ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මා

    ඡන්ද ප්‍රතිඵල වලින් පස්සෙ සමහරුන් බුම්මාගෙන ඉන්නේ ඇයි?

    depression.jpg

    මෙවර පළාත් පාලන ඡන්දයේ දී මෙන්ම සෑම මැතිවරණයකදීම කිසියම් පිරිසක් ජයග්‍රහණය කරන විට ඊට සාපේක්ෂව තවත් පිරිසක් පරාජයට පත්වීම ඒකාන්තයෙන්ම සිදුවන්නකි. එහෙත් මෙසේ සිදුවන මැතිවරණ පරාජයන් මුල්කොට සමහරුන් ඉච්ඡාභංගත්වයට පත්ව තමන්ගේ එදිනෙදා කටයුතු පවා අඩාල කර ගැනීම සාමාන්‍ය සංසිද්ධියකි. මේ ඒ සම්බන්ධ මනෝවිද්‍යාත්මක පසුබිම පිළිබඳව විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ගේ අදහස් දැක්වීමකි.

    ►. තමන් ප්‍රිය කරන අපේක්ෂකයා හෝ පක්ෂය ඡන්දයකින් පරාජයට පත් වූ විට සමහරුන් දැඩි මානුෂික පසුබෑම් වලට ලක්වන්නේ ඇයි?

    අහිමි වීම කාටත් පොදු දෙයක්. අපි ආදරය කරන කෙනෙක් අහිමි වුණොත්, ආදරය කරන දෙයක් නැති වුණොත් වියෝ දුකක් ඇතිවෙනවා. ඡන්දයක් පැරදුණාමත් තමන් බලාපොරොත්තු වෙන අපේක්ෂකයා පරාද වුණාමත් ඒ දැනෙන දුකත් එක්තරා විදියක වියෝ දුකක්. මෑත කාලයේ ලෝකයේ බොහෝ රටවල මේ වගේ වියෝ දුකින් පෙළෙන අය ගැන අහන්න ලැබුණා.

    ►. මනෝ වෛද්‍යවරයෙකු හැටියට මෙවැනි පුද්ගලයන් සායන වලදී ඔබට මුණගැසී තිබේද?

    ලංකාවෙත් පහුගිය කාලෙ තිබුණු හැම ඡන්දයකටම පස්සේ වියෝ දුක නිසා මානසික පීඩනයට මුහුණ දෙන අය සුලබව අපට හමු වුණා. සති ගණන් නොකා සිටි අය , තරහින් කළහ කළ අය ඒ අතර හිටියා. දුක දැනෙන්නෙ ජයග්‍රහණය අහිමි වූ නිසයි . එසේ නැත්නම් තමන් අපේක්ෂා කළ අපේක්ෂකයා තෝරා පත් කරගැනීමට අපොහොසත් වූ නිසයි. එමගින් අනාගතය ගැන දැනෙන අවිනිශ්චිතතාවය ,අනාරක්ෂිතභාවය, බය, දුක තවත් වැඩි කරන්න පුළුවන්.

    ►. මේ ක දුකක්ද නැත්නම් ඊර්ෂ්‍යාවක් ද?

    විරුද්ධවාදියාගේ ජයග්‍රහණය ඉවසීමට නොහැකි වීම,දුකක් වගේම ඊර්ෂ්‍යාවත් ඇති කරනවා. තමන් හිතන විදියට අනිත් සමාජයත් නොසිතීම නිසා දැඩි තරහකුත් ඇතිවෙන පුළුවන්. ඉතින් මේ වගේ හැඟීම් තමයි ඡන්දෙකට පස්සේ ඇතැම් දෙනා අත්දකින්නේ.

    ►. මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන අවස්ථාව කොටස් කර දක්වන්න පුළුවන් ද?

