පැට්රික් හෙර්නැන්දේස් ( Patrick Hernandez) නමැති ගායකයාගේ නම ඔබ බොහෝ විට අසා නැති වන්නට පුළුවන. එයට හේතුව ඔහු ප්‍රංශ ගායකයෙකු වීමත් ජීවිත කාලයටම ගායනා කර ඇත්තේ එක ගීතයක් පමණක් වීමත්ය. එසේ වුවද මේ කියන ඔහුගේ එකම ගීතය ඔබේ සවන් වැකී තිබෙන්නට පුළුවන. එය Born to be Alive නම් වෙයි. මේ ගීතය කොපි කරමින් නිර්මාණය වුණු Jab Pyaar Kisise Hota Hai චිත්‍රපටයේ (1998) "Pehli pehli baar නම් ගීතය යම් හෙයකින් ඔබ අසා තිබෙන්නට පුළුවන . ( ප්‍රියතම සංගීතඥයින් දෙදෙනෙකු වූ ජතින් - ලලිත් අනුන්ගේ සින්දු කොපි කරනා බව දැන ගත්තේ මෙය ඇසීමෙනි )
ප්‍රංශ ජාතිකයෙකු වුවත් පැට්රික් හෙර්නැන්දේස් මේ ගීතය ගයා ඇත්තේ ඉංග්‍රීසියෙනි. මුල් වරට 1979 වසරේ එනම් "ඩිස්කෝ " යුගයේ මේ ගීතය කළ එළි දුටු විට යුරෝපයේ Hit Chrats හි මාස තුනක් පුරාම පළමු තැන ගත් බව වාර්තා වෙයි. මේ කාලය ඇතුළත පැට්රික් හෙර්නැන්දේස් උපයා ගත් ආදායම ඩොලර් මිලියන 25 කි . මාස කීපයක්, වසර කීපයක්ම එකම ගීතය ජනප්‍රියව තිබේ නම් , ඒ ගීතය ගැයීමෙන් ආදායම් උපයා ගත හැකි නම් තව දුරටත් වෙනත් ගීත නිර්මාණය කිරීමෙන් ඇති ප්‍රථිපලය කුමක්දැයි ඔහු සිතුවා විය යුතුය. මක් නිසාද අවුරුදු 41 ක් ගත වී ඇතත් ඔහු වෙනත් ගීතයක් නිර්මාණය කර නැති හෙයිනි. එහෙත් අමතක නොකළ යුතු කාරණාව වන්නේ අදටත් ඔහු ජීවත් වන්නේ 1979 වසරේදී ගැයූ මේ එකම ගීතය නිසා බවයි.
අදටත් පැට්රික් හෙර්නැන්දේස් මේ ගීතය නිසා දිනකට යුරෝ 800 - 1500 ත් අතර මුදලක් උපයා ගන්නා බව වාර්තා වෙයි. එසේ වන්නේ කෙසේද..?
පැට්රික් හෙර්නැන්දේස් මේ ගීතයේ රචකයාය. තනු නිර්මාපකයය. ගායකයා ය. මේ නිසා තෙවදෑරුම් ආකාරයන්ගෙන් ඔහු ගීතයේ අයිතිය දරයි. එසේ වුවද ඔහුට එක දිනකට මේ මුදල ලබා දෙන්නේ , එසේත් නැතිනම් ඔහුට හිමිවිය යුතු බව තීරණය කරන්නේ කව්ද..? එය තීරණය කරන්නේ Sacem නමැති ප්‍රකට ආයතනයයි.
ගීතකය අයිතිය රැක දීමට , එහි නිර්මාපකයා කොල්ල කෑමට ලක් නොවන සේ ආරක්ෂා කර ගන්නට අති මහත් සේවයක් ඉටු කරන මේ සුවිශේෂ ආයතනය කුමක්දැයි සොයා බලමු.
