ජීවිතයට සුබ අසුබ බව පවසන නිමිති 9ක්

umedhah

Active member
  • Jun 14, 2006
    466
    207
    43
    AKL, NZAA
    ජීවිතයට සුබ අසුබ බව පවසන නිමිති 9ක්

    ජීවිතයට සුබ අසුබ බව පවසන් අතීතයේ සිට පැවත එන නිමිති 9ක්

    ඒ කාලෙයි අද කාලෙයි කියල වෙනසක් නැතුව සුබ අසුබ නිමිති (omens) හොයන්න අපේ රටේ කවුරුත් වගේ උනන්දුයි. අදටත් අපේ බොහෝ අය ගමනක් පිටත් වෙන්න කලින් ඉස්සරහට හම්බුවෙන්නෙ කාවද? හූනෙක් ඇඟට වැටුනොත් වෙන්නෙ මොනවද කියල හරි හරියට හොයල බලනව. අතීතයේ සිට පැවතගෙන ආපු මේ සුබ අසුබ නිමිති පිළිබඳ විශ්වාස එකින් එක අමතකව ගිහිල්ල වර්තමානය වෙද්දි අපි දන්නෙ ඉතාම සුලු නිමිති ප්‍රමාණයක් විතරයි.
    ආර්. එල් බ්‍රෝහියර් මහතා විසින් රචිත ඩිස්කවරින් සිලෝන් (Discovering Ceylon) ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයක්ම අපේ පුරාණ ඇදහිලි සහ පෙරනිමිති ගැන විස්තර කරන්න යොදාගෙන තිබෙනවා. ඔබ සුබ අසුබ නිමිති විශ්වාස කලත් නැතත් මේ නිමිති සම්බන්ධයෙන් ඇති සිත්ගන්නාසුලු සහ රසවත් තොරතුරු ගැන දැනගන්නනම් අකමැත්තක් නැතුව ඇතැයි අපි හිතනවා.

    1. ආදරය පිළිබඳ හූනන් කියන අනාවැකි

    GoodBadOmens-01a.jpg
    Source – pestguy.xibase.net


    හූනු සාස්තරේ කියන්නෙ ඔයාල නොදන්න මාතෘකාවක් වෙන්න බැහැ. හූනන් ඇඟ වැටීම පිළිබඳ අනාවැකියක් බලාගන්න ඕනෑනම් ගෙදර තිබෙන ඈපාලිත බැලීමෙන් ඔබට ඒ ගැන දැනගන්න පුලුවන්. එහෙමත් නැත්නම් මේ ලිපියෙන් හූනු සාස්තරේ ගැන දැනගන්න ඔබට පුලුවන්.
    හැබැයි අපි මේ ඔබට කියන්න යන්නේ හූනන් කියන වෙනත් අනාවැකි ගැනයි. විශේෂයෙන් කෙල්ලෙක් නැතැයි පසුතැවිල්ලෙන් ඉන්න අයියලා සහ මල්ලිලාට මේ අනාවැකිය හරිම ප්‍රයෝජනවත් වේවි. තමන් කැමති කොල්ලාට ආදරය ප්‍රකාශ කරන්න තරම් නිර්භීත නංගිලාට වුනත් මේ අනාවැකියෙන් වැඩක් ගන්න පුලුවන්. ඒ අනාවැකිය තමයි හූනෙක් වයඹ දිශාවෙ ඉඳන් “චුක් චුක්” ගෑවොත් එදාට අනිවා ඔබේ හිතගත්තු කෙනාගෙ කැමැත්ත ලැබෙන බව. හූනෙක් වයඹ දිශාවෙ ඉඳන් සද්දයක් දැම්මොත් ආයෙ දෙපාරක් හිත හිත ඉන්නෙ නැතිව කෙලින්ම ගිහින් ආදරේ ප්‍රකාශ කරන එකයි තියෙන්නෙ. අහපු ගමන් කැමැත්ත ලැබෙනවලු.

