ගිහියා, ලිංගික සංවාසය සහ බුදු දහම - කෙටි හැඳින්වීමක්.

hpalpola

Well-known member
  • ගිහියා, ලිංගික සංවාසය සහ බුදු දහම - කෙටි හැඳින්වීමක්.

    බුදු දහම තුළ ලිංගික සංවාසයට වැඩි ඉඩක් හමු නොවේ. නමුත් බොහෝ පෙරදිග සහ අපරදිග ආගම්වල ලිංගිකත්වය සඳහා ඉඩක් ලැබෙන අතර සමහර අවස්ථාවලදී ලිංගිකත්වය ආගමක් කර ගන්නෝ ද වෙති. බුදු දහම ලිංගික සංවාසය ප්‍රතික්ෂේප කරන්නේ ද?

    බුදු දහම තුළ දී පුද්ගලයන් කොට්ඨාශ දෙකක් හඳුනා ගත හැකි වේ. ඒ ගිහි සහ පැවිදි ලෙසිනි. බුදුරජාණන්වහන්සේ ගිහියන්ට දේශනා කල ධර්මය ඇති අතර පැවිද්දන් සඳහා දේශනා කළ ධර්මය ද ඇත. එසේම මේ දෙපාර්ශ්වයට ම දේශනා කළ ධර්මය ඇත.

    බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කළ පළමු පාරාජිකාව විනය පිටකයේ සඳහන් වේ. එහි සුදින්න බණවරය වෙත මා ඔබ රැගෙන යමි. සුදින්න භික්ෂුව මෙහි මුඛ්‍ය චරිතය වේ. සුදින්න භික්ෂුව බුද්ධ ශාසනයේ මහණ වන්නේ මහත් වෙහෙසක් දරමිනි. එසේ වුවත් උන්වහන්සේගේ දෙමාපියන් ද සුදින්න භික්ෂුව ආපසු ගිහි ජීවිතයට ඇද ගැනීමටත් එවැනි ම වෙහෙසක් දරන්නට වූහ. නමුත් එය සාර්ථක නොවිනි. අවසානයේ සුදින්න භික්ෂුවගේ මව, පරම්පරාව ගෙන යාමට දරුවකු ලබා දෙන ලෙස ඉල්ලයි. ඊට සුදින්න භික්ෂුව එකඟ වේ. ඒ අනුව භික්ෂුව උන්නාන්සේගේ ගිහි කල බිරිඳ සමඟ කාලය පැමිණි කල්හි ලිංගිකව එක්වන අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් ඇයට දරුවකු ලැබේ. පසුව සුදින්න භික්ෂුවට තමුන් කළ ක්‍රියාව සම්බන්ධයෙන් සංවේගයක් ඇති වන අතර අවසානයේ සිද්ධිය පිළිබඳව බුදුරජාණන්වහන්සේට මේ ගැන දැන ගැනීමට ලැබේ. ඒ අනුව පහත ලෙසින් පැවිද්දන්ට අදාළ වන විනය නීතියක් බුදුරජාණන්වහන්සේ පනවයි.

    යම් මහණෙක් මෙවුන්දම් සෙව්නේ නම්, කෙලෙස් සතුරන් විසින් පරදවන ලද්දේ සංඝයා හා එකකර්‍මාදිසංවාස නැති වන බැවින් (අසංවාස සහවාස නැත්තෙක්) වේ.”

    සුදින්න භික්ෂුවගේ ක්‍රියාව බුදුරජාණන්වහන්සේ තරයේ හෙළා දකී. ඒ අනුව පැවිද්දන් සඳහා ලිංගික ක්‍රියාවන් ධර්මයට අනුව නොනිසි ය.

    ගිහියන් සම්බන්ධ තත්ත්වය කෙසේ ද?

    මේ සම්බන්ධයෙන් ත්‍රිපිටකයේ නොයකුත් සූත්‍ර දේශනා ඇත. ඒ සියල්ල මෙහිදී සඳහන් කිරීම අවශ්‍ය නොවන්නේ හැඳින්වීමක් පමණක් සිදු කරන නිසාවෙනි. අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ උපාසක වග්ගයේ ගවේසී සූත්‍රය සටහන් කරමි. එහි මෙසේ දැක් වේ.

