කූබියෝ ඩිවලොපර්

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    කූබියෝ ඩිවලොපර්

    jIApd9d.jpg


    ටෙලි කලාවේ කාලෙන් කාලෙට බිහිවෙන අලුත් හැඩයේ චරිත අලුත් විදහේ අත්දැකීම් එක්ක ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරන්නේ ඔවුන්ගේ හැකියාවේ ප්‍රබල බව ඉස්මතු කරමින්. ඉතිං ITN නාලිකාවේ විකාශය වෙන කූඹියෝ ටෙලි නාට්‍ය නිසා මේ දවස්වල වැඩිපුර කතාබහට ලක්වෙන චරිතයක් වුණු මීෂා කියන්නෙත් අන්න ඒ වගේ චරිතයක්. තරමක වෙනස් හැඩයක් ගත්තු මීෂාගේ චරිතයට පණ පොවන උදාර අබේසුන්දර ගැන බොහෝ දේ දැන ගන්න ඔබ කැමති ඇති. ඉතින් ඔහුත් සමඟ මේ කතාබහ, ඔබේ ඒ කුතුහලය වෙනුවෙන්.

    කූඹියෝ ටෙලි නාට්‍යයත් එක්ක එකතු වුණ විදිහ ගැන කිව්වොත්?

    ඇත්තට ම යාළුවො ටිකක් එකට එකතු වෙච්ච හින්දා තමයි මං හිතන්නෙ ඒ වගේ හොඳ නිර්මාණයක් එළියට ඇවිල්ලා තියෙන්නෙ. ලක්මාල් මගේ මිතුරෙක්. ඒ වගේ ම දමිත කියන්නෙත් මගේ මිතුරෙක්. ඒ දෙන්නා තමයි මට කතා කළේ ඇවිල්ලා මේ කැරැක්ටර් එක කරන්න කියලා. මට කතා කරපු වෙලාවෙ මම ලක්මාල්ට කිව්වෙ මම මචං ඔය වැඩේට හරියන්නෙ නෑ. මට රඟපාන්න බැහැ කියලා. මොකද ඒ වෙනකොට මම රඟපාලා තිබුණෙ නෑ එහෙම කැරැක්ටර් එකක්. නමුත් ලක්මාල් තමයි නෑ උඹට මේක කරන්න පුළුවන් කියලා කතා කරලා මාව මේ වැඩේට ගත්තෙ. මගේ රඟපෑම එළියට ආවේ ලක්මාල්ගේ කැපවීම, මහන්සිය නිසා කියලයි මම හිතන්නෙ.

    මීෂාගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

    කූඹියොත් එක්ක මට හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබිලා තියෙන්නෙ. දැන් මාව හඳුනා ගන්නා ප්‍රමාණය වැඩි වෙලා. වෙනස් වෙනස් ලේයර්ස්වල අය මගතොටේදි මාව දැක්කම අඳුරගෙන කතා කරනවා. ඔෆිස් රස්සාවල් කරන අය වගේ ම ළඟදි දවසක මාව බම්බලපිටියෙ ඉන්න ත්‍රීවිල් මල්ලිලා ටික අඳුරගත්තා. ඒක මාර මැජික් එකක්. මට හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. ඒවා බොහොම සුබවාදී ප්‍රතිචාර. ඉතින් මට ඒක ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා, අපි වැඩේ හොඳට කළා කියලා.

    කියන්නකො මීෂා කියන චරිතෙ උදාර කියන චරිතෙත් එක්ක කොච්චර කිට්ටුද කියලා?

    යම්කිසි සමානකම් ටිකක් තියෙනවා. මොකද මමත් මීෂා වගේ ම ටෙක්නිකල්, ටෙක්නොලොජි වගේ දේවල්වලට කැමතියි පෞද්ගලිකවම. නමුත් මම, මගේ වටපිටාව සහ මම ජීවත් වෙන වටපිටාව ඊට වඩා ගොඩක් වෙනස්.ඒකෙදි යම්කිසි සමානකම් ටිකක් හොයාගත්තා මමත්. මට එකපාරට කියන්න බෑ මොනාද සමානකම් කියලා. නමුත් ප්‍රධානම සමානකම තමයි ඉතින් උදාරයි මීෂයි දෙන්නම ටෙක්නොලොජි පැත්තට කැමතියි.

    ඔබේ වෘත්තිමය ජීවිතය ගැන කියනවානම්?

    මම ඇත්තට ම වෘත්තීමය නළුවෙක් නෙවෙයි. මම රඟපෑවෙ කූඹියෝ එකේ තමයි. ඒකත් ලක්මාල් ධර්මරත්න මගේ යාළුවා හින්දා. චිත්‍රපටියක රඟපෑවා. තවත් චිත්‍රපටි දෙකකට විතර ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් මම වෘත්තියෙන් ලක්මාල් වගේ ම වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයෙක්. මං ලක්මාල් ධර්මරත්නව අඳුරගන්නෙත් එහෙම සෙට් වෙලා තමයි. ප්‍රධාන වශයෙන් මව වෙළෙඳ දැන්වීම් නිර්මාණය සහ අධ්‍යක්ෂණය තමයි කරන්නෙ. ඊට අමතරව මම අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටයක් තියෙනවා “සෙවණැලි” කියලා. ඒක ලබන අවුරුද්දෙ රිලීස් වෙනවා.

    කූඹි කුල ගෘෘප් එකේ කාර්ඩ් එකක් වැදිලා තියෙනවා නේද “බෝලපූසා” කියලා?

    මම ඇත්තට ම කූඹි කුල ගෘෘප් එකේ නැහැ. මම ඒකෙන් අයින් වුණා. මම ඇත්තට ම ඔය කියන කාර්ඩ් එක දැක්කෙ නෑ. හැබැයි ඉතිං එහෙම කාර්ඩ් එකක් වැදිලා තියෙනවා නම් හොඳයි නේද? ඒ අය මාව වෙන විදිහකට අල්ලගෙන ඒකෙන් ආතල් එකක් ගන්නවයි කියන එකේ මට කිසි අවුලක් නෑ.

    ඔබේ පවුලේ තව කවුද කලාවට සම්බන්ධ අය ඉන්නෙ?

    මගෙ තාත්තා තමයි ඩොනල්ඩ් අබේසුන්දර කියන්නෙ. එයා ස්වාධීන රූපවාහිනී සේවය පටන් ගත්තු “ක්‍රීඩා විසිතුරු” කියන වැඩසටහන අවුරුදු 20ක් 30ක් විතර කරපු ලංකාවේ හිටපු පරණ ම ක්‍රීඩා මාධ්‍යවේදියෙක්. තාත්තා තමයි අපේ පවුලේ එහෙම ලොකුවට කලාවට සම්බන්ධ කෙනෙක්ට ඉන්නෙ. ඊට අමතරව ලොකු තාත්තා චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. වෝල්ටර් අබේසුන්දර.

    ඔබේ අධ්‍යාපන කටයුතු සිදුවුණු විදිහ ගැනත් දැනගන්න කැමතියි?

    මම ඉගෙන ගත්තෙ කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ. ඊට අමතරව මම මගේ ෆිල්ම් ඩිග්‍රි එක කළේ මෙල්බන්වල RMIT යුනිවර්සිටි එකේ.

    දිගට ම රඟපාන්නද හිතාගෙන ඉන්නෙ?

    දැනට මම රඟපාලා තියෙන්නෙ සහ රඟපාන්න භාරගෙන ඉන්නේ මගේ මිතුරන්ගේ සමාජය ඇතුළෙ වෙන වැඩ ටිකක විතරයි. නමුත් මම කොහොමටවත් ම වෘත්තිමය නළුවෙක් වෙන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒක නෙවෙයි මගේ වැඩේ. නමුත් මගෙ හිතට දැනෙන විදිහෙ චරිතයක් ලැබු‍ණොත්, මට මොනවා හරි කරන්න දෙයක් තියෙන චරිතයක් ලැබුණොත් මම අනිවාර්යයෙන් ම ඒ ගැන සලකා බලනවා. තව මීෂා කෙනෙකුට මට කතා කළොත් මම කරන්නෙ නැහැ කවදාවත්. ඒක ඉතින් එහෙම වැඩකුත් නෑනේ. මම කොහොමත් ජීවිතේ ලොකුවට ප්ලෑන් කරන කෙනෙක් නෙවෙයි. මට ලැබෙන චරිත, මට ලැබෙන දේ සහ විශේෂයෙන් ම මට ලැබෙන ඩිරෙක්ටර්ස්ලා අනුව මම දිගට රඟපානවද නැද්ද කියන දේ තීරණය වෙනවා. කෞෂල්‍ය මාධව පතිරණ අධ්‍යක්ෂණය කරපු ඉක්කා චිත්‍රපටය ෂූට් කරලා එහෙම ඉවරයි. ඒකෙ මම සහය චරිතයක් කරනවා. ඊට අමතරව තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තියෙනවා මේ මාසෙ රඟපාන්න. එකක් පෙබරවාරි මාසේ රූගත කරන්න තීරණයක් අරගෙන තියෙනවා. අනිත් චිත්‍රපටිය ගැන මම දැනට මුකුත් නොකියා ඉන්නම්. ඒවා බොහොම පොඩි චරිත. නමුත් මම බොහොම ආසාවෙන් ඒ දේවල් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    කූඹියෝ රසිකයන්ට මොනවද කියන්න තියෙන්නෙ?

    මේ අලුත් කට්ටියක් එකතු වෙලා කරපු වැඩේ මේ තරම් ආදරෙන් වැළඳගැනීම සම්බන්ධයෙන් ප්‍රේක්ෂකයන්ට ස්තූතිවන්ත වෙනවා. මම පෞද්ගලිකව මගේ චරිතය මේ තරම් වැළඳගනියි… මේ තරම් විඳියි කියලා කොයි වෙලාවකවත් බලාපොරොත්තු වුණේ නෑ. මම ලක්මාල්ට වුණත් කිය කිය හිටියෙ මචං උඹගෙ ඔය තියෙන ඔක්කෝම කෙළවෙලා යන්නෙ මම ඕකට රඟපාන්න ආවාම තමයි කියලා. නමුත් ප්‍රේක්ෂකයො ඒ දේ පුදුම විදිහට වැළඳගෙන තියෙනවා. මගේ ෆේක් ප්‍රොෆයිල් හදාගෙන, මට එක එක කාර්ඩ් ගහගෙන… ඔය වගේ ගොඩක් දේවල් වෙලා තියෙනවා. ඉතිං බොහොම ස්තූතියි මෙච්චර ආදරයක් දක්වනවට. ප්‍රේක්ෂකයො නැත්නම් මේ කිසි දෙයක් නෑ. ඉතින් ආදරණීය ප්‍රේක්ෂකයන්ට හිස නමා ආචාර කරනවා.