ජනාධිපති ඡන්දය ගැන ඕස්ට්‍රේලියාවෙන් ලිය&

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    ජනාධිපති ඡන්දය ගැන ඕස්ට්‍රේලියාවෙන් ලිය&

    ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයන් වෙත කෙරෙන ආයාචනයයි

    හදිසි ජනාධිපතිවරණය - 2015 ජනවාරි 08

    ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණයක් පැවැත්වීමට මහජන මුදල් කෝටි ගණනක් වියදම් වෙයි. අපේක්ෂකයන් ප්‍රචාරය සඳහා කරන වියදම් ද එක්වූ විට එය පුංචි දුප්පත් පුංචි රටකට ඔරොත්තු නොදෙන මුදලකි. ලංකාවේ ආර්ථිකය තවමත් පවත්වාගෙන යන්නේ විශාල වශයෙන් ලබා ගන්නා අන්තර්ජාතික ණයවලින් බවද මෙහිදී සැලකිල්ලට ගත යුතුය. මහින්ද රාජපක්ෂ මහතා 2010 පැවති ජනාධිපතිවරණයෙන් යළි බලයට පත්වූයේ වසර 06ක කාලයකටය. එ් ධූර කාලයෙන් වසර 4 ඉක්මවූ වහාම යළි ජනාධිපතිවරණයක් පැවැත්වීමට රාජපක්ෂ ජනාධිපතිවරයා තීරණය කළේ මෑතකදී පැවති බස්නාහිර සහ ඌව පළාත් සභා ඡුන්දවලින් ආණ්ඩුව කෙරෙහි රටේ මහජනයා අතර විශාල කලකිරීමක් වර්ධනය වෙමින් පවතින බව ප‍්‍රදර්ශනය වූ බැවිනි. තවත් වසර දෙකක් යන විට මේ ජනතා කලකිරීම උත්සන්න වන බව දන්නා ඔහු මහජන මුදල් කෝටිගණනක් වැය කර හදිසි ජනාධිපතිවරණයක් පැවැත්වීමේ තීරණය ගෙන ඇත. එ් මහජන යහපත වෙනුවෙන් ද නැතහොත් තම බලය තවත් කාලයකට දීර්ග කරගැනීමටද?


    දැන් මැතිවරණ කොමසාරිස්ගේ තත්වය

    ජනාධිපතිවරණයක් හෝ වෙනත් ඕනෑම ඡුන්දයක් පැවැත්වීමට ආණ්ඩුව තීරණය කළ විට එ් සඳහා සුදුසු දිනය තීරණය කළ යුත්තේ මැතිවරණ කොමසාරිස්වරයාය. එහෙත් මේ කැඳවා ඇති ජනාධිපතිවරණය ජනවාරි 08 වෙනි දින පැවැත්විය යුතු යයි කල්තබාම කීවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නැකැත්කරුවන්ය. එ් දිනය ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කරන්නට කලකට පෙරම රටේ ප‍්‍රසිද්ධ වී තිබිණ. එ් අනුව රටට පෙනී යන්නේ මැතිවරණ කොමසාරිස්වරයා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ලෙස සලකා ඇත්තේ ජනාධිපතිවරයාගේ කේන්දරය බවයි. රටේ මුළුමහත් ජනතාවට වගකිවයුතු බරපතල වගකීමක් දරණ තනතුරක් වන මැතිවරණ කොමසාරිස් තනතුර මෙසේ නිවට නියාලූ හාස්‍යජනක තත්වයට පත්කරනු ලැබුවේ කෙසේද? එ් ස්වාධීනව පැවතිය යුතු සියලූ රාජ්‍ය ආයතන විධායක ජනාධිපතිවරයා යටතට පත්කරන 18වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම මගිනි.

