ජනාධිපතිවරණය_දෙවැනි_මනාපය

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ජනාධිපතිවරණය_දෙවැනි_මනාපය

    ජනාධිපතිවරණ දෙවැනි මනාපය ගැන් 2009 ලියපු ලිපියක්.
    කට්ටිය මේ ගැන හොය හොයනෙ ඉන්නේ.


    http://www.divaina.com/2009/12/21/mano01.html

    ශ්‍රී ලංකාවේ ජනාධිපති මැතිවරණ
    මේ ජනාධිපතිවරණය තීරණාත්මකය!

    නව ජනාධිපති මැතිවරණයක්‌ පැවත්වීම පිළිබඳව ජනාධිපතිවරයාගේ ව්‍යවස්‌ථානුකූල ප්‍රකාශයත් සමග රට තුළ ඒ පිළිබඳව දැඩි උනන්දුවක්‌ ඇතිවී තිබෙන බව පෙනේ. ජනාධිපති තනතුර මේ රටේ විධායක බලය හිමි උත්තරීතර පදවියයි. දැනට අවුරුදු 30 ක පමණ ඉතිහාසයක්‌ ඇති මෙම පදවිය සඳහා සුදුස්‌සෙකු තෝරා ගැනීමේ කාර්යය සෘජුව ජනතාවට හිමිව තිබේ. එහෙයින් ඒ පිළිබඳව ජනතාව බුද්ධිමත් විය යුතු අතර ඊට අදාළ ක්‍රියාවලිය හා පසුබිම පිළිබඳවද සලකා බැලීම කාලෝචිත බව පෙනේ.

    ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති පදවියක්‌ ඇති කරන ලද්දේ 1978 ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගිනි. එම ව්‍යවස්‌ථාවේ නියමයන් අනුව සම්මත කර ගන්නා ලද 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ විධිවිධාන අනුව මෙම මැතිවරණය පැවැත්වීමේ නීති හා ක්‍රියාවලිය සකස්‌ වී ඇත. ඒ අනුව මුළු රටම එක්‌ මැතිවරණ කොට්‌ඨාසයක්‌ ලෙස ක්‍රියාත්මක වන අතර නාමයෝජනා භාර ගැනීම හා ප්‍රතිඵලය ප්‍රකාශ කිරීමට අදාළ කටයුතු මැතිවරණ කොමසාරිස්‌වරයා විසින්ම සිදු කෙරේ. කාර්ය පහසුව සඳහා එක්‌ එක්‌ දිස්‌ත්‍රික්‌කය වෙනුවෙන් තේරීම් භාර නිලධාරීන් වශයෙන් දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන් පත් කිරීමත්, සෙසු ඡන්ද විමසීම්වලදී අනුගමනය කරන ආකාරයටම ඡන්ද ප්‍රදේශ හා ඡන්ද කොට්‌ඨාස අනුව පිළියෙල කරගනු ලබන ඡන්ද හිමි නාමලේඛනය අනුව ඡන්ද විමැසීම පැවැත්වීමත් සිදු කෙරේ. අවුරුදු හයක කාලයක්‌ සඳහා ධුරය දැරීමට ජනාධිපතිවරයා තෝරා පත්කර ගනු ලබන අතර දෙවරක්‌ ජනාධිපති ධුරයට පත්වන අයෙකුට නැවත වරක්‌ තෝරා පත්කර ගැනීමේ සුදුසුකම නැතිවෙයි. ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය අවුරුදු හතරක්‌ සම්පූර්ණ වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අවශ්‍ය නම් සිය ධුර කාලය දීර්ඝ කර ගැනීම සඳහා නැවත මැතිවරණයකට යැමේ නීත්‍යනුකූල බලය 1982 තුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් සලසා ඇත. මේ අනුව 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව නිල බලයෙන් ජනාධිපති පදවියට පත්වූ ජේ. ආර්. ජයවර්ධන මහතා සිය කාලය අවුරුදු 4 ක්‌ ඉකුත් වීමත් සමග 1982 දී නැවත මැතිවරණයකට මුහුණදීමට තීරණය කළ බව පෙනේ.

    ජනාධිපති මැතිවරණයක ඡන්දය පාවිච්චි කිරීමේදී වෙනත් ඡන්ද විමැසීම්වලදී ඡන්දය පාවිච්චි කිරීමට වඩා වෙනස්‌ ක්‍රමයක්‌ අනුගමනය කරනු ලැබේ. සාමාන්‍ය සම්ප්‍රදායානුකූල ක්‍රමය වන්නේ ඡන්ද දායකයකු තමන් කැමැති අපේක්‌ෂකයා හෝ දේශපාලන පක්‌ෂය සඳහා කතිරයක්‌ යෙදීම මගින් ඡන්දය ප්‍රකාශ කිරීමයි. එහෙත් ජනාධිපතිවරණයේ ඡන්ද විමැසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අතිරේකව ඡන්දදායකයාගේ දෙවැනි හා තෙවැනි කැමැත්තද ප්‍රකාශ කිරීම සලසන ක්‍රමයක්‌ අනුගමනය කරනු ලැබේ. "මාරු කළ හැකි ඡන්ද ක්‍රමය" නමින් හැඳින්වෙන මෙම පිළිවෙළ අනුව ඡන්ද දායකයාට 1 ලකුණින් ඡන්දයත් 2 හා 3 ඉලක්‌කම් ලකුණු කිරීම මගින් තමන්ගේ දෙවැනි හා තෙවැනි මනාපත් සඳහන් කිරීමට ඉඩ සලසා තිබේ. මෙම ක්‍රමයේ අපේක්‌ෂාව වන්නේ, අපේක්‌ෂකයන් වැඩි සංඛ්‍යාවක්‌ ඉල්ලා ඇති විටක ඡන්ද සංඛ්‍යාව බෙදීයැම නිසා මුළු ඡන්දදායක සංඛ්‍යාව අනුව අඩු ප්‍රතිශතයක්‌ ලබන අපේක්‌ෂකයකු තේරී පත්වීම වළක්‌වාලීමත්, පත්වන තැනැත්තා නියත වශයෙන්ම වැඩි මහජන කැමැත්තක්‌, එනම් සියයට 50 ට වැඩි ප්‍රමාණයක්‌ ලබන්නා බව සහතික කිරීමත් බව පෙනේ. මැතිවරණයට අපේක්‌ෂකයන් දෙදෙනකු පමණක්‌ පෙනී සිටින විටක මනාපය ලකුණු කිරීමක්‌ අවශ්‍ය නොවේ. එවිට ජයග්‍රහණය කරන්නා නියත වශයෙන්ම පාවිච්චි කරනු ලබන ඡන්ද සංඛ්‍යාවෙන් බහුතරයක්‌ ලබන්නා බවට සහතික විය හැකි හෙයිනි. අපේක්‍ෂකයන් තිදෙනකු පමණක්‌ තරගය සඳහා ඉදිරිපත්ව ඇති විටක දෙවැනි මනාපය පමණක්‌ ප්‍රකාශ කිරීමට ඉඩ සලසනු ලැබේ. එවිට කිසිවෙකුට පැහැදිලි බහුතරයක්‌ නොමැති නම් ඡන්ද සංඛ්‍යාව අනුව තෙවැනි තැන ගන්නා අපේක්‌ෂකයා තරගයෙන් ඉවත් වූ ලෙස සලකා එම අපේක්‌ෂකයාගේ ඡන්ද පත්‍රිකාවල දෙවැනි මනාපය ප්‍රකාශ කර තිබේ නම් ඒවා පළමුවැනි හා දෙවැනි තැන ලැබූ අපේක්‌ෂකයන්ගේ වාසියට ලැබුණු ඡන්ද ලෙස සලකා අදාළ අයුරු එකතු කර ඒ මත වැඩි සංඛ්‍යාවක්‌ ලබන තැනැත්තා සියයට 50 ඉක්‌මවා සිටී නම් තේරීපත් වූ ලෙස ප්‍රකාශ කෙරේ. එසේම අපේක්‌ෂකයන් තිදෙනකුට වැඩි සංඛ්‍යාවක්‌ තරග කරන විටක ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අමතරව දෙවැනි හා තෙවැනි මනාපයන්ද ලකුණු කිරීමට ඉඩ සලසනු ලැබේ. මෙහිදී ද පැහැදිලි බහුතරයක්‌ නොමැති නම් පළමු හා දෙවැනි තැන් ගන්නා අපේක්‍ෂකයන් දෙදෙනා හැරුණුවිට සෙසු අපේක්‍ෂකයන් සියල්ල තරගයෙන් ඉවත් වූ ලෙස සලකා ඔවුන්ගේ ඡන්ද පත්‍රිකාවල දෙවැනි මනාපය මුල් අපේක්‍ෂකයන් දෙදෙනාගෙන් එක්‌ අයෙකුට ප්‍රකාශ කර තිබේ නම් ඒ ඒ අපේක්‍ෂකයාගේ වාසියට ලැබුණු ඡන්ද සේ එකතු කරනු ලැබේ. දෙවැනි මනාපය පළමුවැනි හෝ දෙවැනි අපේක්‌ෂකයා වෙනුවෙන් දක්‌වා නැති විටෙක තෙවැනි මනාපය ඒ දෙදෙනාගෙන් එක්‌ අයකුට ප්‍රකාශ කර ඇත්නම් ඒවාද ඉහත ආකාරයටම මුල් අපේක්‍ෂකයන් දෙදෙනාගෙන් එක්‌ එක්‌ අයට ලැබුණු ඡන්ද සේ එකතු කරනු ලැබේ.

    මෙසේ මනාපයන්ද ලකුණු කරමින් ඡන්දය පාවිච්චි කිරීමේ ක්‍රමය ඉතා සංකීර්ණ එකක්‌ බව බැලූ බැල්මටම පෙනී යයි. එහෙත් එහි අපේක්‌ෂාව වන්නේ පවත්නා ඡන්ද ක්‍රමයන් හි හා පක්‌ෂ ක්‍රමයන්හි දුර්වලතා තිබියදීත් කෙසේ හෝ ජයග්‍රහණය කර පත්වන ජනාධිපතිවරයා ඡන්දදායකයන්ගේ පැහැදිලි බහුතරයකින් තේරී ඇති බව සහතික වීමට කටයුතු යෙදීමයි.

    ඉහත විස්‌තරය කළ මාරු කළ හැකි මනාප ලකුණු කිරීමේ ක්‍රමය මේ රටේ පළමුවෙන්ම දක්‌නට ලැබෙන්නේ 1982 පළමුවැනි ජනාධිපති මැතිවරණයේදීය. ඒ නිසා ඡන්දදායකයා තුළ ඒ පිළිබඳව කිසි පළමු අත්දැකීමක්‌ නොවීය. කතිරය ලකුණු කිරීමේ පළපුරුදු ක්‍රමය මෙහිදී දක්‌නට නොවීය. එසේම නූගත් ඡන්දදායකයකුගේ 1, 2, 3 වැනි ඉලක්‌කම් යෙදීමේ හැකියාවද බෙහෙවින් දුර්වලය. පසුකාලීන ඡන්ද විමසීම්වලදී මෙම තත්ත්වය වඩාත් ව්‍යාකූල වූයේ සමානුපාතික ක්‍රමය යටතේ පළාත් සභා හා පාර්ලිමේන්තු මැතිවරණ සඳහා තවත් ආකාරයක මනාප ලකුණු කිරීමේ ක්‍රමයක්‌ ඇතිකරන ලද හෙයිනි. එම මැතිවරණවලදී මනාපය ලකුණු කිරීමත් ජනාධිපති මැතිවරණයේ දී මනාපය ලකුණු කිරීමත් දෙආකාරය. මේ නිසා ඡන්දය ගණන් කිරීම් කරනා නිලධාරීන් තුළද යම් අවිනිශ්චිතතාවන් ඇතිවූ අවස්‌ථා විය. පුරුදු කතිරය පමණක්‌ පාවිච්චි කළහොත් එය ඡන්දයක්‌ ලෙස පිළිගත යුතුද? කතිරය සමග 1, 2 වැනි ලකුණු කිරීම් පාවිච්චි කළහොත් කුමක්‌ ඡන්දය ලෙස පිළිගත යුතුද? වැනි අවස්‌ථා පිළිබඳව තීරණයන් ගත යුතු විය. කෙසේ වුවද මනාපය ගණන් ගැනීම සම්බන්ධ සංකීර්ණ තත්ත්වයන්ට මුහුණ පෑමට ශ්‍රී ලංකාවේ පැවැති ජනාධිපති ඡන්ද විමසීම් පහේදීම අවශ්‍යතාවක්‌ නොවූයේ මුල් ඡන්ද ගැනීමේදීම ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනහ ඉක්‌ම වූ ප්‍රමාණයක්‌ ගැනීමට එම මැතිවරණ පහේදීම පළමුතැන ගත් අපේක්‍ෂකයන්ට හැකිවූ නිසාය.

    1982 මෙරට පළමුවැනි ජනාධිපතිවරණය පවත්වන ලද්දේ ඒ වන විට නිල බලයෙන් පමණක්‌ ජනාධිපති පදවියට පත්ව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතාට, අවුරුදු 4 කින් පසුව නැවත සිය ධුර කාලය දික්‌කර ගැනීමත්, ජනතා ඡන්දයෙන් ජනාධිපති පදවියට පත්වීමේ අවශ්‍යතාව නිසා යෑයි සිතිය හැකිය. මෙම මැතිවරණයේ දී අපේක්‍ෂකයකු වීමට ඉඩ තිබුණු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ නායිකාව වූ සිරිමා බණ්‌ඩාරනායක මැතිනියගේ ඉදිරි පත්වීම උපක්‍රමශීලී ලෙස වැළැක්‌වීම පිළිබඳ ජේ. ආර්. ජයවර්ධන මහතාට චෝදනා එල්ල විය. විශේෂ ජනාධිපති කොමිසමක නිර්දේශ මත ප්‍රජා අයිතිය අහිමි කරනු ලැබූ නිසා බණ්‌ඩාරනායක මැතිනියට ජනාධිපති මැතිවරණයට තරග කළ නොහැකි විය. කෙසේ වුවද ජේ. ආර්. ජයවර්ධන, එච්. එස්‌. ආර්. බී. කොබ්බෑකඩුව, රෝහණ විජේවීර, ජී. ජී. පොන්නම්බලම්, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා හා වාසුදේව නානායක්‌කාර යන අපේක්‌ෂකයන් පස්‌දෙනා තරග කළ මෙම මැතිවරණයෙන් දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 52.91 ක ප්‍රතිශතයක්‌ ලබා ජේ. ආර්. ජයවර්ධන මහතාට ජයගත හැකිවිය.

    දෙවැනි ජනාධිපති මැතිවරණය පැවැති 1988 වර්ෂය වන විට ජනතා විමුක්‌ති පෙරමුණ විසින් මෙහෙයවන ලද භේද හා උතුරේ ත්‍රස්‌තවාදී ගැටුම් නිසා රටේ බෙහෙවින් අවුල් සහිත තත්ත්වයක්‌ ඇතිවී තිබිණි. ඒ අතර ඡන්ද විමැසීම් සම්බන්ධයෙන් 1982 ජනමත විචාරණයේදී හා 1988 පළාත් සභා ඡන්ද විමැසීමේදී ද ඇතිවූ අමිහිරි සිද්ධීන් නිසා ජනතාව තුළ කළකිරීම, බය හා උදාසීනත්වය ඇතිවී තිබුණු බව පෙනේ. අවුරුදු කීපයක කාලයක්‌ තුළ උතුරේත්, ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව දකුණේත් වර්ධනය වූ දේශපාලන ප්‍රචණ්‌ඩත්වය හා තර්ජනාත්මක සිද්ධීන් ජනාධිපතිවරණය ආසන්න වෙත්ම වඩාත් වැඩිවිය. රටේ පරිපාලනය අවුල්කර බිඳ හෙළීමේ අරමුණින් ක්‍රියාත්මක වූ බව පෙනෙන මෙම බලවේග මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහිද බෙහෙවින් බලපාන්නට විය. මැතිවරණ කාර්යයන්හි නියුක්‌ත වූවනට තර්ජනාත්මක ලිපි යෑවීමත් විවිධ ස්‌වරූපයේ අවහිරතා ඇති කිරීමත් නිතර සිදුවිය. මැතිවරණයට සති කීපයකට පෙර කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ගමනාගමනය හා පරිපාලනය සම්බන්ධ කටයුතු අක්‍රීය කරන ලද අවස්‌ථා නිතර ඇති විය. මැතිවරණ කොමසාරිස්‌වරයා ජනාධිපතිවරණය පිළිබඳ සිය වාර්තාවේ සඳහන් කරන පරිදි "මේ රටේ මැතිවරණ ඉතිහාසයේ පළමුවරට සමහර ඡන්ද පළවලට නිලධාරීන් යෑවීම කිසිසේත් කළ නොහැකි විය. මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ ඡන්ද පළ 49 ක්‌ම ඒ අනුව සම්පූර්ණයෙන් අක්‍රීය විය. එසේම මොණරාගල දිස්‌ත්‍රික්‌කයේ තව ඡන්ද පළක නොකඩවා කරන ලද වෙඩි තැබීම් නිසා ඡන්ද විමසීම් නවතා දමන්නට සිදුවිය." ප්‍රවාහන කටයුතුවලට බාධා ඇති කරනු ලැබීම නිසා ඡන්ද පළවල් 800 ක පමණ නියමිත වේලාවට ඡන්ද විමැසීම් ආරම්භ කිරීමට නොහැකිවූ බවත් ඡන්ද පළවල් 250 ක්‌ පමණ ආරක්‌ෂාව පතා වෙනත් ස්‌ථානයන්ට ගෙන යැමට සිදුවූ බවත් වාර්තා වී ඇත. දිස්‌ත්‍රික්‌ක රාශියකම එකම ඡන්දයක්‌වත් ප්‍රකාශ කර නොතිබුණු ඡන්ද පළවල් 270 ක්‌ හා 100 ට අඩු ඡන්ද සංඛ්‍යාවක්‌ පමණක්‌ ලැබී තිබුණු ඡන්ද පළවල් 375 ක්‌ තිබීමෙන් ඡන්ද දායකයන්ට කරන ලද බාධා කිරීම් හා තර්ජනවල ස්‌වභාවය තේරුම්ගත හැකිය.

    මෙයින් පෙනී යන්නේ විවිධ වූ බලපෑම් හා තර්ජන නිසා 1988 ජනාධිපති මැතිවරණයේ දී ඡන්දදායකයන්ට නිදහසේ සිය ඡන්දය පාවිච්චි කර රටේ ජනාධිපති තෝරා ගැනීමට සුදුසු වාතාවරණයක්‌ නොපැවැති බවය. දිස්‌ත්‍රික්‌ක 12 කම ඡන්දය දෙන ලද ප්‍රතිශතය සියයට 5 ට වඩා අඩුව පැවතිණි. ආර්. ප්‍රේමදාස, සිරිමා බණ්‌ඩාරනායක හා ඔසී අබේගුණසේකර යන අපේක්‍ෂකයන් තිදෙනා තරග කළ මෙම මැතිවරණයේ දී දෙන ලද ඡන්ද සංඛ්‍යාවෙන් 50.42 ක්‌ ලබාගත් ආර්. ප්‍රේමදාස මහතා මුල් ගැනීමේදීම ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

    තෙවැනි ජනාධිපතිවරණය පැවති 1994 වර්ෂය වන විටත් ඉහත මැතිවරණ අවස්‌ථාවේ හා 1989 පැවැති පාර්ලිමේන්තු මැතිවරණ අවස්‌ථාවේත් ක්‍රියාත්මකව පැවති විරෝධී බලවේග නිසා බෙහෙවින් අර්බුදකාරී ස්‌වරූපයක්‌ පැවතිණි. ජනාධිපති මැතිවරණය කෙරෙහි බලපෑ ප්‍රබල සිද්ධීන් කීපයක්‌ම මේ කාලය තුළ සිදුවිය. දේශපාලන ක්‌ෂේත්‍රයේ මුල් තැන් ලබා සිටි විශේෂයෙන්ම ජනාධිපති අපේක්‍ෂක තත්ත්වයට පත්වීමට ඉඩ තිබුණු බව පෙනී ගිය කීපදෙනෙක්‌ම මෙම කාලය තුළදී ත්‍රස්‌තවාදීන් විසින් ඝාතනය කරනු ලැබූහ. ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, විජය කුමාරණතුංග යන අය මෙන්ම එවකට ජනාධිපතිව සිටි හා ඊළඟ මැතිවරණයට මුහුණදීමේ සූදානමෙන් සිටි ප්‍රේමදාස මහතාද ත්‍රස්‌තවාදීන්ගේ ගොදුරු බවට පත්විය. ඒ අනුව 1994 ජනාධිපති මැතිවරණය පොදුජන එක්‌සත් පෙරමුණ වෙනුවෙන් ඉදිරිපත් වූ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියට එල්ල වී පැවැති අභියෝග එතරම් ප්‍රබල නොවූයේ යෑයි කිව යුතුය. ඡන්ද විමැසීම සඳහා බාධාකාරී වාතාවරණයක්‌ පැවතියේ උතුර නැගෙනහිර වර්ගවාදී ත්‍රස්‌තවාදීන්ගේ බලය යටතේ පැවතුන කොටස්‌වලින් පමණි. ඡන්දය පාවිච්චි කළ ප්‍රතිශතයද සියයට 70 ඉක්‌මවා පැවතිණි. ඒ අනුව චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිනිය සියයට 62.2 ක ඉතා ඉහළ ප්‍රතිශතයක්‌ ලබා ජනාධිපති පදවියට තේරී පත් වූවාය. මෙම මැතිවරණයට ඇයට අතිරේකව ශ්‍රීමා දිසානායක, හඩ්සන් සමරසිංහ, හරිශ්චන්ද්‍ර විෙ-තුංග, නිහාල් ගලප්පත්ති හා ඒ. ආර්. රණසිංහ යන අයද තරග කළහ.

    1994 ජනාධිපති මැතිවරණයෙන් ඉක්‌බිති කාල පරිච්ඡේදය තුළ විධායක ජනාධිපති තනතුරෙහි සංශෝධනයක්‌ කිරීම අරභයා විවිධ ප්‍රකාශ හා සාකච්ඡා පැවතුනද කාලය ගෙවී යැමත් සමග ඒවා හමස්‌ පෙට්‌ටියට යෑවිණැයි කිව යුතුය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පවත්නා ජන්ද ක්‍රමය වෙනස්‌ කිරීම ආදිය හුදු ජනප්‍රිය බව අරමුණු කොට කෙරෙන ප්‍රකාශ ලෙස පමණක්‌ සැලකිය හැක්‌කේ ඊට අවශ්‍ය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කිරීමේ ප්‍රායෝගික හැකියාව පවත්නා පක්‌ෂ ක්‍රමයේ හැසිරීම අනුව ඉතා සැක සහිත හෙයිනි.

    2000 වර්ෂයට නියමිත වූ සිව්වැනි ජනාධිපති මැතිවරණය එක්‌ වර්ෂයකට පෙරාතුව 1999 දී පැවැත්වීමට ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනිය විසින් තීරණය කිරීමත් සමග අපේක්‍ෂකයන් 12 ක්‌ ඉදිරිපත් වූ සිව්වැනි ජනාධිපති මැතිවරණය පැවැත්විණි. මැතිවරණයට දින කීපයකට පෙර මරාගෙන මැරෙන බෝම්බකරුවකුගේ ප්‍රහාරයකින් බණ්‌ඩාරනායක මැතිනිය යන්තමින් මරණයෙන් බේරී තුවාල පමණක්‌ ලැබීම ඉතා ආශ්චර්යවත් සිද්ධියක්‌ විය. මැතිවරණයේ දී ඇය වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 51.12 ක ප්‍රතිශතයක්‌ ලබා මේ රටේ පස්‌වැනි ජනාධිපති ලෙස තේරී පත්වූවාය.

    චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මැතිනියගේ ජනාධිපති පදවියේ දෙවැනි ධුර කාලය 2005 දී නිමාවීමත් මග පැවැත්වූ පස්‌වැනි ජනාධිපති මැතිවරණය සඳහා අපේක්‌ෂකයන් 13 දෙනෙකු ඉදිරිපත් වූ අතර බලයේ සිටි පක්‌ෂයේ අපේක්‌ෂකයා වූ මහින්ද රාජපක්‌ෂ මහතා අදාළ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50.29 ක්‌ ලබා පළමු වටයේදීම ජනාධිපති වශයෙන් තේරී පත්විය. මෙම ඡන්ද විමැසීමේදී උතුරු හා නැගෙනහිර ත්‍රස්‌තවාදීන්ගේ පාලනය යටතේ පැවති ප්‍රදේශවල ඡන්දය ප්‍රකාශ කිරීම ඉතා අවම වූයේ ත්‍රස්‌තවාදී තර්ජන හා බලපෑම් හේතු කොටගෙන බව පැහැදිලිය. 2010 ට ප්‍රකාශිත සවැනි ජනාධිපතිවරණයේ අවස්‌ථාව දැන් එළඹ ඇත. දීර්ඝකාලීන ත්‍රස්‌තවාදී යුද්ධයක්‌ නිමාවට පත්ව රටේ සාමය හා සංවර්ධනය ස්‌ථාපිත වේගෙන යන මෙම අවස්‌ථාවේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම ඉතා තීරණාත්මක එකක්‌ වන්නේ එය රටේ ඉදිරි අනාගතය කෙරෙහි බෙහෙවින් බලපාන හෙයිනි.

    1999 හා 2005 පැවති ජනාධිපති මැතිවරණ සම්බන්ධයෙන් කැපී පෙනෙන ඉතා අසතුටුදායක ලක්‌ෂණයක්‌ වන්නේ, ඊට පළමු මැතිවරණවලට වඩා ඉතා වැඩි සංඛ්‍යාවක්‌ අපේක්‌ෂකයන් ලෙස ඉදිරිපත් වීමය. මෙසේ ඉදිරිපත් වන සමහර දේශපාලන අඳ බාලයන් විසින් සිය ප්‍රතිපත්ති ලෙස ඉදිරිපත් කර ඇති කරුණුද හාස්‍යජනකය. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අනුව ඕනෑම පුරවැසියකුට ජනාධිපති මැතිවරණයක්‌ සඳහා ඉදිරිපත් වීමට ඉඩ ඇති බව සැබෑය. එහෙත් එම නිදහස වගකීමෙන් යුතුව පාවිච්චි කළ යුතු බව නොදැනීම කනගාටුදායකය. ඉහත කී නිදහස අනිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් ජනාධිපති පදවිය වැනි උත්තරීතර තනතුරක්‌ සඳහා පවත්නා මැතිවරණයක්‌ සමච්චලයට භාජන කිරීමට කිසිසේත් ඉඩ දිය යුතු නැත. 1999 මැතිවරණයේ අපේක්‌ෂකයන් 12 දෙනාගෙන් 9 දෙනෙකුටත් 2005 මැතිවරණයට තරග කළ 13 දෙනාගෙන් 11 දෙනෙකුටත් අදාළ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට දශම 5 ක්‌වත් ලබාගත නොහැකි විය. එයින් පෙනී යන්නේ තමන්ගේ පිළිගැනීම පිළිබඳව දළ තක්‌සේරුවක්‌ වත් කර ගැනීමේ බුද්ධි මට්‌ටමක්‌ නොමැති දේශපාලන රූකඩවලට ඉතා අසාධාරණ ප්‍රචාරයක්‌ සඳහා ඉඩ සැලසී ඇති බවය. ඡන්ද පත්‍රිකා හා වෙනත් මැතිවරණ ලේඛණවල, පුවත්පත් හා රූපවාහිනී ආදියෙහි නම හා ඡායාරූප පළ කරවාගැනීම මගින් ලක්‌ෂ ගණනක ව්‍යාජ ප්‍රචාරයක්‌ ලබා ගැනීමට මේ අයට ඉඩ ලැබේ. ඒ නිසා ඒ වෙනුවෙන් අදාළ අයගෙන් විශාල වන්දියක්‌ අයකර ගැනීමේ උපක්‍රමයක්‌ හෝ ඇති කිරීම ගැන අවධානය යොමු කළ යුතුව තිබේ.

    කේ. ජයලත්
    පුත්තලම හිටපු දිසාපති හා තේරීම් භාර නිලධාරි‍