තොරතුරු දැනගැනීමේ අයිතිය (Right to Information)

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    තොරතුරු දැනගැනීමේ අයිතිය (Right to Information)

    තොරතුරු දැනගැනීමේ පනත කියන්නෙ කාලයක් තිස්සේ අපේ රටේ කතාබහට ලක්වෙච්ච මාතෘකාවක්. කාලෙන් කාලෙට හැංගිමුත්තම් කෙළිමින් ආපු මේ තොරතුරු දැනගැනීමේ අයිතිය (Right to Information හෝ RTI) පිළිබඳ කතන්දරේ මේ පාර නම් ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක වෙන්නයි යන්නෙ. පරක්කු වෙලා පරක්කු වෙලා, කොහොමින් කොහොමින් හරි පහුගිය අවුරුද්දෙ අගෝස්තුව වෙනකල් මේ වැඩේට අනුමැතිය ලැබෙන එක කල්ගියා. හැබැයි පරක්කු උනාට මොකද හොඳ දෙයක් සිද්ධ වෙනවනම් නේද?

    ඒත් මොකක්ද මේකෙන් ලැබෙන හොඳේ? විශේෂයෙන්ම අපි වගේ සාමාන්‍ය ජනතාවට මේ පනතෙ කිසි වැදගැම්මක් තියේවිද?

    අනිවා තියෙනවා. හැබැයි ඒ ප්‍රයෝජනේ ලබාගන්න නම් අපි මේ ගැන දැනුවත් වෙලා ඉන්න ඕනෙ මුලින්ම. ඒ දැනුවත් කිරීමට තමයි අනිවා අපි මේ ලිපිය ලියන්නෙ.



    1. මොකක්ද මේ තොරතුරු දැනගැනීමේ පනතින් කෙරෙන්නේ?




    ඕනෑම රාජ්‍ය ආයතනයකින් හෝ මහජන මුදල් පරිහරණය කරන රාජ්‍ය නොවන ආයතනයකින් තොරතුරු ලබාගැනීමේ ජනතා අයිතිය තහවුරු කරන එකයි.

    සාමාන්‍ය ජනතාව වෙන අපිට රජයේ ඕනෑම ආයතනයකින් වාර්තාගත තොරතුරු ලබාගන්න අයිතියක් ලබාදීම තමයි සරළවම කියනවනම් මේකෙන් සිද්ධ වෙන්නෙ. රජයේ ආයතන කිවුවම රජයේ අමාත්‍යංශ, නගර සභා, ප්‍රාදේශීය සභා, අධිකරණය වගේ ඒව විතරක් නෙමෙයි රජයේ අරමුදල් වලින් පාලනය වෙන ඉස්කෝල සහ විශ්ව විද්‍යාල, පොලිසිය වගේ දෙපාර්තුමේන්තු, එතකොට රජයේ ටෙන්ඩර් අරන් තියන පෞද්ගලික ආයතන පවා මේ තොරතුරු ලබාදෙන්න බැඳී ඉන්නව. දේශීය රාජ්‍ය ආයතන විතරක් නෙමෙයි, විදෙස් රටක මූල්‍ය ආධාරයෙන් අපේ රටේ ක්‍රියාත්මක වෙන රාජ්‍ය නොවන සංවිධාන උනත් මේ පනත යටතේ අපිට තොරතුරු ලබාදෙන්න බැඳෙනව.



    2. තොරතුරු ලබාගන්න පුලුවන් මොන ආකාරයෙන්ද?



    එක විදිහකට කියලා නෑ. ලේබන, ඊමේල්, වීඩියෝ ආදී ඕනෑම ආකාරයකින් ලබාගන්න පුලුවන්.

    ඒ අදාල තොරතුර සටහන් වෙලා තියන ඕනෑම ස්වරූපයකින් යුතුව අපිට ලබාදෙන්න කියල ඉල්ලන්න පුලුවන්. ලේඛන, ඊමේල්, ගිවිසුම් වාර්තා, මාධ්‍ය නිවේදන, චක්‍රලේඛ වගේ බොහොමයක් ආකාර වලින් මේ තොරතුරු අපිට ලබාගන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි. වීඩියෝ සහ හඬපටි හැටියට උනත් අපිට මේ තොරතුරු ලබාගන්න පුලුවන්.



    3. මොකක්ද තොරතුරු ලබාගත්තයි කියල ඇතිවෙන වෙනස?


    අපේ බදු මුදල් වලින් හරි වැඩක් ගන්නවද? අපේ මූලික අයිතීන් සුරැකෙනවාද කියන එක ගැන ඉස්සරට වඩා දැනුවත් වෙන්න පුලුවන්.

