චතුරාර්ය සත්‍ය භාවනාව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    චතුරාර්ය සත්‍ය භාවනාව :

    චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන්ට ම ප්‍රත්‍යක්‍ෂ වන සේ දකිමින් කරනු ලබන භාවනාව යි මෙයින් අදහස් කරන්නේ. දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය ගැන පොත්පත් කියවා, ධර්ම දේශනා අසලා, මතක තබාගෙන තිබුණත්, අන් අයට ඒ පිළිබඳ කරුණු කියා දෙන්නට හැකියාව තිබුණත්, ප්‍රත්‍යක්‍ෂ ලෙස මෙම සත්‍යයන් නො දන්නා කෙනකුට නිවන් අවබෝධ කරන්නට බැහැ.

    අතීත සංසාරයේ කියන්නට බැරි තරම් කල්ප ගණන් අපි සසර අනන්තවත් දුක් වින්දා. මෙවැනි කුඩා ලිපියකින් ඒවා කෙටියෙන් හෝ දැක්විමට බැහැ. ඒ දුක ගැන කල්පනා කර බලමින් තරමක හෝ අවබෝධයක් ඒ ගැන ඇතිකර ගන්න. මේ දක්වා මේ භවයේ දී කොච්චර දුක් අපි අත් දැකලා තිබෙනවාද , මැරෙන තෙක් තව කොච්චර නම් ජරා ව්‍යාධි මරන දුක් විඳින්නට වෙයි ද, සෝවාන්වත් නො වුණොත් අනාගත භව වල දී තව කොච්චර නම් දුකකට පත් වෙනව ද කියලා තරමක හෝ හැඟීමක්වත් ඇතිකර ගන්නට බලන්න. මේ පංචස්කන්ධයන්ගේ පැවතීමයි දුක,මේක ම යි දුක්ඛ සත්‍යය , මේක ම යි දුක් ලබා දෙන දුක්ඛ සමුදය සත්‍යය, මේක තිබෙන තාක් කල් දුකෙන් ගැළවෙන්නට බැහැ, සසර එක මොහොතක්වත් රැඳී නො සිටිය යුතු යි කියන අවබෝධය ඇතිවනවා ඒක නිවන් දැකීමට ඉතාමත් ම ප්‍රයෝජනවත් වෙනවා.

    දුක්ඛ සමුදය සත්‍යය එදිනෙදා ජීවිතයේ දී ක්‍රියාත්මක වෙන ආකාරය දකින්න.
    ඇස කණ නාසය ආදී ඉන්ද්‍රියයන්ට රූප ශබ්ද ආදී අරමුණු ලැබෙන විට ඒ හමුවෙන අරමුණු කෙරෙහි ඇලෙමින්, ගැටෙමින්, ඊර්‍ෂ්‍යා කරමින්, විවිධ අකුශල විතර්ක ඇතිකර ගනිමින්, පාපයන් රැස් කර ගනිමින් කොච්චර නම් දුක් ඇතිකරන දෙයක් ද සිදුවන්නේ.

    ඒ වගේම තමයි මෛත්‍රි, කරුණා ආදී කුශලුත්. ඒවාත් නැවත නැවත ඉපැදීමට හේතු වන කරුණු. ඒ කුශල් දුක්ඛ සමුදයක් බව තේරුම් නො ගත්තත් අකුශල විතර්ක වලින්වත් වළකින්නට බලන්න. ජීවිතය පුරාම සිදුවන්නේ දුක්ඛ සමුදය රැස්වීමක් බව තේරෙනවා නම් ඒ අවබොධය නිවන් දැකීමට බෙහෙවින් ඉවහල් වනවා.
    දුක්ඛ නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්‍ෂ ලෙස දැකිය හැකි වන්නේ සෝවාන් ආදී මාර්ගඵල අවබෝධ වීමෙන් පමණ යි.

    දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදාර්ය සත්‍යය තමයි ත්‍රිශික්‍ෂාව, ආර්ය අෂ්ඨාංගික මාර්ගය, සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම කියන්නේ. ඒවා අතුරෙන් තමන්ට වැඩීමට හැකි කවර හරි කොටසක් ප්‍රගුණ කරන්නට මහන්සි ගන්නට ඕනෑ.

