ගී රණඹර සිතුවම් කළ කේ ඩී කේ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ගී රණඹර සිතුවම් කළ කේ ඩී කේ

    කේ ඩී කේ ධර්මවර්ධන
    දශක සතක පමණ ආයු විඳින නූතන සිංහල ගීතාවලියේ එදාමෙදා තුර ලියෑවුණු ගීත සංඛ්‍යාත්මකව අතිවිශාලය. එහෙත් එයින් ශ්‍රාවක මන බැන්දූ නිර්මාණයන් අතරින්ද ප්‍රශස්‌ත ගණයේ ගීත සීමාසහිතය. එකී ගීත රචක ලැයිස්‌තුවේ ඔහුගේ නම ද ඇතුළත් විය යුතුමය.

    එවන් ගීතයන්ට පෙම්බැඳි රසිකයන්හට කළුආරච්චිගේ දොන් කුමාරසිරි ධර්මවර්ධන එනම් කේ ඩී කේ ධර්මවර්ධන නාමය ආගන්තුක නොවේ.

    හෝපලු වනපෙත (ගායනය හා සංගීතය ආචාර්ය වික්‌ටර් රත්නායක) සිසාරා කුමරියක පා සළඹ (පණ්‌ඩිත් අමරදේව තනුව - වික්‌ටර් රත්නායක) පිසදා හමා යන්නේ සිහිළැති කේ ඩී කේ නිර්මාණ මදපවනයි.

    1944 පොසොන් මසින් 13 වැනි දාතමින් මහනුවර දී ජන්ම ලාභය ලබන ලදුව ධර්මරාජ විදුහලෙන් අකුරු කළ කේ ඩී කේ පසුව මල්වතු මහා විහාරයේ එවකට වැඩසිටි වෑඋඩ දේවමිත්ත නායක හිමියන්ගේ ඇසුර ලබමින් පාලි - සංස්‌කෘත භාෂාවන්හි හසළ දැනුමැත්තකු විය.

    මේ අතරවාරයේ සිය පියාණන් වූ එඩ්මන්ඩ් ධර්මවර්ධන විසින් පවත්වා ගෙන ගිඟ මුද්‍රණාලයේ කටයුතුවලට අතහිත දුන් හෙතෙම මහනුවර තරුණ බෞද්ධ සමිතියේ ක්‍රියාශීලී සාමාජිකයකුව එහි ලේඛන කටයුතුවලද නිරතවෙමින් සිටියේය.

    පසුව පේරාදෙණිය සහ කොළඹ සරසවි පුස්‌තකාල සහකාර තනතුරේ රැඳී නිරන්තරයෙන් පැරණි සම්භාව්‍ය කෘති ද ඇතුඵ පොතපත දැඩිව පරිශීලනය කළේ සිය භාෂා ඥානය තවදුරටත් වඩවා ගැනීමේ පිපාසයෙනි.

    ගුවනේ තක්‌සලාවක්‌ බඳු වන් එදා ගුවන් විදුලි වැඩසටහන් ශ්‍රවණය කරමින් ඊට අසීමිතව පෙම්බැඳ යම් දිනක සිය මතු දිවිය ඒ ඇසුරේ ගතකරන්නට සිහින මැවීය.

    1967 වසරේ දී සිය අභිප්‍රාය සපුරාගත් ඔහු එතැන් සිට සිය හඬ ගුවන සිසාරා පිළිරැව් දෙන්නට සැලැස්‌වීමෙන් නොනැවතී තමා ප්‍රගුණ කළ ශිල්ප කලාව අරුත්බර ගී පදවැල් ඔස්‌සේ පතුරුවා හැරියේය. එකී ගී පද අතර රැඳි වදන් පිරික්‌සන සාහිත්‍යකාමීන් ඔහු කොතරම් නම් සම්භාව්‍ය සාහිත රසයට ආශක්‌තව නිර්මාණකරණයේ යෙදෙන්නට ඇද්දැයි යන්න පසක්‌ වේ.

