ජනාධිපති_ධුරය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ජනාධිපති ධුරය අහෝසි කිරීම හා නව මැතිවරණ ක්‍රමය



151002171407_president_maithri_512x288_presidentoffice.jpg


විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු ඇති බවට ජනතාව එක දිගට වසර විස්සක් බලාපොරොත්තු තබා සිටියහ. 1994 සිට 2014 තෙක් වූ මේ කාලය තුළ බලයට පැමිණි නායකයන් සිය ජනවරම ලබාගැනීමේ ප්‍රධාන පොරොන්දුව කරගත්තේ ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමයි.‍ එහෙත් ඒ කෙරෙහි බලාපොරොත්තු තැබූ තමන් දිගින් දිගට රැවටුණේය යන හැඟීම ජන සමාජයේ පැලපදියම් වීමට මඟ පෑදුණා මිස, විධායක ජනාධිපති ධුරය අහෝසි වීම දෙසට කරුණු යෙදුණේ නැත. දේශපාලකයන් බලය ලබාගැනීම සඳහා දෙන පොරොන්දු කෙරෙහි කිසි ම විශ්වාසයක් තබන්නට නොහැකි යි යන මතය සමාජගත වන තැනට ම විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පොරොන්දුව මඟ හැර යෑම හේතු විණි.
තම බලාපොරොත්තු දිගින් දිගට කඩවීමේ ඒ ඉතිහාසය යළි මොහොතකට හෝ අමතක කළ ජනතාව, 2015 ජනවාරි 8 වැනි දා තම බලාපො‍රොත්තුව යළි අලුත් කරගත්හ. පොරොන්දු දේශපාලනය කෙරෙහි ජනතාව එවැනි බලාපොරොත්තු තැබීමක් පෙන්නුම් කළේ ඇතැම් විට අවසන් වරට විය හැකි යි. කෙසේ වෙතත් එය පල දරන දෙසට මඟ විවර විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පැමිණ, තම ධුරයේ බලතල යම් ප්‍රමාණයක් අත්හැරීම මඟින්, ජනතාවට පොරොන්දුවක් වී නම් එය ඉටු කිරීමට තමාට වගකීමක් ඇති බව පෙන්වා දුන්නේ ය; විශේෂයෙන් ම බලය අත් කරගැනීම පිණිස ම වන පොරොන්දු කෙරෙහි වගවීමක් ඇති බව පෙන්නුම් කළේ ය. ස්වාධීන කොමිසන් සභා බල ගැන්වෙන්නේ එහි ප්‍රතිඵලය ලෙසිනි‍.
දැන් තවත් පියවරක් ඉදිරියට තබා තිබේ: ජනාධිපති ධුරය මුළුමනින් ම අහෝසි කිරීම සඳහා යන්ත්‍රණයක් සකසනු පිණිස, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ම ඒ යෝජනාව කැබිනට් මණ්ඩලය හමුවේ තැබීම මඟිනි. එපමණක් නො ව, ජනවාරි 8 හා අගෝස්තු 17 අතර කාලයේ දී උත්සාහ කළ නමුත් ඉටු කරගන්නට නොහැකි වූ මැතිවරණ ක්‍රමය වෙනස් කරන යෝජනාව ද වෙයි.‍ මේ සඳහා කැබිනට් අනුමැතිය ලැබී, එහි ඉදිරි පියවර ගැනීම පිණිස අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරිණි.
විධායක ජනාධිපති ධුරය අත්තනෝමතික පාලනයකට මඟ ‍පාදනවා නම් මනාප ඡන්ද ක්‍රමය හේතු වූයේ ඊටත් වඩා දරුණු ඛේදවාචකයක් ඇති කිරීම පිණිස යි; එනම්: ශිෂ්ට සම්පන්න දේශපාලනයකට ඇති ඉඩ අහුරා දැමීමට යි. ශ්‍රී ලාංකික ජන සමාජයේ විනාශයට මඟ පෑදූ, එකිනෙකා අතර තරගය තීව්‍ර කිරීමට, අනෙකා යට කරගෙන තමන් මතු වීමට මේ මනාප පොරය මඟින් ලැබුණේ සුළු පටු අනුග්‍රහයක් නො වේ. රට පාලනය කරන දේශපාලන නායකයන් අතර හටගත් දරුණු තරගය සමාජයේ පහළ ම ස්තරය කරා ගලා යෑම වැළැක්විය නොහැකි යි. දැන් කළ යුතු වන්නේ මුළුමනින් ම එය ඉවත් කර දැමීම යි.
විධායක ජනාධිපති ධුරයේ මෙන් ම පවතින මැතිවරණ ක්‍රමයේ ද පැහැදිලි වෙනසක් අවශ්‍ය බව තවදුරටත් විවාද කළ යුතු කාරණ නො වේ. සාකච්ඡාව සඳහා ඉතිරි ව ඇත්තේ වෙනස ‍කරන යන්ත්‍රණය හෝ ක්‍රමවේදය හෝ ගැන පමණි. නව ක්‍රමයට පිවිසීමේ දී දේශපාලන පක්ෂ සමඟ හෝ අදාළ පාර්ශ්ව සමඟ හෝ සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට අවශ්‍ය නමුත් වෙනස සිදු කිරීම මඟ හැර යෑමට හෝ කල් මැරීමට හෝ එකී මත විමසීම යොදාගත යුතු නො වේ. ජනාධිපති ධුරයේ වෙනස සිදු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරු ව බව ප්‍රකාශ වී තිබේ. ඒ සමඟ එන මැතිවරණය සඳහා මනාප ක්‍රමය අහෝසි කෙරුණු නව මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන් විට රටට දැනෙන දේශපාලන වෙනසක් ඇති වනු නිසැක යි. දේශපාලකයන් පොරොන්දු දෙන්නේ ජනතාව රැවටීමට නො ව, තමන්ට රට වෙනුවෙන් වැඩ සැලැස්මක් ඇතැ යි කල් තියා පෙන්වීමට බවත්, නායකත්වයේ ලක්ෂණය එය බවත් පිළිගැනීම එවිට යළි ස්ථාවර වනු ඇත.
ජනවාරි 8 විප්ලවය මඟින් උඩ මතු කළේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක අවශ්‍යතාව යි. ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම හා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම යන පොරොන්දුව වටා ඒකරාශි වූ ජනතා ‍බලාපොරොත්තුවේ හරය වන්නේ ශිෂ්ට සම්පන්න දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාව යි. දේශපාලන පක්ෂ හෝ දේශපාලන නායකයන් ඒ බලාපොරොත්තුව ඉටු කරනු ඇතැ යි සිතා පැත්තකට නොවී, එකී බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත් කරගැනීමට සක්‍ර‍ීය ව දායක වීම සියලු පුරවැසියන්ගේ ද වගකීමකි. පක්ෂ දේශපාලනයේ බෙදීමට තවදුරටත් ඉඩ නොතැබීම ඒ වෙනුවෙන් කළ හැකි වටිනා ම දායකත්වයකි.
ජනාධිපති ධුරයකින් රට පාලනය කිරීම හෝ වේවා පාර්ලිමේන්තුවට වගකියන අගමැති ප්‍රමුඛ කැබිනට් ක්‍රමයකින් රට පාලනය කිරීම‍ හෝ වේවා මේ ඕනෑ ම ක්‍රමයකින් රටට සෙතක් වීම කෙරෙහි ජන මතය හැසිරෙන ආකාරය, සමාජීය ආකල්පවල ප්‍රබුද්ධත්වයේ තරම බල පානු ඇත. සිදු වන වෙනස ගැන පුරවැසියන්ගේ දැනුම්වත් භාවය හා දායකත්වය වැදගත් වන්නේ එබැවිනි. මේ සියලු කරුණු ගළපාගන්නා ගමන් සිදු කරන වෙනස රටේ දේශපාලන ස්ථාවර භාවය ආරක්ෂා වීම පිණිස හේතු විය යුතු බව ද අමතක නොකළ යුතු යි.