ජීවිතේට කොලිටියක් සහිත මිනිස්සු විතරක් තෝරගන්නේ මෙහෙමයි

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,163
    881
    113

    ජීවිතේට කොලිටියක් සහිත මිනිස්සු විතරක් තෝරගන්නේ මෙහෙමයි




    ජීවිතේට කොලිටි මිනිස්සු විතරක් තියාගන්න කියන එක ඇත්තටම පුද්ගල වර්ධනය ගැන කතා කරනකොට ලෝකේ කතාබහ කෙරෙන සංකල්පයක්. OQP නැතිනම් only quality people කියලා කියන්නෙත් ඕකට තමයි. ඇත්තටම අපි ජීවත් වෙන්නේ සමාජෙකනේ. අන්න එතකොට, අපිට කොහොම වුණත් තවත් අයත් එක්ක පවත්වන පුද්ගල සම්බන්ධතා වලින් ඈත් වෙන්න බෑ. හැබැයි අපි පවත්වන පුද්ගල සම්බන්ධතා මොනවද කියලා තේරුම් බේරුම් කරගන්න එක අපිට කරන්න පුළුවන්. ආන්න ඒක තමයි අපි මේ කොලිටි මිනිස්සුත් එක්ක පුද්ගල සම්බන්ධතා පැවැත්වීම කියලා කියන්නේ.
    දැන් මේ පුද්ගල සම්බන්ධතා කිව්වහම ඒකට ඇතුළත් වෙන්නේ යාළුමිත්‍රකම්, නෑදෑකම්, හිතවත්කම්, ලව් වගේ පෞද්ගලික සම්බන්ධතා විතරක් නෙවෙයි. තමන්ගේ වෘත්තිය ජීවිතේදී පවත්වන සම්බන්ධකම්, තමන් හදාගන්න නෙට්වර්ක් එහෙමත් මේකට අදාළ වෙනවා.
    ඉතින් ඔය හැම තැනකදීම අපේ ජීවිතේට කොලිටි මිනිස්සු විතරක් ඇතුළු කරගන්න එක ලේසි පාසු වැඩක් නෙවෙයි. හැබැයි කරන්න බැරි තරම් අමාරු වැඩකුත් නෙවෙයි!


    1. ඉන්න අමාරු තැන්වල ඉන්න එපා

    01-73.jpg

    කොලිටි මිනිස්සු ජීවිතේට ලං කරගන්න පුළුවන් එක විදියක් තමයි, කොලිටි නැති මිනිස්සුන්ව ජීවිතෙන් හලන එක. එතනදී අපි හිතලා බලන්න ඕන එක දෙයක් තමයි, අපි යම් යම් සම්බන්ධතා වල ඉන්නේ ඇත්තටම අපිට ඒ සම්බන්ධතා ඕන හින්දද කියන එක. උදාහරණයක් විදියට කිවුවොත්, සමහර වෙලාවට අපි බොහොම විෂ සහිත ආදර සම්බන්ධතාවයක හිර වෙලා ඉන්නවා. ඇත්තටම අපිට එතන ඉන්න අමාරුයි. ඒත් යාළුවෝ, ගෙදර අය සම්බන්ධේ දන්න නිසා අමාරුවෙන් ඉන්නවා. තව උදාහරණයක් ගමු. ඔන්න එකට ඉඳන් වළ කපන යාළුවෙක් ඉන්නවා. ඌත් එක්ක ඉන්නත් අපිට අමාරුයි. ඒත් ලෝකෙම දන්නවනේ මූ තමන්ගෙ යාළුවා කියල. ඒ නිසා අමාරුවෙන් ඉන්නවා!
    එහෙම අමාරුවෙන් මිනිස්සු එක්ක ඉන්න එපා කියන එක තමයි අපි මේ කියන්නේ. තමන්ට කෙනෙක් එක්ක ඉන්න අමාරු නම් කරුණාකරලා එතනින් ඉවත් වෙන්න.

