~ ත්‍යාගය මෙනෙහි කරමු - ත්‍යාගානුස්සති භාවනාව ~

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,486
    10,869
    113
    Colombo
    ත්‍යාගානුස්සති භාවනාව කරන ආකාරය පිළිබඳ කෙටි හැඳින්වීමක් කිරීම මෙම ලිපියෙහි අරමුණ වේ.

    පරිත්‍යාගය හෙවත් ත්‍යාගය භාවනාවක් වශයෙන් මෙනෙහි කිරීමට පිළිවන, එසේ තමන් සිදු කළ ත්‍යාගය පිළිබඳ මෙනෙහි කිරීම මඟින්, දන් දීමෙන් ලබන කුසල ඵල වලට අමතරව, චිත්ත සමාධිය උපදවා ගැනීමට ද හැකි වෙයි. ඔබ ‘ත්‍යාගානුස්සති’ භාවනාව වැඩීමට අදහස් කරන්නේ නම්, ආහාරයට ගන්නා දෙයින් ස්වල්පයක් හෝ සුදුසු ප්‍රතිග්‍රාහකයෙකුට පිළිගන්වමියි කියන අදිටන ඇති කරගත යුතු ය. එසේ අදිටන් කරගෙන ගුණවත්, සිල්වත් ප්‍රතිග්‍රාහකයෙකුට ශක්ති ප්‍රමාණයෙන් යමක් පරිත්‍යාග කර, ඒ දෙන ලද දානය පිළිබඳ මෙනෙහි කරමින්,

    මච්චේර මල පරියුට්ඨිතාය අජාය විගත මච්චරේන චේතසා විහරාම් මුක්ත චායෝගයපානී වොස්සග්ගරතෝ යාචයෝගෝ දානසංවිභාගරතෝ...... (අංගුත්තරනිකාය) සඳහන් පරිදි ‘ඒකාන්තයෙන්ම මට ලැබුණේ ලාභයකි. මසුරුකමෙන් මිඳුනෙමි. සම්පූර්ණ අයිතිය අතහැර දන් දෙන්නෙක් වෙමි. (මුක්තචාගෝ) සැමදා මගේ අතින් සකසා දන් දෙන්නෙක් වෙමි. (පයථපානී) නිරන්තරයෙන්ම දන් දෙන්නට කැමැත්තෙක් වෙමි. (වොස්සග්ගරතා) කිසිවකු විසින් ඉල්ලන ලද දෙය පරිත්‍යාග කිරීමට කැමැත්තෙක් වෙමි. (යාචයෝග) මැනවින් පිළියෙල කර සහ පරිභෝග කළ යුතු දෙයින් කොටසක් දන් දෙනු කැමැත්තෙමි. (දාන සංවිභාගරතෝ) යන ආදී වශයෙන් තමන් කළ පරිත්‍යාගය මෙනෙහි කළ යුතු ය. ඔබ ත්‍යාගානුස්සති භාවනාව ප්‍රගුණ කිරීමට කැමැත්තෙහි නම් නිරතුරුවම මැනවින් දන් පිළියෙළ කොට සිල්වත්, ගුණවත් ප්‍රතිග්‍රාහකයන්ට දන් දෙන, එමෙන්ම අනුභවය පිණිස සූදානම් කර ගත් ආහාරයෙන් පිඬක් හෝ දීමට කැමති පින්වතෙක් විය යුතු ය.

    ඔබ මෙයට පෙර දන් දී පුරුදු නැති අයෙක් නම් මෙම භාවනාව ඇරඹීමට ප්‍රථම සිල්වත්, ගුණවත් ප්‍රතිග්‍රාහකයකුට ආහාර ස්වල්පයක් හෝ පිළිගන්වා, ඉදිරි කාලයෙහි ද හැකි අයුරින් නොකඩවා දන් දෙමි යි කියන ස්ථිර වූ ද දැඩි වූ අධිෂ්ඨානයක් ඇත කර ගන්න. එසේ අධිෂ්ඨාන කරගෙන තමන් දෙන ලද දානයෙහි වටිනාකම මෙනෙහි කරමින් භාවනාව ආරම්භ කරන්න. මෙහිදී දානය වශයෙන් ආහාර පමණක් සැලකිය යුතු නැත. බෙහෙත්, ඇඳුම්, පැළඳුම්, නිවාස, පොත්පත්, කුමන දෙයක් වුවද අවස්ථාවෝචිතව යොදාගත හැකිය.දන් දෙන පින්වතුන්ට එයින් අත්වන ප්‍රතිලාභ රැසක් දක්වා ඇත. ‘ලාභෝවතමේ’ තමන්ට එයින් ලාභයක් අත්වෙයි. ‘ආයුංකෝපන දත්වා ආයුස්සභාගීහෝති දිබ්බස්සවා මනුස්සස්සවා, ‘ආයුෂ දෙන නිසා තමන් ලබන දිව්‍ය මනුස්ස ආත්මවල ආයු ප්‍රමාණය වැඩි වෙයි. ‘දදංපියෝහෝති භංජන්තිනං බහුං’ දන් දෙන පුද්ගලයා ලෝකයට පි‍්‍රය වෙයි. ‘සතං ධම්ම මනුක්ඛමං’ ඔහු සත්පුරුෂ ධර්මයට අනුව කටයුතු කරන්නෙක් වෙයි. බුදුහිමියන් විසින් දන්දීම ගැන ආනිසංස වදාරණ ලද්දේ යම්සේද එම ආනිසංස තමන්ට ද අත් වන්නේ ය. දීමෙහි වටිනාකම ගැන මෙසේ ධර්මානුකූලව අවබෝධයක් ලබා ගත් ඔබ ත්‍යාගානුස්සති කමටහන වැඩීමට සුදුසු අවස්ථාවට පත්ව සිටින්නෙහිය.

    භාවනා කිරීමට සුදුසු විවේක ස්ථානයට යා යුතු වෙයි. භාවනා කිරීමට නොසුදුසු ස්ථාන 18 ක් තිබෙන බව ‘විසුද්ධි මාර්ගයෙහි’ දක්වා ඇත. මැනවින් සිත කය සංවර කර ගත් යෝගියාට කුමන ස්ථානයකදී වුවද සිත එකඟ කැර ගත හැකිය. සිදුහත් බෝසත් තුමා තෝරා ගත්තේ උරුවෙල් දනව්වයි. කඳු බෑවුමක පිහිටි ගල් ගුහා ප්‍රදේශය අද ද නිහඬ, නිස්කලංක භාවනාවට උචිත පරිසරයකි.

    සුදුසු ස්ථානයකට ගොස් පහසු ඉරියව්වෙන් වාඩි වී භාවනා කිරීම ඇරඹිය යුතුය. බුද්ධානුස්සති වැනි කර්මස්ථානවල මෙන් මූලික පූර්ව කෘතීන් සිදු කර, තමන් කරන ලද දානමය පුණ්‍ය කර්මය පිළිබඳ සිතමින් සතුට ඇති කැර ගත යුතු ය. ඉදිරි කාලයෙහි තව තවත් ත්‍යාගයන් කරන බව සිතමින් වඩාත් සතුටක් ඇති කර ගන්න. .... සාධු.... සාධු දීම නිසා මට ඒකාන්තයෙන්ම ඇති වූයේ ලාභයක්මය. දිව්‍ය මනුස්ස සැප සම්පත් ලැබීමට සුදුස්සෙක් වුණෙමි... දන් දීම උතුම් ලාභයකි.... මෙසේ සිටීම් ඉඳීම් වශයෙන් සජ්ඣායනා කරමින් භාවනා කළ යුතුය. අනතුරුව ‘සාධු.... සාධු දන් දීම නිසා බුද්ධ ශාසනයෙන් නියම ඵල ප්‍රයෝජන ලබා ගත්තෙමි. මිනිස් ආත්මයෙන් නියම ප්‍රයෝජන ලබා ගත්තෙමි.... දන් දීම උතුම්ය.... මෙලෙස හොඳින් ප්‍රගුණ වන තුරු භාවනා කළ යුතු ය. ඉන් අනතුරුව, දන් දීමෙන් ලාභ ප්‍රයෝජන කිසිවක් බලාපොරොත්තු නොවෙමි.... පූර්ණ අයිතිය අත්හැර දමන්නෙමි.... මගේ දානය ඉතා උතුම්ය.... මෙම කොටස් ඉහත සඳහන් කොටස් සමඟ සම්බන්ධ කර ගනිමින් එක් වරකට පැයක් හමාරක් භාවනා කළ යුතු ය.

    ඉන් පසුව.... ‘මගේ අතින් පිළියෙල කර පිරිසුදු සිතින් මුල, මැද, අග යන තුන් කාලයේ හිත පහදා ගෙන දෙන ලද මගේ දානය ඉතා උතුම්ය... පරිත්‍යාග චේතනාවෙන් නොකඩ කොට, නොවරදවාම නිරතුරුවම දෙන ලද මගේ දානය ඉතා උතුම්ය... මා වෙත පැමිණෙන සිල්වතුනට, දුගී, මගී, යාචකයන්ට පිරිසුදු සිතින් දෙන ලද දානය ඉතා උතුම් ය.... මගේ දානය ගෞරවයෙන් පිළියෙල කරන ලද්දක් ය. මගේ ආහාරයෙන් කොටසක් නොවරදවාම දන් දෙමි..... දන් දීම මහා සැපතකි.... මාගේ දානය ඉතා උතුම් ය....

    මෙලෙස සජ්ඣායනා වශයෙන් මෙම සියලු කොටස් සති කිහිපයක් භාවනා කර, අනතුරුව මනසිකාර භාවනාවට යොමු විය යුතු ය. හොඳින් ප්‍රඟුණ වනතුරු නොකඩවා මෙම භාවනාව කළ යුතු ය. මෙම භාවනාව දිගින් දිගටම කරන විට ඔබගේ සිත තුළ පිහිටි රාග, ද්වේෂ, මෝහ, සිතිවිලි සන්සිඳී යනු ඇත. ත්‍යාගවන්ත බව අරමුණු කරගෙන සිත සෘජු බවට පත් වේ. කාමච්ඡන්ද ආදී නීවරණ පහව ගොස් ධ්‍යාන උපදවා ගත හැකි වෙයි. තම භාවනාවෙහි උතුම් බවත්, එහි ආනිසංසත් විවිධ අයුරින් මෙනෙහි කරත්ම නීවරණ යටපත්ව ‘විතර්කය’ පහළ වෙයි. මනසිකාර අරමුණෙහිම විතර්කය පහළ වන විට ‘විචාරය’ දියුණු වෙයි. කෙළෙස් කසට දුරු කර සන්සුන්ව භාවනා කිරීමෙන් ‘පී‍්‍රතිය’ හට ගනියි. එම පී‍්‍රතිය නිසාම සිත සැහැල්ලු බවට පත්ව බලවත් වූ ‘සුඛය’ පහළ වෙයි. මෙලෙස චිතක්ක, විචාර, පී‍්‍රති, සුඛ යන ධර්ම හතර අනුව සිත යොමු කරමින් තව දුරටත් භාවනා කරන විට සිතෙහි ‘ඒකාග්‍රතාවය’ පහළ වෙයි. මෙහි දක්වන පරිදි ත්‍යාගානුස්සති භාවනාව වඩන පින්වතුන් නිරතුරුවම ත්‍යාගශීලිව කටයුතු කරති. ඔහුගේ හෝ ඇයගේ සිතෙහි ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි හට නොනගියි. කරුණා, මෛත්‍රි, සිතිවිලි ඇතිව කටයුතු කරයි. ඔහු හෝ ඇය විශාරද බවට පත් වෙයි. නිතර සතුටින් කාලය ගත කරති.
     
    • Like
    Reactions: kinkon