චාගානුස්සති භාවනාව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    චාගානුස්සති භාවනාව

    පරිත්‍යාගය දියුණු කරන්න…

    දැන් ඔබ ඉගෙන ගන්නේ චාගානුස්සති භාවනාවයි. බුදුරජාණන් වහන්ස්ගේ ශ‍්‍රාවකයෙක් බුද්ධානුස්සති භාවනාව ඉක්මවා ගිහින්, ධම්මානුස්සති, සංඝානුස්සති භාවනාවල යෙදෙනවා වගේම, තමන්ගේ සීලාදී ගුණධර්ම රකිනව වගේම, තමන්ගේ ජීවිතය තුළ දියුණු කරන්නට පුළුවන් දෙයක් තමයි පරිත්‍යාගය. මේ පරිත්‍යාගය දියුණු කරන්නට පුළුවන් ආකාරය තමයි චාගානුස්සතිය කියන්නේ.
    ලෝභකම කියන්නේ සිතට කිලූටක්. ලෝභකම මුල්කරගෙන, ලෝභ හැඟීම් මුල්කරගෙන, ලෝභ සිතුවිලි මුල්කරගෙන, කෙනෙක් වචනයෙන් පව් කරනවා. කයින් පව් කරනවා. සිතින් පව් කරනවා. පරිත්‍යාගය කියන්නේ කුසලයක්. පිනක්. පරිත්‍යාගය මුල් කරගෙන කෙනෙක් වචනයෙන් පව් කරන්නෙ නෑ. පරිත්‍යාගය මුල් කරගෙන කයින් පව් කරන්නෙ නෑ. පරිත්‍යාගය මුල් කරගෙන මනසින් පව් කරන්නෙ නෑ.

    මසුරුකම ජීවිතයට කිලුටක්…

    පරිත්‍යාග කරන්නට නම් තමන් මසුරු නැති කෙනෙක් වෙන්නට ඕනෙ. මසුරු නැතිකම කියන්නේ තමන්ගේ ජීවිතයට ලොකු සැනසිල්ලක්. ලොකු ලාභයක්. ලොකු යහපතක්. මසුරුකම කියල කියන්නේ තමන් සතු සම්පත් තවත් කෙනෙක් භුක්ති විඳිනවාට තියෙන අකමැත්ත. මෙන්න මේ මසුරුකම මුල්කරගෙන නපුරු ජීවිතයක්, නපුරු චරිතයක් නිර්මාණය වෙනවා. නමුත් පරිත්‍යාගය මුල් කරගෙන කවදාවත් දරුණු චරිතයක් නිර්මාණය වෙන්නෙ නෑ. පරිත්‍යාගය මුල් කරගෙන උදාර පිරිසක් බිහි වෙනවා.

    එදිනෙදා ජීවිතයට පරිත්‍යාගය …

    මේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නෙ මසුරු මළ අත්හැරල, පරිත්‍යාගය පිණිස දෑත් සෝදාගෙන ඉන්න කෙනෙක් බවට පත්වෙන්න කියල. අන්න ඒ විදිහට ඕනෑම කෙනෙකුට යම් දෙයක් පරිත්‍යාග කරන්නට පුළුවන් නම්, ඔබ තුළ තියෙනව අඹ ගෙඩි දෙකක් ඒ අඹ ගෙඩි දෙකෙන් එකක් හොඳ අඹ ගෙඩියක් නම්, අනිත් එක තැලූණු අඹ ගෙඩියක් නම්, ඔබ තැලුණු අඹ ගෙඩිය අරගෙන අනිත් එක දානය පිණිස අනුන්ට පරිත්‍යාග කරනව නම්, ඔබ තුළ පරිත්‍යාගය දියුණු වෙච්ච කෙනෙක්.

    ඔබ ළඟට කවුරු හරි කෙනෙක් පැමිණුන වෙලාවක ඇඳුමක් ඉල්ලාගෙන, පාවිච්චි කරපු, ඉවත දාපු, කිලූටු ඇඳුමක් දෙන්න එපා. අලූත් ඇඳුමක් දෙන්න. සතුටු වෙන ඇඳුමක් දෙන්න. තවත් කෙනෙක් දැක බලා ප‍්‍රීතියට පත්වෙන ඇඳුමක් දෙන්න. අන්න එතනදි දියුණු වෙන්නෙ ඔබගේ පරිත්‍යාගයයි. හොඳම දේ, යහපත්ම දේ, රසවත්ම දේ දෙන කෙනා යහපත් දේම ලබනවා. මේ නිසා තවත් කෙනෙකුට උපකාරයක් කිරීමේදී තමන්ට එපා දෙයක් අනුන්ට දෙන්න එපා. තමන් කැමති දෙයක් අනුන්ට දෙන්න. ඒක තමයි පරිත්‍යාගය කියන්නෙ.

