාර්ථ වශයෙන් මේ ලිපිය ලියා දක්වන බැවින් පරමාර්ථයට ම මුල් තැන දී අවබෝධ කර ගන්නට උත්සුක වෙත්වා..

    ඔබ අප මේ "ජීවත් වනවාය" යනුවෙන් කියනු ලබන්නේම චිත්ත, චෛතසික, රූප ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වයට නැතිනම් නොසිඳී පැවැත්මටමය..

    මරණය කොටස් තුනකි.. එනම් ක්ෂණික මරණය, සම්මුති මරණය, සමුච්ඡේද මරණයයි.. මරණ නම් එක් භවයකට ඇතුළත් ජීවිතෙන්‍ද්‍රිය සිඳී යාම ය.. එය ජීවිතින්‍ද්‍රියොපච්ඡේද මරණය යි කියනු ලැබේ.. ඒ හැරැ සමුචේඡද මරණය, ක්‍ෂණික මරණය, සම්මුති මරණය යි, තවද මරණ තුනෙක් ඇත්තේ ය. සමුචේඡද මරණ නම් රහතන් වහන්සේගේ සියලු සසර දුකින් මිදීම සංඛ්‍යාත මරණය යි.. ක්‍ෂණික මරණ නම් සංස්කාරයන්ගේ ක්‍ෂණ භඞ්ගය යි.. සම්මුති මරණ නම් “ගස මැරුණේය” යනාදි වශයෙන් පවත්නා ලෝක සම්මත මරණය යි..

    සත්‍යවශයෙන්ම සුගති ආත්මභාවයන් දුලභ කුමණ හේතුවක් නිසාද යන්න පැහැදිලි කර ගැන්මට නම් අභිධර්මාණුකූලව ම මේ ගැටලුවට පිළිතුරක් ලබාගත යුතුය.. වැඩි ගැඹුරකට නොගොස් මෙය විසඳාගනිමු..

    ඔබට මුලින් මා, ජිවත් වීම කියන්නේ චිත්ත, චෛතසික, රූප ධර්මතාවයන්ගේ ක්‍රියාකාරීත්වයටම යන්න පැහැදිලි කළෙමි.. දැනට ලෝකයේ ජීවත් වන බිලියන ගණනක් වූ මිනිසුන් අතරින් "බුද්ධ" යන වචනය අසා ඇත්තේ ඉතා සුලු කොටසකි.. බුද්ධෝත්පාද කාලයකත් එම වචනය අසා දැන ගැනීමට මිනිසුන්ට පින නැති බව දැන් ඔබට වැටහෙනු ඇත..

    දැන් මොහොතකට සිතා බලනු මේ විශ්වයේ සත්තවයන් කොතරම් ඇතිද.. ඒ සත්ත්වයන් අතරින් බුද්ධ යන වචනය ඇසීමට කොතරම් පිරිසක් අපොහොසත්ද.. යම්කිසිවෙකුට සුගතියක උපත ලැබීමට අවශ්‍යනම් අවසන් මරණාසන්න චිත්තවීථියට කුසලාරම්මණයක් පහලවිය යුතුමය.. අකුසලාරම්මණයකින් සත්ත්වයා පමුණුවන්නේ දුගතියටමය..

    ලෝභ සහගත චේතනාවකින් සත්ත්වයා මළේ නම් බොහෝ සෙයින් ප්‍රේතාදී අපායන් වල එම සත්ත්වයන් උපදිනු ඇත.. ද්වේශය අධික කෙනෙක් එම චේතනාවෙන් කලුරිය කලේ නම් ඔහු බොහෝ සෙයින් නරකයේ උපදිනු ඇත.. මෝහයෙන් යමෙක් මැරුණු විට බොහෝ සෙයින් තිරිසන් ගත ආත්ම භාවයන් වල උපදින වග ධර්මයේ සඳහන් වනු ඇත..