    දැන් මේ තොරතුරු ලබාගන්න පුලුවන් කිවුවට ඒකෙන් වෙන වෙනසක් ගැන තේරුණේ නැද්ද තාම? අපි පොඩි උදාහරණයක් දෙන්නම්. හිතන්න ඔයාගෙ ඉඩමක් සම්බන්ධ පරණ ලේඛනයක් ගැන විමසන්න ඔයා ප්‍රාදේශීය සභාවක් වගේ රජයේ ආයතනයකට යනව කියල. කොච්චර කට්ටක් කන්න වෙන වැඩක්ද කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. සමහර තොරතුරු ගන්න මාස ගණන් රස්තියාදු වෙන්න වෙනව, තවත් සමහර තොරතුරු අපිට දෙන්න බෑ කියලත් නිලධාරියො කියනව.

    දැන් මේ පනතෙන් පස්සෙ තමන්ගෙ ලේඛනයක් ගැන විතරක් නෙමෙයි. තමන්ගෙ ගේ ඉස්සරහින් හැදෙන පාර සම්බන්ධ තොරතුරු පවා ඔබට ලබාදෙන්න ඒ අය බැඳී ඉන්නව. කොච්චර මුදලක් වියදම් වෙනවද? පාර හැදෙන්නේ ප්‍රමිතියට අනුවද? මේකෙ නීත්‍යානුකූල තත්ත්වය මොකක්ද? වගේ විමසීම් ගොඩක් කරන්න අපිට අයිතිය ලැබෙනව. අපි ගෙවන බදු මුදල් අපතේ යෑමකට ලක්වෙනවද කියල බලන්න හැකියාවක් ලැබෙනව. ඒ වගේම යම්කිසි අකටයුත්තක් වැලැක්වීමේ ක්‍රියාවකදී මේ තොරතුරු සාක්ෂියක් හැටියට ප්‍රයෝජනයට ගන්නටත් හැකියාව ලැබෙනව. ඉස්සර වගේ හේතුවක් නැතිව තොරතුරු දෙන්න බෑ කියල කියන්න බෑ. එහෙම කිවුවොත් ඒ අදාල නිලධාරිය වැරදිකාරය වෙනව. ලේසි නෑ නේද?



    4. අපිට අදාල තොරතුරු විතරද දැනගන්න පුලුවන්?


    කිසිසේත්ම නැහැ. අපිට අදාල නොවන තොරතුක් වුවත් දෙන්න ඒ අය බැඳී ඉන්නවා.

    අපොයි නෑ. ඒකම තමයි මේ පනතින් අපිට ලැබෙන ලොකුම වාසිය. උදාහරණයක් හැටියට පරිසරයට හානි වෙන ක්‍රියාවලියක් කොහේ හරි සිද්ධ වෙනවා කියල ඔයා ෆේස්බුක් එකේ දැක්කා කියල හිතමු. ඔයාට පුලුවන් ඒ ගැන අදාල ප්‍රදේශයේ රාජ්‍ය ආයතනයකින් විමසීමක් කරල තොරතුරු ලබාගන්න. “ඔයා මේ පැත්ත පළාතෙ කෙනෙක් නෙමෙයිනෙ?ඒ නිසා අදාල නෑනේ” කියන්න කවුරුවත් එන්නෙ නෑ. ඉතින් හිතන්න පරිසර දූෂණ, නීති කඩකිරීම්, අපරාධ එළිපිට සිද්ධවෙන කාලෙක මේ වගේ අයිතියක් අපිට ලැබීමෙන් ගන්න පුලුවන් ප්‍රයෝජන කොච්චරද කියල?



    5. හැම තොරතුරක්ම දැනගන්න පුලුවන්ද?




    රාජ්‍ය ආරක්ෂාව ආදී සමහර තොරතුරු ලබා දෙන්නේ නෑ. ඒත් ඒ තොරතුරු එළිකිරීම මගින් සමාජෙට වැඩි යහපතක් වෙන අවස්ථාවක නම් ඒවා ලබාදෙනවා.

    පුද්ගලික තොරතුරු, රාජ්‍ය ආරක්ෂාවට සහ රටේ ආර්ථිකයට සම්බන්ධ තොරතුරු ආදී තොරතුරු ලබා නොදී ප්‍රතික්ෂේප කරන්න පුලුවන් කාරණා 14ක් මේ පනතට ඇතුලත්. හැබැයි එහෙමයි කියලා මේ තොරතුරු කිසිම විටක එළිදරවු නොකරන තත්ත්වයේ තිබෙන ඒව නොවෙයි. මේ ඕනෑම තොරතුරක් එළිදරවු කිරීමෙන් වෙන හානියට වඩා එයින් ලැබෙන සමාජ සුභසිද්ධිය වැඩි නම් ඒ වගේ අවස්ථාවක මේ තොරතුරු ලබාදීමට ඉඩකඩ සලසන නීතිමය ප්‍රතිපාදනත් මේ පනතේ තියනව.