    2. සාර්ථක මිනිස්සු

    02-71.jpg

    මෙන්න මේක කොලිටි මිනිස්සුන්ව ජීවිතේට ලංකරගන්න කියන කතන්දරේ එක්ක එන ජනප්‍රිය කෑල්ලක්. ඒ වගේම මිනිස්සු අවභාවිතා කරන කෑල්ලක්. ඇත්තටම අපිට සාර්ථක මිනිස්සුන්ගෙන් ජීවිතේට ගන්න දේවල් තියෙනවා. විශේෂයෙන්ම සාර්ථක මනුස්සයෙක් අපේ මාර්ගෝපදේශකයෙක් වෙනවා කියන්නේ ලොකු දෙයක්. හැබැයි සාර්ථක මිනිස්සුන්ව ඇසුරු කරන්න කියන්නේ, ඒ මිනිස්සුන්ගෙන් ජීවිතේට ගන්න තියෙන උපදෙස්, ආදර්ශ ගන්න කියන් එක මිසක්, ඒ මිනිස්සුන්ගෙ ගෙදර එකෙක් වෙන්න දඟලන එකවත්, ඒ මිනිස්සුන්ගේ සෙරෙප්පු ලෙවකන්න යන එකවත්, ඒ මිනිස්සුන්ට මුට්ටි අල්ලන එකවත් නෙවෙයි.
    එතකොට සාර්ථක මිනිස්සු කියන්නේ කවුද? ඒක අපි අන්තිමට කියනවා.

    3. ආරක්ෂිත කලාපයෙන් බැහැරට

    03-73.jpg

    ඇත්තටම අපි ගොඩක් දෙනෙක් ජීවිතේ වැඩිපුර කොටසක් ජීවත් වෙන්නේ අපේ ආරක්ෂක කලාපයේ. ඒ කියන්නෙ සේෆ් සෝන් එකේ. ඒකෙන් පිටතට ගිහින් අවදානමක් ගන්න අපි ලෑස්ති නෑ. හැබැයි ඉතින් සාර්ථකත්වය කරා යන ගමන සේෆ් සෝන් එකේ ඉඳගෙන කරන්න නම් බෑ. අවදානම් ගන්න වෙනවා. ආන්න ඒකට අපි ආශ්‍රය කරන මිනිස්සුත් අදාළ වෙනවා. ඇත්තටම කොලිටි මිනිස්සුන්ව ජීවිතේට ලංකරගන්න කියල කටින් කිව්වට, අපිට මිනිස්සුන්ව කාලා බලන්න බැහැනේ. ඒ නිසා අපිට එතනදී යම් කිසි අවදානමක් ගන්න වෙනවා. හැබැයි අපි සවිඥාණිකව නම් ඒ අවදානම ගන්නේ, ගැටළුවක් නෑ.

    4. ආතල්ම දේ නොව හොඳම දේ

    04-73.jpg

    දැන් ඔය යාළුවෙක් එක්ක ලගා ගහගෙන ඉන්න එක, යාළුවෙක් එක්ක ඕපයක් කියාගෙන ඉන්න එක ආතල් නැද්ද? අවංකවම කිවුවොත් ආතල්. හැබැයි අපි කියමු අපිත් එක්ක ඉන්නේ ඔය ආතල් එක විතරක් සපයන කෙනෙක් කියලා. ආන්න එහෙමනම්, අපිට ඒ සම්බන්ධෙට සීමා මායිම් දාගන්න වෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, වැඩ කරන වෙලේත් ඇවිත් ඕපදූප කියවන ඔෆිස් යාළුවෙක් එක්ක තමන්ට දියුණු වෙන්න නම් බැරි වෙයි. එතකොට එක්කෝ පොරත් එක්ක ඕපයක් කියවන්න තමන්ගේ සතියේ නිදහස් වෙලාවෙන් පොඩි වෙලාවක් විතරක් වෙන් කරගන්න වෙනවා. එහෙමත් බැරි නම් අතඇරලම දාන්න සිද්ධ වෙනවා.
    ඇත්තටම ඕප විතරක් නෙවෙයි, අපි ආතල් එකට කරන ගොඩක් දේවල් ඕවඩෝස් වෙනකල් ගන්න මිනිස්සු සම්බන්ධයෙන් අපිට මේ ප්‍රතිපත්තිය අනුගමනය කරන්න වෙනවා.

    5. යාළු ලිස්ට් එක සුද්ධ කරමුද?

