ජීවි‍තේ හරි පුදුමයි....

hpalpola

Well-known member
  • ජීවි‍තේ හරි පුදුමයි....


    කෙටි නිවාඩුවකට පස්සේ අද වැඩ පටන් ගත්තා. පහුගිය දවස්වල කාර්යබහුල ජිවිතෙන් ඈත් වෙලා ඉඳියට දැන් ඉතින් ආයිත් වැඩ. පටන් ගනිද්දිම ප්‍රශ්නයක් ආවා විසඳන්න. ඒකට විසඳුම් හොයලා ඉවර වුනාම හිතුනා මේක ලියන්න.

    ඇත්තටම මිනිස්සු ගැන වෙලාවකට මට පුදුම කණගාටුවක් දැනෙනවා. කණගාටුව කියන හැඟීම සම්පූර්ණයෙන්ම නැතිවෙන්නේ 'අනාගාමී' තත්ත්වයට පත් වුනාම. එතකම් කණගාටුව දැනෙනවා. බැලුවාම මන් අනාගාමීවෙලා නෑ. ඒකනේ මටත් දැනෙන්නේ. මනුෂ්‍ය ජීවිතේ කියන දේ හරිම වටිනවා. කොයිතරම් අමාරුවෙන්ද අපිට මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්නේ. ඒකත් මන්දබුද්ධික, අංගවිකල නොවී ලැබුනාම ඒ ජීවිතේ කොයිතරම්නම් වටිනවාද. ඒත් බහුතරයක් දෙනා ඒ ජිවිතේ ගෙවන්නේ දුක් විඳ විඳ. පුදුම වැඩක් ඒක.

    අද මාව හමුවුන කෙනා දැනටමත් ස්වකීය බිරිඳගෙන් වෙන්වීම සඳහා දික්කසාද නඩුවක් පවරනු ලැබ ඇති අතර බිරිඳ විසින් ඔහුගෙන් නඩත්තු ඉල්ලා නඩත්තු නඩුවක් පවරනු ලැබ ඇත. මේ මනුෂ්‍යයා දැන් ඒ ගැන දුක්වෙනවා. මන් ඇහුවා දැන් මට මොකක්ද කරන්න කියන්නේ කියලා. එයාට අවශ්‍ය නෑ ලූ බිරිඳ එක්ක සමථ වෙන්න, ඒත් ළමයා අවශ්‍යයිලු. එයාව එදා කසාද බැන්දෙ අපරාදෙලු. නොයෙකුත් දේවල් කියනවා. මට ඉතින් අහන් ඉන්න විතරනෙ තියෙන්නේ. පිස්සු හැදෙනවා. ඒවා අහන් ඉද්දි තමයි ජීවිතේ එපා වෙන්නේ. ඒත් ඉතින් අන්තිමට කියවලා ඉවරවෙලා හරි එහෙනම් මන් යන්නම් කියලා යනවා. එතකොට යන්නෙ ආවට වඩා වෙනස් මානසිකත්වයෙන්. ඒ නිසා මේ ජීවිතේ ගැන සතුටු වෙන්න කොටසකුත් එතන තියෙනවා.

    කරුණු මොනවා වුනත් පේන දේ තමයි මිනිස්සු බහුතරයක් ජීවත් වෙන්නේ අමුතු විදියට කියලා. සමහරු කියනවා මන් ඒ දේ කරන්නේ හිතට එකඟව නෙමෙයි, ඒත් මන් ඒක කරනවා අහවලාගේ සතුට වෙනුවෙන්. නැත්නම් අම්මා තාත්තාගේ සතුට වෙනුවෙන් වගේ දේවල්. බැලුවම මේ මිනිස්සු සල්ලිවලින්වත්, ඉන්ද්‍රියන් පිනවීමෙන්වත් ලබා ගන්න බැරි සතුටක් තමයි හොයන්නේ. හැබැයි ඒ අය හඳුන්වා දෙන විදියට ඒ කාර්යයන් කරන්නේ 'කැපවීම' කියන නම යොදා ගනිමින්. කැපවීම කියන නම යොදන් කර ගන්නේ බැලුවම ජිවිතේ කාලය නිකරුනේ නාස්ති කිරීමක් තමයි කරන්නේ. කියන්නේනම් ඒක ජොලි කියලා.
    ඒ වගේ අය දකිද්දි හිතෙනවා ඒ අයට හොඳ ගුරුවරයකුගෙන් නැත්නම් යාළුවකුගෙන් මාර්ගෝපදේශයන් ලැබුනොත් ඒ කචල් ජීවිත රටාවෙන් මිදෙන්න පුළුවන් වෙයි කියලා. ඒත් කෝ ඒ වගේ ගරුවරු? කෝ ඒ ව‍ගේ හොඳ යාළුවො? අපේ රටේ වෙන දේවල් දිහා බැලුවම හිතෙන්නේ මිනිස්සු මොනාහරි ලොකු අසහනයකින් පෙළෙනවා වගේ කියලා. හිතෙනවා දවසක ඒ පීඩනය දරා ගන්න බැරි තරමටම පත්වෙයි කියලා. ඒත් එහෙම වෙනකම් නවතින පාටක් නෑ. කොහොමත් අපිට ඉතින් මුළු ලෝකෙ වෙනුවෙන් දෙයක් කරන්න අමාරුයිනේ. ඒත් අපි වෙනුවෙන් දෙයක් කරන්න බැරි වෙන්නේ නැහැ.