    මෙය ලෝකයේ කිසිම රටක නැති තත්වයකි. එම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් තමන් කැමති ඕනෑම දෙයක් කරන්නට හැකි රජකෙනෙක් බවට පත්වූ රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ශී‍්‍ර ලංකාවේ අධිකරණය පත්ව ඇති සෝචනීය තත්වය ද ඊයේ පෙරේදා පැහැදිලිව පෙන්නුම් කෙරිණ. මෙතෙක් බලයේ සිටි කිසිම ජනාධිපතිවරයකු නොකළ ආකාරයට තමන්ට ඕනෑම වාර ගණනක් ජනාධිපතිවරණයට තරග කළ හැකිවන සේ 18වැනි සංශෝධනය යොදාගැනීම රාජපක්ෂ මහතාගේ සැලසුම විය. එක් පුද්ගලයකු ඔහු කොතරම් හොඳ කෙනෙකු වුවත් වාර දෙකකට වඩා ජනාධිපති ලෙස කටයුතු නොකිරීම ලෝකයේ සෑම රටක්ම අනුගමනය කරන්නා වූ සම්ප‍්‍රදායකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් එ් සම්ප‍්‍රදාය අනුගමනය කෙරෙන්නේ කොතරම් හොඳ පුද්ගලයකු වුවත් දීර්ග කාලයක් බලයේ සිටින විට බලයෙන් දූෂිත වන බවට ඇති පිළිගැනීම නිසාය. කෙසේ හෝ ලංකාවේ පාර්ලිමේන්තුව හදිසියේ සම්මත කළ එම සංශෝධනය ආපස්සට බලපාන්නක් නොවන නිසා එ් වන විටත් දෙවරක් පත්වී සිටි වත්මන් ජනාධිපතිවරයාට එසේ තරගකිරීමට නීතිමය ඉඩක් නැතැයි හිටපු අග‍්‍රවිනිශ්චයකරුවකු සහ නීතිඥයන් බහුතරයක් පෙන්වා දී තිබුණු තත්වයක් තුළ එවැනි නීතිමය ඉඩක් ඇත්ද නැතිද යන්න විවෘත උසාවියක තීන්දු කළ යුතුව තිබිණ. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ තමාම පත්කළ ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවන්ගෙන් එය පුද්ගලිකව විමසීමයි. එම විනිසුරුවන් රහසිගතව රැුස්වී තම මතය රහසිගතවම ජනාධිපතිවරයාට දන්වා යැවීය. එයින් කියා ඇත්තේ රාජපක්ෂ මහතාට තෙවරක් තරග කළ හැකි බව යයි නිමල් සිරිපාල ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කී නමුත් එවැනි උපදෙසක් හෝ තීරණයක් ඇතොත් එය පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය අනුව කතානායකවරයාට යවා පාර්ලිමේන්තුවේ සභා ගතකිරීමේ සම්ප‍්‍රදාය ද අනුගමනය කළේ නැත. දැන් මැතිවරණ කොමසාරිස්වරයා රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය පිළිගන්නට යන්නේ උසාවියක කෙරුණු විවෘත තීන්දුවක් අනුව නොව පාර්ලිමේන්තුවේ කෙරුණු කටකතාවක් අනුවය. හිතවතුනි, මෙන්න ඔබේ මව්බිමේ අධිකරණයටත්, නීතියටත්, පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයටත්, මහජනයාගේ ස්වෛරී බලයටත් වර්තමානයේ අත්වී ඇති ඉරණම.

    ඡන්ද ප‍්‍රචාරය

    ඕස්ටේ‍්‍රලියාවේ ජීවත් වන ඔබ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක මැතිවරණයකදී කෙරෙන ප‍්‍රචාරයේ ස්වරූපය දැක තිබේ. අද මේ මොහොතේ ලංකාවට යන කෙනෙකුට එහි සිදුවන ඡුන්ද ප‍්‍රචාරයේ තරම දැක බලා ගන්නට පුළුවන. ජනාධිපතිවරණයට තවම නාමයෝජනා දී නැත. එහෙත් අද ලංකාවෙන් ලැබෙන තොරතුරු අනුව රටේ සෑම ලයිට් කණුවකම රාජපක්ෂ මහතාගේ පින්තූරය. බැලූ බැලූ අත පොල්ගස් උසට එතුමාගේ කටවුට්ය. රජයේ රූපවාහිනි චැනල රජයේ පුවත්පත් පමණක් නොව තම බලයෙන් සහ වෙනත් මාර්ගවලින් තමන්ගේ කීකරු ආයතන බවට පත්තරගෙන සිටින පුවත්පත් මේ සියල්ල දැන් මාසයකට වැඩි කාලයක් තිස්සේ ජනාධිපතිවරයාගේ ඡුන්ද ප‍්‍රචාරයේ යෙදී සිටින්නේ තරගයකට මෙනි. මේ අතර මාස දෙකක කාලයක සිට ජනාධිපති වෙසෙන අරලියගහ මන්දිරයේ දන්සැලක් පවත්වාගෙන යයි. සෑම දිනකට එක් එක් ක්ෂේත‍්‍රවලින් පන්දාහ බැගින් එහි කැඳවා කන්න බොන්න දෙයි. මේවාට වියදම් කරන කෝටි ගණන් මුදල් කාගේද? මේවා ඡුන්ද අල්ලස් නොවන්නේද? ජනාධිපතිවරණය පවත්වන්නේ කවදාදැයි කල්තබාම දන්නා එක් අපේක්ෂකයෙක් මැතිවරණ කොමසාරිස් එය ප‍්‍රකාශයට පත්කරන්නට මාස ගණනක් තිබියදීම දැවැන්ත ප‍්‍රචාරයක් දියත් කරයි. එවිට මෙය සාධාරණ මැතිවරණයක් වෙන්නේද?

