ගිය අවුරුද්දෙ අරඹේපොළගේ රහස් බේත, සජිත්ගේ පැකනිල් සිට ධම්මික පැණිය වෙනකම් විහිදිච්ච කොරෝනා බේත් දැන් එක තැනකට කොටුවෙලා. ඔක්සිජන් වලට. ආයුර්වේදයේ උපන් භූමිය වෙච්ච ඉන්දියාවෙ මිනිස්සුත් ඔක්සිජන් ඉල්ලලා අඬනවා දකින ලංකාවෙ මිනිස්සුත් කවදාවත් නැතුව ඔක්සිජන් ගැන තොරතුරු හොයන්න පටන් අරන්. ඔක්සිජන් ටැංකි සල්ලි වලට ගන්නවා. හැබැයි ඔක්සිජන් කියන අලුත් දෙයක් නෙවෙයි. ඒක ලෝකේ හුස්ම ගන්න අමාරු වෙච්ච පළවෙනි කොරෝනා ලෙඩාගෙ ඉදන් දුන්න දෙයක්. ඒ කියන්නෙ ඔක්සිජන් කියන එකේ වැදගත්කම කොරෝනා ඇතිවෙච්ච මුල්කාලෙ ඉඳන් ලෝකයේ සෞඛ්‍ය අංශ දැනගෙන හිටියා. වැදගත්කම දැනගෙන ඉදලත් ඔක්සිජන් ඇති තරම් නැති එක වෙනම කතාවක්.
මේක ලියන්න හිතුවේ ඔක්සිජන් therapy එක ගැන මේ වෙලාවේ හරිහමන් අදහසක් ගොඩක් අයට නැති නිසා. අන්තිමට ඔක්සිජන් කොරෝනා වලට ඕනේ කියලා වැල්ඩින් පොලවල් වල ඒවත් අරගන්න තැනකට එයි කියල පේන නිසා.
මුලින්ම කියන්න තියෙන්නෙ ඔක්සිජන් කියන්නෙ කොරෝනා වලට සෘජු ඖෂධයක් නෙවෙයි. මේක අපි ගන්නෙ supportive treatment එකක් ඒ කියන්නෙ කොරෝනා රෝගය නිසා ඇඟේ ඇතිවෙන වෙනස්කම් නිසා ඉන්ද්‍රීය පද්ධතියට වෙන බලපෑම් සහ මැරෙන එක වළක්වන්න උදව් කරන දෙයක් තමා ඔක්සිජන්. කොරෝනා වෛරසයේ වර්ධනය නවත්තන්න ඔක්සිජන් වලට බෑ.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හවසට දාන මරණ ලිස්ට් එකේ වැඩිපුරම දකින්නෙ කොවිඩ් නියුමෝනියාව කියන එක. තව එකක් කම්පනය (shock) අනික උග්‍ර ශ්වසන අපහසුතා සින්ඩ්‍රෝමය - ARDS. ඔය කාරනා වලදී ඔක්සිජන් නැතුව බෑ. ඒ කිව්වෙ කවද හරි කොරෝනා වෛරසය මරන්න බේතක් හැදුවත් ඔය තත්ත්වයන්ට ආපු ලෙඩෙක්ට ඔක්සිජන් නොදී බෑ.
කොරෝනා වෛරයේ රෝග ලක්ෂණ වර්ග තුනකට බෙදුවොත් සරලව
●සුළු රෝග ලක්ෂණ - කැස්ස, උණ, ඔලුව කැක්කුම ආදී.......මේ ටික හැමදාම ඔයාල අහන ටික
●බරපතල රෝග ලක්ෂණ - නියුමෝනියාව
●ඉතා බරපතල රෝග ලක්ෂණ - උග්‍ර ශ්වසන අපහසුතා සින්ඩ්‍රෝමය ARDS (Acute repiratory distress syndrome)
දැන් මේ ලෙඩ මොනවද බලමු.
●නියුමෝනියාව Pneumonia
එලකිරි එකේ නියුමෝනියාව ගැන ත්‍රෙඩ් එකක් දාල තිබ්බා. ඒකේ තිබ්බෙ බැක්ටීරියා මඟින් ඇතිවෙන නියුමෝනියාව ගැන. මේකෙ එන්නෙ වෛරස් මඟින් ඇතිවෙන නියුමෝනියාව. (viral pneumonia) වෛද්‍ය විද්‍යාත්මකව මේ දෙකේ වෙනස්කම් තියෙනවා. ලොකූ වෙනස්කම් නෑ පෙනහලු ඩැමේජ් වෙන ක්‍රියාවලිය එක වගේ නිසා. ඒක නිසා ඒ ත්‍රෙඩ් එක බලල අයිඩියා එකක් ගත්තට කමක් නෑ. නියුමෝනියාව කියන්නෙ පෙනහලු පටකය ප්‍රදාහයට ලක් වීම. මම ඊයේ දාපු eczema ත්‍රෙඩ් එකේ ප්‍රදාහය ගැන පොඩ්ඩක් කිව්වා. ඒ හමේ එන ප්‍රදාහය ගැන මේ පෙනහලු වල එන ප්‍රදාහය. කොරෝනා වෛරසය පෙනහලු වල සෛල වලට ඇතුළු වුනාට පස්සෙ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙලා ආසාදිත පෙනහලු සෛල වලට ගහන්න පටන් ගන්නවා. පෙනහලු හැදිලා තියෙන සෛල වලට කියන්නෙ pneumocytes කියලා. පෙනහලු වලින් කරන්නේ වායු හුවමාරු කරන එකනේ. වායු හුවමාරු ක්‍රන්න පෘෂ්ඨීය වර්ගඵලය වැඩි කරන්න පෙනහලු අස්සෙ ඔය penumocytes බුබුලු වගේ හැදිල තියෙනවා. මේවට කියන්නෙ ගර්ථ Alveoli කියලා. පහලින් තියෙන්නෙ ඒ රූපය
නියුමෝනියාවේ එන ප්‍රදාහය නිසා ගර්ථ වටේ තියෙන රුධිර කේශනාලිකා වල බිත්ති වලට හානි වෙනවා. pnumocyte වලටත් හානි වෙනවා. ඒක නිසා කේශනාලිකා වලින් තරල පෙනහලු වලට කාන්දු වෙනවා. ඔය කොරෝනා ලෙඩ්ඩුන්ගේ x-ray වල සුදු පාට patch පේන්නෙ ඒවා. ඔන්න එතකොට හුස්මෙන් ගන්න ඔක්සිජන් වලට කේශනාලිකා වලට යාගන්න බැරි වෙනවා. ඇයි මැද්දෙ තරලයක් තියෙනවනේ. එතකොට ඔක්සිජන් වලට කලින් වගේ දිය වෙලා රුධිරයට එක්වෙන්න බෑ.
අපි හුස්ම ගන්නකොට ගර්ථ ලොකු වෙනවා, හුස්ම පිට කරනකොට ගර්ථ පොඩි වෙනවා. හැබැයි අපි කොච්චර ට්‍රයි කලත් පෙනහල්ලෙ හුස්ම ඔක්කොම පිට කරන්න බෑ. ඉතුරු වෙච්ච වාතය තියෙනවා (dead space). ඒක සාමාන්‍ය දෙයක්. එහෙම කලොත් ගර්ථ ඇකිලිලා එකට ඇලෙනවා ; කඩාවැටෙනවා. සාමාන්‍ය කෙනෙක්ගේ මේක වැලැක්වෙන්නෙ ගර්ථ බිත්ති වල තියෙන සර්ෆැක්ටන්ට් surfactant වලින්. පෘෂ්ඨික ආතතිය අඩු වෙන්නෙ මේකෙන්. (A/L physics paper ගණන් දීල තියෙනවා පෙනහලු ගර්ථ සහ පෘෂ්ඨීය ආතතිය සම්බන්ධ) නියුමෝනියාව හැදුනහම සර්ෆැක්ටන්ට් හදන එක අඩු වෙලා ගර්ථ කඩා වැටෙනවා. කඩාවැටුණ ගර්ථ වලට වාතය ලැබෙන්න නෑ. අපි නිකම් හුස්ම ගත්තට ඇකිලිච්ච ගර්ථ දිග ඇරෙන්න ප්‍රෙෂර් එක මදි.
ඕන්න ඔය හේතු දෙක නිසා ඔක්සිජන් ඇඟට ලැබෙන ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍ය දැනීම තියනවා නම් දන්නවා ඔක්සිජන් වලින් අපේ ඇඟේ ශක්තිය නිපදවන්න අවශය දෙයක් බව. ශක්තිය කියන්නෙ මසල් පවර් නෙවෙයි. ඇඟේ සෛලයක් පාසා අදාල ක්‍රියාකාරකම් ක්‍රන්න ඕනේ රසායනික ශක්තිය. දැන් මේ ශක්තිය හිඟ වෙනකොට අපේ ඇඟේ සෛල මැරෙන්න පටන් ගන්නවා. සෛල එකතු වෙලා පටක හැදෙනවා. පටක වලින් ඉන්ද්‍රියන් හැදෙනවනේ. එතකොට සෛල මැරෙනකොට එක එක ඉන්ද්‍රියන් වැඩ කරන්නෙ නැතුව යනවා. උදාහරණ විදියට වකුගඩු, මොළය, හෘදය, පෙනහලු ආදිය. මේ කියපු ඉන්ද්‍රියන් ෂට් ඩ්වුන් වුනොත් බඩුම තමා. වකුගඩු වල වැඩේ ඩයල්‍යිසිස් මැෂින් එකට බාර දෙන්න පුලුවන් තමා හැබැයි ඔක්සිජන් නැත්නම් වකුගඩු විතරක් නෙවෙයි ෂට් ඩවුන් වෙන්නෙ එකපාර කීපයක්. Multi- organ failure. මේක ඉතින් ලෙඩාගේ වාසනාවක් නැත්නම් අවසානය මරණය තමා.
ඒ කියන්නෙ නියුමෝනියාව හැදුනොත් මැරෙනවද? එහෙමම ගන්න එපා නියුමෝනියාව හැදෙන මට්ටම අනුව තමා ඒක වෙන්නෙ.
•කොච්චර දුරට නියුමෝනියාව පැතිරිලාද?
•ලෙඩාගෙ වයස
•ලෙඩාට තියෙන අනික් ලෙඩ (දියවැඩියාව කොන්ට්‍රෝල් නැතුව ගොඩක් කල් තියෙන ලෙඩෙක්ගේ වකුගඩු කොහොමත් වැඩ නෑ, රුධිර නාල වලත් අවුල් තියෙනවා ඉතින් මෙයාලට බලපෑම කොහොමත් වැඩී.)
ආදී කාරණා මත. කොටින්ම පොඩි නියුමෝනියාවක් (කොරෝනා නොවන) තියෙන අයට බොන්න බේත් දීල ගෙදර පවා යවන්න පුලුවන්. නියුමෝනියාව දරුණු අය ICU. ලොකු රේන්ජ් එකක්. ඒක නිසා එක පාරට නියුමෝනියාව තිබ්බ කියලා රෝගියාගෙ අනාගතය ගැන කියන්න බෑ.
මතක තියාගන්න නියුමෝනියාව හැදෙන්න මුල් වුනේ කොරෝනා වෛරසය වුනත් පෙනහලු සෛල වලට වැඩි ඩැමේජ් එක වෙලා නියුමෝනියාව හැදුනේ ලෙඩාගෙ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය නිසා බව.
●උග්‍ර ශ්වසන අපහසුතා සින්ඩ්‍රෝමය Acute respiratory distress syndrome
මේක තමයි කොරෝනා වල පෙනහලු වෙලට හානි වෙන බරපතලම අවස්ථාව. මේක ගැන කතා කරන්න කලින් SARS සාර්ස් ගැන කතා කරමු. දැන් බෝවෙන කොරෝනා වෛරසයේ නම SARS-CoV 2. SARS කියන එකේ තේරුම Severe acute respiratory syndrome. සින්ඩ්‍රෝමයක් කියන්නෙ රෝග ලක්ෂණ කීපයක එකතුවක්. මේකෙ එන රෝග ලක්ෂණ තමා වෙව්ලලා උණ ගැනීම, කැස්ස ආදී සමාන්‍ය කොරෝනා ලක්ෂණ සමඟ නියුමෝනියාවේ ලක්ෂණ සහිත x-ray එක්ක සුදුරුධිරාණු මට්ටම අඩු වීම. ඔන්න ඔය SARS තියෙන ලෙඩ්ඩුන්ගෙන් 20% විතර ARDS යනවා. ARDS තත්ත්වයට එන්න කොරෝනා නෙවෙයි බැක්ටීරියා වලින් හැදෙන නියුමෝනියවෙදිත් ARDS තත්ත්වයට රෝගියා යන්න පුලුවන්. ගිය අවුරුද්දේ නම් ලංකාවේ පළවෙනි කොරෝනා ලෙඩ්ඩු 100 දෙනාගෙන් 6 දෙනෙක් දරුණු නියුමෝනියාවටත්, දෙදෙනෙක් ARDS වලට ගියා. තුන් වෙනි රැල්ලේ අලුත් වෛරස ප්‍රභේදයේ දත්ත තවම ලැබුනේ නෑ. ලැබුණ වෙලාවක දාන්නම්.
ARDS කියන්නෙ මොකක්ද? ARDS කියන්නෙ ප්‍රතිසංස්කරණය පද්ධතියේ අධික්‍රියාකාරී වීමක්. මේකට හේතුව හරියටම මේකයි කියල පෙන්වන්න පුලුවන්කමක් නැත්තේ ARDS තත්ත්වයට ගිය ලෙඩ්ඩු අතර වෙනස්කම් ගොඩක් තියෙන නිසා. පොදුවේ වයස වැඩි අය ARDS යන්න හැකියාව වැඩියි කියලා නිරීක්ෂණය කරලා තියෙනවා. (Full blood count එකක් අරන් ලෙඩේ දරුණුකම අනුමාන කරන research එකක් ගැන Nature journal එකේ පළ වෙලා තිබ්බත්, ඒකේ තිබ්බ counts තිබ්බ ලංකාවේ කොරෝනා රෝගීන් කිසි අමාරුවක් නැතුව ඉන්නවා මම දැකලා තියෙනවා. ඒක නිසා මේක මෙහෙමමයි කියන්න මගේ දැනුම මදි.) මේක වෙන්න හේතුව ප්‍රතිශක්තිකරණ පද්ධතියේ පණිවිඩකාරක රසායන cytokines එක වර විශාල ලෙස නිදහස් වීම. ඒකට cytokine strom එකක් කියලා කියන්නෙ. ඒකෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සෛල රාශියක් එකවර ක්‍රියාකාරී වෙලා පෙනහලු පටක වලට හානි කරන්න පටන් ගන්නවා. ප්‍රදාහන ක්‍රියාවම තමා නමුත් කීපගුණයකින් වැඩිවෙලා. කලින් කියපු ප්‍රශ්න කීපගුණයකින් වැඩිවෙලා එනවා.
ICU දාන්නෙ මොන වෙලාවටද?
ලංකාවේ නම් කොරෝනා රෝගියෙක් ICU දාන්න මේ තත්ත්ව සම්පූර්ණ කළ යුතුයි.
●කොරෝනා ආසාදනයක් බව තහවුරු කිරීම
●උග්‍ර ඉන්ද්‍රිය පද්ධතියක්/කිහිපයක් බිඳ වැටීමක් සමඟ
•ඔක්සිජන් ඌණතාව (SpO2<94%) ස්වසන අපහසුතාව සහිතව/රහිතව
•Shock (කම්පන තත්ත්වය) සන්‍යස්ථ රුධිර පීඩනය SBP <90 mmHg
●රෝගී තත්ත්වයට ඔරොත්තු දී සුවවීම සඳහා හැකියාව ඇත්නම් (ඒ කියන්නෙ දීර්ඝකාලීනව පවතින බරපතල රෝගී තත්ත්වයක් නොමැති නම්
ඔක්සිජන්
ඔක්සිජන් දෙන ආකාර කීපයක් තියෙනවා. සුදුසු ආකාරය තෝරාගන්නෙ රෝගියාගේ රෝගී තත්ත්වයේ බරපතල කම අනුව. මොනව කලත් SpO2 <92% නම් ඔක්සිජන් දෙන්න පටන් ගන්න ඕනෙ.
1. Low flow oxygen - මුලින්ම low flow ඒ කියන්නෙ 15L/min ප්‍රමාණයක් face mask, venturi mask, non re-breather mask එකකින් දෙනවා. එහෙම දීල SpO2 මට්ටම 92%-96% වෙනව නම් ප්‍රශ්නයක් නෑ මේ method එකටම යන්න පුලුවන්. මෙහෙම දෙන රෝගීන් පැය 1-2 අතර වරක් ආයෙ වෛද්‍යවරු චෙක් කරනවා.
2. High flow nasal oxygen - මේකෙදී ඔක්සිජන් 15L-30L per min නාහෙට හයි කරපු nasal cannula එකකින් දෙනවා. හරි නම් ICU හරි HDU setting එකක දෙන්න ඕනෙ. ඒ වුනාට පහසුකම් ප්‍රශ්නය එක්ක සමහර විට සාමාන්‍ය වාට්ටු වලම මේක දෙන්න සිදුවෙන වෙලාවන් තියෙනවා. මේක ඇතුලු පහලින් තියෙන ඔක්කොම ICU/HDU care යටතේ දෙන්නේ.
3.Continues positive airway pressure - මේකත් High flow ඒ කිව්වෙ 15L-30L per min දෙන විදියක්. මේකෙ විශේෂත්වය සාමාන්‍ය වායුගෝලීය පීඩනයට වඩා පීඩනයක් පවත්වාගෙන යෑම. මේ ක්‍රමයෙන් මම අර කලින් කිව්ව නියුමෝනියාවේදි ගර්ථ හැකිලීම නැවතිලා ඒවා දිග ඇරෙන්න උදව් වෙනවා.
4. Non invasive ventilation - කලින් වගේ තමා මේකත්. මාස්ක් එක වෙනස් වෙනවා.
5. Intubation and ventilation - මේකෙදි තමා ශ්වාසනාලයට බටයක් දාල වෙන්ටිලේටර් එකට සෙට් කරවන්නෙ. මේක කරන්න වෙනවා කියන්නෙ රෝගියාට තමන් විසින්ම හුස්ම ගන්න බැරි වෙලාවක් ඇවිල්ල කියන එක.
6. ECMO Extracorporial membranous oxygenation - අන්තිම පියවර මේ මැෂින් එකෙන් පෙනහලු වලින් කෙරෙන දේ වෙනවා. ඒ කියන්නෙ අපේ ඇඟේ ලේ අරගෙන ඔක්සිජන් එක්කන්මික්ස් කරලා ආපහු ඇඟට දෙනවා. මේක දෙන්නේ පෙනහලු වලින් ප්‍රයෝජයක් ගන්න බැරි තරම් ඩැමේජ් වෙලා නම්. වකුගඩු වලට ඩයලිසිස් මැෂින් එක වගේ තමා පෙනහලු වලට එක්මෝ මැෂින් එක. ලංකාවටම මේ මැෂින් තියෙන්නෙ දෙකයි. රිජ්වේ ආර්‍යා ළමා රෝහලෙයි, කරාපිටිය ශික්ෂණ රෝහලෙයි.
ඔන්න ඔය විදියට තමා ඔක්සිජන් දෙන්නෙ. ඕවා දෙන එක තීරණය කරන්න මම කියපු විදි විතරක් නෙවෙයි රෝගියාගෙ අනෙක් පද්ධතින්වල ක්‍රියාකාරිත්වයත් බලන ගමන් තමා රෝගියාට ගැලපෙන විදිය ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් තීරණය කරන්නෙ.
මේක බලන අයගෙන් ඉල්ලන්න තියෙන්නෙ කොරෝනා ආපු මුල් කාලේ N95 Mask හිඟයක් ආවා සාමාන්‍ය මිනිස්සු ගොඩගහගෙන. අන්තිමට දවසේ පැය 10කටත් වඩා කොරෝනා රෝගීන්ගේ සාම්පල් එක්ක lab වල කොටු වෙච්ච මිනිස්සු, රෝගීන් එක්ක වාට්ටු වල හිටපු මිනිස්සුන්ට මාස්ක් නැති වුනා. ෆේස්බුක් වෛද්‍යවරුන් මාස්ක් හිඟා කන තත්ත්වයකට වැටුනා. ඒක නිසා මේ වෙලාවේ කාටවත් ප්‍රයෝජනයක් නැතිව ඔක්සිජන් ටැංකි ගොඩ ගහගෙන වැඩි මිලට විකුණනවා කියලා හිතන් ඉන්න එපා. සල්ලි නිසා අහිංසක මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කන්න එපා. ඉස්සරහට සෞඛ්‍ය අංශ වලට එන්නෙ දරුණුම කාලයක්. ඒ මිනිස්සුන්ගේ වැඩ තවත් අපහසු කරන්න එපා කියලා ඉල්ලා සිටිනවා.