    2. ස්වීප් ටිකට් පිළිබඳ හූනු අනාවැකි

    GoodBadOmens-02.gif
    Source – youtube.com

    කවුද අකමැති කෝටියක ජයමල්ලකට උරුමකම් කියන්න නේද? කෝටියක් නැති උනත් ස්වීප් ටිකට් එකේ ගානවත් ලැබුනොත් ඒකත් ලොකු ජයග්‍රහණයක්නෙ. අපේ ආදර සම්බන්ධතාවයට උදවු කරන හූනා ස්වීප් ටිකට් ගන්නද එපාද කියලත් අපිට ඔත්තු දෙන වෙලාවල් තියනවලු. හැබැයි මේ ඔත්තුව දෙන්නෙ අඟහරුවාදා දවසක තමයි. අඟහරුවාදාවක නිරිත දිශාවේ ඉඳන් හූනෙක් සද්ද කලොත් ඔයාට හදිසි ධන ලාභයක් ලැබෙන්න හොඳටම ඉඩ තියන බවයි පැවසෙන්නේ. හැබැයි වැරදිලාවත් එදාම ආයෙමත් නැගෙනහිර පැත්තෙන් හූනා චුක් චුක් ගෑවොත් වැඩේ අසාර්ථක වෙන්න ඉඩ තියනවලු. මොකද නැගෙනහිර පැත්තෙන් හඬ නගන හූනන්ගෙන් කියවෙන්නේ ධන හානියලු.

    3. කපුටු සාස්තරේ – කපුටෙක් ඇඟට කැත කලොත් මොකද වෙන්නෙ?

    GoodBadOmens-03a.jpg
    Source – iflscience.com


    එක එක ඇඩ් වලින් කපුටු සාස්තරේ ගැන අහල තිබ්බට කපුටා කියන අනාවැකි දන්නෙ අපි අතරින් කීයෙන් කී දෙනාද නේද? ඔන්න අපි කියන්න යන්නෙ කපුටු අනාවැකි කීපයක්.
    හිතන්න ඔයා තියන හොඳම ඇඳුමෙන් පැළඳුමෙන් ජැන්ඩියට සැරසිලා ගමනක් යනකොට කපුටෙක් ඔයාගෙ ඇඳුමට වර්චස් පිඩක් හෙලනවා කියල. අනිවා කපුටගෙ පස්ස මහල බඩයන්න බේත් දෙන්න තරම් කේන්තියක් නේද ඇතිවෙන්නේ.හැබැයි මීට පස්සෙ එහෙම හිතලා පවු පුරෝගන්න නම් එපා. මොකද එහෙම අලුත් ඇඳුමකට කපුටෙක් වර්චස් කරනවා කියන්නෙ ඒ දවස ඔයාට හොඳටම හොඳයිලු. වාසනාව ප්‍රීතිය උතුරන දවසක් වෙනවලු. හැබැයි කපුටා මළපහ කලේ ඔයාගෙ දණිස්සටනම් ඒක විපතක් හැඟවීමක්ලු. එහෙම වෙලාවක ගමන පැත්තකට දාල ගෙදර ඉන්න එක සුබ බවයි කියවෙන්නෙ.
    කපුටෙක් ඔයා ඉන්න තැනට විරුද්ධ දිශාවේ ඉඳන් කෑ ගහන එකෙනුත් පෙන්වන අනාවැකි කිහිපයක්ම තිබෙනවලු. මේ කෑ ගැසීම කලේ උදේ පාන්දරනම් එදා දවස ඉතාම අසුබ දවසක් වෙනවලු, මධ්‍යාහනයේ කෑ ගැසුවානම් එදා දවස සුබ ප්‍රතිඵල අත්කරනවලු, හවස් වරුවේ කෑ ගැහුවොත් යාලුවෙක් ඔයාව හමුවෙන්න එන බවලු ඉන් කියවෙන්නේ.

