සතියේ මාතෘකාව වන "තිකෝ නෝනාගේ සල්ලි ආයෝජනය" මැද්දට පොඩි බෝම්බයක් අතාරින්න අවසරයි.
තිකෝ නෝනා විතරක් නෙමෙයි මේ ලෝකේ "සාර්ථක, දක්ෂ ව්‍යාපාරික" කියල පුම්බල උඩ තියල තියෙන බොහෝ චරිත එතනට ඇවිල්ල තියෙන්නෙ ඊනියා දක්ෂකමක් නිසා නෙමෙයි. සීයෙට 99ක් ම වාසනාව නිසා. නැත්නම් අනුන්ගේ මහන්සිය නිසා. තිකෝ නෝනලා වගේ අයට අපි අහුවෙන්නේ, අර අපේ හිතේ තියෙන බිල් ගේට්ස්, ඊලන් මසක් වගේ හීන චරිතවලට ළං වෙන්න තියෙන පෙරේතකම නිසා.
එක උදාහරණයක් පල්ලෙහායින් දෙන්නම්.
බිල් ගේට්ස්: මෝටිවේෂන් පොත් 100ක් ගත්තොත් 99ක ම "හාවඩ් විශ්වවිද්‍යාලයයට පයින් ගහල එළියට ඇවිල්ල මයික්‍රොසොෆ්ට් එක හදපු මනුස්සයා" කියන පට්ටපල් බොරුව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න ලොන්තපෝල් ගොබ්බයො ඒක ආදර්ශයට අරං උනුත් ඩ්‍රොප්-අවුට් වෙන්න හදනවා. මේ හදන්නෙ පොත්වල නොකියන කතාව කියන්න. බිල් ගේට්ස්ගේ අම්මා මේරි මැක්ස්වෙල් ගේට්ස් කියන්නේ සල්ලි වැක්කෙරෙන පවුලක දුවක්. ඇගේ සීයා සියැටල් නැෂනල් බැංකුවේ සභාපති. ඇගේ තාත්තා ව්‍යාපාරික. මේරි මැක්ස්වෙල් හෙවත් බිල් ගේට්ස්ගෙ අම්මා කසාද බැන්දේ නීතිඥයෙක්. ඔහු පස්සේ සියැටල්වල ධනවත් ම නීතිඥයෙක් වුණා. ගේට්ස් දෙමාපියන් බිල් ගේට්ස්ව දැම්මේ ලේක්සයිඩ් කියන පෞද්ගලික පාසලට. ලේක්සයිඩ් පෞද්ගලික පාසලේ මවුවරුන්ගේ සංගමයක් තිබුණා. ඒ සංගමයේ annual sale එකෙන් ලැබුණු ලාභය පාවිච්චි කරලා ඉස්කෝලෙට අලුතෙන් පූල් එකක් හදන්න යෝජනා වුණා. අන්න ඒ වෙලාවේ මේරි තමයි මැදිහත් වෙලා, පූල් එකක් වෙනුවට කම්පියුටරයක් පාවිච්චි කරන්න ගම්මු කියන යෝජනාව දැම්මේ.
මතක තියාගන්න ඒ කාලේ කම්පියුටරයක් කියන්නේ සම්පූර්ණ කාමරයක් පිරෙන මහවිසාල භාණ්ඩයක්. පර්සනල් කම්පියුටර් කියල දෙයක් ලෝකේ හැදිලා තිබුණේ නැහැ. පරිගණක තිබුණේ විශ්වවිද්‍යාල සහ විසාල සමාගම් කීපෙක විතරයි. එහෙම තිබුණු ය මොකද කළේ කම්පියුටර් එක තමන් පාවිච්චි නොකරන වෙලාව අනුන්ට කුලියට දුන්නා වියදම පියවගන්න. එහෙම කොලේජ් එකක් තිබුණා සියැටල් කිට්ටුව. ගේට්ස්ගේ අම්මා මොකද කළේ, අර පූල් එක හදන්න තිබ්බ සල්ලිවලින් අසල්වැසි ඒ කම්පියුටරය පාවිච්චි කරන්න වෙලාව සල්ලිවලට ගත්තා. එහෙම තමයි බිල් ගේට්ස් කුඩා කල පටන් ප්‍රෝග්‍රමර් කෙනෙක් වෙන්නෙ. රෙස්ට් ඉස් හිස්ට්‍රි.
පාඩම: ගේට්ස් සරසවි අධ්‍යාපනය අවසන් කළේ නෑ මොකද ඊට කලින් ළමා කාලයේ පටන් ම මිලියනපතියෙක් වෙන්න අවශ්‍ය දැනුම ඔහුට ලැබුණු නිසා. ගේට්ස්ගේ අම්මා මේරිට "ඉවක්" තිබුණා පරිගණකය කියන්නෙ අනාගතේට මොන වගේ වැදගත් දෙයක් වේවි ද කියල. ඒ නිසා තමයි ඈ තනියෙන් ම වගේ මහන්සි වෙලා ලේක්සයිඩ් පෞද්ගලික පාසලේ ළමයින්ට පරිගණකයක් පාවිච්චි කරන්න අවස්ථාව අරන් දුන්නේ. ඒ දැනුම මේරිට ලැබෙන්නෙ ඇයත් සල්ලිකාර ව්‍යාපාරිකයකුගේ දුවක වීම නිසා. බිල් ගේට්ස් වයස 06දී ලෝකේ ඉහළම වර්ගයේ පරිගණකයක් පාවිච්චි කරලා කෝඩින් ඉගෙනගන්නකොට ඔහුගේ වයසේ අනෙක් ළමයි බහුතරයක් කම්පියුටරයක් කියන එක අහලවත් නැහැ. අවසාන විග්‍රහය ගත්තම බිල් ගේට්ස් කියන්නෙ කුඩා කල පටන් ම අනෙක් ළමයින්ට නොලැබුණු ස්වර්ණමය අවස්ථාවක් ලැබුණු වාසනාවන්ත සහ වරප්‍රසාද ලත් ළමයෙක්. ඒ වරප්‍රසාදය ඔහු තමන්ගේ ජීවිතේ රැකියාව බවට පත් කරගත්තා. එච්චරයි.
හෙට ලියනවා ටෙක්නොෆයිල්ස්ලගේ සිහින කුමාරයා හෙවත් ඊලන් මසක් ගැන.
