'ඩෙල්ෆ්ට් දූපත'

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    'ඩෙල්ෆ්ට් දූපත'

    අද මගේ පොර ටෝක් එක 'ඩෙල්ෆ්ට් දූපත' ගැන. පොර ටෝක් එකක් කිව්වට ඉතිං ගිරිතලේ ට්‍රේනිං කොල්ලොත් එක්ක ආණ්ඩුවෙ වියදමින් ගිය ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවක විස්තර තමයි. ඩෙල්ෆ්ට් දූපතේ තියෙන පාරිසරික හා ඓතිහාසික වටිනාකම් සහ සංචාරක විභවය නිසාම ඒකෙ කොටසක් දැං වනජීවී රක්ෂිතයක් විදියට ප්‍රකාශයට පත් කරන්න දෙපාර්තමේන්තුව යෝජනා කරලා තියෙනවා. කවුන්සලේ ඇත්තො එකඟවුනොත් විතරක් ඒක එහෙම සිද්ද වේවි. කණ්ඩායමේ අරමුණවුනේ ඒ වටිනාකම් පුහුණු අභ්‍යාසයක් විදිහට හඳුනා ගැනීම.

    ඩෙල්ෆ්ට් දූපත ගැන ටිකක් හරි දන්න කෙනෙක් එක්ක ඒ ගැන කතා කළොත් ඉස්සෙල්ලාම අහන්නෙ ඒකෙ ඉන්න වල් පෝනියො ගැන. 'වල්' කිව්වෙ හීලෑ නැති, 'වනාන්තර ගත' (Wild , Feral) අර්ථයෙන්. පෝනියො ගැන කතා කරන්න ඉස්සෙල්ලා ඒකෙ ඉතිහාසය දැනගෙන ඉමු.


    Map.png
    අපි හැමෝම ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම දන්න, යාපනේ අර්ධවීපයට ඔබ්බෙන් මූදෙ තියෙන දූපත් සේරටම වගේ තියෙන්න මතක තියාගන්න අමාරු දමිළ නම්. ඒත් එක දූපතකට විතරක් 'ඩෙල්ෆ්ට්' කියලා ලේසියෙන් මතක තියාගන්න පුලුවන් නමක් තියෙන එක ලොකු සහනයක්. 'නෙදුන්තීවු' කියලා දමිල නමක් තියෙන ඒ දූපතේ නම වෙනස් කරලා තියෙන්නෙ, ඕලන්ද පාලන කාලෙදි, ඕලන්දයෙ තියෙන 'ඩෙල්ෆ්ට්' නගරය අනුව යමින්. ඕලන්දයන්ට ඉස්සර පෘතුගීසි කාරයොත් දූපතේ හිටපු බවට සාක්ෂි තියෙනවා. වර්ග කිලෝමීටර 50 කට ආසන්න වපසරියක් තියෙන ඩෙල්ෆ්ට් දූපත, දිගින් කිලෝමීටර 8 ක් හා පළලින් කිලෝ මීටර 6 ක් විතර වෙන, ඕවාලාකාර හැඩයක් ගන්න සමතලා බිම් කඩක්. කොරල් පර සහිත නොගැඹුරු මුහුදක් ඒ වටා තියෙන්නෙ.

    දූපතේ උතුරු කොටසේ පන් දහසක විතර කුඩා ජනගහනයක් වෙසෙනවා. ඔවුන් සියලු දෙනාම වගේ දමිළ ජාතිකයින් බව කියන්න ඕන නෑනේ. දකුණු කොටසෙ තියෙන අර්ධ ශුෂ්ක පඳුරු හා තණබිම් සහිත නිවර්තන වනාන්තරයෙ තමයි අර කියාපු වල් පෝනියො ඉන්නෙ. දාහත් වැනි සියවසේ දි ඕලන්ද කාලයෙදි දූපතට ගෙනැල්ලා බෝ කරපු පෝනියො, පස්සෙ කාලෙකදි වනාන්තර ගත වෙලා වල්වුනා කියලා තමයි කියන්නෙ.

    මාත් ඉතින් මේ පසුබිම් තොරතුරු ටික එහෙන් මෙහෙන් හොයාගෙන කොල්ලො ටිකත් එක්ක ඩෙල්ෆ්ට් බලා යාපනෙන් පිටත් උනා. යාපනය හා මණ්ඩතිවු දූපත අතරත්, මණ්ඩතිවු හා පුන්කුඩුතිවු දූපත අතරත් වේලි මං ඉදිවෙලා තියෙන නිසා ඒ දක්වා ගමන ආපු වාහනෙන්ම කරදරයක් නැතිව යන්න පුලුවන්. පුන්කුඩුතිවු දූපත කෙලවරේ තියෙන කුරිකඩ්ඩුවාන් ජැටියේ ඉඳලා යන්න ඕනෑ නාවික හමුදාව යටතේ පාලනයවෙන පෞද්ගලික බෝට්‍ටුවලින්.

    IMGP0875.JPG
    ඩෙල්ෆ්ට් දූපතේ උතුරු වෙරළේ පිහිටා තියෙන ජැටිය දක්වා බෝට්‍ටුවෙන් යා යුතු කිලෝ මීටර් දහයක විතර දුර යා ගන්න පැය බාගෙකයකට වැඩි කාලයක් ගත වෙනවා. තැඹිලිපාට ආරක්ෂක ජැකට්‍ටුව ඇඳගෙන, පුංචි කවුලුවකින් බෝට්‍ටුවට රිංගලා, ලෑලි බංකුවෙ වාඩිවෙලා යන ඒ ගමන අපූරු අත් දැකීමක්. මගීන් අතර වැඩිපුර ඉන්න දූපත් වාසීන් සියලු දෙනාම දමිල ජාතිකයින්. ඔවුන් හා අප අතර තිස් වසරක යුද්ධයක් පැවතුනාදැයි කිසිසේත්ම සිතා ගත නොහැකි තරම්. ඔවුන් කිසිවෙකුගෙන් කිසිදු නොරුස්නා බවක් පළවුනේ නෑ.

    IMGP0876.JPG
    ගමනට හුරු පුරුදු පොලිස් සැරයන්වරයෙක් අපිත් එක්ක සිටි නිසා ඩෙල්ෆ්ට් දූපතේ ජැටියට ළඟා වෙලා, දූපතේ සංචාරයට අවශ්‍ය වාහන සොයා ගැනීම් ආදියට කරදරයක් උනේ නෑ. සාධාරණ ගාස්තුවකට, දූපතේ සංචාරයට සුදුසු විවෘත රථ දෙකක්, අපව ‍රැගෙන යන්න ජැටිය ආසන්නයටම ඇවිත් තිබුනා. දූපතේ වැසියන්ට එහා මෙහා යන්න ලංගම බස් රථයක් යොදවලා තිබුනා.

    IMGP0891.JPG

    හුණුගල් කුට්ටිවලින් තැනූ තාප්ප හා තල් අතුවලින් තැනූ වැටවල්වලින් වෙන්කර තිබුනු ගෙවතු අතරින් වැ‍ටුනු, ප‍ටු පාරවල් දිගේ ගිය අපි දූපතේ දකුණු අර්ධය වෙත ළඟා වුනා. මුහුදු වෙරළ දක්වා විහිදුනු තණ බිම්වල අතරින් පතර මිටි ශාක පඳුරු විසිරිලා තිබුනා. වෙරළ ආසන්නයෙ හිටපු පෝනියො රංචුවක් ලඟටම අපි ගිය වාහන පැදෙව්ව නිසා නිසා ඔවුන්ව හොඳින් දැක බලා ගන්න ලැබුනා. සාමාන්‍ය අශ්වයෙකුට වඩා උසින් අඩු නිසා උන් 'පෝනින්'ලෙස හඳුන්වන එක නිවැරදියි. ඕලන්ද කාලයෙ ඩෙල්ෆ්ට් දූපතේ පවත්වාගෙන ගිය අශ්ව ගාල්වල ඔවුන් රඳවලා හිටිය බව අහන්න ලැබුනා. රංචුවෙ හිටපු සමහර සත්තුන්ගෙ හන සලකුණුත් දකින්න තිබුනා. ඒ සත්තු මිනිස් ඇසුරෙ ඉඳලා පස්සෙ වල් වැදුනා විය යුතුයි. සිත්ගන්නාසුළු කොණ්ඩ මෝස්තරය අස්සෙන් අපි දිහා බලපු නායක පෝනියා වැඩි සුහද බවක් පෙන්නුවෙ නෑ. පරිසරයෙ තියෙන දැඩි ක‍ටුක බව නිසාම ඔවුන් අතර වැඩි නිරෝගී බවක් පේන්න තිබුනෙ නෑ. නියං කාලෙදි පානීය ජලය නොමැතිකම නිසා ඔවුන් පීඩා විඳින බව දැනගන්න ලැබුනා.

    IMGP0880.JPG

    පැරණි බලකො‍ටුව
    පෝනියො බලලා ආපසු එන අතරෙදි අපි ඩෙල්ෆ්ට් දූපතේ තියෙන අනෙක් වැදගත් තැන් කීපයක් බලන්න ගියා. දූපතේ තියෙන රෝහල් භූමියෙම තියෙන පැරණි ගොඩනැගිල්ල එයින් එකක්. ඉතා පුළුල් බිත්ති සහිත ඒක ආරක්ෂක බලකො‍ටුවක් බව පැහැදිලියි. පෘතුගීසි යුගයෙදි ඉදි කරලා නිසැකවම පස්සෙ ඕලන්ද කාලෙදිත් භාවිතා කරන්න ඇති. දූපතේ තියෙන පැරණි ගොඩනැගිලි සේරම වගේ ඉදි කරලා තියෙන්නෙ හුනුගල් කුට්ටිවලින්.

    IMGP0912.JPG

    පරෙවි කූඩුව
    දූපතේ තියෙන තවත් එක විශේෂ ස්ථානයක් තමයි පැරණි පරෙවි කූඩුව. ශක්තිමත් පාදමක් මත හුනු ගලෙන් නිමවලා තියෙන ඒක තවමත් ඉතා හොඳ තත්වයෙන් තිබුනත්, පරෙවියො ඉන්න බවක් නම් පෙනුනෙ නෑ. ඉස්සර කාලෙ පණිවිඩ හුවමාරුව සඳහා පරෙවියන් යොදාගත්තු බව අපි අහලා තියෙනවනෙ. ඒ අසලම තවත් පැරණි ගොඩ නැගිලි කීපයක නටබුන් දකින්න පුළුවන්. ඉන් එකක් පහුගිය ශත වර්ෂයේ මුල් කාලෙ උසාවියක් හැටියට භාවිතා කරලා තියෙනවා. පෘතුගීසීන්ගෙ පරිපාලන මධ්‍යස්ථානය එතන තිබුණු බවට විශ්වාස කරනවා.

    දූපතේ තියෙන පැරණි අශ්ව ගාල, පසු කාලෙක ඉංග්‍රීසි යුගයෙදි ඉදි කරපු එකක් හැටියට සැලකෙනවා. අශ්වයින් බෝ කිරීම ව්‍යාපාරයක් හැටියට සිදුවෙලා තියෙනවා. ඒ ආසන්නයෙ තැනක තුබුණු යෝද පා සලකුණ බලන්නත් අපිව එක්ක ගියා. එතන තිබුණු හුණුගල් තට්‍ටුව පා සලකුණක හැඩයට ඛාදනය වීමෙන් ඒක නිර්මාණය වෙලා තියෙන බව පේනවා.

    IMGP0908.JPG

    ස්ථූපයේ නටබුන්
    ඩෙල්ෆ්ට්වල දැන් ඉන්නේ සේරම වගේ හින්දු භක්තික දමිල අය උනාට, අතීතයෙදි බෞද්ධයින් සිටි බවට එහි ඇති චෛත්‍යයේ නටබුන් පැහැදිලි සාක්ෂියක්. ශ්‍රි මහා බෝධිය වැඩමවන අතරෙ සංඝමිත්තා තෙරණිය ඩෙල්ෆ්ට් දූපතට ගොඩ බැහැලා විවේක ගත් බවත්, එය සිහිවීම සඳහා චෛත්‍යය ඉදි කල බවත් කියවුනා.

    IMGP0917.JPG

    බැඕබැබ් ගස
    දූපතේ තියෙන යෝධ බැඕබැබ් (Baobab) ගස තවත් එක සුවිශේෂී සලකුණක්. අප්‍රිකානු මහාද්වීපයෙ, ඉතියෝපියානු සම්භවයක් ඇති බැඕබැබ් ගස ලොව පුරා තැන තැන ‍රැගෙන ගියේ මුස්ලිම් වෙළඳුන් බව කියවෙනවා. පුළුල් කඳක් සහිත ඒ ගස්වල විශේෂය අමුතු හැඩය නිසා කැපී පෙනෙනවා. ඩෙල්ෆ්ට් දූපතේ තියෙන ගහේ කඳේ තියෙන කුහරය තුළ මිනිසෙකුට පහසුවෙන් හිටගෙන ඉන්න පුලුවන්.

    දූපතේ කෙලවරක තියෙන 'ලියලන කොරල් ගල' බලන්නත් අපි ගියා. ලියලා වැඩෙන හැඩයක් තියෙන ඒ කොරල් කුට්ටිය ලඟ තිබුනු සලකුණුවලින් ඒක දූපත් වැසියන්ගෙ පුද පූජා ලබන බව පෙනුනා. නමුත් විද්‍යානුකූලව ඒ වගේ 'වැඩීමක්' නම් වෙන්න බෑ. සමුද්‍රීය පරිසරයක වෙසෙන 'පොලිප්' (Polyp) නමින් හඳුන්වන අපෘෂ්ඨවංශික සතා තමගෙ ශරීරය වටා ස්‍රාවය කරගන්න කැල්සියම් කාබනේට් ආවරණය නිසා තමයි හුනුගලක් නිර්මානය වෙන්නෙ. හුණුගලක් කියන්නෙ ඒ වගෙ සත්තු විශාල සංඛ්‍යාවකගෙ ජනපදයක්. ගොඩ බිම වියලි පරිසරයක ඒ සත්තුන්ට පවතින්න බෑ. ඒත් දූපතේ වැඩිහිටියො කියනවලු ඒ අය පුංචි කාලේ ඒ ගල තිබුනෙ දැනට වඩා කුඩාවට කියලා.
    IMGP0919.JPG
    අපි දිවා ආහාරය ගත්තෙ ජැටිය ආසන්නයෙ තිබුනු ගෙදරකින්. ඒක ඉතාම සාධාරන මිලකට සැපයුණු සරල, ප්‍රණීත, ආහාරයක්. මාරයා මලයා හරි, වෙනි මලයා හරි හිටියනම් ෂුවර් එකටම බත් පිඟානෙ පින්තූරයක් අරගෙන FB එකේ දාලා, බලන එවුන්ට පිස්සු හදවනවා. කස්ටියෙ හිටපු ඇම්ඩන්ලා කීපදෙනෙක් 'කෑමට පෙර' තේ හැඳි දෙකක් විතර දාගන්න ෆුල් ට්‍රයි එකක් දැම්මත් හොයා ගන්න බැරි උනා. කොහොම උනත් ඩෙල්ෆ්ට් දූපතේ තනි අකුරේ කර්මාන්තය ජයට කෙරෙනවා කියලා දැනගන්න ලැබුනා.

    IMGP0915.JPG

    ලියලන ගල
    ආපහු එන්න බෝට්‍ටුව එනකම් ජැටිය ලඟ බංකුවක වාඩිවෙලා ඉන්න කොට, පුංචි කොලුපැටියෙක් ආත්තම්මත් එක්ක ඇවිත් අපි ඉස්සරහින් වාඩි උනා. අපි අපේ ගමේ පාරක යන එනකොට දකින පැටවුන්ගෙ මූණෙ දකින අහිංසකකම අඩුවක් නැතුවම ඒ කොලුපැටියගෙ මූණෙත් තිබුනා. ලොකුවෙනකොට ඒකගෙ මොළේට, අඩි දහයක් ඉදිරිය නොපෙනෙන දේශපාලකයෙක් විසින් වර්ගවාදයෙ විස එන්නත් කළේ නැත්නම්, කවදා හරි රටට ලෝකෙට වැඩදායක ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට, නැවත කොහේදි හරි ඒ කොලුවා මුණ ගැහේවි කියලා මට හිතුනා.,



    උපුටා ගැනීම ගාමිණීගේ විජිතයෙනි
     

    spnkas

    Junior member
  • Oct 28, 2010
    853
    23
    18
    south korea
    ela math giya ohe maru paththa habai rasnei bonna thiyenne lunu wathura 1 indak thiyanawa honda wathura thiyana mama sathiyak withara hitiya niyama addakimak wenama ratakata giyawagemai