    පරිත්‍යාගය නිසා සිත සමාධිමත් වෙනවා…

    මේ පරිත්‍යාගමය ගුණය බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෝ බොහෝ දියුණු කරල තියෙනවා. ඒ නිසා යමක් පරිත්‍යාග කිරීමේදී පුද්ගලයන්ගේ තරාතිරම සොයන්නට යන්න එපා. යමක් පරිත්‍යාග කිරීමේදී පුද්ගලයන්ගේ බාහිර දුර්වලකම් සොයන්නට යන්න එපා. යමක් පරිත්‍යාග කිරීමේදී පිරිසිදු සිතින් පරිත්‍යාග කරන්න. එබඳු ආකාරයේ දෙයක් තමන්ගේ සන්තානයේ ගොඩනැගෙන කොට ඒ පරිත්‍යාගය මුල් කරගෙන තමන්ට සැහැල්ලූ සිතක් ලැබෙනවා. ඒ පරිත්‍යාග ගුණය සිහි කරන කොට තමන්ගේ සිතයි කයයි සැහැල්ලූ වෙනවා. සිතයි කයයි සැහැල්ලූ වෙන කොට ප‍්‍රීතියට පත්වෙනවා. ඒ ප‍්‍රීතිය නිසා සිත සමාධිමත් වෙනවා.

    මේ නිසා චාගානුස්සති භාවනාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයින් ඉතාමත්ම මැනවින් දියුණු කරපු භාවනාවක්. ඒ පරිත්‍යාගය ඇති වන්නා වූ චාගානුස්සති භාවනාව ඔබේ දෛනික ජීවිතයට පුරුදු කරගන්න. ලෝභ කෙනෙක් වීම ජීවිතයට නරකක්, නපුරක්, කිලූටක්, අවාසනාවක්. පරිත්‍යාගයක් සහිත කෙනෙක් වීම, යමක් දෙන්න පුළුවන් කෙනෙක් වීම, ජීවිතයට ලාබයක්. ජීවිතයට ආශිර්වාදයක්, ජීවිතයට සැනසිල්ලක්.

    ගුණධර්ම දියුණු කරන්න…

    මේ නිසා මේ අපේ මනුෂ්‍ය ජීවිතය මේ සුලූ කාලය තුළ දියුණු කරගැනීමේදී මේ කියන ගුණාත්මක චින්තනය තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගැනීමට මහන්සි ගත යුතුයි. ඒ නිසා ලෝබ නැති, කිලූටු නැති, ශාන්ත සිතක් ඔබට දියුණු කරගන්න පුළුවන් වෙනවා පරිත්‍යාගය දියුණු කිරීමෙන්. ඔබ තුළ යම් පරිත්‍යාග ගුණයක් දියුණු වෙනවාද, ඒ මොහොතේ පටන් ආධ්‍යාත්මිකව ගුණධර්ම දියුණු වෙනවා. ඒ බව ඔබ තුළින්ම දැකගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා ඒ උතුම් පරිත්‍යාගමය ගුණය දියුණු කරගෙන එය ධර්මාවබෝධය කරා යොමු කරගන්න.

    – චාගානුස්සති භාවනාව –

    මම අවබෝධයෙන් යුතුවම බුදුරජාණන් වහන්සේ සරණ ගියෙමි. උතුම් ශ‍්‍රී සද්ධර්මය සරණ ගියෙමි. ආර්ය මහා සංඝරත්නය සරණ ගියෙමි. අවබෝධයෙන් යුතුවම තෙරුවන් සරණ ගිය මා සංසාර දුකින් මිදීම පිණිසම අත්හැරීම (ත්‍යාගය) පුරුදු කරමි. මම දුක් මහන්සියෙන්, උත්සාහයෙන්, වීරියෙන්, ධාර්මිකව උපයාගත් ධනයෙන් සිල්වතුන්ට ගුණවතුන්ට නිතර දන් පැන් පුදමි.

    දුක් මහන්සියෙන් මා උපයා ගත් ධනය අන් අය ප‍්‍රයෝජනයට ගැනීම දැක සතුටු වීම ඉතා අපහසු දෙයකි. මම ඉතා සතුටින් මගේ ධනය වියදම් කර සිල්වත් ගුණවත් උතුමන්ට දන් පැන් පුදමි. ඒ දැක මම ඉතා සතුටට පත් වෙමි.

    සංසාර දුකින් මිදීමට වෙර දරනා සිල්වත් ගුණවත් උතුමෝ මගේ දන් පැන් වළඳා කාය ශක්තිය ඇති කරගෙන, චිත්ත ශක්තිය ඇති කරගෙන සුව සේ සිත දියුණු කරනු දැක මම සතුටු වෙමි.

    ඒ උතුමන් වහන්සේලා යම් තාක් දිනයක උතුම් මාර්ග-ඵලයන්ට පත්වේද ඒ පිණිස මමත් උපකාර කළ අයෙක් කියා සිතමින් මම සතුටු වෙමි.

    බුදුරජාණන් වහන්සේගේ උතුම් පින්කෙත වශයෙන් හඳුන්වා ඇති සිල්වත් ගුණවත් උතුමන්ට මම නිතර දන් පැන් පුදා පින් රැුස් කරමි. සතුටට පත් වෙමි.

    මම මසුරු මළ දුරුකොට දන් පැන් පූජා කරන කෙනෙක් වෙමි. තුන් සිත පහදවා ගෙන දන් පැන් පූජා කර මම සතුටක් ලබමි.
    මා සතු ඉතා වටිනා අගනාම දේ පූජා කර මම ඉතා සතුටට පත් වෙමි.

    මම නිතර දන් දීම පිණිසම සූදානම් වූ කෙනෙක් වෙමි. මම නිතර දන් පැන් පූජා කිරීමෙහි ඇලූන කෙනෙක් වශයෙන් කටයුතු කරමි.
    මම පිරිසිදුවට පිළිවෙලට සකස් කර දන් පැන් පූජා කරමින් සතුටු වෙමි.

    මම දන් පැන් ලබාගන්නා උතුමන්ට ගැලපෙන ආකාරයට හොඳින් විමසා බලා දන් පැන් පූජා කර සතුටු වෙමි.

    මම දන් පැන් පූජා කිරීමෙන් මෙලොව සැප සම්පත් බලාපොරොත්තු නො වෙමි. මම දන් පැන් පූජා කිරීමෙන් ශරීර වර්ණය ඇති කර ගැනීම බලාපොරොත්තු නොවෙමි. ආයුෂ වැඩිකර ගැනීමට බලාපොරොත්තු නොවෙමි. අන් අයගේ කීර්ති ප‍්‍රශංසා බලාපොරොත්තු නොවෙමි. මම දන් පැන් පූජා කිරීමෙන් සමාජයේ උසස් තනතුරු බලාපොරොත්තු නොවෙමි. පරලොව දිව්‍ය සම්පත් ද බලාපොරොත්තු නොවෙමි. මම චිත්තාලංකාරය පිණිසම දන් පැන් පූජා කරමි. මම සංසාර දුකින් නිදහස් වීම පිණිසම ප‍්‍රඥාව දියුණු කර ගැනීම පිණිස ම දන් පැන් පූජා කරමි.
    ඒ සතුට මාගේ ප‍්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප‍්‍රමෝදය නිසා මගේ සිත කය සැහැල්ලු වේ. එය මට සමාධිය පිණිසත් උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.

    ආර්ය මාර්ගයේ පුරුදු පුහුණු වෙන කෙනා (සේඛ) අත්හැරීම බලයක් වශයෙන් දියුණු කළ යුතු බව මම දනිමි. මම ද සංසාර දුකින් නිදහස් වන උතුම් ආර්ය මාර්ගයේ පුරුදු පුහුණු වන කෙනෙකි. මම අත්හැරීම බලයක් වශයෙන් දියුණු කරමි. එය මට ආර්ය මාර්ගය දියුණු කර ගැනීම පිණිස ම උපකාර වේවා!

    මම රාග, ද්වේෂ, මෝහ යන කෙලෙස් අතහැරීම දියුණු කර ගනිමි. ත්‍යාගය නම් වූ සේඛ බලය දියුණු කොට අසේඛ නම් වූ උතුම් තත්වයට පත් වෙමි.

