චේතියගිරි රජ මහා වෙහෙර

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    චේතියගිරි රජ මහා වෙහෙර

    කාලතුවක්කු ප‍්‍රහාර විසි දෙකකින් බෑට කෑ චේතියගිරි රජ මහා වෙහෙර


    05-Rasa-p3-8.jpg




    පදවිය - පරාක‍්‍රමපුර - ශ්‍රීපුර රජ කාලයේ පටන්ම ගොවි කමේ මුල් ගම්බිම්ය. ඒ බව සනාථ කරන විශාල වැව් රාශියක් අදත් මේ ගම්මාන වල හැමතැනකම වාගේ දැකගත හැකිය. ඒවා ප‍්‍රතිසංස්කරණය කරවා අක්කර දහස් ගණන් අස්වද්දන කුඹුරු මැදවච්චිය හන්දියෙන් හැරී පදවිය බලා එද්දී මඟ දෙපසම දිස්වේ. ගොවිකමට ශූර පදවි - පරාක‍්‍රමපුර වැසියන්ගේ උත්තම පුණ්‍ය භූමියකට අද අපි රජමහා වෙහෙරක කතාවෙන් ගොඩ වෙමු. අනුරාධපුර නගරයේ සිට රඹෑව - මැදවච්චිය කැබිතිගොල්ලෑව - පදවිය පසුකරමින් අපේ ගමන වැටී තිබේ. පරාක‍්‍රමපුර ඇළ අසල හන්දියට පෙනෙන දුරින් ඓතිහාසික චේතියගිරි රජමහා විහාරය පිහිටා තිබේ. අනුරාධපුරයේ සිට පරාක‍්‍රමපුරට දුර කිලෝ මීටර් 64කි. මේ ඉපැරණි විහාරය අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ පදවි ජනපදයට අයත්ය.
    චේතියගිරි රජමහා විහාරය, පරාක‍්‍රමපුර පිහිටි බුද්ධංගල, තෝනිගල, රාජපොකුණ ආදී අනෙකුත් පැරණි විහාර අතරින් එකකි.
    විහාරයේ මුල් යුගය පිළිබඳව තොරතුරු සොයා බලද්දී චේතියගිරි විහාරය අනුරාධපුර යුගයේ මුල් කාල සමයට අයත්ය. ඒ අනුව දේවානම්පියතිස්ස රාජ සමය හෝ ඊට ආසන්න කාලයක මේ විහාරය ගොඩ නැගෙන්නට ඇති බව විශ්වාස කළ හැකිය. පදවි ජනපදයේ පිහිටි ඉපැරණි මට්ටමේ බොහෝ වෙහෙර විහාර අනුරාධපුර මුල් යුගයට නෑකම් කියයි. ඒ බව සනාථ කළ හැකි ශිලා ලේඛන හෝ වංශ කතා විස්තර හමු නොවුණත් පුරාවිද්‍යාත්මක ලක්‍ෂණ පිරික්සා බලද්දී විහාරයේ පැරණි බව තහවුරු කරගත හැකිය. විශේෂයෙන් කැටයම් නොකළ සඳකඩ පහන් කිහිපයක්, කැටයම් නොකළ මුරගල් හා අනුරාධපුර මුල් සමයේදී බුදු පිළිමය වෙනුවට වන්දනා මාන කළ සිරිපතුල් ගල් කිහිපයක් චේතියගිරි රජමහා වෙහෙර තැනින් තැන දැකිය හැකිවේ. විශේෂයෙන් මේ සිරිපතුල් ගල් වල බුදු සිරිපාදය සියුම් කැටයම් සහිතව නෙළා තිබේ. මෙවැනි සිරිපතුල් ගලක් කොළඹ කෞතුකාගාරයේ හෝ දැකිය නොහැකි බව විහාරාධිපති කුඩාහල්මිල්ලෑවේ රතනසාර නාහිමියෝ අපට පැවසූහ.
