ගිරවා වගේ කතා කරද්දි මේ ටිකත් මතක තියා ගන්න

hpalpola

Well-known member
  • ගිරවා වගේ කතා කරද්දි මේ ටිකත් මතක තියා ගන්න.

    මනුස්සයා සන්නිවේදනය කරන එක්තරා විදියක් තමයි කථනය. ඒ ඒ මිනිස්සුන්ට අනන්‍ය වූ භාෂාවලුත් තියෙනවා. නිදසුනකට සිංහලයට සිංහල වගේ. එදිනෙදා ජීවත් වෙද්දි මේ කතා කිරිල්ලෙන් මිනිස්සු සිදු කර ගන්න අකුසල් ගැන බුදු දහමෙ විස්තර කරලා තියෙනවා. අනෙක් ආගම්වලත් වචන භාවිතය ගැන විශේෂ සඳහන් තියෙනවා. ඒ ගැන මම මෙතැන කතා කරන්න යන්නෙ නැහැ.

    බුදු දහමෙ දැක්වෙන ආකාරයට අකුසල් කරන්නා දුකට පත් වෙනවා. ඉතින් මේ අකුසල් ආකාර තුනකින් කරන්න පුළුවන්. ඒ හිතෙන්, ශරීරයෙන් සහ වචනයෙන්. වචනය ගැන තමයි මේ සටහනේ දී මුල් තැන දෙන්නෙ.

    වචනයෙන් වෙන අකුසල් විවිධාකාරයි. ඕවා මතක් වෙන්නෙ නැහැනෙ කතා කරන්න ගත්තම. සමහරුන්ට කතාව පටන් ගන්නෙ කොහෙන්ද කියලා අමතකයි ටිකක් වෙලා ගියාම. චවනයෙ හැටි නැත්නම් කතාවට බැස්සම වෙන දේවල් ගැන මම කියන්න ඕන නැහැ අමුතුවෙන්. කොහොම වුනත් කතා කරන්න ඕනා මොන වගේ දේවල් ද කතා නොකරන්න ඕනා මොන වගේ දේවල් ද කියන එක ගැන අපිට ඒ තරම් ලොකු දැනුමක් නැහැ. අන්න එතනැදි වැදගත් වෙන දේශනාවක් අංගුත්තර නිකායෙ චතුක්ක නිපාතයේ තියෙනවා. මේ සූත්‍රයෙ නම තමයි සබ්බදිඨ සූත්‍රය. මේ සුත්‍රය බුදුරජාණන්වහන්සේ සහ මගධ මහාමාත්‍ය වස්සාකාර එක්ක වෙච්ච සංවාදයක්. මට මේ සටහනට වැදගත් වෙන ටික පහතින් උපුටලා දක්වන්නම්.

    "බ්‍රාහ්මණය, මම දක්නාලද සියල්ල කිව යුතුයයි නොකියමි. බ්‍රාහ්මණය, මම දක්නාලද සියල්ල නොකිව යුතුයයි නොකියමි. බමුණ, මම අසනලද සියල්ල කිව යුතුයයි නොකියමි. බ්‍රාහ්මණය, මම අසනලද සියල්ල නොකිව යුතුයයි නොකියමි. බමුණ, මම සියලු ගන්‍ධ, රස, සපර්‍ශය කිව යුතුයයි නොකියමි. බමුණ, මම සියලු ගන්‍ධ, රස, සපර්‍ශය නොකිව යුතුයයි නොකියමි. බමුණ, මම සියලු දතයුත්ත කිව යුතුයයි නොකියමි. බමුණ, මම සියලු දතයුත්ත නොකිව යුතුයයි නොකියමි.

    “බමුණ, යම් දුටු දෙයක් කියන්නාට අකුශල ධර්‍මයෝ වැඩෙත්ද, කුශල ධර්‍මයෝ පිරිහෙත්ද, මෙබඳු දක්නා ලද්ද නොකිව යුතු යයි කියම්. බමුණ, යම් දුටු දෙයක් කියන්නාට අකුශල ධර්ම පිරිහෙත්ද, කුශල ධර්ම වැඩෙත්ද, මෙබඳු දුටු දෙය කිව යුතු යයි කියමි.

    “බමුණ, යම් ඇසූ දෙයක් කියන්නාට අකුශල ධර්මයන් වැඩෙත්ද, කුශල ධර්මයන් පිරිහෙත්ද, මෙබඳු අසන ලද්ද නොකිව යුතු යයි කියමි. බමුණ, යම් අසන ලද්දක් කියන්නාට අකුශල ධර්ම පිරිහෙත්ද, කුශල ධර්ම වැඩෙත්ද, මෙබඳු අසන ලද්ද කිව යුතු යයි කියමි.

    “බමුණ, යම් ගන්‍ධ, රස, පොට්ඨබ්බයක් කියන්නාහට අකුශල ධර්‍ම වැඩෙත්ද, කුශල ධර්ම පිරිහෙත්ද, එබඳු මුතය (පඤ්චෙන්‍ද්‍රියයන්ගෙන් දන්නා දෙය) නොකිවයුතුයයි කියමි. බමුණ, යම්කිසි ගන්‍ධ, රස, පොට්ඨබ්බයක් කියන්නාට අකුශල් පිරිහේ නම්, කුශල් වැඩේ නම්, එබඳු මුතය (පඤ්චෙන්‍ද්‍රියයන්ලෙන් දැනගත් දේ) කිවයුතුයයි කියමි.

    “බමුණ, යම්කිසි සිතින් දත යුත්තක් කියන්නාහට අකුශල් වැඩෙත්ද, කුශල් පිරිහෙත්ද, එබඳු විඤ්ඤාණය නොකිවයුතුයයි කියමි. බමුණ, යම් විඤ්ඤාණයක් කියන්නාට අතුශල් පිරිහෙත්ද, කුශල් වැඩෙත්ද, එබඳු විඤ්ඤාණය කිව යුතුයයි කියමි."

    අනෙක් හැම දේශනාවක් වගේම බුදුරජාණන්වහන්සේගේ මේ දේශනාවත් හරිම පැහැදිලියි. දැක්ක කියලා හැමදේම කියන්න යන්නෙත් නැහැ, නොදැක්ක කියලා හැමදේම කියන්න ය⁣න්නෙත් නැහැ, ඇහුන හැමදේම කියන්න යන්නෙත් නැහැ. එහෙනම් මොනවද කතා කරන්නෙ? අහන කෙනාට අකුසල් නොවැඩෙන දෙයක් තමයි කතා කරන්න වෙන්නෙ මේ සූත්‍රයෙ විදියට.

    ඉතින් එහෙම බැලුවම කෙනෙක්ට හිතෙයි යකෝ මට කතා කරන්න දෙයක් නැහැනෙ කියලා. ඇයි කතා කරලා තියෙන්නෙම නැත්නම් කතා කරන්නෙම අහන කෙනාගේ අකුසල් වැඩෙන දේවල් නෙ නේද. ඇත්තටම අපි පුරුදු වෙලා තියෙන කතා කිරීමේ ස්වභාවයත් එක්ක බුදු බණට අනුව කතා කිරිල්ල හරි අමාරුයි කියලා බලන කෙනෙක්ට පෙනේවි. හැබැයි සිහියෙන් කතා කරන කෙනෙක්ට ඒක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ නිසා බෞද්ධයකුට යෝනිසෝ මනසිකාරය හරිම වැදගත්. අඩු තරමෙ කතා කරන්න පටන් ගත්තෙ මොකක් ගැනද කියලවත් මතක තියා ගන්න කතා කරන කෙනාට පුළුවන්. ඒකත් වැදගත්නෙ.
     
    • Like
    Reactions: kinkon