    පළමුව දැනෙන්නේ ප්‍රතිඵලය පිළි නොගැනීම, පරාජය භාර නොගැනීම, ප්‍රතිඵලය ගැන සැක කිරීම, ක්‍රමවේදය ගැන කලකිරීම වගේ සිතිවිලි.
    ඊළඟට එන්නේ තරහක්. මේ තරහ තමන්ගේ දැඩි අරමුණ ඉෂ්ට කරගන්න බැරි වීමේ වේදනාවත් එක්ක එන දෙයක්. අපි කැමති දේවල් ඒ විදිහට ඉටු නොවුණාම ඒකට උදව් කරපු නැති අය ගැන අපිට තරහක් එනවා.
    අපිට ඕන දේවල් ඒ විදියටම වෙන්න ඕන කියල දැඩි හැඟීමක් එනවා. ඒ තරහ අපේ අරමුණ ට විරුද්ධ අය මත පටවනවා. තමන්ගෙ යහලුවොත් එක්ක අසල් වැසියොත් එක්ක සමාජ මාධ්‍යවල, අනිත් මිනිස්සුන්ට 'පලු යන්න බනින්නේ' අවතක්සේරු කරන්නේ මේ තරහ පිට කරන්න.
    ඊළඟට වෙන්නේ කේවල් කිරීමේ අවස්ථාව. වෙනසක් කරන්න තිබුණා මීට වඩා මහන්සි වුණා නම්. මේ පරාජය වලක්වාගන්න තිබුණා. අපරාදෙ එහෙම කරන්න බැරි වුණේ වගේ පීඩාකාරී සිතිවිලි හිතට එනවා.
    ඊට පස්සෙ ටික ටික හිතට දුක එනවා. යථාර්ථය පිළිගන්න වෙනවා. කලකිරීම වැඩිවෙනවා. විශාද තත්ත්වයකට සමහරුන් පත් වෙන්න පුළුවන්. යථාර්ථය තේරුම් අරගෙන ,පරාජය පිළි අරගෙන නැවත නැගී සිටින්න උත්සාහගන්න ශක්තියක් ලැබෙන්නේ ඊටත් පස්සෙ.

    ►. කොහොමද ඡන්දයකින් පස්සේ ඇතිවෙන මේ මානසික පීඩනය දරා ගන්නේ?

    තමන් වියෝ දුකේ කුමන අවස්ථාවක සිටිනවා ද කියලා අවබෝධ කර ගැනීම පළමු පියවර හැටියට ඉතාමත්ම වැදගත්.

    පරාජය පිළිබඳ යථාර්ථය අවබෝධ කර ගැනීම,මානසික පීඩනය අඩු කරගන්න උදව් වෙනවා. සමහර වෙලාවට ‍ප්‍රතිඵලය විතරක් නෙවෙයි ප්‍රතිඵලය නිසා ඇතිවන තවත් බලපෑම් මානසික පීඩනය වැඩි කරන්න පුළුවන් උදාහරණයක් විදිහට ඇසුරුකරණ සමාජයෙන් තමන්ට ඇතිවන ලැජ්ජැව, නින්දා අපහාස, රැකියාවට ඇති වන බලපෑම්, වරප්‍රසාද අහිමි වගේ දේවල්.

    ►. මේ තත්ත්වය පාලනය කර ගන්නේ කෙසේද?

    තරහ කළමනාකරණය කර ගැනීම ඉතාම වැදගත් දෙයක්. ඉවක් බවක් නැතිව බැන බැන යන්නේ නැතුව, රණ්ඩු කර කර ඉන්නේ නැතුව, පරණ තරහ මරහ සුහදව අවසන් කිරීම වැදගත්. පවුලේ අයත් එක්ක, ඥාති මිත්‍රාදීන් එක්ක, සමාජ මාධ්‍ය වල ඉන්න යාළුවෝත් එක්ක විවේචනය කරමින් ඉන්නවට වඩා නැවත සුහදශීලී වෙන එක ඉතා වැදගත් දෙයක්. ඉදිරියේදී සමාජ වෙනසක් සිදු කරන්න උත්තේජනයක් හැටියට සමාජය ගැන තිබෙන තරහ යහපත් විදියට ගලපා ගන්නත් පුළුවන්.