1847 වසරේ දවසක ප්‍රංශ අවන්හලකට ගොඩවී කුස පුරවා ගත් සංගීතඥයින් තිදෙනෙක් අවසානයේදී බිල ගෙවීම ප්‍රතික්ෂේප කළහ . මෙයට හේතුව වශයෙන් ඔවුන් දක්වන ලද්දේ තමන් විසින් නිර්මාණය කරන ලද ගීතයක් ඒ වන විට අවන් හලේ වාදනය වෙමින් පැවතුනු බවත් අයිතිකරුවා තමන්ගෙන් අවසරයක් ලබා නොගෙන ගීතය ප්‍රචාරය කළ නිසා කෑම සදහා වන මුදල නොගෙවන බවත්ය . මෙසේ ආරම්භ වුණු සිද්ධිය නඩු විභාගයක් දක්වා ඇදී ගිය අතර ගීතයක හිමි කරුවන්ගේ අයිතීන් රැක දීම තුළින් ඔවුන්ට ආදායමක් ලබා දීම සාධාරණ ක්‍රමයක් බව බලධාරීහු වටහා ගත්හ. මේ අනුව 1851 වසරේදී Sacem හෙවත් Société des auteurs, compositeurs et éditeurs de musique ආයතනය බිහි විය. සංගීත ශිල්පින් ගේ අයිතීන් රැක දෙනු වස් ලොව බිහිවුණු මුල්ම ආයතනය මෙය බව මතකයේ තබා ගත යුතුය. අනෙක් රටවල ඇති වන්නට පටන් ගත්තේ ඉන් පසුවය. උදාහරණයක් ලෙසට 1914 දී මහා බ්‍රිතාන්‍යයේ Performing Right Society ආයතනය බිහි විය.
Sacem ආයතනයේ කාර්යය භාරය ඉතා සරළය . පැහැදිළිය . ගීතයක් ප්‍රචාරය වීමේදී එහි නිර්මාණ කරුවන් තිදෙනාට , එනම් රචකයාට , තනු නිර්මාපකයාට , සහ ගායකයාට හිමි විය යුතු මුදල ලබා දීමට කටයුතු සූදානම් කිරීම ඔවුන්ගේ කාර්යය යි. එහෙත් මේ සද් කාර්යය ඉටු කිරීම සඳහා දවසේ පැය 24 පුරාම ඔවුහු සංකීර්ණ මෙහෙවරයක දී සිටින බව පැවසිය යුතුය.
මෙහි දෙවැනි පින්තුරයෙන් දැක්වෙන්නේ පැරිස් නගරයට ආසන්නයේ ඇති Sacem ආයතනයේ මූලස්ථානයයි . මේ ආයතනය වෙනුවෙන් 11000 ක් දෙනා සේවය කරන අතර ප්‍රංශයේත් (8000 ක් ) ලෝකයේ තවත් රටවල් 28 කත් (3000 ක් දෙනා ) ඔවුහු විසිරී සිටිති. එක අතකින් මේ සේවකයින් වනාහි ඔත්තු කරුවන් වශයෙන් හඳුන්වා දීම නිවැරදිය. ඔවුන්ගේ රාජකාරිය වන්නේ අවසර ගැනීමකින් තොරව ප්‍රංශ ගීතයක් කොහේ හෝ තැනක වාදනය වන්නේද , ගැයෙන්නේද යන්න සොයා බැලීමයි.
උදාහරණයක් ගනිමු. සියයක් දෙනා එක්වන සාදයකදී ඔබ Celine Dion ගේ ප්‍රංශ ගීතයක් ගායනා කරන්නේ යැයි සිතන්න. ගැටළුවක් නැත. මක් නිසාද එය වනාහි සංවිධායකයා මුදල් උපයා ගන්නා සාදයක් නොවන නිසාය. එහෙත් මුදල් අය කර ප්‍රේක්ෂකයින් ඇතුල් කර ගන්නා ප්‍රසංගයකදී ඔබට Celine Dion ගේ ගීතයක් ගායනා කරන්නට නම් සංවිධායකයා යම් මුදලක් Sacem ආයතනයට ගෙවිය යුතුය. මහ ලොකු මුදලක් නොවේ. එක ගීතයක් වෙනුවෙන් යුරෝ 5-8 ක අතර මුදලකි. මේ ලැබෙන මුදලන් 88% Sacem ආයතනය විසින් ගායිකාවගේ තැටි නිෂ්පාදන ආයතනයට ගෙවනු ලබයි. නිෂ්පාදන ආයතනය සෙලින් දියොන් ඇතුළු ගීතයේ අනෙක් අයිතිකරුවන් ට මුදල බෙදා දෙයි.
ප්‍රංශයේ ඕනෑම නගරයක මුදල් අය කර ගන්නා සංගීත ප්‍රසංගයක් සංවිධානය වෙද්දී ඒ ප්‍රදේශයේ නගර සභාවෙන් අවසර ලබා ගත යුතුය. ඒ වෙනුවෙන් පිරවිය යුතු පෝරමයේ ගැයෙන ගීත ගැන එහි අසා තිබේ. ඉන් අනතුරුව මේ ප්‍රසංගය ගැන නගර සභාව විසින් Sacem ආයතනයට දැනුම් දෙනු ලබයි. ආයතනයේ නියෝජිතයින් සෑම ප්රසංගයකටම සහභාගී වන්නේ නැති වුණත් අහඹු ලෙස තෝරා ගන්නා ප්‍රසංග වලදී ගැයෙන ගීත ගැන අවධානය යොමු කරති. ලංකාවේ භාතිය සංතුෂ් පැරිස් නගරයට පැමිණ සංදර්ශනයක් පවත්වන මොහොතක Sacem ආයතනයේ ඔත්තු කරුවන් පැමිණ වැඩ සිද්ධ වන්නේ කෙසේදැයි පරික්ෂා කරන්න නැත. මක් නිසාද ගැයෙන්නේ ප්‍රංශ ගීත නොවන නිසාය . එහෙත් යම් හෙයකින් ලංකාවේ සිට පැමිණෙන වෙනත් ගායිකාවක් Celine Dion ගේ S'il suffisait d'aimer ගීතය ගැයුවෝතින් දඩයක් කන්නට සිදුවන බව පැහැදිළිය .
වසර 170 කට පෙර බිහිවූ දා පටන් මේ ආයතනය දිනෙන් දින තමන්ගේ කටයුතු ප්‍රසාරණය කර ඇති බව පෙනේ. මුලින්ම පෞද්ගලික ආයතනයක්ව පැවත , රජයේ පාලනයට පත්වුණු පසුව පැවති රජයන් විසින් කලා නිර්මාණ රැක ගැනීම උදෙසා පනවන ලද විවිධ නීති අනුගමනය කරන්නට Sacem ආයතනයට සිදු විය. වඩා වැදගත්ම උදාහරණය වන්නේ 1992 වසරේ ඇති කරන ලද Code de la propriété intellectuelle හෙවත් Intellectual property Law නීතියයි. සංගීත ක්ෂේත්රයේ සෑම අංශයක්ම හසු වන පරිදි සකසා ඇති මේ නීතිය මගින් ගීතයන් මංකොල්ලකරුවන් අතට පත් වීමේ ප්රවනතාවය "බිංදුවට " අඩු කර තිබේ. අනුන්ගේ ගීත අවසරකින් තොරව ප්‍රසංග වේදිකාවේ ගායනා කරන , ඒවා ඍජුව හෝ වක්‍රාකාරයෙන් තමන්ගේ නිර්මාණයන්ට ඇතුළත් කර ගන්නා තැනැත්තාට දරුණු දඩුවම් විඳින්නට සිදුවෙයි. එය ඇතැම් විටක සිර දඩුවමක් විය හැකිය. (Sacem මැදිහත් වීම නිසා සිර දඩුවම් ලැබූ අයෙක් ගැන අසන්නට ලැබෙන්නේ නැත. එහෙත් 2018 වසරේ අවසර නොමැතිව Patrick Bruel නමැති ගායකයා ගේ ගීතයක් වෙළඳ දැන්වීමකට යොදා ගැනීම නිසා බෙල්ජියම් රක්ෂණ සමාගමක් වන Ethias ආයතනයට යුරෝ මිලියන 02 ක වන්දියක් ගෙවන්නට සිදුවිය )
ප්‍රංශය යනු කලාකරුවන්ට උදව් නොකරන රටකි. එහෙත් ඔවුන්ගේ උත්සාහය කලාව රැක ගැනීමයි. කලාව රක ගැනීම තුළින් කලා කරුවා රැකෙන බව ඔවුන්ගේ විශ්වාසයයි. විශේෂයෙන්ම Sacem ආයතනය උර දෙන්නේ ඒ කාර්යටයි.