    4. හච්චෝස්!!! කිවිසුමෙන් කියන අනාවැකි

    GoodBadOmens-04.gif
    Source – youtube.com,

    කිඹුහුමක් වත් නිදහසේ අරින්න බැරිද? ඒකටත් අනාවැකි තියනවාද? ඔව් අනිවාර්යයෙන්ම. අදින් පස්සෙ කිඹුහුමක් ගියාට පස්සෙත් මේ ගැන හිත යොමු කරන්න වෙයි ඔන්න. මෙන්න මෙහෙමයි කිවිසුමෙන් කියවෙන අනාවැකි.
    නැගෙනහිරට මුහුණලා කිවිසුමක් ඇරියොත් එයින් කියවෙන්නෙ ඔබේ සාර්ථකත්වයලු. හැබැයි ඒ වෙලාවෙ හැරිල හිටියෙ දකුණටනම් එයින් කියවෙන්නෙ විනාශයලු. බස්නාහිර දෙසට මුහුණලා කිවිසුම ඇරියොත් ඔබට ලාභයක් අත්වෙන බවට සඳහන් වෙනව. ඒ වගේම උතුරු දෙසට මුහුණලා යවන කිවිසුමෙන් ජයග්‍රහණය ගැන අනාවැකියක්ලු පලවෙන්නෙ.
    නහය දන්න ගන්නකොට කවුරු හරි මතක් කරනවා කියල අපේ මතයක් තියනවනෙ. එසේ දැවිල්ල ගන්නේ මොන නාස් පුඩුවද යන්න අනුව මේ මතක් කරන්නෙ හොඳටද නරකටද යන්න දැනගන්න පුලුවන්ලු. වම් නාසය දාගෙන යන්නේ නම් ඒ සතුරෙක්ගේ මතක් කිරීමක්ලු. දැවිල්ල ඇත්තේ දකුණු නාසයේනම් කෙනෙක් ඔබය ආදරයෙන් මතක් කරන නිසාලු එහෙම වෙන්නේ.

    5. ගමනක් යද්දි මුණ ගැසෙන්න හොඳ දේවල්

    GoodBadOmens-05.jpg
    Source – svbebe.blogspot.com


    සුබ ගමන් වලදි දකුණු කකුල පෙරට තියලා, පුලුවන්නම් කවුරු හරි ලවා වතුර කළයක් හරි වතුර වීදුරුවක් හරි ඉස්සරහට ගෙන එන්න සලස්සගෙන එළියට බහින එක සමහරුන්ගෙ පුරුද්දක්. මීට අමතරව අනපේක්ෂිතව හරි අපේ මූණට මුලිච්චි වෙලා අපේ ගමන සුබ කරන පෙරනිමිති බොහොමයක් තිබෙන බවයි පැවසෙන්නේ.
    වතුර කලයකට අමතරව මොණරෙක්, දෙහි දොඩම් වගේ පළතුරු කූඩයක්, පිපුණ මලක්, කිරි දෙනක්, හක් ගෙඩියක්, ගිනිගොඩක්, ඇතෙක් වැනි දේ මුණ ගැසුනොත් ගමන සුබම සුබ වෙන බව තමයි කියවෙන්නේ. මීට අමතරව සුද්දෙක් හෝ විශාල උදරයක් සහිත කාන්තාවක් ඉදිරියට හමු වෙන එකත් සුබදායකලු.

    6. ගමනක් පිටත් වීමේදී හමුවන අසුබ දේ

    GoodBadOmens-06a.jpg
    Source – theodysseyonline.com


    සුබ පෙරනිමිති වගේම අසුබ පෙරනිමිතිත් කීපයක්ම තියනවා. මේ දේවල් මුලින්ම ඉදිරියට හමු උනොත් ගමන යනවට වඩා නොගිහින් ඉන්න එක හොඳයි කියලයි ජන වහරේ පැවසෙන්නේ. මෙන්න මේ කියන ඒවයි ඉස්සරහට හමුවෙන්න හොඳ නැත්තෙ.
    මඩ හෝ තෙල් ඇඟ ගාගත් මිනිසෙක්, නයෙක්, වියළි දර මිටියක්, රණ්ඩු කරගන්න මිනිස්සු, ඕපාදූප කතා කරන ගැහැණු
    මෙන්න මේ අය හෝ දේවල් ඉස්සරහට හමුවෙන එක අසුබ බව කියවෙනවා.

    7. කකුලෙන් සහ ඇහි බැමෙන් කාන්තාවන් ගැන කියවෙන අනාවැකි

    GoodBadOmens-07a.jpg
    Source – quora.com


    අතීතයේ සිට කාන්තාවන් ගැනත් ශරීර ලක්ෂණ අනුව විවිධ අනාවැකි පලවෙලා තිබෙනවා. හැබැයි මේ අනාවැකි වල තිබෙන කරුණු ඔයාගෙ බිරිඳ හෝ පෙම්වතිය තුළ තිබෙනවානම් ඒ ගැන ඇයට කියන්න යන්නේ නැතිව නිශ්ශබ්දව ඉන්න කියලා අනිවා අපි අවවාද කරනවා. එහෙම කිරීමෙන් තමන්ගෙ ශරීර සෞඛ්‍යයට අහිතරකර ප්‍රතිඵල අත් වෙන්න පුලුවන් කියලා අමුතුවෙන් අනාවැකි කියන්න ඕනෙ නෑනෙ.
    කාන්තාවකගේ ඇහිබැම එකතුවෙලා තියනවනම් එයින් කියවෙන්නේ ඇගේ සැමියා ඇයට පෙර මියයන බවලු. කාන්තාවකගේ කකුලේ මහපට ඇඟිල්ලට වඩා දෙවැනි ඇඟිල්ල දිගු නම් එයින් කියවෙන්නේ ගෙදර ආධිපත්‍යය තියෙන්නේ ඇය යටතේ බවලු.

    8. ගෙදරට එන සත්තුන්ගෙන් පැවසෙන අනාවැකි

    GoodBadOmens-08.jpg
    Source – mnn.com


    ගෙවල් වලට එන සත්තුන්ගෙන කියවෙන අනාවැකි ගැනත් අතීතයේ ඉඳන් පැවත එන විශ්වාස බොහොමයක් තිබෙනවා. ඒ අතරින් නිවසකට ඇතුලුවී අසුබ ප්‍රතිඵල අත් කරන සත්තු කිහිප දෙනෙක්ම ඉන්නවා. කෑඳැත්තන්, බස්සන්, වැහිලිහිණියන් ආදී සතුන් ගෙදරකට ආවොත් එය අසුබ ප්‍රතිඵල අත්වෙන්න හේතු වෙනවලු. අපි කවුරුත් ආස කලාමැදිරියත් ඒ විදිහේ අහිතකර ප්‍රතිඵල දෙන සතෙක් බවයි කියවෙන්නෙ. කලාමැදිරියෙක් නිවසකට ඇතුලු උනොත් ඒ නිවස අත්හැර දමන්න සිදුවෙන බවක් හෝ සොර බියක් ඇති වෙන බවක්ලු කියවෙන්නේ.

    9. මරණය ගැන අසුබ නිමිති

    GoodBadOmens-09.gif
    Source – youtube.com

    අපි කවුරුත් මැරෙන මිනිස්සුය කියල අපි දැනගෙන හිටියට මරණය කියන්නෙ අපි දකින්න අකමැතිම පෙරනිමිත්තක්. මරණය ගැන පුරාණයේ සිට කියවෙන පෙරනිමිති මෙන්න මේවයි. හැබැයි හිත කලබල කරගන්නව එහෙම නෙමෙයි මේව දැනගෙන.
    කණ කොකා හඬ නගා හිසට ඉහලින් ඉගිල යාම මරණය ගැන කියවෙන භයානකම පෙරනිමිත්තක්, මීට අමතරව කපුටෙක් උගුර යටින් කෑ ගහන එකත් මරණයට පෙර නිමිත්තක්. බල්ලෙක් උඩු බිරිලීම, පරිසරය නිහඬ වෙලාවක බකමූණා හූම් හූම් ගෑම, වෙනත් කෙනෙක් අවමංගල්‍යයකට අඳින ලද ඇඳුම් ඇඳ ගැනීමත් මරණය පිළිබඳ අසුබ නිමිති බවයි කියවෙන්නේ.
    කණ්ණාඩියක් තුලින් තුන්දෙනෙක් එකවර මුහුණ බැලීමත් මරණය කැඳවන කාරණයක් ලෙසට අතීත කතාවල සඳහන් වනවා. එසේ කිරීමේදී තිදෙනාගෙන් එක් අයෙක් වසරක් ඇතුලත මියයන බවට අතීත වැසියන් අතර විශ්වාසයක් තිබිල තියනවා.
    උපුටා ගැනීම- ආර්. එල් බ්‍රෝහියර් මහතා විසින් රචිත Discovering Ceylon ග්‍රන්ථය ඇසුරිණි*

    Cover Image Source – Source – feminiya.com Source: http://www.aniwa.lk/2016/10/23/1610232-good-bad-omens/
     
    • Like
    Reactions: pu_ke_amaris