ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්සේ මෙසේ අසති.
“කින්නු ඛෝ ආවුසෝ සාරිපුත්ත, චක්ඛු රූපානං සඤ්ඤෝ ජනං , රූපා චක්ඛුස්ස සඤ්ඤෝජනං?”
“ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස! ඇස තියෙන්නෙ රූපවලට බැඳිලද? නැත්නම් රූප තියෙන්නෙ ඇසට බැඳිල ද?”
ඇසෙන් රූප දකිනවා . රූපයක් දුටු විට ඒ රූපය සමග බැදී යනවා. ඒ බැඳීම නිසා නැවත නැවත බලන්නට පෙළෙඹෙනවා. මේ බැඳීම කොහොම එකක් ද? ඇස රූපයට බැඳිලද? නැත්නම් රූපය ඇසට බැඳිලද? ඉතින් ඔය ප්‍රශ්නය අපෙන් කවුරු හරි ඇසුවොත් අපටත් බැරියැ ඔය ප්‍රශ්නයට උත්තරයක් දෙන්න, වැඩි ඈතට සිතන්න ඕනෑ නැහැනේ. ඇස තමා රූප වලට බැඳිල තියෙන්නේ. වැඩි දෙනෙක් ළඟ ඔය උත්තරේ තියෙනවා ම යි. ඇස නැත්නම් රූප සමග බැඳීමක් කොයින් ද? තව ටිකක් කල්පනා කරපු කෙනෙක් කියාවි, රූපයයි ඇසට බැඳෙන්නෙ කියල. බලපුවම ඒකත් හරි වාගෙ, තවත් කෙනෙක් කියාවි ඇසත් රූපයට බැඳිල, රූපයත් ඇසට බැඳිල කියල. ඒ පිළිතුරෙන් ආඳෙකු මෙන් ප්‍රශ්නයෙන් ලිස්සල යන්නත් පුළුවන්, ඇයි බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන්නෙ කෝකටත් හරියන දෙයක් කියලා. ඒ වාගෙ ලිස්සලා යන කට්ටියක් ඒ කාලෙත් හිටිය කියලා. ඉතින් මේ ප්‍රශ්නය ඇසූ විට ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ කොට්ඨිතයන් වහන්සේ දෙස බලා දෙතොල් මඳක් විවර කර මඳහසින් හරි අපූරු පිළිතුරක් වදාළා.
“නඛෝ ආවුසෝ කොට්ඨිත! චක්ඛු රූපානං සඤ්ඤෝජනං න රූපා චක්ඛුස්ස සඤ්ඤෝජනං “ “ආයුෂ්මත් කොට්ඨිතයන් වහන්ස, ඇස රූපයට බැඳිලත් නැහැ. රූපය ඇසට බැඳිලත් නැහැ”
“ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, මේ දෙක අතර එහෙම නම් බැඳීමක් කියල දෙයක් ඇත්තෙම නැද්ද? “
“ ඒකාන්තයෙන්ම තියෙනවා කොට්ඨිතයන් වහන්ස”
“පි‍්‍රය සාරිපුත්තයන් වහන්ස, ඔබ වහන්සේ ඔය විදිහටමද කන ගැන කියන්නෙත්? කන ශබ්දයට බැඳිලද? ශබ්දය කනට බැඳිල ද? අනෙක් ආයතන ගැනත් එහෙම ද? නාසය ගඳ සුවඳට බැඳිල ද? ගඳ සුවඳ නාසයට බැඳිල ද? රසය දිවට බැඳිල ද? දිව රසයට බැඳිල ද? කය පහසට බැඳිල ද? පහස කයට බැඳිල ද? මනස අරමුණට බැඳිල ද? අරමුණ මනසට බැඳිල ද? “ “ඒක එහෙමම යි, පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස, කන ශබ්දයට බැඳිලත් නැහැ, ශබ්දය කනට බැඳිලත් නැහැ. අනෙක් ආයතන ගැනත් කියන්න තියෙන්නෙ ඒ විදිහමයි.”
“ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්ස, ඇස, කන, නාසය, දිව, කය, මනස යන අභ්‍යන්තර ආයතන හයත්, රූපය, ශබ්දය, ගන්ධය, රසය, පහස ධර්ම යන බාහිර ආයතන හයත් එකිනෙකට ඒවායින්ම බැඳිල නැහැ කියල ඔබ වහන්සේ පවසනවා. ඒ වාගේම ඒවා ඒකාන්තයෙන්ම බැඳිලත් තියෙනව කියලා පවසනවා. එහෙම නම් මේ බන්ධනය කොයි වාගෙ එකක් ද? කොහොමද ඇති වන්නෙ?”
“පි‍්‍රය කොට්ඨිතයන් වහන්ස! ඒක මෙහෙමයි . ඇස රූපයට බැඳිලත් නැහැ. රූපය ඇසට බැඳිලත් නැහැ. නමුත් ඔය දෙක බැඳ තබන බන්ධනයක් තියෙනවා.”