    ධම්මානුපස්සනාවේ දැක්වෙන සෑම භාවනා කොටසක්ම කරන විට නීවරණ-පංචස්කන්ධ- ආයතන-බොජ්ඣංග-ආර්ය සත්‍යය ධර්ම ආදී වශයෙන් දක්වන සෑම එකක්ම පංචස්කන්ධයේම පැවැත්මක් හැර වෙන දෙයක් නො වන බව දැකීම නිවන් දැකීමට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වනවා.
    නිවන් දැකීමට නම්, මේ සිතුවිලි හේතූන් නිසා හටගන්නා ඵල ධර්ම විනා සත්ත්වයෙක්,පුද්ගලයෙක්, ආත්මයක්, මමෙක් නො වන , අනිත්‍යයට යාමෙන් නිරුද්ධ වී නැති වී යන, දුකක් වන, ඒ වගේම දුක් ලබාදෙන හේතුවක් වන හුදු සංස්කාර ධර්ම බව චිත්තානුපස්සනා භාවනාව කරන විට ප්‍රත්‍යක්‍ෂ ලෙස අවබෝධ වී යා යුතු යි .

    ඒ වගේම, පංචස්කන් ධයේ
    (1) ඉපැදීමේ හේතු දැකීමත් , නැතිවීම දැකීමත් , ඇතිවීම - නැතිවිම කියන කොටස් දෙකම දැකීමත් (2) පංචස්කන් ධයේ පැවැත්මක් හැර සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැති බව දැකීමත්,
    (3) එළඹ සිටි සිහියෙන් යුතුව සිටීමත්,
    (4) ඒ සිහිය මතු ඥානයෙහි සහ සිහිය වැඩීමට හේතු වන බව දැකීමත්,
    (5) ලෝකයෙහි කිසිම දෙයක් කෙරෙහි බැඳෙන්නේ නැතිව සිටීමත්,
    (6) ලෝකයෙහි කිසිම දෙයක් උපාදාන නො කර සිටීමත් (සිතින් අල්ලාගන්නේ නැතිව සිටීමත්) කියන කරුණු ප්‍රත්‍යක්‍ෂ ලෙස දැක අවබෝධ කර ගත යුතු වනවා.

    පංචස්කන්ධය නිරන්තරයෙන්ම අනිත්‍යයට යන හැටිත්, අනිත්‍යයට යාම නිසාම නිරුද්ධ වී යන හැටිත්, නිරුද්ධ වී ගිය කිසිම දෙයක ආත්මයක්, මමෙක්, මගේ බවක් ඉතිරි නො වන හැටිත් ප්‍රත්‍යක්‍ෂ ලෙසම භාවනාවෙන් පෙනී ගියහොත් මේ ජීවිතයේදීම නිවන අත්දකින්නට පුළුවන්.

    සතර සම්මප්පධාන :

    සතර සම්මප්පධාන වශයෙන් වදාරා තිබෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දක්වා ඇති සම්මා වායාමය පිළිබඳ කරුණු ම යි.

    සතර ඍධිපාද :

    නිවන් දැකීම අනුව කියනවා නම් ඍධිපාද ධර්ම කියන්නේ ධ්‍යාන මාර්ගඵල නිවන් අවබෝධ කිරීමට අනිවාර්යයෙන් ම ඇතිකර ගත යුතු ධර්ම වලට. ඒවා ඡන්ද ඍධිපාද, චිත්ත ඍධිපාද, විරිය ඍධිපාද, වීමසා ඍධිපාද කියා හතරක් තිබෙනවා. මේවා අතුරෙන් අඩුවශයෙන් එකක්වත් අනිවාර්යයෙන් ම ඇතිකරගත යුතු ම යි.

    මේවා ඍධිපාද ධර්ම වීමට නම්, ‘කවර බාධකයක් ආවත්, මොන-මොන පීඩා ආවත්, ඒ සෑම එකක්ම මැඩගෙන මම බලාපොරොත්තුවන දෙය ලබාගෙන මිස නවතින්නේ නැහැ, නො වරදවාම ඒ ප්‍රාර්ථනය ඉෂ්ට වන තෙක් ම මම මේ භාවනාව කරන එක කරනවා ම යි’ ආදී වශයෙන් ඉතා දැඩි සේ, බහානොතබන ලද ඡන්ද ඍද්ධිපාද ආදිය ඇතිකර ගන්නට ඕනෑ. එහෙම නැතිව එක පාරට ම ඇති වූ ඡන්දයක්, සිතක්, වීර්යයක්, ප්‍රඥාවක් ඇති වූ පමණින් ඒවා ඍද්ධිපාද වන්නේ නැහැ.

    ඡන්ද : ඡන්ද කියන්නේ ප්‍රාර්ථනා කරන, බලාපොරොත්තු වන ධ්‍යාන, සෝවාන් ආදී මාර්ග ඵල, නිවන කොහොම හරි ලබා ගැනීමට ඇති කැමැත්තට.

    චිත්ත : ධ්‍යාන, මාර්ගඵල නිර්වාණය අත්දැකීමට ඇතිකර ගත යුතු බලවත් සිතක් ඇතිකර ගැනීමට යි චිත්ත කියා කියන්නේ.

    විරිය : ඍද්ධිපාද ධර්මයක් සේ ඇතිකර ගත යුතු වීර්යයක් නිවන් දැකීමට අනිවාර්යයෙන් ම තිබිය යුතු ම යි.

    වීමංසා : වීමංසා කියන්නේ ප්‍රඥාවට; සසරේ විඳින ලද දුකත්, සසරෙහි රැඳී සිටීමේ ඇති භයානකකමත්, නිවන් අවබෝධ කිරීමේ ඇති වටිනාකමත් ආදී කරුණු නුවණින් අවබෝධවීම නිසා ඇතිවන ප්‍රඥාවට.

    පඤ්චින්ද්‍රිය :

    ශ්‍රද්ධා-විරිය- සති- සමාධි-ප්‍රඥා කියා ඉන්ද්‍රිය ධර්ම 5ක් තිබෙනවා.මෙම ඉන්ද්‍රිය 5 සම්පූර්ණයෙන් ම දියුණු කළහොත් රහත් විය හැකි බවත්, ඊට වඩා අඩුවෙන් දියුණු කළොත් අනාගාමී විය හැකි බවත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළොත් සකදාගාමී විය හැකි බවත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළහොත් සෝවාන් වීමටත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළොත් ධම්මානුසාරී කෙනකු වීමට හැකි බවත්, ඊටත් වඩා අඩුවෙන් දියුණු කළ කෙනකුට සද්ධානුසාරී පුද්ගලයකු විය හැකි බවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර තිබෙනවා.

    එම නිසා මෙම ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කර ගැනීමේ ඇති වටිනාකම තේරුම් ගන්න.
    අනෙක් අයට වඩා අධිපති බවක්, ඉසුරු බවක් යම් ස්ථානයක අධිපතියෙක් උසුලනවා වගේ, වෙනත් කරුණු අභිබවා ශ්‍රද්ධා ආදී ධර්ම අධිපති බවක් උසුලන නිසයි ඉන්ද්‍රිය කියන්නේ.

    උදාහරණ වශයෙන් ශ්‍රද්ධාව විනාශ වී යන කරුණු එන අවස්ථාවක හරි ශ්‍රද්ධාව නො සැලී පවතිනවා නම් ඒක ඉන්ද්‍රිය ධර්මයක්.
    ශාරීරික අසනීපගති ආදී නොයෙකුත් කරුණු නිසා හරි ශරීරයේ වීර්යය නැතිවී ගියත්, සිතේ වීර්යය පවතිනවා නම් ඒකත් ඉන්ද්‍රිය ධර්මයක්.

    සම්මා සතිය නැතිවී යන රාගය තරහව ආදී කෙලෙස් පැන නගින වේලවක වුණත් ඒ ක්ලේශ යටකරගෙන සතිය සිහිවී කෙලෙස් වලින් සිත මුදවා ගෙන සම්මා සතියෙන් කටයුතු කරන්නට හැකි නම්, සමාධිය පවත්වා ගෙන යා නො හැකි ශබ්ද වලින් පිරුණු විශාල ජනකායක් මැද හරි සමාධියෙන් ඉන්නට පුළුවන් නම් ඒවත් ඉන්ද්‍රිය ධර්ම.
    ඇසුරු කිරීමට ලැබෙන්නේ ලෞකික දේ වලම පැටලී සිටින, ප්‍රඥාව නැතිවී යන දේම කියන අය මධ්‍යයේ වුණත් විදර්ශනාමය ප්‍රඥාවකින් සිටිය හැකි නම් එයත් ඉන්ද්‍රිය ධර්මයක්.