    ►. නමුත් මාධ්‍ය මගින් ලැබෙන තොරතුරු වලින් ඒ පරාජය නැවත නැවතත් සිතට කා‍වදිනවා නම් ?

    ටික කාලයකට කාලීන ප්‍රවෘත්ති බැලීමෙන් වෙන් වෙලා ඉන්න එක වැදගත්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වලින් ඉවත් වෙලා ඒවයේ පළ කරන හිත රිදවන දේවල් නොකියවා ඉන්න. පවුලේ අය සමඟ හිතවතුන් සමග කාලය ගත කිරීම වඩා ඵලදායි වෙනවා. සුපුරුදු විනෝදාංශ වලට තියෙන කාලය තවත් වැඩි කර ගැනීම වැදගත්.

    තමන්ගෙම දේශපාලන අදහස් දරන අය සමඟ කතා කිරීම විරුද්ධවාදීන් සමඟ වාදයට යෑමට වඩා මානසික සෞඛ්‍යට හිතකරයි. සංගීතයට සවන් දීම ගීත වලට සවන් දීම වගේ හිත නිවන දේවල් මානසික සෞඛ්‍යයට උදව් කරනවා. විරුද්ධ අදහස් දරන කෙනෙක් කතාවට ආවත් ඒ අය සමඟ කතාවට යනවට වඩා ඒ අයගේ අදහස්වලට සවන් දීම කරනවා නම් වේදනාව අඩුයි. සමාජ සේවා කටයුතු යෙදීම අසරණයන්ට උදව් කිරීම වගේ යහපත් දේවල් ගැනත් සිත යොමු කිරීම වැදගත්.

    ►. මේ සඳහා කාටත් පහසුවෙන් පැළිපැදිය හැකි මානසික අභ්‍යාස තිබෙනවාද?

    ඔව්;

    ඔබ ඔබෙන්ම අහන්න, ඡන්දයේ ප්‍රතිඵල ඔබට ඕන විදියට ම වෙන්න ඕනද?

    එහෙම වෙන්න ඕන කියලා සාක්ෂි තියනවද?

    අනිත් අයත් මම හිතන විදියටම හිතන්න ඕන කියලා සාක්ෂි තියනවද?

    මේ පුද්ගලයා හෝ පක්ෂය , ජයග්‍රහණය කිරීම පිළිබඳ මම කැමති නැහැ, ඒ නිසා මට දුක දැනෙන එකේ වරදක් නැහැ; කියලා හිතලා ඒ දුකම අනාගතයේ වෙනසක් කරන්න උද්දීපනයක් කරගන්න පුළුවන්. හැම පරාජයක් තුළම ජයග්‍රහණයක් සැඟවිලා තිබෙනවා කියන සත්‍යයත් සිත තුළට ඇතුල් කරගන්න.

    ►. නමුත් සමහරුන් මැතිවරණ ප්‍රතිඵල වලින් පස්සේ ආත්ම විශ්වාසය අඩාල කරගන්නවා.

    ඔව්; මම උදව් කරපු පක්ෂයේ අපේක්ෂකයා දිනන්නම ඕන කෙනෙක් අනිත් මිනිහා දිනලා නිසා මට ඉවසන්න බැහැ. මේ මෝඩ ඡන්ද දායකයෝ නිසා කියලා, තරහව වෛරය වපුර ගත්තොත් ඒ විනාශකාරී හැඟීම් නිසාම ආත්ම විශ්වාසය අඩපන වෙලා අනාගත අරමුණු ඉටු කර ගන්නත් බැරිවෙනවා. ඒ වගේම දැඩි චිත්තාවේග සිත තුළ දරා සිටීම මානසික සෞඛ්‍යයට දැඩි සේ අහිතකරයි.


    Source