    6. දැන් කාගෙන්ද මේ තොරතුරු හම්බවෙන්නෙ? කොහොමද ඉල්ලුම් කරන්නේ?



    මේ සම්බන්ධව පත්කර ඇති තොරතුරු නිලධාරියාට අයදුම්පතක් ලබාදීමෙන් හෝ වාචිකව ඉල්ලුම් කරන්න පුලුවන්.

    අපි කලින් කියපු රජයේ ආයතන සියල්ලකම මේ තොරතුරු ලබාදීමට නිලධාරියෙක් පත් කරන්න නියමිතයි. මේ වෙනකොටත් මේ නිලධාරීන් පත්කිරීම සෑහෙන දුරට සම්පූර්ණ බව තමයි දැනගන්න ලැබෙන්නෙ. අදාල තොරතුරු නිලධාරියාට ලිඛිත අයදුම්පතක් යොමුකිරීමෙන් තමයි ඔබට මේ තොරතුරු සඳහා ඉල්ලුම් කරන්න පුලුවන්. ලිවීමේ හැකියාව නැතිනම් මේ ගැන වාචිකව දන්වල අදාල නිලධාරියා ලවුවා අයදුම්පතක් පුරවගන්නත් ඔබට පුලුවන්. සමහර තොරතුරු නොමිලේ ලබාදෙන්නටත්, තවත් සමහර තොරතුරු සඳහා යම් ගාස්තුවක් අය කරන්නටත් නියමිතයි. මේ නොමිලේ ලැබෙන තොරතුරු සහ ගාස්තු අය කරන තොරතුරු මොනවාද කියන එක ඉදිරියේදී හෙලි කිරීමට නියමිතයි. තොරතුරු අයදුම් කිරීමෙන් පස්සෙ ඒ නිලධාරියා විසින් ඔබට ලදු පතක් ලබා දෙනවා ඇති.



    7. කොච්චර කාලෙකින්ද තොරතුරු හම්බුවෙන්නේ?


    අසීරුම අවස්ථාවකදී හැරෙන්න සාමාන්‍යයෙන් දින 14ක කාලයක් ඇතුලත තොරතුරු හම්බවෙනවා.

    සාමාන්‍යයෙන් නම් වැඩකරන දින 14ක් ඇතුලත මේ තොරතුරු ලබාදීමට ඔවුන් කටයුතු කරනවා. ඒ උනත් අදාල වාර්තාවේ ප්‍රමාණය, බැරෑරුම්භාවය සහ නීතිමය තත්ත්වය වගේ කරුණු සලකල බලල මේක දින 21ක් දක්වා දිගු වෙන්නටත් පුලුවන්. ඒ වගේම ඉල්ලුම් කරන තොරතුරු කෙනෙක්ගෙ ජීවිතය සහ නිදහස සඳහා බලපාන එකක්නම් ඒ තොරතුර පැය 48ක් ඇතුලත ලබා දියයුතුයි කියලත් පනතේ සඳහන් වෙනවා.

    තොරතුරු දෙන්න ප්‍රතික්ෂේප කලොත්, නියමිත කාලය අතරතුර තොරතුරු ලබා නොදුන්නොත්, ව්‍යාජ තොරතුරු ලබාදුන්නොත් හෝ වැඩිපුර ගාස්තුවක් අය කරන්න කටයුතු කලොත් ඒ සම්බන්ධව පත්කොට ඇති ප්‍රවීණ මාධ්‍යවේදීන්ගේ සහ නීතීඥයින්ගෙන් සැදුම්ලත් කොමිසමක් වෙත පැමිණිලි කරන්නට පුලුවන්. ඒ ආකාරයෙනුත් ප්‍රශ්නය විසඳගන්න බැරි උනොත් ඒ සඳහා අභියාචනයක් ඉදිරිපත් කරන්නටත් ඔබට හැකියාව තිබෙනව.



    8. ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය ලබාදීමේ (RTI) පනතේ ස්වභාවය


    RTI පනත් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ ලෝකෙන්ම 10 වැනි ස්ථානයේ තමයි අපි රැඳිල ඉන්නෙ.

