කුහුඹුවන්ගේ වහල් සමාජ ක්‍රමය

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    කුහුඹුවන්ගේ වහල් සමාජ ක්‍රමය

    කුහුඹු විශේෂ අධ්‍යනය කියන්නෙ ඉතාමත් සිත්ගන්නාසුළු විෂයක්. ලෝකය පුරා පැතිරි ඇතී දස දහස් ගනනක් වූ කුහුඹු විශේෂ තම තමන්ට ආවේණික විවිධ හැසිරීම් රටා පෙන්වනවා. වගා කරන කුහුඹුවන්, විවිධ ශාඛ සමඟ සහජීවී සබඳතා ඇති කරගනිමින් කුහුඹුවන් වෙනුවෙන්ම ශාඛ විසින් නිපදවන කොටස් තුල ජීවත්වන කුහුඹුවන්, සමස්ථ වැසි වනාන්තර පද්ධතිවලම බර කරටගෙන ජීවත්වන කුහුඹුවන්, විවිධ කොලනි අතර යුධ වදින කුහුඹුවන්, මිනිසුන් ගව පාලනයේ යෙදෙනවා මෙන් කූඩිත්තන් පාලනය කර සිය පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නා කුහුඹුවන්, තමන් ගමන් කරනා මාර්ගයේ ඇති සියළු ජීවය විනාශ කරන කුහුඹුවන් ආදී වු දහසක් කුහුඹු වග තුග ඔබ මේ විෂයට අවතීර්ණ වුනොත් දැනගන්න පුළුවන්. වෙලාව ලැබුනොත් ඔවුන් ගැනත් යමක් ඉදිරියේදි සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දහසක් විශේෂ අතරින් වහල් සේවය ක්‍රියාත්මක කරන කුහුඹුවන් ගැන තමයි මේ සටහන.

    මේ සිද්ධියේදි ඇත්තටම වෙන්නෙ ඇතැම් කුහුඹු විශේෂ වෙනත් කුහුඹු විශේෂ වල කැදලි ආක්‍රමණය කර ආක්‍රමණයට ලක් වූ කුහුඹුවන්ගෙ පිලවුන් පැහැරගෙන යෑම. මේ ආකාරයෙන් පැහැරගෙන වන පිලවුන් ආක්‍රමණිකයාගෙ කැදැලි තුල කුහුඹු අවස්ථාවට පරිවර්තනය වෙනවා. නමුත් එසේ පරිවර්තනය වුනාට ඔවුන් දැන් ආක්‍රමණික කුහුඹුවන්ගෙ වහළුන්.

    මේ ආක්‍රමණ සඳහා පිටත් වෙන්න කලින් ආක්‍රමණිකයන් විසින් තොරතුරු සෙවීම සඳහා පිටත්කර යවන කුහුඹුවන් ආක්‍රමණය කල හැකි කැදලි පිලිබඳව තොරතුරු රැගෙන එනවා. එසේ එන තොරතුරු රැස් කරන්නන් තමන් යන එන මාර්ගයේ පෙරමෝන (ශරීරයේ නිපදවන රසායනික සංයෝගයක්) තැවරීම සිදුකරනවා. මේ පෙරමෝන ඔස්සෙ ආක්‍රමණික හමුදාවන්ට පුළුවන් ආක්‍රමණය කලයුතු කැදලි සොයා ගැනීමට. මේ සටන් තුල සාමාන්‍යයෙන් සිදුවන්නෙ ආක්‍රමණයට ලක්වු විශේෂ පලා යෑම. එසේ පලා නොගොස් සටන් කරොත් සාමාන්‍යයෙන් සටන කෙලවර වන්නෙ දෙපිලේම සටන් වදින්නන්නට විශාල හානි ගෙන දෙමින්. ආක්‍රමණයට ලක් වන්නන්ගෙ කොලනි වල පිරිස් බලය වැඩිනම් මේ සටන් දිගු වෙනවා. නමුත් බොහෝවිට සිදුවන්නෙ ආක්‍රමණිකයා ජය ගැනීම. සාමාන්‍යයෙන් ගනන් බලා ඇති අන්දමට එක් ප්‍රහාරයකින් වහළුන් 14000 ක් පමණ නැවත තමන්ගෙ කැදැල්ල වෙත ගෙන යෑම සිදුකරනවා.

    ආක්‍රමණිකයන්ගෙ සියළු බර වැඩ ඉන්පස්සේ කරන්නෙ වහළුන් විසින්. ආක්‍රමණිකයන්ගෙ පිලවුන් බලා ගැනීම, ආක්‍රමණිකයන්ගෙ කැදලි වෙනත් සතුරන්ගෙන් ආරක්ෂා කිරීම ආදිය මොවුන් සිදුකරනවා. ඒ වගේම ඇතැම් අවස්ථාවල ආක්‍රමණ සඳහාත් ඔවුන් සහභාගි වෙනවා.

    වහල් සේවය ක්‍රියාත්මක වෙන හැම තැනකදිම වගේම මේ කුහුඹු ලෝකය තුලත් වහලුන් විසින් කැරලි දියත් කරනවා. සමහර වහල් විශේෂ මේ කැරලි දියත් කර ආක්‍රමණිකයාගෙ පිලා අවස්ථා විනාශ කර දමනවා. මේ හේතුවෙන් ආක්‍රමණිකයන්ගෙ පිරිස් බලය අවම වීම නිසා වහලුන්ගෙ සත්‍ය වශයෙන්ම අයත් කැදලි ආක්‍රමණිකයන්ගෙ පීඩනයෙන් ආරක්ෂා වෙනවා. ඒ වහල් විශේෂ තමන්ගෙ පැවැත්ම සඳහා පරිණාමිකව ඇතිකරගෙන තිබෙන හැසිරීම් රටාවක්.

    පහතින් සඳහන් කරන්නෙ ආක්‍රමණික සහ අාක්‍රමණයට ලක්වන විශේෂ කිහිපයක්. වැඩිදුර හොයන්න කැමති අයට මේ නම් භාවිතා කරන්න පුළුවන්.

    Rossomyrmex–Proformica
    Polyergus–Formica
    Formica–Formica
    Leptothorax–Chalepoxenus
    Leptothorax–Epimyrma
    Leptothorax–Harpagoxenus
    Leptothorax–Leptothorax
    Leptothorax–Protomognathus
    Myrmoxenus–Temnothorax
    Strongylognathus–Tetramorium

    1859 ඔන් ද ඔරිජින් ඔෆ් ස්පීශිස් ග්‍රන්ථයේ චාර්ල්ස් ඩාවින් විසින් මේ කුහුඹුවන් ගැන සඳහන් කරනවා. ඔහුට අනුව මේ වහල් සේවය පරිණාමය වීම ඇරඹෙන්නෙ ආක්‍රමණික විශේෂයේ ආහාර රටාව නිසා. ඒ කියන්නෙ මුල් කාලයේදි ආක්‍රමණියන් කැදලි ආක්‍රමණය කර පිලවුන් ආහාරයට ගත්තත් පසු අවස්ථාවල ක්‍රමයෙන් පිලවුන් ඔවුන්ගෙ කැදලි තුලට රැගෙන යෑමත් සමඟම වහල් සේවය ඇරඹි ඇති බවයි ඒ මතයෙ සඳහන් වන්නෙ.

    කොහොම නමුත් කුහුඹු ලෝකය කියන්නෙ ඔබ හිතනවාට වඩා අපූරු සංකීර්ණ සමාජ ක්‍රම සහිත ලෝකයක්. මිටර් ගනනාවක් උස ඩයිනෝසරයන් වගේම මිලිමීටරයක කුහුඹුවකුගෙ ලෝකය තුලත් ජීවයේ අපූර්වත්වය සටහන්ව තිබෙනවා


    ©
    http://m.facebook.com/story.php?story_fbid=1902762646492132&id=1317737654994637