චෙක් ගනුදෙනු

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    චෙක් ගනුදෙනු කරලා තියෙනවද ? බැංකුවයි ඔබයි 2






    චෙක්පත්‍රයක් කියන්නේ මුදල් වගේම ගනුදෙනු කරන්න පුළුවන් දෙයක් ,ඔයාලා ගොඩදෙනෙක් චෙක් ගැන ඉස්කෝලෙදි ඉගෙනගෙන ඇතිනේ .ඒක නිසා මං අද ඔයාලට චෙක් ගැන කියලා දෙන්නේ සාමාන්‍ය ජීවිතේදී බැංකුවක් එක්ක ගනුදෙනු කරනකොට ඔයාලට වැදගත්වන කරුණු විතරයි .අපි බලමු ඔයාලට චෙක් ලැබෙන්න පුළුවන් කොහොමද කියලා .

    1.වැටුප් ගෙවීමේදී

    2.කොටස් ලාබාංශ ගෙවීමේදී

    3.පිටරට සිට ලැබෙන මුදල් ප්‍රේෂණයකින්

    4.යම් දෙයක් විකිණීමේදී

    5.ණය මුදලක් ලබාගැනීමකදී.

    ඔන්න ඔය මං කිව්ව විධි එකකින් හෝ කිහිපයකින් මේ වෙනකොට ඔයාලගේ අතටත් චෙක් ලැබිලා ඇති .ඒත් ඔයාලා බොහෝ දුරට තමන්ගේ අතට ලැබුණු මේ චෙක් ඒක දිහා අවධානෙන් බලන්න නැතිව ඇති නේද ?සාමාන්‍යයෙන් චෙක් පත් දෙවර්ගයක් තියෙනවා .ඒ තමයි order cheques සහ bearer cheques.ඔයාලට මෙයින් වැඩිපුර ලැබෙන්න පුළුවන් bearer cheque නිසා අපි මෙයින් bearer cheques ගැන සලකලා බලමු .

    bearer cheque එකක් හදුනාගන්න පුළුවන් ලෙහෙසිම විදිහ තමයි චෙක් එකේ ඔයාලගේ නම හරි මුදල් හරි කියලා තියෙන තීරුව අවසානයේ "හෝ රැගෙන එන්නාට - or bearer"කියලා ගහලා තියෙනවා,bearer cheque එකක තියෙන වාසි වගේම අවාසිත් තියෙනවා .වාසිය තමයි ඒ චෙක් ඔයාලගේ නමට ලියලා තිබුනත් ඒ චෙක් එක මාරු කරන්න ඔයාලම බැංකුවට යන්න ඕන නැතිවීම ,අවාසියත් ඉතින් ඒකම තමයි ,ඒ කියන්නේ මේ චෙක් එක ඔයාලගෙන් කෙනෙක් සොරකම් කලොත් හොරාටත් කිසි ප්‍රශ්නයක් නැතිව ඒ චෙක් එක මාරුකරගන්න පුළුවන්.

    ඉතින් අපිට මේ අවාසිය මග හරවගන්න පුළුවන් විදි දෙකක් තියෙනවා .එකක් තමයි ඒ චෙක් එක ඔයාලගේ නමටනම් තියෙන්නේ චෙක් එක "ආදායකගේ ගිණුමට පමණි " නැත්නම් AC PAYEE ONLY කියලා රේඛනය කරවා ගැනීම .පල්ලෙහා තියෙන උදාහරණය බලන්නකෝ




    හරි දැන් ඔයාලට පේනවනේ මේ චෙක් එකේ AC PAYEE ONLY ගහලා තියෙනවා වගේම or bearer කියන එකත් කපලා දාලා තියෙනවා,දැන් මේ චෙක් එක ඒකෙ නම තියෙන කෙනාගේ ගිණුම හරහා හැර වෙන කිසිකෙනෙකුට මාරුකරන්න බැහැ.ඒක නිසා මින් පස්සේ ඔයාලාට ලැබෙන වැදගත් ගෙවීමක් තියෙනවානම් චෙක් එකක් ලැබෙනකොට ඒක දෙන අයගෙන් මේ විදිහට ඉල්ලගන්න.


    ඒ වගේම ඔයාලට චෙක් එක "ගනුදෙනු කල නොහැක " නැත්නම් NOT NEGOTIABLE කියලා රේඛනය කරන්න පුළුවන්.ඔන්න තියෙනවා එහෙම චෙක් එකක්



    මේක දැක්කම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ චෙක් එක ගනුදෙනු සදහා වලංගු නැහැ කියලා .මොකද ඒකෙම ගහලා තියෙනවනේ "ගනුදෙනු කල නොහැක "කියලා .එහෙම ගහලා තිබුනට මේකෙන් ගනුදෙනු කරන්න පුළුවන්.ඒකෙන් වෙන්නේ මේකයි.අපි හිතමු මේ චෙක් එක ඔයාලගෙන් කෙනෙක් හොරකම් කරගෙන ගිහින් මාරුකරගත්තා කියලා.රේඛනය කරලා තියෙන නිසා මේක අනිවාර්යෙන්ම ගිණුමක් හරහා මාරුකරගන්න ඕන.එතකොට ලෙහෙසියෙන්ම හොරා හොයාගන්න පුළුවන්.වඩාත් වැදගත් දේ තමයි නීතිය ඉදිරියේ ඔයාගෙන් හොරකම් කළ කෙනා හරි වෙනත් කෙනෙක් හරි මේ චෙක් එක මාරුකරගෙන ඇත්නම් ඔයාලට එයාලගෙන් වන්දි ගන්න පුළුවන්.


    ඒ කියන්නේ අපි "ගනුදෙනු කල නොහැක" කියලා රේඛනය කරලා තිබුණු නිසා අපෙන් හොරකම්කල කෙනාගෙන් පස්සේ හොරකම ගැන දැන හෝ නොදැන කාගේ අතට ඒ චෙක් එක ගියත් එයාලට ඒ චෙක් එකට හොද හිමිකමක් ලැබෙන්නේ නැහැ.ඒ වගේම ඒක නිසා ඔයාලගේ අතට ලැබෙන ඉහත ආකාරයේ චෙක් පතක් සොරකම් නොකළ එකක්ද කියලත් හොදින් හොයල බලල ගන්න.


    මං මුලින්ම කිව්වනේ චෙක් කියන්නෙත් ගනුදෙනු කරන්න පුළුවන් දෙයක් කියලා.ඉතින් ඔයාලට ලැබෙන චෙක් එකක් බැංකුවකට නොගිහින් වෙනත් කෙනෙකුට දීලා ඒකට බඩු හරි මුදල් හරි ලබාගන්න ඔයාලට පුළුවන්.එහෙම දෙනකොට චෙක් එක ඔයාලගේ නමටනම් තියෙන්නේ චෙක් එක පිටිපස්සේ පිටසන් කරලාදෙන්න.සිංහලෙන් නම් පැහැදිලි අත් අකුරෙනුත් ඉංග්‍රීසියෙන් නම් වැල් අකුරෙනුත් පිටසන් කලයුතුයි.මං පිටසන ගැන ඉස්සරහ පංතියකදී කියලා දෙන්නම්කො.


    ඒ වගේම තමයි පිටරටින් ඔයාලාට මුදල් වෙනුවට චෙක් එකක් එවනවනම් ඒ චෙක් එක අපේ රටේ නියෝජිත බැංකුවක් වන බැංකුවකින් ගෙන්වාගන්න.එතකොට අනවශ්‍ය ප්‍රමාදවීම් නැතුව චෙක් එක මාරුකරගන්න පුළුවන්.ඔන්න එහෙනම් චෙක් ගැන පහත කරුණු ටිකත් මතක තියාගන්න.


    1.රේඛනය කරලා නැති ඕනෑම චෙක් එකක් මුදල් කවුන්ටරය හරහා මාරුකරගන්න පුළුවන් .රේඛනය කරලා තියෙනවනම් අනිවාර්යෙන්ම ගිණුමක් හරහා මාරුකරගත යුතුයි.


    2.සාමාන්‍යයෙන් මුදල් චෙක්පත් ඉතිරිකිරීමේ ගිණුම්වලට භාරගන්නේ නැහැ.ඒකනිසා ඔයාල චෙක් එක දාන්නේ ඉතිරිකිරීමේ ගිනුමටනම් ඔබේ නමට චෙක් එක ඉල්ලාගන්න.මුදල් චෙක් සාමාන්‍යයෙන් භාරගන්නේ ජංගම ගිණුම්වලට පමණයි.


    3.සාමාන්‍යයෙන් චෙක්පතක වලංගු කාලය විදිහට සලකන්නේ චෙක්පතේ සදහන් දිනයෙන් මාස 6 ක් යනතුරු පමණයි.


    4.විශේෂිත කාලයකට පමණක් වලංගු බව සීමාකර ඇති චෙක්පත් ඒ කාලය තුලදී මාරුකරගන්න.සමහර චෙක්පත්වල දින 30 ,දින 45 ,දින 60 වශයෙන් වලංගු කාලය සදහන් කරලා තියෙනවා.


    5.චෙක්පතක් අගරු වුනොත් ඒ කියන්නේ return වුනොත් ඉස්සරවගේ දැන් ඔයාලට චෙක් එක නැවත ලැබෙන්නේ නැහැ,දැන් ඔයාලට ලැබෙන්නේ CRN [cheque return notice] නම් චෙක්පතේ ජායාපිටපතක් සදහන් ලියවිල්ලක්.ඒක පරිස්සම් කරගන්න.ඒක නීතිය ඉදිරියේ චෙක් එක වගේම පිලිගන්නවා.


    6.ඔබට ගනුදෙනුවලදී ලැබෙන චෙක් ඒ ලබාදෙන කෙනාට හොද අයිතියක් ඇති චෙක් එකක්ද කියලා හොයලා බලලා ගන්න.නැත්නම් නීතිය ඉදිරියේ වෙනකෙනෙක් වෙනුවෙන් ඔයාලට වන්දි ගෙවන්න වෙන්න පුළුවන්.


    7.දැන් ලංකාවේ සාමාන්‍යයෙන් ඕනෑම චෙක්පතක් දින දෙකක් ඇතුලත මාරුකරගන්න පුළුවන්,ඒක නිසා ඔයාලට ලැබෙන චෙක්පත් බ්‍රහස්පතින්දා උදේ වරුවෙවත් තැන්පත් කරන්න.සිකුරාදා තැන්පත් කලොත් සල්ලි ලැබෙන කොට අගහරුවාදා වෙන්නත් පුළුවන්.

    8.චෙක් එක නවන්න පොඩිකරන්න එපා.ඒකත් චෙක් එක return වෙන්න හේතුවෙන්න පුළුවන්
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    චෙක් එකක් ගනුදෙනු කරන්න පුළුං කාලය මාස 6 වෙනවා
    එත් නිතය්නුකුල වලංගු කාලය අවුරුදු 6 වෙනවා