    05-73.jpg

    මෙන්න මේක නම් අනිවාර්ය කාරණයක්. තමන්ගේ යාළු මිත්‍ර ලිස්ට් එක සුද්ධ පවිත්‍ර කරන එක. මේ කියන්නේ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එක ගැන නෙවෙයි. හැබැයි ඒකත් මෙතනට අදාළයි. දැන් අපි නිකමට හිතල බලමු අපිට යාළුවෝ කොච්චර ඉන්නවද කියල. හැටනවලක්ෂයක් විතර ඉන්නවා ඇති නේ? හැබැයි ඔය ඔක්කොම ඇත්තටම යාළුවොද? ආන්න ඒක තමයි හිතලා බලන්න ඕන. ඔතනින් ගොඩක් අයට අපිව අවශ්‍ය වෙන්නේ උදවුවකදී. එහෙම නැතිනම් මතක් වෙන්නෙ නෑ. අන්න ඒ අය යාළුවෝ නෙවෙයි. ඒ අය දන්න හඳුනන අය. ඒ නිසා ජීවිතේට ෂුවර් ඇන්ඩ් ෂොට් යාළුවෝ කීප දෙනෙක් විතරක් තියාගන්න. ඒ අයව මේන්ටේන් කරන්න. අනික් අයව දන්න හඳුනන ලිස්ට් එකට දාන්න. ඒ අය උදවුවක් ඉල්ලුවොත්, ඒක තමන්ගේ වැඩ පාඩු කරගන්නෙ නැතුව කරන්න පුළුවන් නම් කරල දන්න. ඔච්චරයි.
    එතකොට තමනුත් අනුන්ට කිසිම උදවුවක් නැතුව අනුන්ගෙන් උදවු ඉල්ලන ඩයල් එකක් නම්? ඒක ඉතින් වෙන ආටිකල් එකකින් ලියන්න වෙන කතාවක්!

    6. තමන්ගේ හොඳ පතන මිනිස්සු

    06-70.jpg

    මේක බොහොම සරල කාරණාවක්. උඩ කියපු ගොඩක් දේවල් එක්ක සම්බන්ධ කාරණාවක්. ඒ තමයි තමන්ගේ යහපත ප්‍රාර්ථනා කරන මිනිස්සුන්ව විතරක් ආශ්‍රයට ගන්න එක. අපේ සමහර නෑදෑයෝ, යාළුමිත්‍රයෝ ඉන්නවා, ඒ අය අපිට මූණට මොනවා කිව්වත්, නැති තැන කියන්නේ වෙන කතන්දර. එක්කෝ අපිට හිනාවෙයි. එක්කෝ අපේ නරක කතා කරයි. හැබැයි ඒ අය එහෙම කරනවා කියලා අපි දැනගන්නෙ කොහොමද? උදාහරණයක් ගත්තොත්, යාළුවෙක් අපේ නරක කිව්වා කියල තව කෙනෙක් අපිට කේළමක් කිව්ව පළියට, අපිට ඒ යාළුවව හලන්න පුළුවන්ද? අපොයි බෑ. ඒක වැරදියි. හැබැයි මෙහෙම අපේ යහපත අවංකව ප්‍රාර්ථනා නොකරන මිනිස්සුන්ව අපිට ටික කාලයක් යනකොට අඳුනගන්න පුළුවන් වෙනවා. ආන්න එතකොට ඒ අයව අතේ දුරට ඈත් කරලා තියන්න. අනික් පැත්තට, හිතේ කිසිම කහටක් නැතුව අපිට හොඳක් වෙන්න කියලා හිතන පතන අයව ලඟට ගන්න.

    7. සතුටු වයිබ්ස්

    07-68.jpg

    ඇත්‍තටම මේ ලෝකේ නිරන්තරයෙන් සතුටින් ඉන්න එක කිසිම කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි අඩු තරමින් මුළු ජීවිතේම අඬා ගත්තු ගමන්, කම්ප්ලේන් කරගත්තු ගමන් ඉන්න කෙනෙක් නොවී, සතුටට හිනා වෙලා, දුකක් ආවහම ඒකට මුහුණ දීලා ඉන්න පුළුවන් නම්, ඊට පස්සේ ආයෙමත් හිනාවෙලා ඉන්න පුළුවන් නම් එච්චරයි. ජීවිතේ අමාරුයි තමයි. හැබැයි ඉතින් තුන්තිස් පැයේම අඬා වැළපීගෙන, මේ සමාජෙ කෘරයි කියාගෙන හිටියා කියලා ජීවිතේ ලේසි වෙන්නෙ නෑ.
    ඉතින් එකක් තමයි අපිත් එහෙම සතුටින් ඉන්න මිනිස්සු වෙන්න ඕන. ඒ වගේම අපිට ආශ්‍රය කරන්නත් එහෙම සතුටු වයිබ්ස් ලබාදෙන මිනිස්සු තෝරගන්න ඕන.

    8. කනෙක්ෂන් ලේසි නෑ

    08-8.jpg

    මේ ඔක්කොම කාරණ එක්ක මතක තියාගන්න ඕන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි, තමන් කොලිටි මනුස්සයන්ව ආශ්‍රයට ගන්නවා වගේම, ඒ අයට තමනුත් කොලිටි මනුස්සයෙක් වෙන්න ඕන කියන එක. එහෙම නැතිනම් අපිට කොලිටි මනුස්සයෝ එක්ක ඉන්න ලේසි වෙන්නෙ නෑ. මෙන්න මේ නිසා හොඳ ප්‍රතිපත්ති තියෙන, නැති තැන මිනිස්සුන්ට දොස් නොකියන, දේවල් හොයලා බලල විචාර බුද්ධියෙන් කටයුතු කරන, අනික් මිනිස්සුන්ගේ හොඳ ප්‍රාර්ථනා කරන, තමන්ට වැදගත් කෙනෙක්ට අවශ්‍ය මොහොතකදී උදවු පදවු කරන කොලිටි මිනිහෙක් හෝ ගැහැණියක් වෙන්නත් අපි වග බලා ගන්න ඕන.
    කොටින්ම කියනව නම්, කොලිටි මිනිස්සු එක්ක සම්බන්ධ වෙන්න නම් අපිත් කොලිටි වෙන්න ඕන. ඒ වගේම ඒ කනෙක්ෂන් හරි විදියට පවත්වා ගෙන යන්න ඕන.

    9. සමාජ කණ්ඩායම් වලට දායකත්වය

    09-2.jpg

    මේ විදියට ගත්තහම අපිට පේන්න ඕන දෙයක් තමයි, ඇත්තටම අපේ ජීවිතේට මිනිස්සු බර ගාණක් ලං කරගන්න අවශ්‍ය නැහැයි කියන එක. ඇත්තටම අපිට කොලිටි මිනිස්සු කීප දෙනෙක් අපේ ජීවිතේ හිටියත් ඇති. හැබැයි ඒ අතරේ අපිට කරන්න පුළුවන් තව දෙයක් තියෙනවා. ඒ තමයි සමාජ කණ්ඩායම් වලට අපේ දායකත්වය සපයන එක. ඒ කියන්නේ උදාහරණයක් විදියට, යම් කිසි පාසලක් සංවර්ධනය කරන ව්‍යාපෘතියකට අපිට දායකත්වය දෙන්න පුළුවන්. එතනදී සමාජ සමූහයක් එක්ක සාමූහිකව වැඩ කරන්න පුළුවන්. ඇත්තටම මේ වගේ වැඩ වලිනුත් අපේ ජීවිතේට කොලිටි මිනිස්සු මුණගැහෙන්න පුළුවන්. හැබැයි මේ සමාජ කණ්ඩායම් වලට ලබාදෙන දායකත්වය, අපි සාමූහික සත්වයෙක් කියන කාරණාව තෘප්තිමත් කරන්නත්, අපේ කොලිටිය වැඩි කරගන්නත් වැදගත් වෙයි.

    දැන් මේ එක්කම අපි ඔළුවට ගන්න ඕන තව දෙයක් තියෙනවා. ඇත්තටම කොලිටි මිනිස්සු කියන්නේ කවුද? ගොඩක් සල්ලි තියෙන මිනිස්සුද? එතකොට සාර්ථක මිනිස්සු කියන්නේ කවුද? වෘත්තියෙන් ඉහළටම ගිය මිනිස්සුද? නෑ. කොලිටි මිනිස්සු කියන්නේ ගතිගුණ වල, ආකල්ප වල කොලිටිය හොඳ මිනිස්සු. ඒ කියන්නේ රටේ නම ගියපු ව්‍යවසායකයෙක් කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්. හංදියේ මාළු විකුණන, ඒ ජොබ් එකෙන් තෘප්තිමත්ව ආතල් එකේ ඉන්න රාජා අයියාත් කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්. දුකටත් සැපටත් එක වගේ ඉන්න තමන්ගේ අම්මා කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්. අපිට අවංක සිතින් ආශීර්වාද කරන පංසලේ පොඩි හාමුදුරුවෝත් කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්. හැමදාම හිනා කටක් එක්ක අපිව දැක්කහම හිනාවෙන ඔෆිස් එකේ තේ හදන අක්කා කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්. අපේ දියුණුව අවංකවම ප්‍රාර්ථනා කරන පරණ බෝයිෆ්‍රෙන්ඩ් වුණත් කොලිටි මනුස්සයෙක් වෙන්න පුළුවන්…
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    7,513
    3
    40,683
    113
    Gampaha
    මේක හරි.
    දැනට එළකිරි සෙට් එක හැරුනම මට ඉන්නෙ යාළුවො කියල ආශ්‍රය කරන අය, හතරදෙනයි.

    ඉතුරු අය නිකං ගෘප් විතරයි. ඒ අය එක්ක උදවු කරගන්න, තොරතුරු බෙදාගන්න තරමෙ යාළුකමක් නෑ. නිකං කතාබහට විතරක් සීමාවුන අය.

    ගෘප් කියන්නෙ, ඉස්කෝලෙ සෙට් එක, කෝස් කරපු තැන් වල සෙට්, වගේ අය.
     
    Last edited: