තරම දැනගෙන අල්ලාගැනීම

hpalpola

Well-known member
  • තරම දැනගෙන අල්ලාගැනීම.

    පටාචාරාව ගැන හැමෝම දන්නවා. පටාචාරාවට දරුවෙක් හිටියා. තව දරුවෙක් ලැබෙන්න හිටියා. ඇය ඇගේ සැමියායි දරුවයි එක්ක දෙමව්පියො දකින්න යන අතරතුර විළිරුදාව හැදුනා. දරුවා ලැබෙන්න කරදර වෙන අතරෙදි ඇගේ සැමියා සර්පයෙක් දෂ්ඨ කරලා මියැදෙනවා. පස්සෙ ඇය අළුත උපන් දරුවත් වඩාගෙන අනෙක් දරුවාවත් අඬගහගෙන දෙමව්පියො බලන්න එද්දි ගඟකින් එතෙර වෙන්න තියෙනවා. ඇය මුලින් ම පොඩි දරුවව ගඟේ එගොඩින් තියලා ලොකු දරුවා ව ගෙනියන්න අනෙක් පැත්තට එන අතරෙදි උකුස්සෙක් ඇවිත් පොඩි දරුවව ගොදුරු කර ගන්නවා. ඒ අතරෙදි ලොකු දරුව ගඟේ ගහගෙන යනවා. ඇය ගෙදරට එද්දි ඇගේ දෙමව්පියො චිතකයෙ දැවෙනවා. මේ සියල්ල එක්ක ඒ කියන්නෙ ආදරේ කරපු හැමදේම නැතිවෙද්දි දරා ගන්න බැරි තැන ඇගේ සිහිය විකල් වෙනවා. නමුත් බුදුරජාණන්වහන්සේ සම්මුඛ වුනාට පස්සෙ ඇය යථා තත්ත්වයට පත්වෙනවා. අවසානයේ ඇය විනයධාරීන් අතර අග්‍ර භික්ෂුනීන්වහන්සේ බවට පරිවර්තනය වෙනවා.

    බන්දුල මල්ලිකාව ගැන බෞද්ධ සාහිත්‍යය දන්න ඕනා කෙනෙක් දන්නවා. බන්දුල සෙනවියාගේ බිරිඳ තමයි බන්දුල මල්ලිකාව. ඇයට එක්තරා දවසක මහ විපත්තියක් වෙනවා. ඒ තමයි ඇගේ සැමියා සහ දරුවන් සියළු දෙනා කොසොල් රජතුමාගේ අණින් මරණයට පත්වීම. මේ වෙලාවෙදි ඇය ඉන්නෙ සැරියුත් ස්වාමීන්වහන්සේ ඇතුළු භික්ෂුන්වහන්සේලාට දානය බෙදමින්. ඇයට පණිවිඩය ලැබෙන තල්පත ඇය ඉනේ ගහගෙන දානේ බෙදනවා. ඒ අතරෙදි ඇගේ සේවිකාවක් අතින් ගිතෙල් භාජනයක් බිඳෙනවා. දානෙ බෙදන්න ගෙනාපු භාජනය බිඳීම නිසා මල්ලිකාවගේ හිත අවුල් වෙයි කියලා හිතපු ආනන්ද ස්වාමීන්වහන්සේ දේශනා කලා නැගණිය සියළු දේ බිඳෙන සුළුයි කියලා. බන්දුල මල්ලිකාව එවෙලේ කියනවා ඔය භාජනය මොකක් ද ස්වාමිනී, මගේ සැමියයි දරුවොයි මිය ගිහින් කියලා පණිවි⁣⁣ඩේ ලැබිලත් ඒ කිසි දේකින් මගේ හිත අවුල් වුනේ නැහැ කියලා.

    ජීවිතේ නැති වීම් වගේම අල්ලා ගැනීම් හුඟක් අපිට තියෙනවා. ඇහෙන් දකින දේවල්, කනෙන් අහන දේවල්, නහයෙන් දැනෙන ගඳ සුවඳවල්, දිවෙන් දැනෙන රසවල්, සිරුර මුල් වෙලා දැනෙන දේවල් නිසා තමයි මේ අල්ලා ගැනීම් කරන්නෙ. ඒ දේවල් සජීවී වෙන්නත් පුළුවන් අජීවී වෙන්නත් පුළුවන්. අපි ඒවා අල්ලගන්නවා. හරියට අපේ හුස්ම වගේ. මන් දැකලා තියෙනවා හුස්ම අතාරින්න අකමැති මිනිස්සු. හුස්ම ගියා කියන්නෙ පණ ගියා. හැබැයි හුස්ම අල්ලගෙන ඉන්නවා. අමාරුවෙන් වුනත් මොහොතක් ජීවත් වෙන්න ආශයි. සමහරක් වෙලාවට පුදුම විදියට භෞතික දේවල්වලට ආදරේ කරනවා. කොයිතරම් ද කියනවා නම් සමහරු අවුරුදු පහේ හයේදි ලැබුන දේවල්වලට තියෙන කැමැත්ත, අවුරුදු තිහේ හතලිහෙදිත් තියෙනවා. ඒ දේවල් පරිස්සම් කරන් ඉන්නවා. හදිසියෙ හරි ඒ දෙයක් කැඩුනොත් බිඳුනොත් දවස් ගණනක් අඬනවා, නිකන් නෙමේ නොකා නොබී. අල්ලා ගැනීම් ඒ වගේ.

    ජීවත්වෙද්දි, ප්‍රායෝගිකව අපිට දේවල් අල්ලගන්න වෙනවා අකමැති වුනත්. අද ලෝකෙ කන්න බොන්න අඳින්න පළඳින්න මුදල් අවශ්‍යයි. ඉතින් අපිට මුදල් හොයන්න වෙනවා. දේවල් පරිස්සම් කරගන්න වෙනවා. අනික අපි ජීවත් වෙන්නෙ තනිවම නොවෙයි. මෙනිසා අන්තර්මානව සබඳතා පවත්වන්න වෙනවා. ඒ අවස්ථාවලදී අපි නොදැනිම අපිට දේවල් අල්ලගන්න වෙනවා.

    ඊලඟට, අත්හරින්න ගියාම අපිට වැඩක් නැති දේවල් නැත්නම් අනුන්ගේ දේවල් හරි ලේසියෙන් අතාරින්න පුළුවන්. හැබැයි තමුන් තදින් අල්ලාගෙන ඉන්න දේවල්, තමුන් කැමැති දේවල් අතාරින්න අමාරුයි. කොටින්ම බැහැ. කොච්චර බණ ඇහුවත් කොච්චර දන් දුන්නත් තමුන්ගේ දේවල් ඇත්තට අතෑරගන්න පුදුම අමාරුයි. ඒ අල්ලා ගැනීමයි, අතෑරීම බැරි කමයි නිසා දුක්වෙන, අඬන, වැලපෙන මිනිස්සු කොයිතරම් නම් අපි වටේ ඉන්නව ද?

    ලෝකෙ තියෙන පිළිගන්න අමාරු වුනත් පිළිගන්න අකමැති වුනත් සත්‍ය තමයි හැම දෙයක් ම වෙනස් වෙනවා, කිසි දෙයක පැවැත්මක් නැහැ කියන එක. මේ වෙනස්වීම සහ පැවැත්මක් නොමැති වීම නිසා අපිට දුක දැනෙනවා කියන එක තවත් සත්‍යයක්. අල්ලාගැනීමෙයි අත්හැරීමෙයි මැද තියෙන්නෙ මේ සත්‍ය. ඒ සත්‍ය තේරුම් ගැනීම හිතන තරම් පහසු නැහැ. එහෙම පහසු වුනානම් කවුරුවත් දුකෙන්, ⁣ශෝකයෙන් ඉන්නෙ නැහැ. කවුරුවත් වැලපෙන්නෙ නැහැ. ඒත් ඇත්ත ඒක නෙමෙයි. සමහරු දුක් වෙන්නෙ තනියම, හොරෙන්. ලෝකෙට හිනා මූණ පෙන්වගෙන හිතෙන් වැලපෙනවා.

    බුදුරජාණන්වහන්සේ මිනිස්සුන්ට ඉගැන්වූයේ මෙන්න මේ දුකෙන්, වැලපීමෙන් ගැලවෙලා සතුටින් ඉන්න. මේවා කියද්දි සමහරු කියනවා බණ කියන්න එන්න එපා, ඕවා කරන්න පුළුවන් වැඩ ද කියලා. දෙයක් කරන්න බැරි කෙනාට බෑම තමයි. කවදහරි කෙනෙක් හිතනවා නම් මට සතුටින් ඉන්න ඕනා, හිනාවෙලා ඉන්න ඕනා කියලා ඒ කෙනා අනිවාර්යයෙන්ම යථාර්ථය දැනගෙන අත්හැරීම පුහුණු කළ යුතුයි. අත්හරින්න බැරි කෙනාට අල්ලාගැනීම රසවත්, හැබැයි අල්ලාගැනීමේ යථාර්ථය තේරුම් ගන්න අත්හැරීම අවශ්‍යයි. එහෙම නැති තාක් අල්ලාගැනීම තුළ ඇත්තේ දුකම පමණ යි.