    යුද්ධය

    මේ කරුණු අඩුවැඩි වශයෙන් ඔබ ද දන්නා බව අපි දනිමු. එහෙත් මෙහි සිටින ශී‍්‍ර ලාංකිකයන් බොහෝදෙනා විශේෂයෙන් සිංහලයන් අතරින් බොහෝ දෙනෙක් තුළ රාජපක්ෂ පාලනය ගැන යම් පැහැදීමක් ඇත්තේ කුරිරු ත‍්‍රස්තවාදී ප‍්‍රභාකරන්ට විරුද්ධව යුද්ධ කර රට බේරා ගත් නායකයා ඔහුය යන මතය නිසාය. සැබෑය. සාම සාකච්ඡුා මගින් එගඟත්වයක් ඇති කර ගැනීමට ආණ්ඩු කිහිපයක්ම දැරූ උත්සාහයන් අසාර්ථක කරමින් යුද්ධයම ඉල්ලා සිටි, සිංහලයන් පමණක් නොව තමන්ගේම දෙමළ ජාතියේ නායකයන්, බුද්ධිමතුන් ඝාතනය කරමින් රට විනාශ කරමින් සිටි එල්ටීටීඊ සංවිධානය ඔවුන් ඉල්ලා සිටි යුද්ධ මාර්ගයෙන්ම පරාජය කිරීම අගය කළ යුතු බව ඇත්තය. මහින්ද රාජපක්ෂ පාලනයට පසුගිය කාලයේ තිබුණු ජනපි‍්‍රයතාවේ ලොකුම සාධකය යුද්ධය බව ඇත්තය. අදත් ඡුන්දයක් එන විට ආණ්ඩුවේ ලොකුම ප‍්‍රචාරය වන්නේ යුද්ධයයි. දැන් මේ මොහොතේත් ලංකාවේ රාජ්‍ය මාධ්‍ය සේම රාජ්‍යය විසින් යටත් කරගන්නා ලද සියලූ මාධ්‍ය උදේ සිට ? වන තුරු පෙන්වන්නේ එල්ටීටීය කළ අපරාධය. අදත් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලොකුම තුරුම්පුව යුද්ධයයි. සමහරු කියන්නේ නූතන දුටගැමුණු ඔහු බවයි. එසේ කියන අය සත්‍යයේ හරි අඩකට වඩා වසන් කරති. දුටුගැමුණු ගැන ඔබ කියවා ඇති ඉතිහාසය මතක් කර ගන්න. දුටුගැමුණු එළාර පරාජය කළේ තමාම යුද බිමට ගොස් යුද්ධකිරීමෙනි. රාජපක්ෂ ජනාධිපතිවරයා කළේ යුද්ධය කරගෙන යාමට එදා සිටි හමුදාපතිවරයාට අවශ්‍ය පහසුකම් සලසා දීමයි. යුද්ධය මෙහෙයවා ජයගත් එ් හමුදාපතිවරයාට රාජපක්ෂ ජනාධිපතිවරයා සැලකූ ආකාරය ඔබ හොඳින් දනී. ඔහුට බොරු චෝදනා මවා වසර ගණනාවක් හිරේ දමුවා පමණක් නොව ඔහුගේ නිල ලාංඡුනත් ප‍්‍රජාඅයිතියත් අහිමි කළේය. ඉතිහාසය තම වාසියට කියවන අයට මතක් කරදිය යුතු තවත් කරුණක් වන්නේ දුටුගැමුණු කළ යුද්ධයේ පැසසුම් ලබන්නේ එ් රජු පමණක් නොවන බවයි. එ් ඉතිහාසයේ දසමහා යෝධයන් ගැනත් ඔවුන්ගේ සුරුවිරුකම් ගැනත් ලියා ඇති බව අපි දනිමු. මේ වත්මන් දුටුගැමුණුට දසමහා තබා එකමහා යෝධයකු වත් නැත. ඉන්නා එකම යෝධයා ඔහුම පමණකි.

    ඊ ළඟට අපි එල්ටීටීයට විරුද්ධව කෙරුණු යුද්ධය ආශි‍්‍රතව ආණ්ඩුව යටගසන තවත් දේ ටිකක් සොයා බලමු. අද ලංකාවේ රූපවාහිනිය අරන්තලාවේ භික්ෂු ඝාතනය, ශී‍්‍ර මහා බෝධිය යට මිනිස් ඝාතන, දළදා මැදුරට බෝම්බ ගැසීම ආදී අපරාධවල රූප රාමු පෙන්වමින් මහින්ද ජනාධිපතිවරයා රට ගලවා ගත්තේ මෙවැනි දේ කළ අපරාධකරුවන්ගෙන් බව කියන අතර විපක්ෂය යළිත් එම අපරාධකරුවන්ට පාරකපන බවක්ද අඟවයි. යුද්ධයේ අතීතය අපක්ෂපාතී මනසකින් යළි මෙනෙහි කරන ඕනෑම කෙනෙකුට එදා ඉහතකී අපරාධ මෙහෙයවූයේ එවකට එල්ටීටීඊ යුද නායකයා ව සිටි කරුණා අම්මාන් බව මතකය. එදා එල්ටීටීයට උදව්කළේ යයි අදත් පොඩි පොඩි මිනිසුන් අල්ලා හිරේ දමන රාජපක්ෂ ආණ්ඩුව ඉහතකී අපරාධ මෙහෙයවූ කරුණා අම්මාන්ට ඇමති පදවියක් දුන්නා පමණක් නොව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිකමක්ද පිරිනැමුවේය. අද ඔහු මහජන මුදලින් සැප විඳින, ආණ්ඩුවේ ගජ මිතුරෙකි.