    ඉන් දෙවසරක ඇවෑමෙන් ගායන ශිල්පී මිල්ටන් මල්ලවාරච්චි වෙනුවෙන් පබැඳුණු - ආදරයේ මිහිර රැඳී (තනුව ආචාර්ය වික්‌ටර්) ගීයෙන් ඇරඹී දශක තුනකට ආසන්න යුගයක පැතිර ගිය ඔහුගේ ගී පද රචනා කලාවේ මහිමය කියා පෑ නිර්මාණ අතර වැඩිමනත්ව ගුවන් විදුලි හා වෙළෙඳ තැටි ගීත මෙන්ම සිනමා ගීතද වෙයි

    කබාය ඉරිලා (පණ්‌ඩිත් අමරදේව) - ආදරේ රන් බිඟුන් - රන් මීවිත පුරවා - නිලුපුල් යුවළේ (මර්වින් පෙරේරා) - ඇඟේ සිනහව තහනම් - ගම මහනුවරයි (චන්ද්‍රකුමාර් කඳනාරච්චි) - අමකර කුරවි සරින් (ඩබ්ලිව්. ප්‍රේමරත්න) - බිඟු වැළපීලා (ප්‍රියා සූරියසේන) - දෙඅදර විළිකුන් - ඉවුරු තලා - රන්මසු නෑ කියා - සිහිනෙන් ඔබ මට (මිල්ටන් මල්ලවාරච්චි) - නළවා නිසල ලවන් - නීල බිඟු කැළ - වෙන්වෙන්නවාදෝ ළංවූයේ (වික්‌ටර් රත්නායක) - සුරඟන වෙස්‌ වළා (ක්‌ලැරන්ස්‌) - උමයංගනියෝ (ජෝති) කළේ පැන් ඇත (සුනිල් එදිරිසිංහ) - අද හවසට මා - සුරංගනා මල් ඇතිරූ (සුජාතා අත්තනායක) උණ පඳුරක මල් (විඡේසිරිවර්ධන පොළොන්නෝවිට) - සිතාවනි ඔබ (වින්සන්ට්‌ ප්‍රේමසිරි) - මගෙ හිත පිරී තිබෙන්නේ (අබේවර්ධන බාලසූරිය - නිරංජලා සරෝජිනී) - ඔබට සිත ආදරේ කරයි (දයාරත්න පෙරේරා)

    ඔහු පෑන් තුඩින් ලියෑවුණු එදා මෙදා තුර ගී රසිකයන් මන්මත් කළ නිර්මාණ අතර කැපී පෙනෙයි.

    80 දශකයේ අගභාගයේ ජාතික ගුවන් විදුලියේ ප්‍රථම ස්‌ටීරියෝ විකාශය වූ සිටි එෆ් එම් චැනලය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදෙන්නට ඔහු සමත් වූයේ එවකට සිංහල සේවා අධ්‍යක්‌ෂ ප්‍රවිණ මාධ්‍යවේදී පාලිත පෙරේරා සහ සභාපති හඩ්සන් සමරසිංහ යන මහත්වරුන්ගේ මඟපෙන්වීමෙනි.

    සිය අභිනව විකාශය පවත්වා ගැනීම සඳහා එකී තාක්‌ෂණය අනුගතව පටිගත වූ ගුවන් විදුලි ගී නොතිබූ අවධියක එවකට නම්දැරූ කැසට්‌පට නිෂ්පාදක ආයතනයක සහාය ලබමින් එකී අභියෝගය ජයගන්නට ඔවුන් දෙදෙනා සමත් විය.

    දාරක පෙමින් බැඳෙමින් නිරතුරු රැඳෙමින් එහි අභිවෘද්ධිය පැතූ ඔහු එය නිති නිති අත්කර ගනිමින් තිබූ ජනප්‍රසාදය හමුවේ නිහතමානීව සතුටු විය.

    ඉන් අනතුරුව එළඹි වකවානුවේ හමාගිය දේශපාලන කුණාටු රැල්ල අවසානයේ සිදුවූ ආණ්‌ඩු පෙරළියට හසුව සිය තනතුර හැරයන්නට සිදුවූ කේ ඩී කේ හට තමා ඇලුම් කළ තමාට ඇළුම් කළ ශ්‍රාවක සමූහයාගෙන් දුරස්‌ වන්නට කටයුතු සැලැස්‌වී තිබිණි. ඔහු සත් මුහුදින් එතෙර රටකට පියඹා ගියේය.

    1996 වසරේ පටන් කේ ඩී කේ හඬ ඇසුණේ එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් විදුලි ආයතනයකිනි. ඒ එහි වෙසෙනා සිංහල අසන්නන් වෙනුවෙන් පවත්වාගෙන යන ලද විකාශය ඔස්‌සේය.

    ඇය සමදරා කෝට්‌ටගේය. සිය අනාගත සිහිනය වූ වෛද්‍ය වෘත්තිය බොඳ කරනු ලැබ 1972 වසරේදී පළවු ගැසට්‌ නිවේදනයකට ප්‍රතිචාර දක්‌වමින් ජාතික ගුවන් විදුලියේ නිවේදක මඬුල්ලේ සාමාජිකාවක්‌ බවට පත් වූවාය. පසුව කේ ඩී කේ සිය ජීවන සහකරුවා බවට පත්කර ගන්නට වසනා මහිමය ලද්දීය.

    ඇයගෙන් ද සිය රසික - මිතුරු සමාගමයෙන් ද ඈත්ව ගියත් තමා වෙළාගත් නුහුරු හුදකලාවට හැකි සැම විටකම විරාමය තබනු රිසිවූ ඔහු ලැබුණු විවේකයේදී මවුබිමේ සිය සුපුරුදු සොඳුරු නිවහන කරා පැමිණියේය. යළි සමුගෙන යන දින එළඹි දිනයේදී යුහුසුළුව ඊට ලක ලැහැස්‌ති වී ගුවන් තොට කරා තමා කැඳවාගෙන යන්නට පැමිණි රථය වෙත පියමැන එහි අසුන්ගත්තේ ඇය නිවසේ දොර වසා අගුළු ලා පැමිණෙන තුරුය මේ පුරුද්ද නොකැඩී පැවතිණි.

    මෙවන් එක්‌තරා දිනක දොරටුවෙන් මෙපිටට වන් ඔහු සියතින්ම සිය නිවහනේ දොරගුළු ලා යතුරු ඇය සුරතේ තැබීය. නිහඬවම ගොස්‌ රථයේ අසුන් ගත්තේය. ඔහු රැගත් ගුවන් යානය ඈත වලාකුළු අතර සැඟව යන තෙක්‌ ඇය බලා සිටියාය.

    කාලය පියඹා යමින් පැවතෙද්දී එක්‌තරා දිනයක සිය කර්යාලයේ සේවය නිමවා පැමිණි ඇයට ලැබුණු පුවතකින් කියෑවුණේ ඔහු හදිසියේ රෝගාතුරව එනුවරදී රෝහල් ගත කළ බවකි. එහෙත් එය සැබෑ තතු සඟවන්නක්‌ම විය. කේ ඩි කේ ධර්මවර්ධන නම් මේ අපූර්ව රසවතා ඒ වන විටද මෙලොවින් සමුගෙන ගොස්‌ තිබිණි. ඒ දිනය 2000 වසින් ඉල් මස 06 ලෙසින් සටහන් විය.

    සිංහල ගීත සාහිත්‍යය එකලු කළ මහත් වූ නිර්මාණ පෙළට අමතරව ඔහු දායාද කොට තබා ගිය තවත් යමක්‌ විය. ඒ ඔහු සිය ජීවන චාරිකාව පුරාවටම රැස්‌කරගත් සිය ගේයපද කලාවට ගුරු වූ පොත්පත් එකතුවයි.

    අල්පේච්ඡතාවයෙන් සිය දිවි මග සරසාගත් ඔහු නිරතුරු රැස්‌ කළ ධනය එපමණම විය. ඒවා අතර පැරණි ගද්‍ය පද්‍ය සාහිත්‍යය කෘති ද බොහෝ විය.

    ඔහු මෙලොවින් නික්‌ම ගොස්‌ දාහත් වසක්‌ ගෙවී ගිය තැන්හිදී සරසවි සිසු දරු නැණ පහන් දල්වනු පිණිස ඒවා ශ්‍රී ජයවර්ධනපුර සරසවි පුස්‌තකාලය වෙත පරිත්‍යග කෙරුණේ කේ ඩී කේගේ දයාබර බිරිඳ සමදරා කෝට්‌ටගේ මහත්මියගේ මැදිහත් වීමෙනි.


    (ස්‌තුතියි - සමදරා කෝට්‌ටගේ සහ ගායන ශිල්පී දයාරත්න පෙරේරා මහත්ම මහත්මීන්ට)

    ප්‍රභාත් රාජසූරිය
     

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    ඔහු මෙලොවින් නික්‌ම ගොස්‌
    den ehe lassanata ethi needa?
    set ekakma innawane.....
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ඔහු මෙලොවින් නික්‌ම ගොස්‌
    den ehe lassanata ethi needa?
    set ekakma innawane.....

    ඔය සෙට් එකම තවම මෙහෙ. නොබීම බැරි නම් මද පමණින්වත් ගත්තා නම්. අපරාදේ අකාලේ ගියා.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඔහුගේ තව එකක් තමයි "සිහින විජිතේ.." (ප්‍රියා සූරියසේන).