ඔබ ප්‍රංශ බසින් ලියා ගායනා කළ අලුත්ම ගීතයක් නිෂ්පාදකයෙකුට යොමු කළා යැයි සිතන්න. නිෂ්පාදකයා ඔබේ ගීතයට කැමති වුවහොත් වඩා ඉහළ තත්වයේ පටිගත කිරීමකට ඔබට ආරාධනා කරනු ඇත. එසේ පටිගත කිරීමෙන් අනතුරුව එය Sacem ආයතනයේ ලියාපදිංචි කරනු ලබයි. ලියා පදිංචි කිරීමෙන් පසුව ලැබෙන අංකය නොමැතිව කිසිදු ගුවන් විදුලි හෝ රූපවාහිනී සේවාවක් විකාශනය සඳහා භාර ගන්නේ නැත. ගීතය XXX යනුවෙන් හඳුන්වමු. දැන් මේ XXX ගීතය NRJ ගුවන් විදුලි සේවයේ දිනකට තුන් වතාවක් විකාශනය වූයේ නම් විකාශන අයිතිය වෙනුවෙන් වන ගෙවීම Sacem ආයතනයට ගෙවිය යුතුය. බොරු කරන්නට නොහැකිය. වුවමනා නම් හය වතාවක් විකාශනය කර , තුන් වතාවක් යැයි වාර්තා කරන්නට පුළුවන. එහෙත් පරීක්ෂකයින් ගේ ඇසට ලක් වූවොතින් දඩ ගෙවන්නට සිදුවනු ඇත. ඇතැම් අවස්ථාවක සේවය තහනමකට ලක් වීමට පවා ඉඩ ඇති බවින් Sacem ආයතනය සමග හැංගි මුත්තන් කිරීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත.
Sacem ආයතනය අද දවසේ ක්‍රියාත්මක වන ආකාරය දෙස බලද්දී , ඔවුන්ගේ උකුසු ඇසින් ගැලවී , අනුන්ගේ නිර්මාණ කොල්ල කා ගන්නට කිසිවෙකුටත් නොහැකි බව පෙනී යයි. මිලියන 140 ක් පමණ වන ගීත වෙනුවෙන් ලක්ෂ පහක් පමණ නිර්මාණ කරුවන්ට ඔවුන් ගෙවීම් කරති. එය ලාභ ලබන ආයතනයකි. තවත් අයුරකින් කියන්නේ නම් අනුන්ගේ ගීත ආරක්ෂා කර කලා කරුවා ජීවත් කරවන අතරම ආයතනයද සාක්කුව පුරවා ගනියි. උදාහරණයක් ලෙස 2018 අවුරුද්දේ ඔවුහු යුරෝ මිලියන 1066 ක ආදායමක් ලැබූහ . එයින් මිලියන 933 ක් නිර්මාණ කරුවන් වෙත බෙදා දුන් විට ඉතිරිය තම සේවකයින්ගේ දිවි සරු කර ගැනීම වෙනුවෙන් ඔවුන්ට යොදා ගත හැකිය.
මුළින්ම සඳහන් කළාක් මෙන් වසර 40 ක් ගතව ඇති නමුදු එකම ගීතයකට පින් සිදු වන්නට පැට්රික් හෙර්නැන්දේස් ට සුඛෝපභෝගී දිවියක් ලැබී ඇත්තේ Sacem ආයතනයේ මැදිහත් වීම නිසාය. එවැනි ආයතනයක් නොතිබුණා නම් ඔහුට සිදුවනුයේ වෙනත් රැකියාවක් සොයා ගන්නටයි . ඔහුගේ මේ ගීතය යම්කිසි ගුවන් විදුලි , රූපවාහිනී ආයතනයක් විකාශනය කරන වාරයක් පාසා මෙන්ම වෙළඳ දැන්වීමකට , සිනමා පටයකට යොදා ගන්නා සෑම මොහොතකම මුදලක් ඔහුට ලැබෙන්නේ Sacem ආයතනය නිසාය.
ප්‍රංශ කාරයෝ යනු එක් කළෙක අනුන්ගේ දේවල් සොරා ගත් පිරිසක් බව අපි දනිමු. ඔවුන්ගේ කෞතුකාගාර වල නම් තමන්ට අයිති නැති කලා නිර්මාණ බොහොමයක් දැක ගන්නට හැකිය. එසේ වුවද විශේෂයෙන්ම අද දවසේ තමන්ගේ කලා නිර්මාණ අවසරකින් තොරව අනෙකුන් අතට පත් වනවා දකින්නට ඔවුන්ගේ වැඩි කැමැත්තක් නොවේ. එය ගීත වලට පමණක් නොව සාහිත්‍ය කෘති වලටත් එසේමය. ගෙවුණු වසර 70 තුළ පළවුණු ප්‍රංශ පොතක් (ඉංග්‍රීසි බසින් හෝ වේවා ) සිංහලට හරවන්නේ නම් ප්‍රවේසම් විය යුත්තේ තමන්ගේ නිර්මාණ රැක ගැනීම සදහා නඩු මගට බසින්නට ප්‍රංශ කාරයෝ විශාල කැමැත්තක් දක්වන බැවිනි.
Quoted from Manjula Senaratne's wall