    ලඟදී ඒ ව‍ගේ ලස්සන දෙයක් වුනා. යාළුවෙක් එයා ආදරේ කරන ගෑණු ළමයාගෙන් වෙන් වෙලා. වෙන් වෙලා කියන්නේ ගෑණු ළමයා යාළුවට ආදරේ කරලා පස්සෙ යාළුවගේ ක්‍රියාකලාපය හරියන්නේ නෑ කියලා වැඩේ නවත්වලා. කථා කරන්නෙවත් නෑ ලූ. යාළුවා මේ ගැන දුක් වෙනවා විතරක් නෙමෙයි කෑමක් බීමක්වත් හරියට පාවිච්චියක් නෑ. පස්සෙ මේ ගැන යාළුවගේ තාත්තා මාව දැනුවත් කලා. ඉතින් මටත් සිදු වුනා වැඩේට මැදිහත් වෙන්න. මන් කථා කළා. මන් ඇහුවා ඇයි දුක් වෙන්නේ කියලා. ඉතින් එයා කියනවා පුදුම ආදරයකින්ලු ඉඳියෙ, ඇයි මෙහෙම වුනේ හිතා ගන්න බෑලු වගේ නොයෙක් දේ. මන් ඇහුවා ඉතින්
    මචං දැන් ඔයාලා බැන්දට පස්සේ ඕක වුනානම් මොනවද කරන්නේ කියලා. එතකොට එයා කියනවා එතකොට ඉතින් බැඳලානේ කො‍හොමහරි කා ගෙන ඉන්න වෙනවාලු. මන් ඇහුවා ඒ ගැන ගැරන්ට් කරන්න පුළුවන්ද කියලා. එහෙමනම් බෑ ලූ. පුදුමයි ඉතින්. මන් කිව්වා මචං උඹලා බැන්දෙ නෑ නේ බැන්දට පස්සේ ඔය වගේ ප්‍රශ්න ඇති වුනාම මහ කරදරයි, ඒ නිසා මේ විදියට ඉවරයක් වුන එක ගැන සතුටු වෙයන් කියලා. හුඟක් දේවල් කිව්වට පස්සෙ මට එන්න අවස්ථාව ලැබුනා. හැබැයි යාළුවා තමන්ගේ පීඩනයෙන් මිදුන ද කියන්න මන් දන්නේ නෑ.

    ඒ වගේ වෙලාවකදී වෙන් වීම ගැනම හිතන්නේ නැතුව තමන් ආදරෙන් ඉන්න කාලේ සතුටින් ගත කළ හැටි හිතලා සතුටු වෙන්න බැරිද කියලා මට හිතුනා. ඒත් ඉතින් එහෙම වෙන්න සතුටින් ගත කළ කාලයක් තියෙන්න එපැයි.

    අපිට මොනවාද අපේ යා‍ළුවො වෙනුවෙන් කරන්න පුළුවන්. අපේ නංගිලා මල්ලිලා වෙනුවෙන් කරන්න පුළුවන්. මොනවාද එයාලට උගන්වන්න පුළුවන්. හුඟක් වෙලාවට මිනිස්සු කියනවා කරුමෙ නිසා තමයි එහෙම වුනේ කියලා. හැබැයි ඒකෙන් ප්‍රශ්නෙ විසඳෙන්නේ නෑ මන් හිතන්නේ. ප්‍රශ්නවලට විසඳුම් හොයා ගන්න අවශ්‍යයි. මිනිස්සුන්ට තමන් පැරදිලා එහෙමත් නැත්නම් තනිවෙලා වගේ කියලා දැනෙනවා. මැරෙන මිනිස්සු හැමෝම දුප්පත්තු‍ ‍නෙමෙයි. අසනීප වෙන හැමෝම දුප්පත්තු නෙමෙයි. සියදිවි නසාගන්නේ කන්න නැති නිසාවෙන්ම නෙමෙයි. මේ වගේ නොයෙක් දේවල් අහන්න දකින්න ලැබෙනවා. සමහර වෙලාවට ආගම් නායකයොත් කියනවානේ අනිත් අයට ගහපල්ලා කියලා. අනේ මන්දා.

    බෞද්ධ ඉගැන්වීම් වලට අනුව හැම දේටම හේතුව කර්මය කියලා කියන්න බෑ. හැබැයි පූර්ව කර්මයේ බලපෑම අපේ ජීවිත වලට නෑ කියලාම කියන්න බෑ. නමුත් හැම දේම කර්මය නිසාවෙන් වෙනවත් නෙමෙයි. සමහරක් දේවල් අපිට වෙනස් කරන්න පුළුවන් නියම මාර්ගෝපදේශ ලැබුනොත්. අවාසනාව වෙන්නේ ඒක නැති වීම. සමහර වෙලාවලදි බුදුහාමුදුරුවො දේශනා කරනවා අහවල් තැනැත්තා මේ කාලේ මෙහෙම වුනානම් අනාගාමි වෙනවා, මේ කාලෙදි මෙහෙම වුනානම් සකෘදාගාමී වෙනවා වගේ කියලා. ඒ කියන්නේ ඒ කෙනාට කර්මෙම විතරක් නෙමෙයි බලපාලා තියෙන්නේ. අවශ්‍ය දේ නොකිරීම. ඇත්තෙන්ම අතීත කර්මය වගේම වර්තමාන කර්මය මිනිස්සුන්ට බොහොම වැදගත්. අපි දන්නේ නෑ ගිය ආත්මෙ අපිට මොනවා වුනාද කියලා. හැබැයි අද වෙන දේ අපි දන්නවා. ඒ වගේම තමයි හෙට වෙන දේත් අපි දන්නේ නෑ. අතීතයේ මොනවා වුනාම මොකෝ? වර්තමානයට අපි කොහොමද මූණ දෙන්නේ. ඒ කාර්යයේදී ඇත්තෙන්ම හොඳ ගුරුවරයකු, හොඳ යාළුවකු අපි ළඟ ඉඳීම සෑහෙන්න වටිනවා. හරියට නැවක් මුහුදෙ නිවැරදි දිශාවට ගමන් කරවනවාවගේ. කප්පිත්තා ‍එක විදියකින් බැරිනම් වෙනත් විදියකින් කුණාටු, තද සුළං, තද රැළි මැද්දෙන් ගමන් කරන මගීන්ට වගේම, ගෙනි යන බඩු භාහිරාදියට හානියක් නොවන විදියට ගමනාන්තය දක්වා නැව අරන් යන්න උත්සහවන්ත වෙනවා. අපේ ජීවිතෙත් එහෙම තමයි. අපිට පුළුවන් අපේ අරමුණු ජය ගන්න. ඒත් නියම විදියට
    මෙහෙයවීමක් නැති නිසා අපිට ඒක කරගන්න බැරි වෙනවා. අවසානයේ අපිට ලැබෙන්නේ පීඩනයක් විතරයි. අපේ සම්බන්ධතා, රස්සාවල් නැති වුනාම අපිට ලෙඩ දුක් හැදුනාම අපි කොයිතරම්නම් මානසිකව වැටෙනවාද? ඒත් ඒ සේරම මැද්දෙන් අපිට පුළුවන් සතුටුදායක ජීවිතයකට අපේ ජීවිතය මෙහෙයවන්න. ඒ වෙනුවෙන් තේරුම් ගන්න ඕන දේ තමයි අ‍පේ කර්මය අපේ අතේ කියන එක.

    මන් හොඳින්ම දන්නවා අතීත කර්ම නිසාවෙන් අපිට ‍ලොකු බලපෑමක් වෙන බව. මගේ ජීවිතේ දිහා හැරිලා බැලුවම මට දැනෙනවා මන් අතීතයේ කරපු දේවල් හොඳ හෝ නරක විදියට ම‍ගේ ජීවිතයට අදටත් බලපාලා තියෙන බව. ඒක ඉදිරියටත් වේවි. හැබැයි මන් ඒ දේවල් තේරුම් ගත්තට පස්සෙ මන් හිතා ගත්ත දේ තමයි කර්මය නිසාවෙන් මගේ ජීවිතේට මොන දේ වුනත් ඒකට කමක් නෑ, ඒක ඒ විදියට වෙන්න තිබුන දෙයක්, හැබැයි ඒ නිසාවෙන් මගේ ජීවිතේ මට පාලනය කරන්න පුළුවන් දේවල් පාලනය කරන එක මගේ අතින් මන් අතහරින්නේ නෑ කියලා. මන් වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් මන් කරන්නෙ නැතිව අතහැරියොත් කොහොමද? ඉතින් මන් ඒ වෙනුවෙන් මගේ වර්තමාන කර්මය සකස් කර ගන්නවා. අදට මුහුණ දෙන්න එපැයි සතුටින්. හැමදාම පීඩනයෙන්, දුකින් ජීවත්‍ වෙන්න බෑ. අපිට වෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න එකයි, ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමයි අ‍‍පේ අතේ තියෙන වැඩක්. සමහර වෙලාවට අපිට තනියම අපිට වෙනදේ තේරුම් ගන්න බැරි වෙද්දි අපි බාහිර උපකාරය බලාපොරොත්තු වෙනවා. ඒ බාහිර උපකාරයත් අපි හොඳින් හොයා බලලා ලබා ගත යුතුයි. සමහරු කථා කරන්නේ දුක නැති වෙන්න ‍ටිකක් බොන්න යමු කියලා‍නේ. හැබැයි අපිට හොඳ ගරුවරු, හොඳ යා‍ළුවො සහ හොඳ මගපෙන්වීමක් තියෙනවානම්, ඒ වගේම වෙන දේවල් නියමාකාරයෙන් තේරුම් ගන්න පුළුවන්නම් අපිට පුළුවන් අපේ ජීවිතය හොඳින් ගෙනි යන්න.

    ඇත්තෙන්ම අපි දුර්වලයො නෙමෙයි. අපිට හොඳ සිහියකුයි ප්‍රඥාවයි තියෙනවානම් පුදුම ශක්තියක් උපදවා ගන්න පුළුවන්. එහෙම වෙද්දි අපිට අවශ්‍ය වෙන්නේ නෑ පීඩාවට පත්වෙන්නවත්, දේවල් අත හරින්නවත්. ඇත්තෙන්ම ජීවිතයට වටිනා දේවල් කිසිම උත්සහයක් කරන්නේ නැතුව අත හරින්න එපා.

    මන් පුංචි කාලේ හුඟක් දේවල් ගැන අසතුටින් ඉඳියේ. පුංචි කාලෙ විතරක් නෙමෙයි ඇත්තටම කියනවානම් දැනට කිසියම් කාලයක් වෙනකම්. ඒ කාලේ මන් වින්ද අත්දැකීම් දුක්බර විදියටයි මන් දැක්කේ. හැබැයි ජීවි‍තේ නැති කර ගන්න මට හිතුනෙ නෑ. එහෙම වුනානම් අද මේවා කථා කරන්න මන් නෑ නේ. කොහොමහරි ජීවත් වෙන්න ඕනා කියලා ඒ කාලෙ මට හිතුනා. මොන හේතුවක් නිසාවෙන්ද මන් දන්නේ නෑ. හැබැයි ඒ නිසාවෙන් අද මේ ඉන්න තත්ත්වයට එන්න පුළුවන් වුනා. ඇත්තෙන්ම ඒ දේවල් අපිට හොඳ අත්දැකීම්. දුක්ඛිත අත්දැකීම් නැතිව අපිට දෙයක් ඉගෙන ගන්න බෑ වගේම අපිට වර්ධනය වෙන්නත් බෑ. ඉතින් අද මන් ආපහු හැරිලා බලද්දි මට පේනවා, මන් නොයෙක් දේවල් වලට විවෘත වුනා කියලා. හුඟක් ගුරුවරු මට මුණ ගැහුනා. ඒ වගේම නොයෙක් ආගමික ඉගැන්වීම් මගේ ජීවිතයට මුණ ගැහුනා. දැන් මට තේරෙනවා මේ සේරම දේවල් හොඳ කෙනෙක් වෙන්න මට උපකාර වුනා කියලා. මන් හුඟක් දේ ඉගෙන ගත්තා. ඒ ගැන මට සතුටුයි. ඒක තේරුම් ගන්න එක හුඟක් වැදගත්.

    ඒ තේරුම් ගැනීමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ පීඩාවෙන් පෙළෙන මිනිස්සුන්ට පුංචි හරි සහනයක් දෙන්න මැදිහත් වෙන්න. ඒ අයට වෙලා තියෙන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න. ඒ අයට සහනයක් විම තමයි අපිට කරන්න පුළුවන් එකම දේ.

    ඉතින් ජීවිතේ මේ වගෙයි. හරිම පුදුමයි. සතුටු වෙන්න මිසක් දුක් වෙන්න දේවල් අපේ ජිවිතේ නෑ. ඒත් ඒක තේරුම් ගන්න තියෙන අපහසුව නිසාවෙන් අපි වැඩිපුරම කරන්නේ දුක් වෙන එක. දුක මොකක්ද සතුට මොකක්ද කියලා හඳුනා ගැනීම හුඟක් වැදගත්. අපිට පුළුවන් අපේ යහළුවන්ට, නංගිලා මල්ලිලාට ඒ වෙනුවෙන් උදව් වෙන්න. එයයි වැදගත්.



     
    • Like
    Reactions: Lewke and DamN DoG