පෙර භවය
මතු භවය
සංසාරය
මේ සේරම තියෙන්නේ අපගේ වර්තමාන සිත තුළ ...
සංසාරය යනු වර්තමානය සිතයි
මේ මොහොතයි
පච්චුප්පන්නයයි
වර්තමාන මොහොතට
ඇලීම් ගැටීම්
පෙළීම්
පවතින තාක් ඔබව සංසාරයේ රැගෙන යයි ...
පච්චුප්පන්න මොහොතේ
ඇලීම් ගැටීම් වලින් තොරව
පිරිසිඳක් දැකීම මගින්
සතිපට්ඨානයෙ සිත පිහිටුවීම මගින්
පච්චුප්පන්නය පිරිසිඳ දැකීමෙන්
සත්වයා නිවන අත්දකියි !
( බොහෝ විට සෝතාපන්න ඵලය අධිගමහනය )
ඉන්පසු ක්‍රමක්‍රමයෙන්
සංයෝජන ධර්ම එකින් එක
මුලිනුපුටා දැමීම මගින්,
උත්තරීතර අරිහත් මාර්ගඵලය අධිගමනයෙන්
උත්තරීතර අසංඛත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරයි !
පච්චුප්පන්නයේ පිරිසිද නොදැකීම මගින් අතීතය වර්තමානය අනාගතය නම් කාලත්‍රය බිහිවේ !
පච්චුප්පන්නය පිරිසිද නොදැකීමෙන් කාලය අවකාශය බිහිවේ !
නැති දෙයක් ඇති සේ දැනෙන්නේ අවිද්‍යාව නිසා
පටිච්චසමුප්පාද ධර්මයෝම අවිද්‍යාව නිසා හට ගනී
මෝහනය කර පුද්ගලයෙකුට සැබවින්ම නොපවතින "වලක" ඔබ වැටී ඉන්නේ යයි ඒත්තු ගැන්වීම ; එවිට එම පුද්ගලයා එයට බිය වී ඇලෙනවා ගැටෙනවා ; බේරීමට දඟලනවා ; නමුත් සැබවින්ම එතන වලක් නෑ ; පවතින්නම බෑ ; එම පුද්ගලයා මෝහනයේ සිටින නිසා පවතින්න බැරි එම වල පවතිනවා යයි මුලා වෙලා කටයුතු කරනවා
මේ වගේම තමයි සංස්කාර ලෝකයත් ; සැබවින්ම නොපවතින ලෝකයක මුලාවට මෝහයට පත් වූ සත්වයා ; සැබැවින්ම නොපවතින, පවතින්නම බැරි ලෝකය හා ඇලෙයි ගැටේ ; අවිද්‍යාව නම් මෙය වේ.
අවිද්‍යාව නිසා පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය වේ
ඉන්ද්‍රිය උපාදානය නිසා ආයතන වේ
සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් යන මාර්ග ඵලයන්ද, නිවනද, අවබෝධයද " බාහිරින් පවතිනවා " යැයි ගත්තද එය සැබැවින්ම පවතින්නේ " තමා තුළමය " :- බාහිරින් පවතිනවා යැයි සිතා එය ලබාගැනීමට උත්සුක වීම කාන්තාරයක අතරමං වූ පිපාසිත පුද්ගලයකු මිරිඟුව "පවතිනවා" යැයි සිතා එය පසුපස ලුහුබැඳ යන්නාක් වැනි නිෂ්ඵල ක්‍රියාවකි. කෙතරම් සතිපට්ඨානය පිහිටුව ද එය අවබෝධය ලබා ගැනීමට උපනිශ්‍රය නොවනු ඇත.
නිවන, ධර්මය, තමා තුළින්ම පිරිසිඳ දැකිය යුතු යැයි දේශනා කොට ඇත්තේ එනිසාය.
පෙර උදාහරණය පරිදි, මෝහනයට පත් වූ පුද්ගලයා තමා සිටින්නේ වලක යයි සිතා කෑ ගැසීම නිසා ඔහුට යමෙකු විසින් ඔහුව බේරා ගැනීමට ඉනිමගක් ලබා දෙනවා දකිනවා යැයි සිතන්න,
ඔහු එම ඉනිමග ඔස්සේ ගොඩට ඒවි
තමා නිදහස් වුණා යැයි සතුටු වේවි
නමුත්, ඔහු තාම ඉන්නේ මෝහනයේ ; මෝහයේ ...