    විහාර බිම තැනින් තැන පිහිටි කුඩා ගල් කුළු අතරේ ඉදිකර ඇති විහාරාරාංග දැකුම්කළුය. එයින් ලම්බාකාර ගල් කුලක ඉදිකර ඇති චෛත්‍යය බැලූ බැල්මට වෙනස් ආරක් ගනී. මේ චෛත්‍යය කුඩා ගල් කුලක් මත ඉදිකර ඇති නිසා චේතියගිරි නමින් මේ ස්ථානය හඳුන්වන බව කියැවේ. දැනට චෛත්‍යය ඉදි කර ඇති ස්ථානයේ ඉපැරණි චෛත්‍යයක නටඹුන් තිබී ඇත. ඉන් පසු එම ගරා වැටුණු චෛත්‍යය මත්තේ නව චෛත්‍යය ගොඩ නංවා තිබේ. ඒ 1961න් පසු කාලයේය. චෛත්‍යයට නැගෙනහිර දෙසින් පැරණි විහාර මැදුරේ නටඹුන් අදත් දක්නට ලැබේ. එහි පැතලි උළු සෙවිලි කර තිබී ඇති අතර චෛත්‍යය ආසන්නයේ එම උළු තවමත් දක්නට ලැබේ.
    පැරණි ගල් පඩි පෙළ, ගල් කණු, කොරවක් ගල් රාශියක් විහාර බිම තැනින් තැන පිහිටා තිබේ. මේ හරහා පැහැදිලි වන ප‍්‍රධාන කරුණු කිහිපයක් තිබේ. පෙර රාජ රාජ මහා මාත්‍යාදීන්ගේ නොමද අනුග‍්‍රහයද මේ ස්ථාන ලක්වී ඇති බව ඉන් එකකි. වවුනියාව, මුලතිව්, ත‍්‍රිකුණාමලය ආදී දිස්ත‍්‍රික්කවලට ආසන්නයේ මෙවන් ඓතිහාසික ශ්‍රී විභූතියක් පිහිටි පැරණි විහාර පැවතීම අනුව පෙනී යන්නේ මේ ප‍්‍රදේශවල අතීතයේ පටන්ම බෞද්ධ ප‍්‍රබෝධයක් හා සශ්‍රීක ජනපද බොහෝ පවතින්නට ඇති බවය. විටෙක මේ සා ඉපැරණි නටබුන් අපට දකුණේ සමහර ප‍්‍රදේශවලදීද හමු නොවුණි.
    විහාරාධිපති හිමියන් පවසන ආකාරයට මේ චේතියගිරි රාජමහා විහාරයට දේවානම්පියතිස්ස මහසෙන්, සද්ධාතිස්ස, මහා පරාක‍්‍රමබාහු යන රජවරුන්ගේ අනුග‍්‍රහය ලැබී තිබේ.
    විහාර මළුව එදා ගල් බැම්මකින් ආවරණය වී තිබී ඇත. නමුත් පසුකාලීනව එම ගල් බැම්ම විසිරී ගොස් තිබේ. එහි ගල් කුට්ටි තවමත් තැනින් තැන දැකිය හැකිය.
    ඉතිහාසය පුරා ඉතා දියුණුව, සශ්‍රීකව පැවැති මේ ප‍්‍රදේශ කාලයාගේ ඇවෑමෙන් වනගත විය. මෑත යුගයේ දියුණුව ඇරඹෙන්නේ ඞී.ඇස්. සේනානායක මහතා පදවිය වැව යළි ප‍්‍රතිසංස්කරණය කරවා ගොවි ජනපද ආරම්භ කිරීමට මුල් අඩිතාලම දැමීමෙන් පසුවය. 1959 දී පරාක‍්‍රමපුර චේතියගිරි විහාරයට වැඩම කළ මාමඩුවේ රතනසාර නාහිමියන් මේ විහාරය සොයාගෙන මෙතැන පොල්අතු මඩුවක් තනා එහි කල් ගත කළහ. එකල පදවි ජනපදයෙහි මිනිසුන් පදිංචි කළ අතර අවට ගම්බිම්ද ජනාකීර්ණ වන්නට පටන් ගත්තේය.