    “ආනන්දයෙනි, ඉක්බිති ගවෙසී උවසු එ පන්සියක් උවසුවන් කරා එළැඹියේ ය. එළඹ එ පන්සිවක් උවසුවනට තෙළ කී ය: “ආයුෂ්මත්හු මා අද පටන් කොට ගැමිදහම් වූ මෛථුනයෙන් වෙන්ව හැසිරෙන අබ්‍රම්සරින් දුරු වූ බඹසර ඇතියකු කොට ධරව”යි.

    ගවේසී සූත්‍රයේ මුඛ්‍ය චරිතය වන්නේ ගවේසී උපාසක ය. ඉහත සටහන අනුව මෛථුනය හැඳින්වෙන්නේ ගැමිදහමක් ලෙසිනි. මෙහිදී ගැමි දහම යන්න අර්ථ දෙකකින් දැකිය හැක. ඒ ගැමියන්ගේ නැත්නම් ගමේ වසන්නන්ට අයත් කර්තව්‍යයක් ලෙසින් සහ පහත් හැසිරීමක් ලෙසිනි. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ දී මෙසේ දැක් වේ.

    “වාශිෂ්ඨයෙනි, ඒ සතුන් අතුරෙහි ම ඇතැම් කෙනෙක් මෛථූන ධර්‍ම සේවනය කොට ඒ ඒ අවස්ථාහි නැඟුණු (හෝ ප්‍රකට වූ) ගවපාලනාදි කර්‍මාන්තයන් කළහ. මෛථුනධර්‍ම ගෙන ඒ ඒ අවස්ථාහි නැඟුණු හෝ ප්‍රකට කර්‍මාන්ත කෙරෙත් නු යි ‘වෛශ්‍යයෝ ය, වෛශ්‍යයෝ යැ’ යි ම නම් වහර උපන. වාශිෂ්ඨයිනි, මෙසේ ම පැරැණි වූ. අග්‍ර යැ යි දන්නා ලද නම් වහරින් වෛශ්‍යමණඩලායාගේ ආරම්භය විය. එ ද ඒ සතුන් පිළිබඳ ව ම ය. අන් සත් කෙනකු පිළිබඳ ව නො වේ. සමානයන් පිළිබඳ ව ම ය. අසමානයන් පිළිබඳ ව නො වේ. ධර්‍මයෙන් ම ය, අධර්‍මයෙන් නො වේ.

    මෙයින් මා ඉහතින් සඳහන් කළ අර්ථයට සහායක් ලැබේ. ඒ අනුව මෛථුනය නැත්නම් ලිංගික සංවාසය, ත්‍රිපිටකය තුළ ග්‍රාම්‍ය ධර්මයක් ලෙසින් දැක් වේ. ඒ ග්‍රාම්‍ය ධර්මයෙන් වැළකීම බ්‍රහ්මචර්යා ව වේ.

    ඛුද්දක නිපාතයේ ඇති ආපායික සූත්‍රය මෙහිදී ඔබගේ අවාධනයට යොමු කරමි. එහි මෙසේ දැක් වේ.


    “මහණෙනි, මේ (කියනු ලබන දෙවැදෑරුම් පාපසමාචාර) අත් නොහැර අපායේ උපදින නිරයේ උපදින මේ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක් ද යත්: යමෙක් බ්‍ර‍හ්මචාරී නොවූයේ බ්‍ර‍හ්මචාරී වෙමි යි ප්‍ර‍තිඥා කෙරේ ද, යමෙකුත් පිරිසිදු බඹසර හැසිරෙන්නහුට අමූලික ග්‍රාමධර්‍මයෙන් දැන දැන චොදනා කෙරේ ද, මහණෙනි, මෙය අත් නොහැර අපායේ උපදින නිරයේ උපදින මේ දෙදෙන වෙත්.

    ගිහියාට අවශ්‍ය නම් බ්‍රහ්මචාරී විය හැක. එය පිළිවෙතකි. එවැනි බ්‍රහ්මචාරී පිළිවෙත් අනුගමනය කරන්නෙකුට එසේ නොවේ යැයි චෝදනා කරන අයකු නැත්නම් බ්‍රහ්මචාරී නොවී තමුන් බ්‍රහ්මචාරී යැයි කියන්නෙකු අපායේ උපදින බව බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත.

    අංගුත්තර නිකායේ ගිහි සූත්‍රය ඔබ හොඳින් අසා ඇති සූත්‍රයක් බව මා දනිමි. එනිසා ඔබට ඒ පිළිබඳව විස්තර කිරීමක් අවශ්‍ය නොවේ. එහි මුඛ්‍ය චරිතය අනාථපිණ්ඩික සිටුතුමානන් ය. නමුත් බුදුරජාණන්වහන්සේ ඔහුට ඇසීමට සැලසෙන සේ සැරියුත් ස්වාමීන්වහන්සේට මේ දේශනාව කරයි. සෝවාන් වූවකුට තමන් සෝවාන් යැයි කිවහැකි අවස්ථාව මෙහිදී දේශනා කර තිබේ. වැඩිදුරටත් සූත්‍රයේ මෙසේ ද දක්වා තිබේ.

    “ශාරීපුත්‍රයෙනි, මෙ සස්නෙහි ආර්ය්‍යශ්‍රාවක පණිවායෙන් වැළකියේ වෙයි. අයිනාදනින් වැළකියේ වෙයි. කාමයෙහි මිසහසරික් වැළකියේ වෙයි. මුසවායෙන් වැළකියේ වෙයි. මදයට ප්‍රමාදයට කරුණු වූ රහමෙරින් වැළකියේ වෙයි.

    පංච ශීලය මෙහිදී දේශනා කරන අතර එහි දී කාමය වරදවා හැසිරීමෙන් වැළකීම සඳහන් කර ඇත.

    නැවතත් අංගුත්තර නිකායේ සාරජ්ජ සූත්‍රයේ දී මෙසේ සඳහන් ය.


    “මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත උපාසක ශාරද්‍යයට (බියට) බටුයේ වෙයි. කවර පසෙකින් යත්:

    පණිවා කරණුයේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසාවා කියනුයේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහමෙර බොනුයේ වෙයි.

    මහණෙනි, කරුණු පසෙකින් සමන්වාගත උපාසක විශාරද වෙයි. කවර පසෙකින් යත්:

    පණිවායෙන් වැළකියේ වෙයි. අයිනාදනින් වැළකියේ වෙයි. කාමයෙහි මිසහරින් ‍වැළකියේ වෙයි. මුසවායෙන් වැළකියේ වෙයි. මද පමා දෙකට කරුණු වන රහමෙරින් වැළකියේ වෙයි.

    මහණෙනි, මෙ කරුණු පසින් සමන්වාගත උපාසක විශාරද වේ ය යි.


    අංගුත්තර නිකායේ ම නිරය සූත්‍රයේ දී දැක්වෙන ආකාරයට ඉහත කී කරුණු පහ සිදු කරන්නා වූ පුද්ගලයා මරණයෙන් මතු සෘජුවම උපදින්නේ නිරයේ ය.

    සුත්ත නිපාතයේ බ්‍රාහ්මණධම්මික සූත්‍රයේ දී පහත ලෙසින් සඳහන් ය.

    “ඔවුහු අටසාළිස්වසක් කුමර බඹසර වුසූහ. පෙර බමුණෝ විද්‍යාධ්‍යයනය හා සිල් රැකීම ද කළහ. බමුණෝ පරඹුන් වෙත නො ගියහ. ඔවුහු අඹුවන් මිළට නොගත්හ. අන්‍යොන්‍ය ප්‍රෙමයෙන් සමග සංවාසය මැ කැමැති වූහ. බමුණෝ නියමිත ඍතුකාලයෙහ් මුත් ඍතුවෙන් මිදුනු අඹුව වෙත අතරතුර මෙවුන්දමට නො ගියහ. (ඔහු) (මෛථන විරතිසඞ්ඛ්‍යාත) බඹසර ද (සෙසු සිකපද සතර වූ) ශීලය ද ඍජුබව ද මෘදු බව ද (ඉන්ද්‍රියසංවරසඞ්ඛ්‍යාත) තපස ද (නොපිළිකුල් හැසිරීම වූ) සුරතබව ද (කරුණාපූර්වභාගය වූ) අවිහිංසාව ද (අධිවාසන්ක්ෂාන්තිය වූ) ඉවසීම ද වැණූහ. ඔවුනට ශ්‍රේෂ්ඨ වූ දෘඪපරාක්‍රම ඇති යම් ඒ බ්‍රහ්මයෙක් වී ද හේත් සිහිනෙනුදු මෙවුන්දමට නො ගියේ ය.