    ඔබට එක තත්තපරක් ඇතුලත කුසලයක් සිහි කර ගැන්මට කිවහොත් ඔබට සිතා ගතවත් නොහැකිවනු ඇත මා කුමක් සිහි කරගන්නේ ද කියා.. එසේ කියන විටත් ඔබ ප්‍රයත්නයක් දරන්නේ හොඳම කුසලයක් සිහි කර ගෙන හොඳ තැනකට යාමටය.. නමුත් එසේ විය හැකිද යන්න සිතා බලනු.. තත්තපරයකට සිත් කෝටි ලක්ෂ ගණන් ඇතිව නැතිවී යති..

    අවසන් මරණාසන්න චිත්තවීථියේ ජවනයන්ට කුසලයක් ඒම කෙතරම් දුලභ කරුණක්ද යන්න සිහියෙන් මොහොතක් සිතා බැලුවහොත් එය ඔබට
    වැටහෙනු ඇත..

    මේ ලෝ තුල ජීවත් වන සත්වයන්ට ඉන්ද්‍රිය පස පිහිටා ඇත.. එම ඉන්ද්‍රියන් වලින් සත්ත්වයා පුරුදු වී ඇත්තේම එන එන ආරම්මණයන් වලට මුලාවීමය.. මෙතැනදී ඔවුනොවුන් යම්විටෙක සිතාමතාම මුලාවන අතර තව සමහරෙක් නොදන්නා කම නිසාම මුලා වනු ඇත.. සඳහන් කල කුමකින් මුලා වුවද එය අනර්ථයක්මය.. මෝහ මූල චෛතසික දෙක සත්ත්වයා උපතත් සමගම ගෙන එන චෛතසික දෙකකි.. එය කෙතරම් භයානක තත්ත්වයක්ද යන වග යම් විටෙක සිතා ගත වත් නොහැක. මව් කුස තුල සත්ත්වයා පහල වන විටම මුලින්ම ඇති වන්නෙ ලෝභ මූලික වූ සිත් පෙලකි.. මෝහයද එහි එල්බගෙනම ඇත..

    හිතන්න ඔබ මරණයට පත්වීමට මරණමංචකයේ ඇති කෙනෙක් යනුවෙන්..

    මේ අවසාන මොහොතෙත් ඔබේ සයායතනයන් හරහා ආරම්මණයන් ගලාගෙන එන අතර වැඩිමනක්ම පහලවනුයේ අකුසලයන් ය.. කුමක් හෙයින්ද මරණාසන්න වේදනාව පෘථග්ජන භූමියේ ජිවත්වන ඕනෑම කෙනෙකුට බිය ගන්වන වගේම දුක්ඛයන් අතර මරණ දුක ඉතාම ප්‍රබලම තැනක් ගන්නා බැවිනි.. සමහරවිට ඔබ අසා ඇත අනාතපිණ්ඩික සිටානන් මරණ මොහොතේ මොන තරම් දුකක් වින්දාද කියා..

    මරණ කාලයේ ඔබට ගරුක, ආසන්න, ආචින්න, කටත්තා යන කර්මයන්ගෙන් එකක් ඇතිවන අතර එම මොහොතේ ගන්නා ආර්ම්මණය සමග ලබන භවය කුමණ තලයකද යන්න තීරණය වනු ඇත..

    බුද්ධෝත්පාද කාලයකත් බුදු බණ පදයක් ශ්‍රවණය කිරීමත් දුලභ නම් අබුද්ධෝත්පාද කාලවල කොපමණ දුලභද කියනවානම් "චතුරාර්‍ය සත්‍ය" කියන වචනය වත් අසා ගන්න දැන ගන්නට නොලැබේ.. මේ ගෞතම බුද්ධ සාසනය පන්දහසක් කල් පැවතී නැතිව යනු ඇත.. පසුව එලඹෙනුයේ අබුද්ධෝත්පාද කාලයකි.. මිනිසාගෙ ආයුෂ දහට අඩු වී නැවත අසංඛ්‍යෙට වැඩි වී නැවත ආයුෂ අසූදහසට අඩූ වූ කල මෛත්‍රී බුදු රජාණන් වහන්සේ ලොව පහල වනු ඇත.. බුද්දෝත්පාද කාලය වසර පන්දහසකි.. අබුද්ධෝත්පාද කාලයේ දීරඝතත්වය ඔබට මට සිතා ගතවත් නොහැකිය..

    දිනකට 1440 ක් වූ විනාඩි ගණනින් සාමාන්‍ය සත්ත්වයා හට පහල වනුයේ බොහෝ සෙයින් අකුසලයන් ය.. එනිසා මරණාසන්න කාලයේ කුසලයක් සිහිපත් වන බව කෙතරම් දුලභද යන්න මොහොතකට සිතනු.. ඔබේ ගැලවුම්කාරයා ඔබමය.. පහලට හෙලන හුස්ම පොද නැවත ඉහලට ගන්නට බැරිව මියැදීමට ඉඩ ඇති ඝෝරතර ලෝකයක ඉන්ද්‍රියන් තුලින් ගන්නා ලද ආරම්මණයන් ට මුලා නොවීමට වග බලා ගන්නට නම් ධර්මයේම සිත පිහිටුවා නිවන් ශාක්ෂාත් කළගත යුතුමය..

    ඇසිපිල්ලමක් ගසන විට සිත් කෝටි ලක්ෂ ගණන් පහල වන විට හිතන්න ඔබ කෙසේ කුසලයක් සිහි කර ගන්නද? එවෙලෙට සිහි කර ගන්නට නොහැකි අතර එන ආරම්මණයයක එල්බගෙන ඔබට මෙලොවින් සමුගැන්මට අවකාශය උදාවනු ඇත.. මිනිසුනට මෙතරම් දුලභ නම් සුගතියක ඉපදීමට අන් සත්වයන් ගැන කවර කතාද.. ඒ අයට බුදු බණ පදයක් සිහිවන එක ගැන සිතා ගැන්මටවත් නොහැක.. ඒ අය කවද අහපු බණ ද.. අසරණකමක මහත්වය...

    නිතරම ඒ ඒ සත්ත්වයන් අකුසල මූලයන්ගෙන් පීඩිතව දුක් විඳිති.. කුසලයක් ඇතිවන්නට කොහෙන් හෝ බුදු බණ පදයක් ඇසිය යුතුය.. මහ සාගරයේ ජීවත් වන සත්ත්වයන් හට එසේ කවදා බුදු බණ පදයක් ඇසේවිද යන්න මොහොතක් සිතනු.. අසරණකමක මහත්වය.. මේ ජීවිතයෙන් පසුව ඔබද එවැනිම වූ නරක, ප්‍රේත, තිරිසන් අසුර යන අපායන් වල ඉපදීමට ඕනෑතරම් හේතුකාරණා ඇත.. එම නිසා ප්‍රවේශම් වීම ඔබ සතුය..

    ගැල්වෙන්නට පාර ඇති විට පැටලෙන්නට නොයන්න.. අයහපත් වේදනාවන්ගෙන් පීඩාවන් විඳින්නට වන්නේ ඔබටමය..

    මහාසාගරයේ කෙස් ගසක් ගිල්වා ගත් කල එම කෙස් ගසට එන වතුර බින්දුව වගේ පුංචි ප්‍රමාණයක් සුගතියේ උපදිනු ඇත.. මහ මුහුදේ ඉතිරිව ඇති ජලස්කන්ධය වගේ ප්‍රමාණයටත් වඩා පිරිසක් දුගතියේ උපත ලබනු ඇත.. ඔබ ඇත්තේ කෙස් ගසේද මහ මුහුදෙද යන වග මොහොතකට සිතා කොයිකක සිටියත් මගඵල ශාක්ෂාත් නොකරගෙන ඇත්නම් දුගතියේ ඉපදීමට අවකාශයන් අපමණය.. වීර්‍ය වඩා එතෙර වෙත්වා.. ඔබෙත් මගෙත් ඒකාන්ත මහගෙදර සතර අපායයි..

    වෙහෙස නොවන්න කාමයන් පරිහරණය කරන්නට වෙහෙස වන්න සසර කතරින් එතෙර වන්නට.. හැකි කල නොකලේ වී නම් නොහැකි කාලයේ අවශ්‍ය වුවද නොහැකි වනු ඇත එතෙර වන්නට..
     
    • Like
    Reactions: kinkon