    එය මට සතුටකි. ඒ සතුට මාගේ ප‍්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප‍්‍රමෝදය නිසා මගේ සිත කය සැහැල්ලූ වේ. එය මට සමාධිය පිණිසත් උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.

    ආර්ය ශ‍්‍රාවකයාට ත්‍යාගය ධනයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. මම මේ පුරුදු පුහුණු කරන අත්හැරීම (ත්‍යාගය) මට ආර්ය ධනයකි. මම ආර්ය ධනයකට හිමිකම් කියන ආර්ය ශ‍්‍රාවකයෙකු බව සිතමින් සතුටු වෙමි.

    ආර්ය ධනයට හිමිකම් කියන කෙනා දිළින්දෙක් නො වන බව මම දනිමි. එබැවින් මා සතු කොපමණ ධනය හෝ වියදම් කර මම ත්‍යාගය පුරුදු පුහුණු කරමි. ඒ නිසා මම දිළින්දෙක් නොවෙමි. මම ආර්ය ධනයෙන් යුතු ආර්ය ශ‍්‍රාවකයෙක් වෙමි.

    මම ශ්‍රේෂ්ඨ ආර්ය භාවය වන උතුම් අරහත්වය දක්වාම ත්‍යාගය පුරුදු කරමි. මම ආර්ය ධනය දියුණු කරමි.

    එය මට සතුටකි. ඒ සතුට මාගේ ප‍්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප‍්‍රමෝදය නිසා මගේ සිත කය සැහැල්ලු වේ. එය මට සමාධිය පිණිසත් උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.

    අත්හැරීම (ත්‍යාගය) සම්පත්තියක් වශයෙන් මම දනිමි. ත්‍යාග සම්පත්තිය මම නිරතුරුවම පුරුදු කරමි. ත්‍යාග සම්පත්තිය මාගේ ජීවිතයට රැකවරණය සලසා දෙයි. ත්‍යාග සම්පත්තිය ජීවිතයට ආරක්ෂාව ලබා දෙයි. ත්‍යාගය විපත්තියක් නොව සම්පත්තියක්ම ලෙස සලකා මම දියුණු කරමි.

    ආරක්ෂාව, රැුකවරණය ලබා දෙන ත්‍යාගය මට මහා සම්පත්තියකි. මම විවිධ අයුරින් අත්හැරීම දියුණු කර ත්‍යාග සම්පත්තිය දියුණු කරමි. මාගේ අත්හැරීම සම්පත්තියක් වශයෙන් සිහිකරන මා හට සතුටක් ඇති වේ.

    ඒ සතුට මාගේ ප‍්‍රමෝදය පිණිස හේතු වේ. ඒ ප‍්‍රමෝදය නිසා මගේ සිත කය සැහැල්ලු වේ. එය මට සමාධිය පිණිසත් උතුම් ඤාණ දර්ශනය පිණිසත් උපකාරී වේ.
     
    • Like
    Reactions: S_M_S and kinkon

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    මොන සුත්‍රයේද මෙහෙම එකක් තියෙන්නේ??
    සූත්‍රම හොය හොය ඉන්නේ නෑතුව ඔය කියල තියෙන දෙයක් කරල බෑලුවොත් නරකද? මොකො ඔකේ කියල තියෙන්නෙ ණරඩ දෙයක් නෙමෙ නෙද? 😀
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සූත්‍රම හොය හොය ඉන්නේ නෑතුව ඔය කියල තියෙන දෙයක් කරල බෑලුවොත් නරකද? මොකො ඔකේ කියල තියෙන්නෙ ණරඩ දෙයක් නෙමෙ නෙද? 😀
    සූත්‍ර නැත්තං බුද්ධාගම ඉගෙනගන්නෙ කොහෙන්ද??? කවුරුත් කියන එකක් බුද්ධාගම වෙන්නේ කොහොමද???
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මොන සුත්‍රයේද මෙහෙම එකක් තියෙන්නේ??
    අනුස්සති භාවනා ගැන තියෙන සූත්‍ර කීපයක් තියෙනවා. දේවතානුස්සති භාවනාව ගැන නම් ගොඩක් කට්ටිය දන්නෙම නැති තරම්. මහමෙව්නාවෙන් නම් ඔය භාවනා ගැන නිතරම දේශනා කරනවා.
    https://tripitaka.online/sutta/244