    සරත් ෆොන්සේකා මහතා හමුදාපතිව සිටි කාලයේ ආයුධ වෙළදාමකට හවුල් වූයේ යයි චෝදනා නගා අත් අඩංගුවට ගන්නට නියෝග කෙරුණු ෆොන්සේකා මහතාගේ බෑණා තවම සිටින්නේ වරෙන්තු පිටය. එ් අතර එල්ටීටීය වෙනුවෙන් ආයුධ ගෙන්වූයේයයිද නැව් බැංකු ගිනුම් පාලනය කළේ යයි ද එදා ආණ්ඩුවම කී කේපී නැමැත්තා දැන් ආණ්ඞ්වේ සියලූ වරප‍්‍රසාද භුක්ති විඳිමින් සුවසේ වැජබෙයි. ඔහු ළඟ ඇතැයි කී රත්තරන් ටොන් ගණන් දැන් ඇත්තේ කොහේදැයි සොයන්නකු නැත. යුද්ධය කළා යයි රාජපක්ෂ ජනාධිපතිවරයාට තුති පුදන අතරම යුද්ධය හා සම්බන්ධ මෙකී දේවල් ගැනද සිතා බැලීම අවශ්‍ය නොවන්නේද?

    තවද යුද්ධය ජයගත් මට රට හදන්නට තවත් වරක් බලය දෙන්නැයි 2010දී රාජපක්ෂ මහතා ඉල්ලා සිටි විට ජනතාව ඔහුට නැවත වරක් බලය දුන් අතර ජාතික ප‍්‍රශ්නය විසඳා රට ගොඩනගනු වෙනුවට එතුමා කළේ තම පවුල ගොඩනැගීමයි. එහෙයින් යුද්ධය කළ බව කියා තවත් වරක් බලය ඉල්ලන්නට සුදුසුකමක් දැන් එතුමාට නැත.

    ඇමති මණ්ඩලය

    ඊළඟට රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ඇති කැබිනට්ටුවේ තත්වය ගැන බලමු. එතුමා 2005 දී පොරොන්දු වූයේ ඇමති මණ්ඩලය 30කට සීමා කරන බවටය. නමුත් තමාට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුව හසුරුවා ගැනීම සඳහා ඔහු කළේ එක්සත් ජාතික පක්ෂයට ඡුන්දදායකයන් දුන් ඡුන්දයෙන් තේරීපත්වී ආ අවස්ථාවාදී මන්තී‍්‍රවරුන් හඳුනාගෙන ඔවුන්ට තාන්න මාන පඬුරු පුදා ඇමතිකම් දී තමන්ගේ පැත්තට අත උස්සන්නන්ගේ ගොඩ වැඩි කර ගැනීමය. එ් අවස්ථාවාදීන්ට අල්ලස්දීමටය ඇමති මණ්ඩලය 100 ඉක්මවා වැඩිකළේ. මේ සියල්ලන් නඩත්තු කිරීම වෙනුවෙන් තවමත් ලෝකයේ දුප්පත්ම රටවල් විස්සෙන් එකක් වන අපේ රටේ මහජන මුදල් කොතෙක් නම් වැය කරන්නේද? අද අපේ රටේ සිදුවන මත්කුඩු ජාවාරම ඇතුළු සෑම අපරාධයක් පිටුපසම මේ මැති ඇමතිවරු සිටින බව රටේ ජනයා හොඳින් දනිති. නමුත් නීතිය රකින්නට ඉන්නා පොලීසිය ඉන්නේ මේ අපරාධකාරයන්ගේ අතවැසියන් හැටියටය. මේ තත්වය තුළ අද අපේ රට ලෝකයේ අපරාධ බහුලම රටවල් දෙකතුනෙන් එකක් බවට පත්ව තිබේ. දියුණු ලෝකයේ රටවල් ගණනාවක්ම ශී‍්‍ර ලංකාවට යාමෙන් වළකින ලෙස තම ජනතාවට අවවාද කරන්නේ මේ නිසාය.