    සිඟාලෝවාද සූත්‍රය තුළ ගිහි විනය දැක් වේ. එහිදී මෙසේ සඳහන් වේ.


    “ඔහුගේ කවර සතර දෙනෙක් කර්ම ක්ලේශයෝ (අත්බව කිලිටි කරන කර්ම) ප්‍රහීණ වෙත් ද? ගහැවිපුත, ප්‍රාණඝාතය වනාහි කර්ම ක්ලේශයෙකි, අදත්තාදානය කර්ම ක්ලේශයෙකි, කාමයන්හි වරදවා හැසිරීම කර්ම ක්ලේශයෙකි, මෘෂාවාදය කර්මක්ලේශයෙකි. ඔහුගේ මේ ක්ලේශයෝ ප්‍රහීණ වෙත්. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා, ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ නැවැත ගාථා බන්ධන වශයෙන් අනෙකක් වූ මෙය වදාළ සේක:

    පණීවා ද, අයිනාදන් ද, මුසවා යැ යි යමෙක් කියනු ලැබේ නම් එය ද, පරඹුන් කරා යෑම ද යන මේ දෑ නුවණැත්තෝ නො පසසත්.


    මේ අනුව කාමයේ වරදවා හැසිරීම කර්ම ක්ලේශයක් ලෙසින් දැක් වේ. කර්ම ක්ලේශ දුරු කිරීමට අවශ්‍ය නම් ගිහියා සිදු කළ යුතු කර්තව්‍යයක් වන්නේ කාමයේ වරදවා නොහැසිරීමේ පිළිවෙත අනුගමනය කිරීම ය. එසේ නම් එයින් කියැවෙන අනෙක් ස්ථාවරය වන්නේ කාමය නිවැරදිව හැසිරීම ගිහියාට වරදක් නොවන බවයි. එයින් ගිහියාගේ නිවන් මාර්ගය ප්‍රමාද වූවත් බැහැර නොවේ. එසේම පංච ශීලය රකින්නා බුද්ධ ශ්‍රාවකයකු ද වෙයි. ඔහුට සෝවාන් ඵලය පවා ලබා ගත හැක.

    කෙසේවෙතත් අංගුත්තර නිකායේ උපෝසථ සූත්‍රයේ දී විශාඛාව අරඹයා පහත දේශනාව බුදුරජාණන්වහන්සේ සිදු කර තිබේ.


    “රහත්හු දිවිහිම් අබ්‍රම්සර හැරදමා බඹසර ඇත්තාහු අබ්‍රම්සරින් දුරුව වසන්නාහු ගැමිදහම් වූ මෙවුන්දමින් වැළකුනාහු වෙති, මම ද අද මේ රෑ හා මේ දාවල හා අබ්‍රම්සර හැරදමා බඹසැරියෙම් ගැමිදම් වූ මෛථුනයෙන් වැළකීයෙම් වෙමි. මම මේ ගුණාඞ්ගයෙනුදු රහතුන් අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් ද වුසූයේ වෙයි. .....

    විශාඛාවෙනි, මෙසේ විසූ අරියූපෝසථය මහත්ඵල වෙයි. මහානිසංස ද වෙයි. මහාජූතික ද වෙයි. මහාවිප්ඵාර ද වෙයි.


    මේ අනුව ආර්ය උපෝසථ ශීලය ආරක්ෂා කරන්නේ නම් නිවැරදි කාම සේවනයේ යෙදීම ද ගිහියා විසින් සිදු නොකරන්නේ ය. පංච ශීලය සහ ආර්ය උපෝසථ ශීලය අතර වෙනස ද සැලකිල්ලට ගැනීම ද මෙහිදී වැදගත් වේ. නිවැරදි කාම සේවනයේ යෙදීම බුදුරජාණන්වහන්සේ විසින් ගිහියන් උදෙසා සීමා කර නොමැති බව මෙයින් පෙනී යයි.