ඔහු ගොඩ ආවද නැවතත් ඕනෑම විටක එම වලෙහි වැටිය හැකිය, වලට වැට්ටවිය හැකිය !
ඔහු ලැබිය යුතු සැබෑම "නිදහස් වීම" නම්, වලක් හෝ ඉනිමගක් හෝ තිබිය නොහැකි බව අවබෝධ කරගැනීමයි. තමා තුළින් තමා පිරිසිඳ දැකීමයි.
ලෝකය නැතැයි කියා අවබෝධ වීම නොවෙයි සත්‍යාවබෝධය ; පවතින්නම බැරි ලෝකයක් නැත කියා සිතීම එක් දෘෂ්ටියකි, අන්තයකි ( උච්ඡේද දෘෂ්ටිය )
සංස්කාර ලෝකය, ඇත නැත යන අන්ත වලින් නො පවතින්නම බෑ යැයි අවබෝධ වීම ( නිරෝධය ) දුකෙහි නිරෝධයයි.
අතීත වර්තමාන අනාගත කාලාත්‍රය ; පවතිනවා යයි සිතෙන්නේ අවිද්‍යාව නිසාය.
සිත
අවිද්‍යා පච්චයා සංඛාරසංඛාර පච්චයා විඤ්ඤාණ
සිත විඤ්ඤාණය යනු අවිද්‍යාව නිසා සැකසෙන ස්වභාවයකි.
සිත යනු මෝහය මුලාව අවිද්‍යාව නිසා ඇතිවන සංඛාර එකතුවකි.
සිත යනු ද සම්මුතියකි.
විඤ්ඤාණය යනුවෙන් යමක් ඇතැයි කියා සිතන්නේද අවිද්‍යාව නිසාය.
සිතන්න මානසික ව්‍යාධියකින් පෙළෙන පිස්සෙකු, තමාට යම්කිසි කෙනෙකු පිහියෙන් අනින්න එනවා යැයි සෑම විටම බිය වීමෙන් සිටිනවා කියා ; නමුත් ඒ ඔහුගේ මනසේ නිර්මාණයක්.
වෛද්‍යවරයා මොහුට ප්‍රතිකාර කරන්නේ
" හරි, මම ඔබ වටේට සිර කූඩුවක් හැදුවා - දැන් කාටවත් බෑ ඔබට පිහියෙන් අනින්න " කියා ඔහුගේ මට්ටමට ඔහුට ප්‍රතිකාර දීමෙනි.
සම්මත බුද්ධ ශාසනයත් මේ වගේ, ධර්මයත් මේ වගේ.
මෝහයෙන් වෙළෙන පුද්ගලයාට එම මට්ටමට සරිලන විසඳුමක් ධර්මය මගින් ලබා දී ඇත ;
කාලයාගේ ඇවෑමෙන් මෙම පිස්සාට තමාට මානසික ව්‍යාධියක් තිබූ බවත්, සැබෑවටම තමා පසුපස හඹා එන පිහියෙන් අනින්නට එන කෙනෙක් නෑ කියාත් අවබෝධ වූ කලෙක කලින් පනවන ලද සිරකූඩුවත් පැනවෙන්න බෑ කියා අවබෝධ වනු ඇත.
ධර්මයත් මේ වගේ ...
අවිද්‍යාවෙන් තොරව විද්‍යා ඇස පහළ කර ගත් සත්වයාට ධර්මයද තවත් එක් ලෝක ස්වභාවයක්, අවිද්‍යාවක් බව තහවුරු වනු ඇත.
ධර්මය සංසාරය නම් ඕඝයෙන් එතෙර වීමට ආධාර කරගන්නා පහුරක් ලෙස බුදුරජාණන් වහන්සේ දැක්වූයේ එම නිසාය.
එතෙර වූ කලෙක
ධර්මයද පසෙකින් තබනු ඇත
නිරායාසයෙන් අත්හැරෙනු ඇත
( බණ්ඩාරවෙල වංගිස ස්වාමීන් වහන්සේගේ "යන එන මං නැතිවන අවසන් දේශනාව" තුළ ඇතුළත් කරුණු සංක්ෂිප්තව ගොනුකර සකසන ලදී. )
Last edited:

