තර්ස්ටන්වරයෙක් වීම “නයිට්” පදවියක් ලැබුව&#3535

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    තර්ස්ටන්වරයෙක් වීම “නයිට්” පදවියක් ලැබුව&#3535

    සන්නාගේ පෞරුෂ්‍යය හා ජීවිතය නිර්මාණය කළේ ඇත්තෙන් ම ඔහු වැදූ ඒ අම්මාගේ ආදරය හා කුසගින්න යැයි මම ද කියමි. ඉකුත් සති දෙක පුරාම අප කියැවූයේ වැලිමඩ සානුවේ බේසම් පතුලේ ජීවත් වූ ඒ පරම්පරාව කුසගින්නේ ජනානන්දයේ අකුරු කළ හැටිය. හපුතලේ කන්ද එපිටින් කොළොම්තොට සිට බදුලු ගිය කෝච්චිය ද ඔවුනට ‘හු’ කියාගෙන ගියේය. කරත්තකරුවා ද, ජනකවියාද හපුතලේ මේ කන්ද හා ප්‍රදේශය දුටුවේ පව්කළ ගොනුන්ට අදින්නට සිදුවූ මහා දුෂ්කර පව්වක් ලෙසිනි. එමතු ද නොව ඒ ගැල්කරුවා හපුතලේ කන්ද දැකලා බඩ දන බව කීවේය.
    ඒ අශිෂ්ට ග්‍රාමීය ලක්‍ෂණයන්ගෙන් පිරි සමාජය නිරුවත් කැර පෙන්වු සන්නස්ගල කොලොම්තොට පැමිණෙයි. ඒ තර්ස්ටන්වරයකු වීමටය. ඔහුගේ කොළොම්තොට ජීවිතය ඉතාම කටුකය; දුෂ්කරය; එමෙන් ම සුන්දරය.
    ඔහු කලක් ගල්කිස්ස පොළේ ‘ක්‍රෝටන්’ විකුණුවේය. සමහර විට නිදාගන්නට තැනක් නැතිව ගාල් කැර ඇති කෝච්චි පෙට්ටිවල නිදා ගත්තේය. ගාලු මුවදොර පිටියට යාබද බණ්ඩාරනායක ප්‍රතිමාව යටත් සමහර දාට ඔහුට සයනය වුණේය. කොළොම්තොට අකුරු කරන්නට පැමිණි මේ අහිංසක ගැමි දරුවා සමලිංගිකයන්, පාතාලයන්, ඩෝප්කාරයන්, පිම්පියන්, ගණිකාවන් ඇතුළු ඉහළ සමාජයේ මිනිසුන් අතරද ජීවිතය පොර බැදුවේය. තර්ස්ටනයේ මතක අතරින් සන්නස්ගල කියැවීම අද අපේ අරමුණයි.
    එදා සිට ජනානන්දයේ තිබුණු විශිෂ්ටතම සාමාන්‍ය පෙළ ප්‍රතිඵලය මගේ. 1979 දෙසැම්බර් තමයි මං සාමාන්‍ය පෙළ ලියන්නේ. සනත් ගමගේ කියන මගේ සමකාලීන ශිෂ්‍යයා තමයි ඊළඟට උසස් ප්‍රතිඵල ගන්නේ. එහෙම ප්‍රතිඵල අරන් ඉන්නකොට මටත් අප්පච්චිටත් පූ.බ. රත්නායක විදුහල්පතිවරයා දියතලාව ටවුමෙදි මුණගැහෙනවා. හේම රත්නායක මහත්මයත් පූ.බ. රත්නායක මහත්මයා පස්සෙන් එනවා. අපි හැතැප්ම දෙකහමාරක් පයින් එනවා අපේ ගෙවල් ළඟටම. ඒ එන ගමන් ප්‍ර.බ. රත්නායක – විදුහල්පතිතුමා අවවාද කරනවා අප්පච්චිට. “මේ ගොල්ලො තමයි කවරදා හෝ ලංකාව හදන්නෙ. මේ අයගෙ පෞරුෂ්‍ය තමයි හදන්ට ඕනෑ. මේ ගොල්ලො තමයි වීරයො. මේ අයගෙ වටිනාකම තේරුම් අරන් වැඩකරන්ට කියලා.
    as-1.jpg
    පාසල් සගයින් සමඟ...
    අප්පච්චි පළමුවැනි පියවර වශයෙන් තීරණය කරනවා මාව මහනුවර ධර්මරාජ විද්‍යාලයයට දාන්න. එහෙම බැරි නම් කිංස්වුඩ් එකට දාන්න. එහෙමත් බැරි නම් නුවර විද්‍යාර්ථෙට දාන්න. අපේ ගමේ හාමුදුරුවන් වහන්සේ නමක් හිටියා ඒ කාලෙ. උන්වහන්සේ විද්‍යාර්ථෙ නියෝජ්‍ය විදුහල්පති. අප්පච්චි මාව කෝච්චියේ දාගෙන නුවරට ඇවිත් ඒ පන්සලට යනවා. ගිහින් කියනවා.
    හාමුදුරුවනේ, මේකා සාමාන්‍ය පෙළ පාස්. මේකට ඉගෙන ගන්ඩ පුළුවන්. මට මේකාව දොස්තරවරයෙක් කරන්ඩ ඕනෑ. ධර්මරාජෙට දාලා දෙන්ඩ කියලා. හාමුදුරුවො ගත් කටටම කියනවා ‘බෑ’ කියලා. ඊළඟට කියනවා එහෙනම් හාමුදුරුවනේ කිංස්වුඩ් එකට. ඒත් අපේ ගමේ හපුතලේගම පඤ්ඤාලංකාර හාමුදුරුවො ‘බෑ’ කියනවා. ඊළඟට විද්‍යාර්ථෙ. ඒකටත් ‘බෑ’ කියනවා. මීට කලිනුත් අප්පච්චි මං නිසා මේ වගේ අවස්ථා දෙකකට මුහුණ දුන්නා.
    මගේ නළුවෙක් වීමේ ආශාව මුදුන්පත් කරන්ඩ එක්වතාවක් මාව එක්කරගෙන ගියා කුලියාපිටියේ චිත්‍රා ස්ටුඩියෝ එකට. ඒකෙ හිටියා ‘ශ්‍රී මදාරා’ චිත්‍රපටය කරපු නිෂ්පාදක දයානන්ද වන්නිආරච්චි. එයා වෙළෙඳ දැන්වීමක් දාලා තිබුණා ‘සරසවිය’ පත්තරේ විරාගයේ අරවින්දගේ ළමා කාලයට ළමා නළුවෙක් අවශ්‍යයි කියලා. අප්පච්චි ලොකු එළවළු කූඩයකුත් අරන් මාව එක්කරගෙන ගියා. එයා කීවෙ පත්තරකාරයො ඔය වගේ කතන්දර දානවා. ඕක කෙරෙන චිත්‍රපටයක් නොවේ.
    නිකම් දාලා කියලා. මේ පරිප්පුවත් කාලා තිබුණු හින්දා අප්පච්චි බොහොම කළකිරීමෙන් හිටියෙ මේ කාලෙ. ගෙදර ගැටලුත් තිබුණා. එකක් තමයි අම්මයි – අප්පච්චියි අතර ආරවුල්. ග්‍රාමීය සමාජයේ මේවා අමුතු දේවල් නොවේ. ගෑනියි – මිනිහයි බැන ගන්නවා. ගහගන්නවා. ගෙදරින් යනවා. දරුවොත් ගෙදරින් යනවා. මේවා තමයි ග්‍රාමීය ලක්‍ෂණ. මොකද? ග්‍රාමීය සමාජය අශිෂ්ටයි. අපේ ගමත් හරිම අශිෂ්ටයි. මේවත් එක්ක මට ගෙදර ඉන්න බැරි තත්ත්වයක් ඇතිවෙනවා.
    මට ඉස්කෝලයක් නෑ. මං දන්නවා ජනානන්දෙ ගිහින් මට වෛද්‍යවරයෙක් වෙන්ඩත් බෑ. මං ගෙදරින් පැනලා යනවා. මං එහෙම ඇවිත් පිළියන්දල – කිඳෙල්පිටියෙ අපේ ලොකු අයියලගේ ගෙදර ඉන්නවා. මං ඒ අතර නාට්‍ය පාඨමාලාවක් හදාරන්න තීරණය කරලා බෝකුන්දර තිබුණු ප්‍රේමකුමාර කරුණාරත්න ගුරුතුමාගේ ශාලිකාවට යනවා. එතුමා තමයි මගේ පළමුවැනි නාට්‍ය ගුරුවරයා. ඒකෙදි හම්බවෙනවා ග්‍රේෂන් පි‍්‍රයන්ත කියලා යාළුවෙක්. ඒ වගේම අද දිනමිණ කර්තෘ ගාමිණී ජයලත් හමුවෙනවා. ඒ වගේම සුරම්‍යා මාපිටිගම. රවීන්ද්‍ර යසස්. හොරණ චන්ද්‍ර සී. පෙරේරා. ඒකෙ දේශනවලට එනවා ආචාර්ය සාලමන් ෆොන්සේකා. මේ චරිතත් එක්ක පොඩි ගනුදෙනු ටිකක් කරන්ඩ පටක් ගන්නවා ඒ කාලෙ. ග්‍රේෂන් කියන මගෙ යාළුවා අඬගහනවා වරෙන්, මං උඹව පිළියන්දල සෙන්ට්‍රල් එකට දාන්නම් කියලා.
    කොහොම හරි ග්‍රේෂන් මාව ඒ ඉස්කෝලෙට දානවා. මේ විදියට ඒ ඉස්කෝලෙත් මාස තුනක් ඉගෙන ගන්නවා. මං ඔය කාලෙ අපෙ ලොකු අප්පච්චි පී.බී. සන්නස්ගල හම්බවෙන්ඩ ගිහින් කියනවා, අනේ මාව ‘රෝයල්’ එකට දාලා දෙන්න. ‘බෑ’ කියනවා.. ආනන්දයට දාලා දෙන්ට. ‘බෑ’ කියනවා. එහෙනම් ඉසිපතනෙට. නාලන්දෙට. ‘බෑ’ කියනවා. මං හිතට හයිය අරන් කොළඹ තර්ස්ටන් එකට යනවා සහිතක මිටියත් අරන්. ඒක තමයි තර්ස්ටනයට ඇතුළු වෙන්ඩ මට තිබුණු ලොකුම සුදුසුකම. මා ළඟ තිබුණා සහතික 350 කට වැඩි ප්‍රමාණයක්. ඒ සහිතක අතර කථික තරග සමස්ත ලංකා ජයග්‍රහයක් තිබුණා. ඒ තරගෙ තිබුණෙත් (මා ජනානන්දෙ ඉන්නා කාලෙ) කොළඹ තර්ස්ටනයේ.
    මං පළමුවැන්නා. මට හොඳට මතකයි දෙවැනියා වුණේ කොළඹ ආනන්ද විද්‍යායයේ නෙවිල් අජිත් කියලා කෙනෙක්. මං එතකොට ජනාන්ද 6 – 7 ශිෂ්‍යයෙක්. ඒක මෙහෙයැවුවෙ සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය. විනිශ්චය කළේ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ. පළමුවැනියාට තේරුණාම එතුමා කීවා. “පුදුම අනන්‍යතාවක් තිබෙන කථිකයෙක් ජනානන්දයෙන් ඇවිත් තියෙනවා” කියලා. ලංකාවෙ හොඳම කථිකයා කියලා මට ඉහළම කුසලානයක් ද ලැබුණා. කථික තරග, විවාද තරග, නාට්‍ය තරග, පන්තියෙ පළමුවැනියා වීම, ජන ගායනා තරග මේ විදියේ සහතික තොගයක්. මේ ටික දැක්කා විතරයි මට හොඳට මතකයි පි‍්‍රන්සිපල් ගුණසේකර කණ්ණාඩිය පැත්තකින් තියලා නළල රැළිගන්වා මා දිහා බැලුවා. මං ඒ විදියට තර්ස්ටන් ආවෙ.
    වෛද්‍යවරයෙක් වෙන්ඩ කොළඹ ආවත් විද්‍යා විෂයයන් කරලා මට ගොඩ යන්ඩ බැරි බව මට ටික දිනකින්ම තේරුණා. මං කලා විෂයයන් හැදෑරුවා. ඒ කාලෙ තමයි මං දුක් වින්ඳ කාලෙ.
    as-3.jpg
    හේලමක් මෙන් අතැර නොයන මිතුරන්ද ‘අමාවකි’
    මං නැවතිලා හිටිය ටික කාලයක් අත්තිඩියෙ සිසිරලගෙ ගෙදර. ඊට පස්සෙ මං නැවතුණෙ ගල්කිස්සෙ මෙඩේරිගම පෙදෙසෙ තුන් වැනි ගෙදර. ඒ කාලෙ තමයි මට මහේන්ද්‍ර පෙරේරා (නළුවා) හමුවන්නෙ ආපහු. ඊට කලින් මහේන්ද්‍ර අපේ ගමෙත් ගිහින් මගෙත් එක්ක (තණමල්විල පැත්තෙ මල් විශේෂයක්) පත්තු කරලා දුම් බීලා තියෙනවා. (8 වැනි පන්තියේදි). මහේන්ද්‍රලා උඩ ගෙදර. මං පහළ ගෙදර.
    ඒක ඉරේෂ් වීරප්පෙරුම කියන මගේ සමකාලීන ශිෂ්‍ය හිතවතාගේ ගෙදර. ඒ කාලෙ කමල් අද්දරආරච්චි හා වෙනත් අය මහේන්ද්‍ර හම්බ වෙන්ඩ එනකොට මගේ සංස්කෘතික ජීවිතය ගොඩ නැඟෙනවා. අපි නාට්‍ය බලන්ඩ යනවා. අද ඉරේෂ් වීරප්පෙරුම මීගමුවෙ ඉන්න නිමල් ලංසා කියන පළාත් ඇමැතිගේ ලේකම්.
    මේ කාලෙ තමයි මං ගල්කිස්ස පොළේ ‘ක්‍රෝටන්’ විකුණන්නෙ. තර්ස්ටන් එකේ යාළුවො මාව බලා ගත්තා. අදත් ඉන්නවා බ්‍රිගේඩියර් සත්‍යපි‍්‍රය ලියනගේ. මේජර් සමුදය මොල්ලිගොඩ. මේජර් මහින්ද හෙට්ටිආරච්චි, ගිහාන් අල්විස් වගෙ යාළුවො.
    මට කන්ඩ බොන්ඩ අමාරු වෙලාවක ඔය ගිහාන් තමන්ගෙ බෙල්ලෙ තිබුණු ‘චේන්’ එක විකුණලා මට සල්ලි දීලා තියෙනවා. තර්ස්ටනය ඉස්සරහා තියෙන ‘රහීම්’ හෝටලයෙන් මං හොරෙන් කනවා සමහරදාට. එහෙම හොරෙන් කාලා ගුටිකාලත් තියෙනවා. බිග් මැච් එකක් දවසක. මහින්ද හෙට්ටිආරච්චි (බොක්සර්) මගෙ යාළුවා. එයා තමයි ගහපු උන්ගෙන් මා බේරා ගත්තෙ. අදත් ඉන්නවා ඒ හෝටලයේ ‘නම්බර් වන්’ කියලා වේටර් මහත්මයෙක්.
    එයා කියයි මට ගහලා තියෙන විදිය හා හොරෙන් කාපු විදිය. ඒ වේටර් අපට ඕනෑ තරම් හොදි දෙනවා. හොදි කාලා බඩ පුරවා ගන්නවා. එදා තර්ස්ටනයේ මගේ බිල ගෙවූ යාළුවෙක් ඉන්නවා දැන් ඇමරිකාවේ. එයා සසංක. ඒ අය ගල්කිස්සේ හිටියෙ කොටුවෙ ව්‍යාපාර ආදිය තිබුණා. එයාට මිල මුදල් තිබුණා. ඒ නිසා තර්ස්ටනයේදි ජීවත්වීමේ අර්බුදය ආවෙ නෑ.
    මේ කාලෙදිම මං සුදර්ශියට ගිහින් අර මුලින් කියපු මල් දුම් ගහන්න පටන් ගත්තා. පිටකොටුවෙ ගෝල්ෆේස් එකේ රස්තියාදු ගහපු කාලෙ. ගණිකාවො, පිම්පියෝ, නපුසංකයෝ, කොන්ත්‍රාත් දෙන එවුන්, බොත්ල් හවුස්වල ඉන්න එවුන්, ඩෝප්කාරයො, බීච් එකේ කොන්දොස්තරලා, පාතාලයත් ඇසුරු කළ කාලෙ. ජීවිතේ ඕනෑම දේකට ඔරොත්තු දෙන්න පිටකොන්දක් හා කශේරුකාවක් මට ලැබුණේ ඒ හින්දයි. මේ මජර සමාජ ක්‍රමය ඇතුළේ ජීවත් වෙන්නෙ කොහොමද කියන අධ්‍යාපනය ලැබෙන්නෙ එතැනදි.
    ඒ වගේම මට මාර චරිත කීපයක් හම්බ වෙනවා තර්ස්ටනයේ. නියෝජ්‍ය විදුහල්පති මහින්දපාල මහත්මයා. මං ඉස්සෙල්ලාම මහගමසේකර හා කලා නිර්මාණ ගැන දේශනයක් කළාම ඉස්කෝලෙ සාහිත්‍ය සමිතියේදි මාව විවාද කණ්ඩායමේ හතරවැනි කථිකයා කරලා මට එතුමා කියනවා හෙට තියෙනවා ආනන්දෙ විවාද තරගෙට පලයන් කියලා. ඒකට මට ‘ටයි’ එකක් නෑ. ටයි එකක් රුපියල් තිස්පහයි. මට සල්ලි නැති නිසා මහින්දපාල සර් සල්ලි දීලා මට ටයි එක අරන් දෙනවා.
    ඊළඟට “බ්ලේසර්” එකක්. මම අහලත් නෑ. ගමේදි අපි කීවෙ කෝට් එක කියලනෙ. එතුමා තමන් ඇඳන් ඉන්න ‘බ්ලේසර්’ එක මට අන්දනවා. මා ළඟ කාලයක් තිබුණා ඒ ෆොටෝ එක. මගේ ඇඟිලිවලට එහා තියෙනවා කෝට් එක. අතට වඩා කෝට් එක දිගයි. ඒක ඇතුළෙ තියෙනවා ගුරුවරුන්ගේ සැබෑ ආදරය. මං ඒ තරගය දිනලා කුනලානය අරන් එනවා. මහින්දපාල මහත්තයා මාව විවාද කණ්ඩායමේ නායකයා කරනවා.
    ඊළඟට අපේ කලා අංශයෙ හිටියෙ කුසුම් දිසානායක මිස්. එතුමිය මහාචාර්ය ජේ.බී. දිසානායක මහතාගේ බිරිඳ. මං ලේඛක ප්‍රණාම උලෙළ කියලා උත්සවයක් පැවැත්වුවා. එතකොට වි.ජ.මු ලොකු බණ්ඩාර අධ්‍යාපන ඇමැති. මං අධ්‍යාපන ඇමැතිවරයාව උලෙළට ගෙන්නුවා. මට අවශ්‍ය වුණා ඒ අය ගමේදි නොසලකපු ළමයි දැන් තර්ස්ටනයේ ඉන්න හැටි පෙන්වන්න. ඒ ෆොටෝ එකත් මා ළඟ තියෙනවා. එතුමා අපේ ආරාධිත අමුත්තා. මේ උලෙළ කළේ කුසුම් දිසානායක මිස් හා විමලේන්ද්‍ර වතුරේගම කියන ගම්පහ කවියාගේ බිරිය වතුරේගම මිස්. මේ කාලෙදිම මං දැක්කා කුලසේන ෆොන්සේකාගේ ‘පාලම යට’ නවකතාව එළිදකිනවා. කුසුම් මිස් ළඟ මේ පොත තියෙනවා මා දැක්කා. මා එය දුටු බව තේරුම් ගත් කුසුම් දිසානායක මිස් “මං මේ පොතේ බාගයක් කියවලා තියෙන්නෙ.


    ඔයා සම්පූර්ණයෙන් කියවලා හෙට ගෙනැත් දෙන්න” කියලා පොත දුන්නා. ඒ කියන්නෙ ගුරුවරු මා කියවන ළමයෙක් කියලා තේරුම් ගෙන හිටියෙ. මං උසස් පෙළ හොඳම සාමාර්ථ ලැබුවාම ජේ.බී. සර් මිස් අතේ මට පොත් කට්ටලයක් එවනවා මෙහෙම ලියලා - හිත ඇත්නම් පත කුඩාද? ඒකෙ තිබුණෙ එහෙමයි.
    as-2.jpg
    විජමු පැමිණි දවසේ ගුරු මාපියන් සමඟ...
    අර මුලින් කියපු මේජර්වරු මගෙ යාළුවො ටික වගේම දෙහිවල ඕබන් පෙදෙස හිටියෙ ප්‍රේමචන්ද්‍ර කියලා යාළුවෙක්. මට කන්ඩ බොන්ඩ හරියට දීලා තියෙනවා. තර්ස්ටනය ඇතුළෙ මට පරිසරයක් හැදෙනවා. ශිෂ්‍ය නායක තෝරන ඡන්දයෙදි මේ අය මාව ප්‍රධාන ශිෂ්‍ය නායකයා කරනවා. ශිෂ්‍යයො මට ඡන්දය දෙනවා. හෝඩියෙ ඉඳන් 13 දක්වා ගියත් අමාරුයි ඒ තනතුර ලබන්න. මං අවුරුදු 2 කදි එතැනට තල්ලු කරන්නෙ ගුරුවරු හා යාළුවො. මං කාලයකට පස්සෙ තර්ස්ටනයට හොඳම ප්‍රතිඵලයක් ගෙනත් දෙනවා උසස් පෙළ විභාගයෙන් 1983 දී.
    කොළඹ විශ්ව විද්‍යාලයයේ ඉඳන් තර්ස්ටනය වෙන්වෙන්නෙ අඟල් 6 ක තාප්පයකින්. අපේ පංති කාමරය තිබුණෙ ප්‍රධාන ශාලාවට අල්ලපු ගොඩනැගිල්ලෙ දෙවැනි තට්ටුවෙ. මේ පංති කාමරයෙ දැලෙන් බලද්දි මට පෙනෙනවා කොළඹ කැම්පස් එක. කෙල්ලො කොල්ලො අත්වැල් බැඳගෙන ඇවිදිනවා. බංකු උඩ පාඩම් කරනවා! ලව් කරනවා. විශ්ව විද්‍යාලයයට ගියා වගේ ම තමයි. මේවා දකිනකොට ඒ සරසවියට යාමේ ආශාව මා තුළ හට ගන්නවා.
    මගෙ යාළුවො බිග් මැච්වලට, මට නුහුරු තැන්වලට මා ගෙන යනවා. මට නුහුරු ඇඳුම් පැලඳුම් මට දෙනවා. මා ළඟ තිබුණා ‘මොකැසිනෝ’ සපත්තු දෙකක්. මට යාළුවෙක් දෙනවා ‘ඩෙක් ෂූස්’ දෙකක්. ග්‍රේෂන් කියන මගේ මැරුණු යාළුවා මට දෙනවා කලිසම් 15 ක් හා ෂර්ට් 30 ක්. මං ලේඛක ප්‍රණාම උලෙළට හා කලා උලෙළට සමරු කලාපයක් කරනවා. ආදායම 30,000 ක්. ඒ කාලෙ ලක්ෂ 3 ක් වගේ. මං ඒ සල්ලි මහින්දපාල නියෝජ්‍ය විදුහල්පතිතුමාට හා ගුණසේකර විදුහල්පතිතුමන්ට ඉදිරිපත් කළාම ඒ අය කියනවා. “ඔය සල්ලි ඔයා තියාගන්ඩ. අමාරුවෙන් නේද කටයුතු කරගන්නෙ.. පිරිමහගෙන ඉගෙන ගන්ඩ කියලා. අන්න: තර්ස්ටනයේ වෙනස. මං කොළඹ. අප්පච්චි මා ළඟ ඒ වෙලාවෙ හිටියෙ නෑ. අම්මා ළඟ නෑ. ඥාතීන් සැලකුවෙ නෑ. මාව බලා ගත්තෙ තර්ස්ටනය කියන්නෙ ඒකයි.
    තර්ස්ටනයේ ඉන්නවා ලයිෂන් චණ්ඩි. හිටපු පොලිස්පතිවරයා තර්ස්ටන්වරයෙක්. ලංකා යුද හමුදාවෙ ඉහළ නිලවල ගොඩාක් ඉන්නෙ තර්ස්ටන්වරු. අපි කියන්නෙ එහෙමයි. මට තර්ස්ටන්වරු චණ්ඩිකම් ඉගැන්නුවා. කොන්ද නවන්න එපා. යාදින්න එපා.. අඬන්න එපා, අසාධාරණයට එරෙහි වෙන්න. මේවා තමයි මා උගත් චණ්ඩිකම්.
    ගමට වඩා මේ තර්ස්ටනයේ උන් යහපත්. මට බයිපාස් එකක් කළා දැනට අවුරුදු 2 කට ඉස්සරදි. ඒ වෙලාවෙ මාත් එක්ක ඉගෙන ගත් හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රශාන්ත ජයකොඩි. ඒ කාලෙ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයයේ අධ්‍යක්‍ෂක. එයා එහෙ ඉඳන් පොලිස් නිලධාරින් ගෙනැවිත් මට ලේ පයින්ට් හයක් දෙනවා. බයිපාස් එකෙන් පස්සෙ ආපු මගේ උපන් දිනයට සියලු ආහාර සම්පාදනය කළේ දමිත කියන තර්ස්ටන්වරයා. මේ ලිපිය පළවෙලා තව මාස 2 කින් පස්සෙ අපි මහින්දපාල සර්ගෙ ඉඳන් සියලු ගුරුවරු ගෙන්වා මහා සමරු උලෙළක් පවත්වනවා තර්ස්ටනයේ.
    දළුවත්ත ටීචර් ගල්කිස්සෙ හිටියෙ. එතුමියත් මට ආදරයෙන් සැලකුවා. දෛවෝපගත සිද්ධිවල හැටි බලන්න. මං කසාද බැඳලා මගේ බිරිඳත් එක්ක යළිත් ගමට යනකොට දළුවත්ත ටීචර් හිටියා බදුලු කෝච්චියෙ නැරැඹුම් මැදිරියෙ.
    මම ඔහු හා බොහෝ දේ කතා කළෙමි. ඒ සියල්ලම ලියන්නට බැරිය. එහෙත් ඒ කතාවේ නොලියූ කොටසක සාරාංශය මෙසේ ගොනු කරමි.
    ගම අශිෂ්ටයි. මාව ශිෂ්ට කළේ තර්ස්ටනය. ටයි කෝට් අඳින්න. ඉහළ සමාජයේ ජීවත්වන්ඩ. ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයෙ “චිල්” කරලා බියර් එකක් ගහන්ඩ. මට පුරුදු කළේ තර්ස්ටනය. ඒත් එහෙම ජීවත්වෙන ගමන් ගමට ගිහින් ගමේ ඇළේ දොළේ නාලා නියරක ඉඳන් බත් කන්ඩ මට පුළුවන්. ගංගා බීඩියක් බීලා සතුටු වෙන්ඩ පුළුවන්. කොළඹ තර්ස්ටනය මගේ ජීවිතය අලුත් කළා. ඒක තමයි මගේ වසන්ත කාලය. මල් පිපෙන කාලය. කොළඹ තර්ස්ටනයට යාම මට ගෞරවයක්. මමත් අද තර්ස්ටනයට ගෞරවයක් කියලා හිතනවා.
    තර්ස්ටන්වරයෙක් වීම නයිට් පදවියක් ලබනවා වගේ වැඩක්. කොළඹ සරසවිය, රහීමා හෝටලය, රාජකීය විද්‍යාලය, චිත්‍රපටි සංස්ථාව, ක්‍රීඩා පිට්ටනිය, රාජ්‍ය ලේඛනාගාරය මේ හැම දෙයින්ම වටවූ තවත් විදුහල්බිමක් මේ රටේ තියෙනවාද? හෙතෙම අසයි.
    ඔබේ වෛද්‍යවරයෙක් වන හීනය බොඳවෙලා ඔබ සාහිත්‍ය පැත්තට නැඹුරු වෙනවා. ඒ වගේම ගම හා නගරය අතර දෙකොණෙම පිහිටි දෙමුහුන් සංස්කෘතියකින් ඔබ බිහිවෙනවා. මම කීමි.
    හීන කියන්නේ හීනවලට. මං දෙමුහුන් මිනිහෙක් නම් නොවේ. මා කියන්නෙ මට දෙකටම ගැළපෙන්න පුළුවන් බවයි. සමහර විට මං දොස්තරවරයෙක් වුණා නම් ඒ අතර ගීතත් ලියාවි. නවකතාත් ලියාවි.
    සන්නාගේ සාවඥ හිනාහඬ මම අසමි.

    උපාලි සමරසිංහ


    http://www.silumina.lk/2012/08/26/_art.asp?fn=as1208261

    ඡායා - සුදම් ගුණසිංහ
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,401
    3,775
    113
    Colombo
    හපුතලේ,බණ්ඩාරවෙල,වැලිමඩ පැති වැල ඉන්නේ සුපිරි වැඩකාරයෝ තමා.දැනටත් එහෙමයි සහෝ.:yes:
    Mona unath sirama dial ekak tamaa.... :yes::yes::yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mamath Thurstan.

    2008 AL maths.

    :yes::yes:"ගමට වඩා මේ තර්ස්ටනයේ උන් යහපත්":yes::yes: