ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා රෝයල් තැප්‍රොබේනියන් පරිශ්‍රයේ දි 'ජාතික ගීය ලියපු ආනන්ද සමරකෝන් සිය දිවිනසාගැනීම' ගැන කරපු කතාවක වීඩියෝව මේ දවස්වල ෆේස්බුක් එකේ සංසරණය වෙනවා දකිනවා.
ධර්මසිරිගේ කතාවෙදි කියවෙන්නේ එවකට පැවති සිරිමාවෝ රජයේ උපදේශකයින් ආනන්ද සමරකෝන්ට ජාතික ගීය වෙනස් කරන්න කියලා උපදෙස් දුන්නා කියලා. ජාතික ගීතයේ ගණ පිහිටීම් අසුබ නිසා පාලකයින්ට අපලයි කියලා උපදේශකයෝ හේතු දක්වනවා ලු. තමන් ගණ ශාස්ත්‍රය ඉන්දියාවේ දි ඉගෙනගත්තා ය, මේ රටේ කවුරුත් ගණ ශාස්ත්‍රය දන්නේ නෑ කියලා සමරකෝන් ඒ කතාව ප්‍රතික්ෂේප කළා ලු. එතකොට සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ම සමරකෝන්ට කතා කරලා මේ ගීතයේ ගණ පිහිටීම වෙනස් කළ යුතු බව අවධාරණය කරනවා ලු. පස්සේ අර උපදේශකයෝ ඇතුළු පිරිසක් 'නමෝ නමෝ මාතා' කියලා ආරම්භ කරපු ජාතික ගීය 'ශ්‍රී ලංකා මාතා' කියලා වෙනස් කරලා සමරකෝන් ට ගුවන් විදිලියෙන් අහන්න කිව්වා ලු. ඒක අහලා පහුවෙනිදා උදේ බලද්දි ආනන්ද සමරකෝන් බේත් පෙති අහුරු පිටින් බීලා සිය දිවි හානි කරගෙන ලු.
ධර්මසිරි බණ්ඩාරනායක මහත්තයා මේ කතාව අවසානයේ කියනවා 'ගූගල් කරලා බලන්න ; ජාතික ගීය ලියපු මනුස්සයා සිය දිවි නසා ගත්ත එකම රට මොකක්ද ?' කියලා. මෙතන දි ධර්මසිරි අදහස් කරන්නේ ආනන්ද සමරකෝන්ගේ දිවි නසා ගැනීම පසුපස මහා සමාජ ඛේදවාචකයක් සිදු වුණාය කියලා වෙන්න ඕනේ. නමුත් මට නම් මිනිස් ජීවිතයක් නැති වීමේ කම්පාව ඇරෙන්න වෙන කිසිම විශේෂත්වයක් ඒ සිදුවීමේ පෙනෙන්නේ නැහැ.
ඇත්තටම අපි ආනන්ද සමරකෝන් ගේ සිය දිවි නසා ගැනීම මේ තරම් උත්කර්ෂයට නගන්න ඕනේ ද ?
නිකමට හිතලා බලමු. මෙතන මේ සමස්ත ප්‍රශ්නයම පවතින්නේ 'අසුබ ගණ පිහිටීමක්' සහ 'අපල' කියන සංකල්ප නිසා. එහෙන් ජාතික ගීයේ ගණ පිහිටීම අසුබයි , ඒ හරහා රටේ පාලකයින්ට අපලයි කියලා අගමැතිනිය සහ උපදේශක මණ්ඩලය බංගසාල විහිළුවක් නඩත්තු කරනවා. එතකොට මෙහෙන් ආනන්ද සමරකෝන් කරන්නේ මොකක්ද ? මේවා ඔක්කොම විකාර කියලා ප්‍රතික්ෂේප කරන එක ද ? නැහැ. ආනන්ද සමරකෝන් කරන්නේ මේ ගීතයේ ගණ පිහිටීම නිවැරදි ය, තමන් ගණ ශාස්ත්‍රය ඉගෙන ගත්තේ ඉන්දියාවෙන් ය, ලංකාවේ කවුරුවත් ගණ ශාස්ත්‍රය හරියට දන්නේ නැහැය කියලා තර්ක කරන එක. ඒ කියන්නේ තරාදියේ දෙපැත්තේම තිබිලා තියෙන්නේ එකම ජාතියේ තරාදි පඩි. ඔන්න ආනන්ද සමරකෝන් මහත්තයා මෙතන දි ගණ පිහිටීම් වගේ දේවල්වලට මුල්තැන දීලා රාජ්‍ය මුදල් හෝ ශ්‍රමය නාස්ති කරන එක අපරාධයක් ය කියලා තර්ක කළා නම් ඒක සාධනීය කාරණයක්. ඒත් මෙතන සිදුවෙලා තියෙන්නේ 'ගණ පිහිටීම අසුබයි' සහ 'ගණ පිහිටීම අසුබ නැහැ' කියලා දෙපිරිසක් අතර මතභේදයක් විතරයි. මට හිතෙන විදියට 'ගණ පිහිටීම සහ ඒවායේ සුබ අසුබ බව' විශ්වාස කරන මනුෂ්‍යයෙක් ඒ සම්බන්ධ කරුණක් අරභයා සියදිවි නසා ගැනීම වුණත් වෙන්න බැරි දෙයක් නෙමෙයි.
අනෙක් අතට අපි තව ගූගල් කරලා බලන්නේ මොකටද ? ස්වයං ලැජ්ජාවකට පත් වෙන්නද ? 'එක මවකගේ දරු කැළ බැවිනා - යමු යමු වී නොපමා - ප්‍රේම වඩා සැම භේද දුරැර දා නමෝ නමෝ මාතා' කියලා ලියපු මනුස්සයා ගණ පිහිටීමක් අරභයා මතභේදයකට සහ තමන් ලියපු ගීතයේ වෙනස්කම් කළාට කළකිරිලා එක රැයින් සියදිවි නසාගත්තා කියන එක ආඩම්බරයට කාරණයක් ද ? ඒකෙන් තේරෙන්නේ එක්කෝ ආනන්ද සමරකෝන් මේ ජාතික ගීතය ඇතුළේ ලියලා තියෙන්නේ තනිකර මුසාවාද කියන එක. ඒ ගීතයේ තියෙන්නේ ඇත්ත නම් මේ වගේ ප්‍රශ්නයකට සිය දිවි නසාගන්නවා ද? එහෙමත් නැත්නම් ආනන්ද සමරකෝන් ජාතික ගීයේ ලියලා තියෙන්නේ ලියපු මනුස්සයාටවත් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි සංකල්ප කියන එක. ඒකනේ ප්‍රශ්නයක් වුණා ම කතා කරලා විසඳ නොගෙන සියදිවි හානි කරගන්නේ. ඉතිං ආයේ මොකටද ඕක ගූගල් කරලා හොයන්නේ ?
කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ කළකිරීම පසුපස ගණ පිහිටීමේ කතාව විතරක් නෙමෙයි, තමන් ලියපු ගීතය තමන්ගේ අනුමැතියෙන් තොර වෙනස් කරපු කාරණයත් තියෙන්න ඇති කියලා. ඒකටත් මෙහෙම දෙයක් කියන්නම්. 'නමෝ නමෝ මාතා' ගීතය ලංකාවේ ජාතික ගීතය විදියට තෝරගන්නේ ආනන්ද සමරකෝන්ගේ අනුදැනුම යටතේ මිසක් බලහත්කාරයෙන් නෙමෙයි. ඒක කොයිතරම් ක්‍රමිකව වුණු සිදුවීමක් ද කියනවා නම් රජය විසින් කලින් නියම කරගෙන තිබුණු 'තෝරාගන්නා ජාතික ගීය සඳහා වූ රුපියල් 2,500/- ක තෑගි මුදල' ආනන්ද සමරකෝන්ට පිරිනමන්න හදද්දී මරදානේ ටී.කේ.ඩබ්ලිව්. සිරිවර්ධන කියලා ප්‍රකාශකයෙක් ඒ මුදලට හිමිකම් කියලා උසාවි ගියා. අවසානයේ දී 'නමෝ නමෝ මාතා' ගීතය මුලින් ම අන්තර්ගත වෙලා තිබුණු 'කුමුදුනී' නම් ගීත සංග්‍රහයේ ප්‍රකාශකයා වුණු සිරිවර්ධනට ඒ මුදල හිමිවෙන්න ඕනේ කියලා නීතියෙන් තීන්දු වුණා. ඒ තරම් සංකීර්ණ පසුබිමක රජය විසින් 'ජාතික ගීය' විදියට තෝරාගත්ත ගීතයක සහ 'ජාතික ගීය' විදියට රජයට දුන්නු ගීතයක වෙනස් කිරීමකට භාජනය වීම දරාගන්න බැරි නම් ; ඒ වගේ අවස්ථාවක දි තියෙන විසඳුම සිය දිවි නසාගන්න එක නම් ; ලංකාවේ සමස්ත නිර්මාණ ක්ෂේත්‍රය ම මේ වෙනකොට බොරැල්ලේ කනත්තේ වැළලිලා තියෙන්න ඕනේ. 'අම්මාවරුනේ ... අම්මාවරුනේ' ගීතය ධර්මසිරි ගමගේ මුලින්ම ලියන්නේ 'සම්මා සම්බුදු අම්මාවරුනේ' කියලා. 'සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා' ගීතය කුලරත්න ආරියවංශ මුලින් ම ලියන්නේ 'සඳ හොරෙන් බලා - වළා රොදක සැඟවිලා' කියලා. සංගීත නිර්මාණයේ දි වඩාත් උචිත විදියට මේ ගීත දෙකේ ම ආරම්භක පද කීපය වෙනස් කරන්නේ සංගීතඥ ප්‍රේමසිරි කේමදාස. ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සහ ප්‍රේමසිරි කේමදාසගේ හොඳ වෙලාවට ධර්මසිරි ගමගේවත් , කුලරත්න ආරියවංශවත් සිය දිවි නසාගන්න තීරණය කළේ නැහැ. බාගදා එහෙම නොවුණේ කේමදාස මාස්ටර් මේ වෙනස්කම් කළේ තනු නිර්මාණය වගේ වැදගම්මක් ඇති දෙයක් ගැන හිතලා මිසක් ගණ පිහිටීමේ සුබ අසුබ බව වගේ තේරුමක් නැති දෙයක් ගැන හිතලා නෙමෙයි නිසා වෙන්නත් ඇති.
හැබැයි ඔක්කොම හිතලා බලනකොට එක අතකට මට මෙහෙමත් හිතෙනවා. ගණ පිහිටීම කියන දේවල් ඔය කියන විදියට යථාරූපී නම් 'නමෝ නමෝ මාතා' ගීතයේ ගණ පිහිටීම ඇත්තට ම අසුබයි තමයි. එහෙම නැත්නම් ඒ ගීතය හේතුවෙන් ගීතය ලියපු මනුස්සයා සිය දිවි නසාගන්න ඕනේ නැහැනේ.
- සහන් කසීර වික්‍රමසිංහ -