    ශ්‍රද්ධාව :

    බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ දකිමින්, උන්වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය අදහා ගෙන, උන්වහන්සේ කෙරෙහි ඇතිකර ගත යුතු බලවත් ශ්‍රද්ධාවක් නිවන් දැකීමට බලාපොරොත්තු වන කෙනකු විසින් ඇතිකර ගත යුතු ම යි. ධර්මයේ පවත්නා ‘මේ ජීවිතයේදීම අත්දැකිය හැකි සාන්දිට්ඨික’ ආදී ගුණ දකිමින් ධර්මය කෙරෙහි ඇති කර ගනු ලබන ශ්‍රද්ධාවත්, නිර්වාණය අවබෝධ කර ගත් සංඝයා ළඟ පවත්නා සුපටිපන්න ආදී ගුණ දකිමින් සංඝයා කෙරෙහි ඇති කර ගත යුතු ශ්‍රද්ධාවත් තිබීම නිවන අත්දැකීමට අවශ්‍ය දෙයක්.

    විර්යය: ආර්ය අෂ්ට්ඨාංගික මාර්ගයේ සම්මා වායාම අංගයේ දක්වා ඇති සතර ආකාරයෙන් ඇතිකර ගත යුතු වීර්යයක් නිවන් දැකීමට අනිවාර්යයෙන්ම තිබිය යුතු යි.
    සතිය : සතින්ද්‍රිය කුමක් ද කියා විමසා, බුදුරජාණන් වහන්සේ එය විස්තර කර ඇත්තේ " බොහෝ ඈත සිදුවූ දෙයක් හෝ කරන ලද හෝ කියන ලද දෙයක් සිහි කිරීමට හැකි බලවත් සිහියකින් යුතුව, කායානුපස්සනා ආදී සතර සතිපට්ඨාන ධර්ම දියුණු කරමින් වාසය කරයි" කියල යි. මේ විධියට සතින්ද්‍රිය දියුණු කිරීමට උත්සාහ ගැනීම කළ හැකි නම් ඒක ඉතා හොඳ යි. එහෙම කරන්නට නො හැකි නම් කලින් සම්මා සතිය දියුණු කිරීමට කියා ඇති ආකාරයෙන් හරි සතිය දියුණු කර ගැනීමට උත්සාහ ගන්න.

    සමාධිය : සියල්ල අතහැර ලබන නිර්වාණය අරමුණු කොට, සිතේ එකඟබවක් සමාධියක් ඇතිකරගෙන, 1-2-3-4 රූපාවචර ධ්‍යාන වලට සමවැදී සිටීම සමාධින්ද්‍රිය බව යි බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙන්නේ. කවර ආකාරයකින් හරි සමාධිය දියුණු කර ගැනීම නිවන් දැකීමට ඉතාමත්ම අවශ්‍ය දෙයක්.

    ප්‍රඥාව : පංචස්කන්ධයන් ගේ ඇතිවීම නැතිවීම අත්දැකිය හැකි, නිවනට පත්කරනු ලබන ප්‍රඥාවකින් යුතුව, දුක්ඛ-සමුදය-නිරෝධ-මාර්ග කියන චතුරාර්ය සත්‍යයන් යථා පරිදි අත්දකින ප්‍රඥාව පඤ්ඤින්ද්‍රිය කියලා බුදුරජාණන් වහන්සේ වදාළා.. ඒ විධියට අපි පඤ්ඤින්ද්‍රිය දියුණු කර ගත යුතු ම යි නිවන අත්දැකීමට.

    පඤ්චබල :

    ශ්‍රද්ධා -විරිය-සති-සමාධි-ප්‍රඥා කියන කොටස් 5 ම බල ධර්ම වශයෙන් ක්‍රියාත්මක වන අවස්ථාවන් තිබෙනවා. හරියට බලවන්තයෙක් දුබලයන් යටකරගෙන නැගී සිටිනවා වගේ. අශ්‍රද්ධාව මතුවී එන බොහෝ කරුණු මධ්‍යයේ වුණත්, ශ්‍රද්ධාව නො සැලී තිබෙනවා නම් ඒක ශ්‍රද්ධා බලයක්. මේ වගේම අනෙත් බල ධර්ම 4ත් තේරුම් ගන්න.

    අති පූජනීය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේ විසින් රචිත ලිපියකි

    ~~~අමා සුව~~~
     
    • Like
    Reactions: kinkon and Cypress