තෙල් වල SAE අගය

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොකක් ද මේ තෙල් වල SAE අගය කියන්නෙ?
    දුස්ස්‍රාවිතාවය කියන්නෙ? ඒක වැදගත් වෙන්නෙ ඇයි?
    දැන ගමු කෙටියෙන්...

    තේරෙන විදියට කියනව නම් දුස්ස්‍රාවිතාවය (Viscosity) කියන්නෙ මොකක් හරි ද්‍රවයක් ගලා ගෙන යෑමට දක්වන ප්‍රතිරෝධය පිළිබඳ මිනුමක්. උදාහරණයක් විදියට අපි ජලය යි මී පැණියි ගමු. අපි දන්නවා බෝතලයකින් ජලය වත්කරනකොට ඉතා පහසුවෙන් ගලා ගෙන යනවා. හැබැයි බෝතලේක තියන මී පැණි? එහෙම නෑ නේද? ගලා ගෙන යන්න ප්‍රතිරෝධයක් දක්වනවා. අපි ඒක ටිකක් ලස්සන කරලා බර වචන එහෙම දාලා කියනවා දුස්ස්‍රාවිතාවය කියලා. එහෙනම්, ප්‍රතිරෝධය අඩු ඒවගෙ දුස්ස්‍රාවිතාවය අඩුයි. වැඩි ඒවගෙ දුස්ස්‍රාවිතාවය වැඩියි. ඒ කියන්නෙ ජලයේ දුස්ස්‍රාවිතාවය අඩුයි, මී පැණි වල දුස්ස්‍රාවිතාවය වැඩියි.

    01. දැන් බලමු මේක ලිහිසි තෙල් (Lubricants) වලට යෙදෙන්නෙ කොහොම ද කියලා...
    ලිහිසි තෙල් වල දි දුස්ස්‍රාවිතාවය කියන්නෙ ඉතාම වැදගත් කාරණයක්. මේ දුස්ස්‍රාවිතාවය, තාප හුවමාරුව සහ ඝර්ෂණය අඩු කිරිමේ හැකියාව කියන සාධක වලට සෘජුව ම බලපානවා. අපි මේ දුස්ස්‍රාවිතාවය මනින්නෙ mPa s (මිලි පැස්කල්-තත්පර) වලින් නැත්තම් cP (සෙන්ටි පොයිස්) වලින්. ඒත් අපි හැම කෙනෙක්ට ම මේවා තේරෙන්නෙ නැති නිසා අපි ඔය කියන ඒකක පාවිච්චි කරන්නෙ නෑ. ඒ වෙනුවට අපි එදිනෙදා ජීවිතයෙ දි පාවිච්චි කරන්නෙ දුස්ස්‍රාවිතා ශ්‍රේණි (Viscosity Grades). අන්න ඒකට තමා අපි SAE අගය කියලා කියන්නෙ.

    02. ඇයි SAE කියන්නෙ? මොනව ද ඒකෙ grades?

    SAE - Society of Automotive Engineers
    මෙන්න මේ කියන SAE grades හඳුන්වා දීලා තියෙන්නෙ ඔය ඉහතින් කියන ලෝකය පුරා ම විහිදිලා ඉන්න පුද්ගලයින්ගෙන් සෑදුනු පිළිගත් ඉංජිනේරු සංගමයකින්. ඉතිං මේ කට්ටිය තමා අදාල grading කිරීම නැත්තම් ශ්‍රේණිගත කිරීම සිදු කරන්නෙ. එහෙම ශ්‍රේණිගත කරපු දත්ත තියන වගුවක් තියවා. ඒක හඳුන්වන්නෙ SAE J 300 table කියලා.

    උදාහරණ විදියට SAE 0W-40, SAE 5W-30, SAE 15W-40, SAE 16, SAE 30, SAE 60 වගේ ශ්‍රේණිගත කිරීම් කරලා ඒවට අංක දීලා තියනවා.

    03. SAE ශ්‍රේණි හඳුනා ගමු...

    SAE අංක වල තියනවා 'W' සඳහන් වුනු අංක වගේ ම සඳහන් නොවුනු අංක. මේ "W" සඳහන් අංක වලින් අදහස් කරන්නෙ ශීත කාලයට අදාල ශ්‍රේණි (winter grades) කියන එක, එසේ අංක සඳහන් නොවන ඒවා ගිම්හාන කාලයට අදාල ශ්‍රේණි (Summer grades)කියන එක. (අපේ රටේ මේ සෘතු වෙනස නැති උනාට වෙන රටවල් වල තියනවා. මේ SAE grades ලෝකයට ම ගැලපෙන විදියට තමා හදලා තියෙන්නෙ. ) ඉතිං මීට අවරුදු ගාණකට කලින් නම් මේ තෙල් වර්ග අයත් වුනේ එක ශ්‍රේණියකට විතර යි. අපි ඒවට කියනවා Mono-grade කියලා. එතකොට මේ කාල වෙනස් වෙනකොට engine oil ඒ කාලයට (සෘතුවට) ගැලපෙන්න මාරු කරන්න සිද්ධ වුනා. ඒ දුස්ස්‍රාවිතාවය (viscosity) උෂ්ණත්වය සමඟ වෙනස් වෙන නිසා. ඒත් පසු කාලීනව කෘතිම තෙල් (synthetic oil) හඳුන්වා දුන්නා. මේවාගෙ ඔය කියන දුස්ස්‍රාවිතාවය උෂ්ණත්වයන් වෙනස් උනාට ඉතාමත් ම කුඩා ප්‍රමාණයකින් වෙනස් උනත් සැලකිය යුතු මට්ටමකින් වෙනස් වෙන්නෙ නෑ. ඒ කියන්නෙ සීතල වෙනකොට දුස්ස්‍රාවිතාවය අඩු වෙන්නෙවත් උණුසුම් වෙනකොට දුස්ස්‍රාවිතාවය වැඩි වෙන්නෙ වත් නෑ. ඉතිං ඒ නිසා අපි ඒවට කියනවා Multi-grade oil කියලා. ඒ කියන්නෙ මේවා ශ්‍රේණි කිහිපයකට අදාල වෙනවා.

    අපි ගමු SAE 5W-30 කියන ශ්‍රේණිය.
    මේ ශ්‍රේණියෙ;
    5W කියන්නෙ ශීත කාලයට අදාල වන ශ්‍රේණිය
    30 කියන්නෙ ගිම්හාන කාලට අදාල වන ශ්‍රේණිය

    ඔය දෙක ම එකතු කරලා අපි කියනවා SAE 5W-30 කියලා.

    04. එහෙනම් මොකක්ද තෙල් වල හොඳම දුස්ස්‍රාවිතාවය (Best viscosity)?

    එහෙම කියලා විශේෂ එකක් නෑ. හොඳම දේ තමා නිෂ්පාදකයා නිර්දේශ කරන ශ්‍රේණිය භාවිතා කරන එක. ටිකක් පරණ වාහන වලට 10W-30 කියන ශ්‍රේණිය ගැලපෙනවා. අළුත් වාහන සඳහා නම් අඩු දුස්ස්‍රාවිතාවයක් සහිත 5W-30, 0W-30 වගේ ඒවා ගොඩක් ම ගැලපෙනවා. සමහර වෙලාවට 0W-20 ත් අවුලක් නෑ. හැබැයි ඒ වගේ ම තවත් වැදගත් කාරණයක් තියනවා. ඒ තමයි තෙල් වල වැදගත් වෙන්නෙ දුස්ස්‍රාවිතාවය විතරක් නෙමෙයි කියන එක. නිෂ්පාදකයා තෙල් සඳහා නිර්දේශ කරන තවත් විශේෂ කාරණා තියනවා (Specifications). උදාහරනයක් විදියට API-SN, GM Dexos1 or GM Dexos2 වගේ විශේෂිත කිරීම්. එතකොට එන්ජින් ඔයිල් දානකොට මේ පිළිබඳ විශේෂයෙන් ම සැලකිලිමත් වෙන්න ඕන වාහනේට ආදරෙයි නම්. කිසිම වෙලාවක නිෂ්පාදකයා සඳහන් කරලා තියන specifications වලට වඩා අඩු specification එකක් පාවිච්චි කරන්න එපා. හැබැයි වැඩි specification එකක් කමක් නෑ. (SAE grade එක එහෙම නෙමෙයි.) මේ ගැන වාහනයේ අත්පොතේ පැහැදිලිව සඳහන් වෙනවා.

    Mineral, Semi-Synthetic, Fully-Synthetic oil වෙළඳපොලේ තියනවා. මේකෙන් Fully-synthetic oil හොඳයි ටිකක් මිලෙන් වැඩි උනත්.

    එහෙනම් ඊළඟ පාර එන්ජින් ඔයිල් මාරු කරනකොට මේ ගැනත් සැලකිලිමත් වෙන්න. තමන්ගෙ වාහනයට සුදුසු ම ඔයිල් එක යොදා ගන්න. ගණන් අඩු එක නෙමෙයි.

    ඉදිරියෙදි තව post එකකින් කියන්නම්
    Engine oil අඩු වෙන්නෙ ඇයි? Engine oil consumption කියන්නෙ මොකක් ද? ඒවට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැන...

    භාවිතා වූ ඉංග්‍රීසි වචන
    01. Viscosity - විස්කෝසිටි
    02. Lubricants - ලුබ්‍රිකන්ට්ස්
    03. Automotive - ඔටෝමේටිව්
    04. Winter grade - වින්ට(ර්) ග්‍රේඩ්
    05. Summer grade - සම(ර්) ග්‍රේඩ්
    06. Synthetic - සින්තටික්
    07. Specification - ස්පෙසිෆිකේෂන්
    08. Mineral - මිනරල්

    SAE J 300 Table : http://www.widman.biz/English/Tables/J300.html

    කලින් පෝස්ට් බැලුවෙ නැත්තම් මෙතනින් බලන්න.

    01. මොනව ද Catalytic Converters කියන්නෙ?
    https://www.facebook.com/groups/Carindustrial/permalink/784360981725781

    02. DPF ගැන සරළව!
    https://www.facebook.com/groups/Carindustrial/permalink/785786064916606


    Artical by Dhanajaya kasun Dk