දවසක් ඔන්න නෑ කෙනෙකුගෙ කසාදෙට
ගියා මමත් සුපිරිම හෝටලේකට
එහි වුනු සිද්දියක් මතකෙට නැගී මට
හිතුනා ඔබට එය කවියෙන් කියන්නට
නෑයො පිරිවරම තැන තැන සුසුම් හෙලා
හිටියා යුවල එනතුරු කාලයක් බලා
පණුවෝ බඩේ වය වය ඉන්නැද්දි නලා
ජෝඩුව එහි එද්දි හොඳටම දවල් වෙලා
ගෑනුන් ටිකක් වට වී මා ළඟ මේසේ
ගත්තා පටන් ගත්තා සෙවුමට දෝසේ
මට නම් ඉතින් ඕවා කනකට නෑසේ
දුන්නා ඒත් කන් ඒ පැත්තට රාසේ
"අද නම් කෙල්ල ගිනි අඟුරක් වගේ ලිපේ
පාටට හමේ සාරිය හොඳ විලස කැපේ
වෙනදට වඩා මුහුණට හෙම වැටිල ඔපේ
කෝ බන් නහය ළඟ කලුවට තිබ්බ ලපේ"
"සාරියෙ පාට විතරයි නෑ නොවැ දිස්නේ
රෙද්දට දැනෙනවා ඇති හොඳ හැටි රස්නේ
වැඩ දැම්මට පොටට වැඩි හරියක් හිස්නේ
අඩුවට ගන්න ඇති ඒකනෙ ඔය ප්‍රස්නේ"
"මාලේ නම් හොඳයි දිළිසෙන විදිහ කරේ
රන් බඩු දැම්ම නම් තව වැඩි වේවි සැරේ
නෑ නෑ සල්ලි හිඟ කම නම් නෙවෙයි හොරේ
රිදී තමයි දැන් අලුත්ම මෝස්තරේ"
"කොන්ඩේ වසාගෙන ඇත මල් වැහි ඉස්ස
පාටක් ගාල වහලද බන් සුදු කෙස්ස
කොල්ලෝ පාරේ යද්දීත් බයිටට කැස්ස
අද පුම්බලා ඇති හැටි මේකිගේ පස්ස"
"කවුරුද දන්නෙ නෑ මේ රෙදි මහපු පොර
හැට්ටේ නම් අවුල් කැපිලා වැඩියි කර
අන්දල ගත්තාම ඉපලක් උනත් දර
කළ හැකි නොවෙද ලස්සන දූතියක් සුර"
ජෝඩුව හෙමි හෙමින් පෝරුව වෙත යනවා
වට පිට කසුකුසුව ටික ටික අඩු වෙනවා
කපු උන්නැහෙ කෙනෙක් ඒ අසලට එනවා
අෂ්ටක කියන හඬ මුවගින් රැව් දෙනවා
බඩගින්නෙන් මෙහේ වෙවුලන විට මාව
ඇහුනා මහ හඬක් මට පෝරුව ගාව
එකවිට ඇහෙනකොට ජය මංගල රාව
පෝරුව උඩම ඇදගෙන වැටිලා ඈව
අව පැහැ ගැන්වුනා කට්ටියගෙම මූනු
සමහරු අදම කපලා වාගෙයි ළූනු
මොහොතක් නැවතුනා ගී මංගල සීනු
ආයෙත් කතාවට මුල පිරුවා ගෑනු
"අද මේ වෙච්චි දේ නම් අසුබයි නේද
කොල්ලා රැවටිලා තව මොකටද වාද
චරිතය ඇගේ හොඳ නම් මේ ලෙස වේද
අෂ්ටක කියන කොට සිහි සන් වී යාද"
"මොන වරදක් කලත් කාටත් නොම තේරි
දෙයියෝ බුදුන්ගෙන් යන්නට බැහැ බේරි
වරදක් උනොත් චරිතෙට වර්ගයෙ නාරි
හැංගිය හැකිද අන්දා මනිපුරි සාරි"
"මනමාලය උනත් වෙන්නට පෙර හාද
විමසන්නට ඕන චරිතය වැනි දේද
අම්මල දුවව හැදු හැටි කදිමයි නේද
ගල හොඳ නම් අඹරන කහ මක් වේද"
මනමාලයගෙ පැත්තේ නෑදෑ බාගේ
දුම්මල වරම දෑතින් අරගෙන වාගේ
වස් දොස් අරිනවා එක දිගටම ඈගේ
ඉවරයි වගේ දැන් නම් බාගේට දීගේ
කට නම් අහෝ දෙපැත්ත කැපෙනා පිහිය
තාමත් නොයෙක් තැන් වල කැපෙනා දෙහි ය
වස පිරි ඇනුම් පද විස ඉතිරෙන වැහි ය
මනමාලිට ඔන්න දැන් ආවා සිහිය
අඩු විය කසුකුසුව දිගටම ගිය දරුණු
නැවතුණි කතාබහ මෙතුවක් කල් කෙරුණු
හරවා දෑස පහළට කඳුළින් පිරුණු
දක්වන්නට යෙදිනි මනමාලිය කරුණු
"ඊයේ ඉඳන් නෑ මට හරියට නින්දක්
බීවේ නෑ යමක් තරමක තේ හැන්දක්
හිටගෙන ඉඳන් දවසෙම රිදෙනව කොන්දක්
ඔලුවට පැටවිලා බර සිතුවිලි කන්දක්"
"එනකොට රෑ එකයි මට අන්දන කෙල්ල
වරුවක් ගියා තැබුමට සාරියෙ රැල්ල
කොන්ඩේ මල් බරට කකියනවා බෙල්ල
හොඳටම එළි වෙලා පළඳන කොට තැල්ල"
"හත් වරුවකින් ඇඳගෙන ආවට පස්සේ
එක් කරගෙන ගිහින් වෙරළට ගල් කිස්සේ
හිටගෙන වැලි තලා ගස් ගල් මුල් අස්සේ
ගත්තා ෆොටෝ අව්වේ වරුවක් තිස්සේ"
"ආවේ මෙහෙට එය අවසන් උනු වහ ම
මෙච්චර විඩාවක් ඉවසන්නද කොහොම
හිටගෙන හිටිය ඇති මේ ටිකවත් මෙහෙම
බැලුවම බඳින එක වදයක් නොවැ මහ ම"
.......................................................................................
ඈ කී කතාවේ නැති හින්දා ඇදයක්
නූලෙන් බේරුනා වෙන්නට ගිය හදියක්
මගෙ නම් හිතට වැදුනා සැරටම පදයක්
බැලුවම බඳින එක නම් ඇත්තට වදයක්

++


