copyright w3lanka
පසුගිය දිනෙක අපි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂයකු ප්‍රවර්ධනය කරන්නට යෝජනාවක් ඉදිරිපත් කළෙමු.
එම යෝජනාව මත පදනම්ව මෙතැනත්, වෙනත් තැන්වලත් සංවාදයක් අවදි කරන්නට අපට හැකි විය.
අපගේ යෝජනාව හා සම්බන්ධව මතු කෙරුණු මූලික අදහස් මෙවැනි විය.
පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂගේ ආකර්ශනීය පෞරුෂය අභිභවා යා හැකි අයෙක් විය යුතු ය.
ඔහු / ඇය සමාජය හොඳින් දන්නා අයෙක් විය යුතු ය.
ඔහු / ඇය ජනතාව අතර හොඳින් අලෙවි කළ හැකි පුද්ගලයෙක් විය යුතු ය. කොටින් ම කියනවා නම්, ඔහු / ඇය සම්බන්ධයෙන් ජනතාව අතර හොඳ ඉල්ලුමක් ඇති විය යුතු ය.
මෙම කාරණාවලට අදාළව ගත් විට, දැනට සිටින නිර්මාල් රංජිත් දේවසිරි යනු එතරම් ශක්තිමත් තරගකරුවෙක් නො විය හැකි බව මම පිළි ගනිමි. එහෙත්, මා යෝජනා කරන්නේ ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයකු ගොඩනැගීම පිළිබඳවයි. එය වනාහි සියලු දේශපාලන බලවේගවල මැදිහත් වීමෙන් බිම් මට්ටමේ සිට ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියක් ඔස්සේ සිදු විය යුතු බව ද මම අවධාරණය කරමි. ජනාධිපතිවරණය ජය ගැනීම තරමට ම හෝ ඇතැම් විට එයටත් වඩා, මෙම ජනාධිපතිවරණ ප්‍රජාතාන්ත්‍රික ක්‍රියාවලිය වැදගත් ය.
එපමණක් නොව, ඇතැම් අදහස්වලින් කියැවෙන පරිදි පොදු අපේක්ෂකයා සිංහල ජාතිවාදියකු ද විය යුතු ය. එම නිර්නායකය අනුව නම් නිර්මාල් සම්පූර්ණයෙන් ම අසාර්ථක ය.
මේ පිළිබඳව අදහස් දක්වමින් නිර්මාල් පවසන්නේ තමන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන පොදු අපේක්ෂකයා මාදුළුවාවේ සෝභිත හිමි බවයි.
භික්ෂූන් දේශපාලනය නො කළ යුතු ය යන බොළඳ අදහසේ මම නො සිටිමි. එහෙත්, හුදෙක් ම සිවුරු දරන නිසා ම, භික්ෂූන් යනු සමාජයෙන් උත්තරීතර ගෞරවයක් හිමි කර ගත යුතු පිරිසක් ලෙස ඇති පිළි ගැනීම ප්රජාතන්ත්රවාදී දේශපාලනය සමග පරස්පර තත්වයක් නිර්මානය කරයි.
මේ ආගමික භක්තියත්, වෘත්තීය සමිති දේශපාලනයත් එකට පටලවාගෙන ඇන ගත් තැනකි, හෙද සේවය. මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව සභාපතිත්වය දරන රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ක්‍රියාකාරිත්වය අධ්‍යයනය කිරීමෙන් ඔබට මෙම තත්වය තේරුම් ගැනීමට හැකි වනු ඇත. සමන් රත්නප්‍රිය මේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇත. නිදසුනක් ලෙස, වෘත්තීය සමිති රැස්වීමකදී සාමාජිකයන්ට සමන් රත්නප්‍රියට හූ කියන්නට පුළුවන් වුණත්, හෙදියෝ හිතන්නේ හාමුදුරුවන්ට එසේ කිරීම වරදක් බවයි. ඒ නිසා මුරුත්තෙට්ටුවේ හාමුදුරුවන්ගේ හොරිකඩ වැඩ ඉවසා සිටින්නට හෙදියන්ට සිදු වී තිබේ.
සෝභිත හාමුදුරුවන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුළ මෙම තත්වය වෙනස් කරන්නට හැකි නම් ඇත්තෙන් ම සමාජයට හොඳ ය. කොටින් ම කියනවා නම්, මහින්ද රාජපක්ෂ කොච්චර ලොක්කෙක් වුණත්, අපි කිසි දිනෙක මෙම බ්ලොගයේදී ඔහුගේ නම අගට මහතා කියන කෑල්ලවත් එකතු කර නැත. එහෙත්, ඥානසාර භික්ෂුව කොයි තරම් නො වටිනා පුද්ගලයෙක් වුණත්, ඔහුගේ නම අගට හිමි කියා ලියන්නට අපට සිදු වී තිබේ.
කිසිදු ආගමක් නො අදහන, මිනිස් සමාජයේ සමගියේ හා සමානාත්මතාවේ නාමයෙන් සියලු ආගම්වල විනාශය ඉත සිතින් ප්‍රාර්ථනා කරන මටත් තත්වය එහෙම නම්, එහෙම දෙයක් ප්‍රසිද්ධියේ නො කියන නිර්මාල්ටත්, මේ රටේ පොදු ජනතාවටත් මාදුළුවාවේ සෝභිත හිමි දවසකටවත් ජනාධිපති වුණොත් මුහුණ දෙන්නට සිදු වන තත්වය කෙබඳු ද යන්න සිතා ගත හැකි ය.
සමගි පෙරමුණු ආණ්ඩුවේ කැබිනට් රැස්වීමේදී සිරිමාට තිබුණු ප්‍රශ්නයක් ගැන පොතක සඳහන් වූ දෙයක් අපේ මිතුරකු කීවේ ය. ඒ අනුව, ඇය කැබිනට් රැස්වීමට එන විට ඇන්.ඇම්. හා කොල්වින් නැගිට ආචාර කළේ නැත. අනෙක් අය එසේ කළ හ.
සෝභිත හිමිගේ කැබිනට් රැස්වීම පැත්තක තියමු. ඔතන ඉන්නවුන් නාමල් රාජපක්ෂට වුණත් වඳින එවුන් නිසා උන් ජනාධිපති සෝභිතට කොහොම කළත් අපට කමක් නැත. ජනාධිපතිවරණ රැස්වීමකදී අපි හැසිරිය යුත්තේ කෙසේ ද? විසිල් ගහනවා ද? අප්පුඩි ගහනවා ද? සාදු කියනවා ද?
දැන් යන ආකාරය අනුව ජවිපෙ විතරක් නොව, හෙළ උරුමය, විමල් පක්ෂය වැනි බලවේග පවා සෝභිතගේ ජනාධිපතිවරණ කැම්පේන් එක පසුපස එල්ලෙනු ඇත. ලංකාවේ ජනතාව ගොනාට අන්දන්න හොඳින් දන්නා මේ බලවේග ටික හා පොදු අපේක්ෂකයා ලෙස සෝභිත හිමි එකතු වූ පසු රනිල්ගේ සිට නිර්මාල් රංජිත් දේවසිරි දක්වා ප්රජාතන්ත්රවාදීන්ට ද ජනාධිපතිවරණ පෙරහරේ යන්නට වන්නේ "සාදු සාදු බුදු පෙරහර සාදු සාදු සා........දු" කිය කියා ය. ඒ පෙරහර කෙළවර අපේ නිර්මාලුත් දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිර්වාන සම්පත්තිය සාක්ෂාත් කර ගනු ඇතැයි, දෙයියම්පා මට නම් බය ය.
දැනට ඉදිරිපත් වී සිටින අය අතරින් ජනාධිපති මහින්ද රාජපක්ෂ පැරදවීමට මාකට් කළ හැකි හොඳ ම පොදු අපේක්ෂකවරයා සෝභිත හිමි බව මම ද පිළි ගනිමි. එහෙත්, අපේ ජනාධිපතිවරණ අපේක්ෂක ක්‍රියාවලිය තුළ මාදුළුවාවේ සෝභිත හිමි, සෝ්භිත හිමිගේ සිට සෝභිත සහෝදරයා දක්වා පරිවර්තනයක් සිදු විය යුතු ය. එය ව්‍යාපාරය ඇතුළතින් මෙන් ම පිටතින් ද සිදු විය යුතු ය. එහෙම නො වුණොත්, සෝභිත හිමි ජනාධිපති වීම ලංකාව බෞද්ධ ආගමික රාජ්‍යයක් ලෙස තහවුරු වන පියවරක් වනු ඇත.
හමුදා නායකයන් ජනාධිපති වී ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළ අවස්ථා ගැන ලෝකයේ උදාහරණ තිබේ. මාදුළුවාවේ හිමිට ද එහෙම කරන්නට අවශ්‍ය පෞරුෂය තිබේ. එහෙත්, ඒ පිළිබඳ සමාජයට වගකීම් සහතිකයක් තිබිය යුුතු ය. නැතිනම්, මේ අප වැනි හාල් කෑලිවලට සිදු වන්නේ එන්න ඉන්න හොටු ගෑනිට වඩා දැනට ඉන්න කැහි ගෑනි හොඳා කියන්නට ය. නැතිනම්, තොපිට හොඳ නම් ඕනැ කුදයක් ගහගනියව් කියා කඩේ වසා බුදියගන්නට ය. හැබැයි, ඒ සමග අප ද මතයක් ප්‍රවර්ධනය කරන බව ද මතක තබා ගන්න.
විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කර අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නට බලයට ආ චන්ද්‍රිකා ගියේ අවුරුදු 11ක් ම රට ගූ කරලා ය. ගූ කරපු තරම කෙතරම් ද යත්, 2005 වන විට මහින්ද රාජපක්ෂට ද විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා ය කියා බලයට එන්නට හැකියාව තිබිණි.
කියපු දේවල් නො වුණේ මේ ජනාධිපතිවරණ ව්‍යාපාර පිටුපස ප්රජාතන්ත්රවාදී මහජන ගොඩනැගීමක් නො තිබුණු නිසා ය. තිබුණේ ප්රචාරකවාදී මත ගොඩනැගීම් පමණි. 2010දී පවා තත්වය එය ම විය.
මෙහිදී ජවිපෙට හා එක්සත් ජාතික පක්ෂයට වැදගත් භූමිකාවක් රඟපෑ හැකි ය. ඒ වනාහි ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා වෙනුවෙන් බිම් මට්ටමෙන් මහජන පෙළගැස්මක් ඇති කිරීමයි. ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා කවරෙක් වුවත්, එම පෙළගැස්ම කළ යුතු ය. ඔවුන් එය නො කරන්නේ නම් අප හෝ එය ආරම්භ කළ යුතු බව මම යෝජනා කරමි.
මූලික ප්රශ්නය මෙයයි:
ජනාධිපතිවරණයෙන් ජය ගන්නා පොදු අපේක්ෂකවරයා විසින් කළ යුතුව තිබෙන්නේ කුමක් ද?