    කැබිනට්ටුවේ ඇමතිවරු කොපමණ හිටියත් රටේ තීරණාත්මක සියලූ ක්ෂේත‍්‍ර ඇත්තේ රාජපක්ෂ පවුලේ අය අතේය. අටේ අයවැයෙන් විශාලම කොටස යන්නේ එ් අයගේ අමාත්‍යාංශවලටය. වැඩිම මුදල වෙන් කෙරෙන ආරක්ෂක හා නාගරික සංවර්ධනය ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා අතේය. ඊළඟට වැඩිම කොටස බෙදන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ආර්ථිත සංවර්ධන අමාත්‍යාංශයටය. කැබිනට් එක කොතරම් ලොකු වුණත් කෝටි ප‍්‍රකෝටි ගණන් කොමිස් එහාමෙහා වෙන මාර්ග සංවර්ධන අමාත්‍යාංශය ඇත්තේ ජනාධිපතිවරයා යටතේය. මුදල් අමාත්‍යාංශය ඔහු යටතේය. වසරකට කෝටි ගණනක් පාඩු ලබන ශී‍්‍රලංකා එයාවේස් සභාපති ජනාධිපතිතුමාගේ මස්සිනාය. කොතරම් පාඩු ලැබුවත් හැම අයවැයකින්ම ශී‍්‍රලංකා එයාර්වේස් සහ මිහින්ලංකාවලට මුදල් වෙන් කරයි. ජනෘධිපති පවුලේ අයගේ අතපල්ලෙන් වැටෙන දෙයක් ලෙවකා හැමදේටම අත උස්සමින් යැපීම මිස කිසිදු වැදගත් තීන්දුවක් ගැනීමට බලයක් අනෙක් ඇමතිවරුන්ට නැත. එ් නිවට ඇමතිවරු ජනාධිපතිවරයා ඉදිරියේ පමණක් නොව ඔහුගේ පුත‍්‍ර නාමල් රාජපක්ෂ ඉදිරියේද කොන්ද හතරට නමති. නාමල්ගේ විනෝදාංශයක් වන කාර්රේස් පැදීම වෙනුවෙන් ගෙන්වන ලැම්බෝගිනි කාර් බද්දෙන් නිදහස් කිරීමට ජනාධිපති තාත්තා අයවැයෙන් යෝජනා කළ විට එයද අනුමත කළේ මේ රූකඩ මැති ඇමතිවරුය. යෝජනා කළ අයට සේම එය අනුමත කළ අයටද රටේ දුප්පත් ජනතාව ගැන තිබෙන කැක්කුම කෙබඳු දැයි එයින්ම නොපෙනේ ද? පවුලේ අයගේ අමාත්‍යාශවලට ලොකුම කුට්ටිය බෙදාගන්නා, පුතාගේ විනෝදය සඳහා ගෙන්වන ලැම්බෝගිනි රේසින්කාර් බද්දෙන් නිදහස් කරන අයවැයෙන් සමස්ත ජාතියේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කරන්නේ 2‍්‍ර දෙකටත් අඩු ප‍්‍රමාණයකි.

    ජේආර් හැදූ, අනෙක් අයත් මේ දක්වා පවත්වාගෙන යන චන්ද ක‍්‍රමය යටතේ අද ආණ්ඩුපක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්වී සිටින බොහෝ දෙනෙකුට ඇත්තේ සල්ලිකාරයන් වීමේ හා එ් සල්ලිබලයෙන් චන්ඩින් වීමේ සුදුසුකම පමණකි. එ් නිසාම අද පාර්ලිමේන්තුව රස්තියාදුකාරයින්ගේ වාචාලයන්ගේ කෙළිබිමක් බවට පත්ව ඇත. රටේ අග‍්‍රවිනිශ්චයකාරතුමිය ජනාධිපති සමග නොහොඳ වූ විට ඇයට විරුද්ධව චෝදනා හදා නඩු අසා ඇය තනතුරෙන් පහකිරීමේ තීන්දුව ගත්තේ එ් මන්ත‍්‍රීවරුන්ය.

    ආගම්වලට සැලකීම

    රාජපක්ෂ ජනාධිපතිවරයා හොඳ බෞද්ධයකු නිසා මොනවා කළත් ඔහු බලයේ තබාගත යුතු යයි සිතන පිරිසක් ද රටේ සිටිති. මෙය ද සැබැවින්ම මුලාවකි. සරත් ෆොන්සේකා හිරේට දැමූ විට ඔහු නිදහස් කරන්නැයි අස්ගිරි මල්වතු නාහිමිවරු ඇතුළු නායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. එ සේ ම අග‍්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායකගෙන් පළි නොගන්නැයි මහනායක හිමිවරු ඉල්ලා සිටියහ. එ් කිසිවකට රාජපක්ෂ ජනාධිපතිවරයා ගරු කළේ නැත. එපමණක් නොවේ මෑතකදී නාමල් රාජපක්ෂ දළදා මාලිගාව අවට පාරවල්වල කාර්රේස් පැදීමක් සංවිධානය කළ විට අස්ගිරි මල්වතු නාහිමිවරු දළදා මාළිගා බිමේ කාර් රේස් නොපවත්වන්නැයි ඉල්ලා සිටියහ. ලොකුම බෞද්ධයකු ලෙස පෙනී සිටින මේ ජනාධිපතිවරයා එ් ඉල්ලීමටත් ගරු කළේ නැත. පුත‍්‍රයාගේ විකාර ආසාව ඉටුකර ගන්නට දළදාමාළිගාවේ ගෞරවය කෙළෙසන්නට ඔහු ඉඩ දුන්නේ මහනායක හිමිවරු තුට්ටුවකට නොසලකමිනි. අවුරුද්දකට වරක් රටේ අගනගරයේ පාරවල් වසා කෝටි ගණන් මුදල් නාස්ති කරමින් දින දෙකක් රාති‍්‍ර කාර්රේස් මේලා පවත්වන්නට ජනාධිපතිතුමා තම පුත‍්‍රයාට ඉඩ දෙයි.