    1961 අවසාන කාලයේ මේ විහාරයට වැඩම කළ කුඩා හල්මිල්ලෑවේ රතනසාර නාහිමියන් (වැලිඔය හාමුදුරුවෝ) තවමත් මේ විහාරය ඇතුළු පදවිය-වැලිඔය වෙහෙර තැන්න ප‍්‍රදේශ වල පැරණි විහාර රාශියක් ගොඩ නංවා, ගොවිජනපද ඇතිකරවා මේ ප‍්‍රදේශවල වෙසෙන කාගේත් ගෞරවයට, පූජනීයත්වයට පත්වන මහා වැඩ කොටසක් කරගෙන යමින් සිටිති.
    උන්වහන්සේ මෙහි වැඩම කිරීමෙන් පසු මේ පළාතකවත් උසස් පෙළ පන්ති නොතිබූ සමයක ගුරුවරුන් යොදවා උසස් පෙළ පන්ති ආරම්භ කළහ. දහම් පාසලක්, පෙර පාසලක්, ඉංග‍්‍රීසි පාසලක්, ජුකී මැෂින් පුහුණුවක් ආරම්භ කළහ. ඒ හරහා ගොවි ජනපද වල වෙසෙන දරුවන්ට අලූත් ලෝකයට ප‍්‍රවිශ්ඨ වීමේ මාර්ග ඇති කළහ. මේ දියුණුව පසුකාලය වෙද්දී පරිගණක තාක්‍ෂණය දක්වා දියුණු කර දරුවන්ට ලබාදීමට නාහිමියන් මුල්වූහ. ඒ සියලූ දේ අතරේ විහාර බිමේ දර්ශනීය බුද්ධ මන්දිරයක්ද ඉදි කළහ. එහි විශාල සමාධි පිළිම වහන්සේ දකින අයගේ පින් සිතිවිලි පහළ කරන අපූර්ව නිර්මාණයකි. විහාර ගෙය පුරා බුද්ධ චරිතයේ සිදුවීම් ලිය වැල්, ජාතක කතා අගනා සිතුවම් දක්නට ලැබේ. එසේම ඝණ්ඨාර කුළුණ, අටවිසි බුද්ධ මන්දිර හා විහාරයේ දැකුම්කළු උද්‍යාන සැලැස්ම තුළ නාහිමියන්ගේත් ශිෂ්‍ය පරපුරේත් දැක්ම, ජාතික ආගමික කැක්කුම, නිර්මාණශිලීභාවය දකින්නවුන්ට පසක් කර දෙයි.
    විහාර බිම පසෙක පිහිටියේ පැරණි බෝධීන් වහන්සේ නමකි. පදවිය-පරාක‍්‍රමපුර අවට සියලූම ගම්මාන වලට 1984න් පසු ත‍්‍රස්තවාදීන්ගේ ප‍්‍රබල ප‍්‍රහාරයන්ට මුහුණ දෙන්නට සිදුවිය. විශේෂයෙන් මේ විහාරයත් නාහිමියනුත් ඉලක්ක කර කාලතුවක්කු ප‍්‍රහාර 22ක් එල්ල විය. එහි සංඥා ලැබෙන විටම පෙරපාසල් දරුවන් වළකට රිංගවා නාහිමියන්ද ආරක්‍ෂා වෙන්නට සෑම විටම වගබලා ගත්හ. එනිසා විහාර බිමට වැටුණු කාලතුවක්කු ප‍්‍රහාර 22න් එකකින් හෝ කිසිවකුටත් කිසිම තුවාලයක් සිදුවූයේ නැත. නමුත් විහාරයේ ගොඩනැගිලි රාශියකට අලාභහානි සිදුවිය. දැන් ඒ කුරිරු යුද්ධයද හමාරය. ප‍්‍රදේශ ශීඝ‍්‍රයෙන් ජනාකීර්ණ වෙමින් පවතී. අවට ගම්මානවල නව ජනපද පිහිටුවමින් යයි. යුද්ධය නිමාවී සැනසුම් සුසුම් විඳින ජනතාව අතරේ ඔවුන්ගේ උතුම් පින් බිමකට අද අපි රජ මහ වෙහෙරක කතාවෙන් ගොඩ වූයෙමු. පදවිය ජනපදයේ බෞද්ධ ප‍්‍රබෝධය විඳගන්නට ඔබටත් අවස්ථාව ලැබේවා.


    05-Rasa-p3-8.jpg

    චෛත්‍ය


    05-Rasa-p3-9.jpg

    අනුරාධපුර මුල් යුගයට අයත් පියගැටපෙළ


    05-Rasa-p3-1.jpg


    05-Rasa-p3-4.jpg

    විහාරගෙයි සිතුවම්


    05-Rasa-p3-5.jpg


    05-Rasa-p3-6.jpg


    05-Rasa-p3-7.jpg

    සිරිපතුල් ගල


    05-Rasa-p3-10.jpg


    කුඩාහල්මිල්ලෑවේ රතනසාර හිමි

    උපුටා ගැනිම ලංකාදිප පුවත්පතේ වෙබ් අඩිවියෙනි
     
    • Like
    Reactions: චගු

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    බොහොම ස්තුතියි සහෝ මේ තොරතුරු අපිට කිව්වට.
    අපි මේ පින් බිම් ආරක්ශා කරගන්න ඕනි. විහාරාධිපති කුඩාහල්මිල්ලෑවේ රතනසාර නාහිමියෝ වගේ ශ්‍රෙෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඉස්සරත් මේ වාගෙම භයානක සතුරු උවදුරු හමුවේ දිවි නොතකා ශාසනයත් මිනිස් ජීවිතත් ආරක්ෂා කලා.
    දෙ අත් මුදුන් තබා නමස්කාර කරනවා නා හිමියනි ඔබ වහන්සේට.

    මචන් පුළුවන් නම් මේ පෝස්ට් එකත්, වැටෙන කමෙන්ට්ස් නුත් printout අරන් නාහිමියන් වහන්සේට තැපැල් කරන්න. උන්වහන්සේගේ මේ උදාර මෙහෙවරත්, විහාරස්ථානයේ ඉතිහාසයත් ලොවට කිව්වා කියල කියන්න මචන්
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    චගු;11670242 said:
    බොහොම ස්තුතියි සහෝ මේ තොරතුරු අපිට කිව්වට.
    අපි මේ පින් බිම් ආරක්ශා කරගන්න ඕනි. විහාරාධිපති කුඩාහල්මිල්ලෑවේ රතනසාර නාහිමියෝ වගේ ශ්‍රෙෂ්ඨ බුද්ධ පුත්‍රයන් වහන්සේලා ඉස්සරත් මේ වාගෙම භයානක සතුරු උවදුරු හමුවේ දිවි නොතකා ශාසනයත් මිනිස් ජීවිතත් ආරක්ෂා කලා.
    දෙ අත් මුදුන් තබා නමස්කාර කරනවා නා හිමියනි ඔබ වහන්සේට.

    මචන් පුළුවන් නම් මේ පෝස්ට් එකත්, වැටෙන කමෙන්ට්ස් නුත් printout අරන් නාහිමියන් වහන්සේට තැපැල් කරන්න. උන්වහන්සේගේ මේ උදාර මෙහෙවරත්, විහාරස්ථානයේ ඉතිහාසයත් ලොවට කිව්වා කියල කියන්න මචන්
    බොහොම ස්තුතියි මචන් කොමෙන්ට් එකට

    Good Post......................
    ++++++++rep
    Thanks machn
    Thanks