ඥාණා මට හමු වූයේ මාගේ අතිශය සමීප මිතුරෙකු හරහාය. ඇගේ පළමු හමුවීමම මා සලිත කිරීමට සමත් එකක් විය. ඈ සතු වූයේ ඕනෑම පිරිමියෙකු වසඟ කළ හැකි බැල්මකි. අතිශය දරුණු නොහික්මුණු පුද්ගලයෙකු වූ මා හික්මීයෙකු තරම් අහිංසකයෙකු බවට පත් වූයේ ඇගේ හමුවීමෙන් පසුව බව කිව යුතුමය. ඇය හමුවීමට යන සෑම අවස්තාවකම ඈ විසින් බැඳි රතු පැහැති නූල මගේ ජීවිතයේ වටිනාම සම්පත විය.
ධුරයට පත්වීමෙන් පසු දිව් රුම් දීම සඳහා ඈ ජීවත්වන නගරය තෝරා ගත්තේ මා තුළ ඈ කෙරෙහි ඇති ආදරය ලොවටම පෙන්වනු පිණිසය. නමුත් ඈ ජීවත්වන නගරය අතීත රාජධානියක් වීම නිසාත්, මා හට සමාන යැයි බොහෝ දෙනා පැවසූ දුටුගැමුණු නැමැත්තෙකු එහි රජ කර තිබූ නිසාත්, මාගේ අරමුණ ලෝකයාට වැටහුණේ නැත. එය කණගාටුවට කරුණකි.
කෙසේ නමුත් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් මා සියලු තීන්දු තීරණ ගත්තේ ඇගේ අනුදැනුම මතය. ඈ එපා කියූ කිසිවක් මා සිදු කළේ නැත. එමෙන්ම සිදුකරන ලෙස ඇය පැවසූ කිසිවක් මා සිදුනොකර සිටියේද නැත. රාජ්‍ය පාලනය සම්බන්ධ කිසිදු දැනුමක් ඇයට නැති බව මා දැන සිටියෙමි. නමුත් සෞරග්‍රහ මණ්ඩලයක් වැනි අපේ පෙම් කතාව හමුවේ රටක අනාගතය වැනි සුළුතර කරුණක් ගැන සුලුවෙන් හෝ සිතීමේ කිසිදු අවශ්‍යතාවයක් මට නොතිබිණි.
කාබනික වගාව පිළිබඳ අතිශය ප්‍රවීණ වූ විශේෂඥ වෛද්‍යවරුන් මා සතු විය. මාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයටත් පිටින් ගොස් එක රැයින් කාබනික වගාව රට පුරා ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට අවශ්‍ය විය. මා වටා සිටි ඇතැමුන් එයට විරුද්ධ වුවත් මගේ පෙම්බරිය ප්‍රකාශ කළේ නොබියව එය ක්‍රියාත්මක කරන ලෙසටය. ඉතින් මම එය ක්‍රියාත්මක කළෙමි. තවත් එවැනි උදාහරණ ඕනෑ තරම් ඇත. අවශ්‍ය නම් එවැනි උදාහරණවලින්ම පමණක් තවත් පොතක් ලිවිය හැක.
කෙසේ නමුත් මගේ පෙම්බරිය නිර්මාණය කිරීමද විදේශීය කුමන්ත්‍රණයක් බව ම දැන ගත්තේ මේ පොත ලිවීමට කරුණු සොයමින් සිටියදීය. ඇගේ අනුදැනුම මත මා ගත් තීන්දු තීරණ රාශියක් ජනතාව කුපිත කිරීමට සමත් වූ ඒවා විය. මා එලවීමේ කුමන්ත්‍රණය වසර ගණනාවක සිට ක්‍රියාත්මකවන එකක් බව මා පවසන්නේ එබැවිනි. සැබැවින්ම එය මහා කුමන්ත්රණයකි.
අවාසනාවක මහත. පැම්පර්ස් පැළඳ මර බියෙන් රටින් රට පලා යද්දීද මා සුරතෙහි ඇගේ ආදරය කැටිවුණු රතු පැහැති නූලක් විය. ඇය කුමන්ත්රණයක හවුල් කාරියක් විය හැක. නමුත් ඉන් අපේ ප්‍රේමය කිලිටිවන්නේ නැත.
එලවා දැමූ අන්දරේ 827 පිට.