    බුද්ධාගමට පමණක් නොව අනෙක් ආගම්වලටද එතුමා සලකන්නේ එ් විදියටමය. කතෝලික බැතිමතුන්ගේ ආධ්‍යාත්මික නායක පාප්වහන්සේ ලංකාවේ සංචාරය කරන්නට නියමිත දිනවල ජනාධිපතිවරණය යෙදීමෙන් එම ආගමටද ඔහු කළේ මහත් හෙලෙත්තාඩුවක් නොවන්නේද? ඔහුට පාප්වහන්සේට වඩා නැකත්කරුවාගේ වචනය ලොකුය.

    එපමණක් නොවේ රටේ ආගම් අතර වෛරය, ජාතීන් අතර වෛරය පතුරමින් යකා නටන්නට බොදුබලසේනා නමැති අපකීර්තිමත් කල්ලියට නිදහස දී අහක බලාගෙන හිඳින්නේද මේ ජනාධිපතිවරයාය. බොදුබලසේනා වැනි සංවිධාන කි‍්‍රයාකරන්නේ ජනාධිපති සොහොයුරු ආරක්ෂක ලේකම්ගේ අනුග‍්‍රහය යටතේ බව ප‍්‍රසිද්ධ කාරණයකි. මේ අය මෙවැනි සංවිධාන නඩත්තු කරන්නේ බලය ගිලිහෙන්නට යන විට රට අවුල්කරන කුමන්ත‍්‍රණයක් සඳහා පාවිච්චි කිරීමට බව බුද්ධිමත් ජනයාගේ විශ්වාසයයි.

    රට චීනයට යටත් කරවීම

    චීනය යනු තවදුරටත් මාවෝ සේතුන් විප්ලවයෙන් ගොඩනැගූ සමාජවාදී චීනය නොවන බව ඔබලාට අලූතෙන් පෙන්වා දීම අවශ්‍ය නොවේ. චීන වෙළඳ ආධිපත්‍ය ලෝකය වෙලා ගන්නා හැටි ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ඔබ ඇස්පනාපිට අත්දකින්නකි. රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අද අපේ රටද චීන ව්‍යාපාරිකයන් විසින් ගිලගෙන ඇත. රටේ සංවර්ධන කටයුතු සඳහා ඉතා අඩු පොළියට සහ සමහරවිට පොළි රහිතව දීර්ගකාලීනව ගෙවන්නට ණය ලබාදුන් සියළුම රටවල් තරහ කරගෙන ඇති ජනාධිපතිවරයා නැව් නොඑන වරායවල,් ගුවන් යානා නොඑන ගුවන්තොටුපොළවල්, අධිවේගී මාර්ග, මුහුද ගොඩකර හදන කැසිනෝ සහ විනෝද ¥පත් හදන්නට ණය ගන්නේ චීනයෙනි. එ් 6 ‍්‍ර පොළියට කෙටිකාලීනව ගෙවන කොන්දේසි යටතේය. එසේ ගන්නා ණයවලින් කෙරෙන ඊනියා සංවර්ධන ව්‍යාපෘති ටෙන්ඩර් නැතිව බාර දෙන්නේ චීන කොම්පැණිවලටය. නියම වියදමට වඩා විසිතිස් ගුණයක වියදමින් කෙරෙන මේ ව්‍යාපෘතිවලින් කෝටිප‍්‍රකෝටි ගණනින් කොමිස් ලැබෙන බව තවදුරටත් රහසක් නොවේ. මේ විනාශකාරී ණය ගෙවිය යුතු වන්නේ රටේ අනාගත පරම්පරාව මිස ජනාධිපතිවරයා හෝ ඔහුගේ දරුවන් නොවේ.

    පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් වූ විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රටට කීවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා නම් එ් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය ඇත්තේ තමාට බවය. එයින් ඔහු කියන්නේ මට කරන්න පුළුවන් එ්ත් මම කරන්නේ නෑ කියන එක නේද? ඔහු බලයට පත්වුණේ කෙටිකලක් ඇතුළත විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කරන බවටත් රටේ විනාශයට තුඩු දීඇති ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් මාස තුනක් ඇතුළත දෙන බවටත් පොරොන්දු වෙමිනි. අවුරුදු 10කට වැඩි කාලයක් බලයේ සිටි ඔහු දැන් කියන්නේ මට කරන්න පුළුවන් එ්ත් මම කරන්නේ නෑ කියාය. මේ නම් ඔහුට ඡුන්දය දුන් ජනයාට ඇඳිවත උස්සා පෙන්වමින් ඔච්චම් කිරීමක් මිස වෙන දෙයක් නොවේ. යුද්ධය අවසන් වී අවුරුදු පහමාරක් ගතවී ඇතත් ජාතික ගැටලූවට දේශපාලන විසඳුමක් ඔහු යෝජනා කරන්නේ නැත. ඔහුම කියන පරිදි එ් සඳහා ඔහුට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නට බලය තිබේ. යුද්ධය කළේ එල්ටීටීඊ ත‍්‍රස්තවාදයට විරුද්ධව මිස දෙමළ ජනයාට විරුද්ධව නොවේ යයි ආණ්ඩුව එදා කීවේය. එසේ නම් කළ යුතුව තිබුණේ යුද්ධය අවසන් වූ වහාම උතුරේ දෙමළ ජනයාට ගෞරවයෙන් යුතුව නිදහසේ ජීවත්වීමට හැකි වන පරිදි දේශපාලන විසඳුමක් දීමය. එ් වෙනුවට ඔහු කරන්නේ උතුරේ ජනයා හමුදා පාලනයකට යටකර පීඩනයට පත්කිරීමයි. එ් මගින් නැවතත් යුද්ධයකට පාර කැපීමයි. චීනය එකම මිතුරා කර ගැනීමෙන්්්් ඉන්දියාව තරහ කර ගැනීම නිසා අප රටට ඇත්තේ කොයි මොහොතක හෝ පුපුරා යා හැකි අනතුරකි. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ විසින් උතුර පමණක් නොව මුළු රටම හමුදා පාලනයකට සූදානම් කෙරෙමින් තිබේ. රාජපක්ෂ පවුල තවදුරටත් බලයේ සිටියොත් රටට ලැබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොව හමුදා පාලනයකි.

    පිට ඔපය යට ඇති දේ

    විදේශවල වෙසෙන සමහර ශී‍්‍ර ලාංකිකයන් වසර ගණනාවකට පසු මේ කාලයේ කෙටිනිවාඩුවකට ලංකාවට ගිය විට දැක ඇත්තේ අලූතින් ඉදිවුණු අධිවේගී මාර්ග, විශාල ගොඩනැගිලි, ව්‍යායාම සඳහා ඇවිදින මාවත් සහිතව අලංකාර කළ උද්‍යාන, ආදියේ ආශ්චර්්‍යය පමණි. එ්වා දැක දැන් අපේ රට ලොකු දියුණුවක් ලබා ඇතැයි සිතන්නෝ සහ කියන්නෝද සිටිති. එහෙත් මේ බාහිර සංවර්ධනය වෙනුවෙන් ණයට ගෙන වියදම් කරන කෝටි ගණන් මුදල්වලින් කොතරම් ප‍්‍රමාණයක් දේශපාලකයන්ගේ සාක්කුවලට යන්නේද යන්න එසේ බාහිර ආටෝපය දකින්නන්ට නොපෙනෙයි. අධිවේගී මාර්ගයක එක කිලෝමීටරයක් ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකකින් ඉදිකරන්නට හැකිව තිබියදී මේ ආණ්ඩුව යටතේ චීන කොන්ත‍්‍රාත් කරුවන් ඉදිකරන අධිවේගී මාර්ගවලට එක කිලෝමීටරයක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 16ත් 18ත් අතර ගණනක් වියදම් කර ඇති බව ආණ්ඩුවේ ඇමතිවරයකු ව සිටි නවීන් දිසානායක මහතා ඉතා මෑතකදී හෙළි කළේය. ඕනෑම කෙනෙකුට මේවා අන්තර්ජාලයෙන් බලාගත හැකිය. ඔබ අද යාපනයට ගියහොත් එහිද ලස්සන පාරවල්, සංචාරක හෝටල් ආදිය ඉදිවී ඇති බව දකින්නට පුළුවන. එහෙත් එ් බාහිර ඔපයට නොරැුවටී යාපනයේ වෙසෙන සමාන්‍ය ජනයා සමග කතාබහ කළොත් ඔවුන් ඉල්ලන්නේ නිදහස මිස පාරවල් හෝටල් හෝ සැනකෙළි නොවන බව ඔබට වටහා ගන්නට හැකිවනු ඇත. කොළඹ නගරය සහ එ් අවට ලස්සන නවීකරණය දකින කෙනෙක් එ් හැම තැනකම අවිදරාගෙන සහ සිවිල් ඇඳුමෙන් සිටින හමුදා භටයන් නොදකින්නේ නම් ලංකාවේ ඇත්ත තත්වය ගැන අවබෝධයක් ඔහුට නොලැබෙනු ඇත.

    නාස්තිකාර, එ්කාධිපති ස්වරූපයේ පාලනයෙන් අපේ රට මුදවා ගැනීමට අවස්ථාවක් දැන් පෑදී තිබේ. එ් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේම මහලේකම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමයි. ඔහු බලයට පත්වී සර්වපාක්ෂික ආණ්ඩුවක් හදා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර ස්වාධීන කොමිසම් පත්කර රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි ස්ථාපිත කරන බවට ප‍්‍රතිඥ දී තිබේ. එක්සත් ජාතික පක්ෂය ඇතුළු ප‍්‍රධාන විරුද්ධ පක්ෂ සියල්ලේමද හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක, සරත් ෆොන්සේකා මහතා සේම කලින් පොදු අපේක්ෂකයා ලෙස නම්කර සිටි මාදුළුවාවේ සෝභිත හිමි ඇතුළු සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ සහාය ද මේ පොදු අපේක්ෂකයාට ලැබේ. එසේම මෑතක් වන තුරු ආණ්ඩුවේ කොටස්කරුවන්ව සිිටි ජාතික හෙළ උරුමයද සහාය දක්වන්නේ පොදු අපේක්ෂක මෛතීපාල සිරිසේන මහතාටය. රටේ උගතුන්ගේ සංවිධාන වන විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයද පොදු අපේක්ෂකයාට සහාය දක්වයි. එසේම ජනතා විමුක්ති පෙරමුණද පෙනී සිටින්නේ මහින්ද රාජපක්ෂ පාලනයෙන් රට ගලවා ගැනීම වෙනුවෙනි.

    රටතුළ මෙවැනි විරෝධයක් ගොනුවී ඇත්තේ රාජපක්ෂ පාලනය රට විනාශ කරන හැටි තවදුරටත් ඉවසා සිටින්නට බැරි තැනය.

    ඔබේ යුතුකම

    ඔබ ඕස්ටේ‍්‍රලියාව වැනි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දියුණු රටක සිටියත් ඔබේ නෑයින් හිත මිතුරන් වෙසෙන්නේ මෙහි ඉතා කෙටියෙන් කී අයුරු පරිහානිගත හා අනතුරුදායක තත්වයකට පත්ව තිබෙන ඔබේ රටේය. රට මේ තත්වයෙන් ගලවා ගන්නට ඔබ කැමති නම් මේ අවස්ථාවේ එය කරන්නට ඉදිරිපත් වී සිටින අයට ඔබේ සහාය දීම අත්‍යවශ්‍යය. දැන් ඉදිරිපත්වී සිටින පොදු අපේක්ෂකයා ලවා රට විනාශයෙන් ගලවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි පිහිටුවා ගැනීම දැන් රටේ ජනතාවට බාරය. ඕස්ටේ‍්‍රලියාව වැනි දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක වෙසෙන ඔබට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැනත් ජාතීන් අතර සහජීවනයේත්, ආගම් අතර සහජීවනයේත් අගය ගැන හොඳ වැටහීමක් ඇති බව නිසැකය. ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන නමුත් තමා උපන් මව්බිමට හිතැති ඔබට මේ අවස්ථාවේ රට වෙනුවෙන් කළ හැකි වැඩ කොටසක් තිබේ. ලංකාවේ සිටින ඔබේ පවුලේ අයට, හිතවතුන්ට මේ කරුණු පෙන්වාදී අපේ රට වැටී ඇති අභාග්‍යමත් තත්වයෙන් රට ගලවා ගෙන ලෝකයේ ගෞරවයට පාත‍්‍රවන දියුණු රටක් බවට අපේ රට පත්කර ගැනීමට ඔබටත් දායක විය හැකිය. එ් සඳහා ඔබට හැකි උපරිම දේ කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

    මෙයට

    ‘පුරවැසි බලය’ වෙනුවෙන්

    ජයතිලක කම්මැල්ලවීර
    ශ්‍යාමන් ජයසිංහ
    ලයනල් බෝපගේ
    ජගත් ජේ එදිරිසිංහ
    රසික සූරියආරච්චි
    චරිත දිසානායක
    වරුණ සාවින්ද
    අසෝක සුබසිංහ
    මාලන් බණ්ඩාර කපුවත්ත
    අසෝක සිල්වා
    ගාමිණී රණසිංහ
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අදත් ඡන්දයක් එන විට ආණ්ඩුවේ ලොකුම ප‍්‍රචාරය වන්නේ යුද්ධයයි. දැන් මේ මොහොතේත් ලංකාවේ රාජ්‍ය මාධ්‍ය සේම රාජ්‍යය විසින් යටත් කරගන්නා ලද සියලූ මාධ්‍ය උදේ සිට ? වන තුරු පෙන්වන්නේ එල්ටීටීය කළ අපරාධය. අදත් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලොකුම තුරුම්පුව යුද්ධයයි.


    :yes: