ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවද ඉහළ ජනතා ප්‍රසාදයක් සහිත නායකයකු ලෙස නමක් තබා ගැනීමට ඔහුට ඕනෑ තරම් අවස්ථාව තිබුණද, ඔහු වටා සිටි සමීපතමයන් ලබාදුන් වැරැදි උපදෙස් මත ක්‍රියා කිරීම හේතුවෙන් අවසානයේ දැඩි ජනතා විරෝධය හමුවේ රටින් පලා යෑමට ඔහුට සිදුවිය. කෙසේ වෙතත්, යළි මෙරටට පැමිණීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා කිසිදු දේශපාලන කටයුත්තකට හෝ පොදු උත්සවයකට සහභාගි නොවී ඉතා නිහඬ පිළිවෙතක් අනුගමනය කළ අතර, කිසිදු දේශපාලනික ප්‍රකාශයක් සිදු කිරීමෙන්ද වැළකී සිටියේය.
මේ වන විට අප වෙත ලැබී ඇති විශ්වාසවන්ත තොරතුරුවලට අනුව හිටපු ජනාධිපතිවරයා මේ දිනවල දැඩි ලෙස බෞද්ධ දර්ශනයට නැඹුරු වී කාලය ගත කරන බව වාර්තා වේ. බාහිර පුද්ගලයන් හමුවීම හැකිතාක් සීමා කර ඇති ඔහු, දවසේ වැඩි කාලයක් භාවනානුයෝගීව ගත කිරීමට හුරුව සිටින බවත් දැනගන්නට ලැබේ. මීට අමතරව බෞද්ධ දර්ශනය සහ ගැඹුරු භාවනා ක්‍රම පිළිබඳ ලියැවුණු පොතපත පරිශීලනය කිරීමටත්, ඒ පිළිබඳව ධර්මය හැදෑරීමටත් ඔහු දැඩි උනන්දුවක් දක්වන බව මව්රට පුවත්පතේ 'රාජ්‍ය රහස්' තීරයට තොරතුරු ලැබී ඇත.
වත්මන් තත්ත්වය අනුව හිටපු ජනාධිපතිවරයා තම ජීවිතයේ සැඳෑ සමයේදී ගිහි ගෙය හැර දමා ශාසනයට ඇතුළත් වීමේ වැඩි ඉඩකඩක් පවතින බවද අපට දැනගන්නට ලැබේ. යම් හෙයකින් එවැනි තීරණයක් ගතහොත්, ලංකා ඉතිහාසයේ පැවිදි දිවියට ඇතුළත් වූ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාසගත වනු ඇත.