    තොරතුරු අයිතිය ලබාදීමේ ශ්‍රේණිගතකිරීම අතින් අපේ රට ශ්‍රේණිගත වෙලා ඉන්නෙ ලෝකෙන්ම 10 වැනි ස්ථානයේයි. අපිට කලින් මේ පනත ක්‍රියාත්මක කරවපු ඉන්දියාව මේ වෙද්දි 4 වැනි ස්ථානයේ හිටියට අපේ රටේ ක්‍රියාත්මක වෙන පනතින් සපයන තරම් කාර්යක්ෂම සේවයක් සහ නීතිමය ප්‍රතිපාදන ඉන්දියානු පනත තුල නැහැ. උදාහරණයක් හැටියට කිවුවොත් අපේ RTI පනත මගින් තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කරන්න පුලුවන් කාරණා උනත් නැවත සලකා බලලා තොරතුරු ලබාගැනීමේ හැකියාවක් ලබාදීල තියනව. ඉන්දියාවේ මේ තත්ත්වය නැහැ. ඒ වගේම තොරතුරු ඉල්ලුම අතින් සලකා බැලුවත් සාක්ෂරතාවය සහ රජයේ මැදිහත්වීම වැඩි නිසා ලංකාව ඒ අතිනුත් ඉන්දියාව අභිබවා යනු ඇති බවටයි මත පලවෙන්නේ. කොහොම වෙතත් මේ දේවල් ප්‍රායෝගිකව කාලයක් ක්‍රියාත්මක වෙනකම් මේ ගැන නිවැරදි මතයක් දක්වන්න අමාරු බවත් කියන්න ඕනෙ.



    9. ඕකත් ඉතින් ලොකු ලොක්කොන්ටම හරියන පනතක් වේවිද?



    කොහෙත්ම නෑ. හැමෝටම එක සමානව මේ අයිතිය හිමියි.

    තොරතුරු දැනගැනීමේ අයිතිය කියන එක කාටත් එක සමානයි. ඒකට සමාජයේ උස් පහත්, දුප්පත් පොහොසත්, ජාතිබේද අදාල වෙන්නේ නෑ. ඔබ මේ රටේ පුරවැසියෙක්නම් අනිවා ඔබට අනිත් හැමෝම වගේ සමාන අයිතිවාසිකමක් තියනවා මේ තොරතුරු දැනගන්න. හැබැයි ඉතින් පොඩි මිනිහට මේ දේවල් වලින් සහනයක් නෑ කියන මානසිකත්වයේ එල්බිලා ඉඳල නම් ඒකට හරියන්නේ නෑ. මේ RTI පනත පොඩි මිනිහටත් එකවගේ උදවු වෙන්නෙ කොහොමද කියල දැනගන්න නම් ඒකට හොඳම උදාහරණයක් තමයි ඉන්දියාවෙ මහලු දුප්පත් රික්ෂෝ එලවන්නෙක් උන මස්ලූම් නඩාෆ්ගෙ කතාව. තමන්ට හිමි නිවාසය ගන්න ඉන්දියාවේ දූෂිත ඉහල තැන් එක්ක හරි හරියට සටන් කරල ජයගන්න නඩාෆ්ට උදවු ලැබෙන්නෙ මේ RTI හෙවත් තොරතුරු දැනගැනීමේ පනත හරහා තමයි.

    ඔබේ සමාජ තත්ත්වය මොකක් උනත්, අකුරු ලියන්න කියවන්න බැරි උනත් මේ පනත මගින් ඒ ඕනෑම තත්ත්වයක කෙනෙක්ට තොරතුරු ලබාගන්න හැකිවෙන්න පහසුකම් සලසල තියනවා. තමන්ට තනියෙන් සටන් කරන්න බැරි අවස්ථාවක ඒ සඳහා යම්කිසි සංවිධානය පිහිට උනත් ලබාගන්න ඔබට පුලුවන්.



    10. මේ අලුත් අයිතියෙන් අපේ රටට හොඳ විදිහෙ බලපෑමක් වේවිද?

    අපි මේ අයිතිය හරි විදිහට ප්‍රයෝජනයට ගත්තොත් අනිවා හොඳ වෙනසක් කලහැකියි.

    මේ කාරණාවට පිළිතුර තීරණේ වෙන්නෙ අපි මේ තොරතුරු දැනගැනීමේ අයිතිය ප්‍රයෝජනයට ගන්න විදිහ අනුව තමයි. ලංකාවෙ ඉතින් ගොඩක් දෙනෙක්ට ක්‍රියාත්මක වෙන්න මතක් වෙන්නෙ තමන්ට කරදරයක් වෙච්ච වෙලාවටනෙ. ඒ නිසා තොරතුරු දැනගැනීමේ අයිතිය ගැන ඉදිරිපත් වෙන මුල් විමසීම් හුඟක් වෙලාවට පෞද්ගලික ලාභ පාඩු උදෙසා වෙන දේවල් වෙන්න පුලුවන්. තමන්ගෙ ඉඩමෙන් කොටසක් පාරට යනවනම්, ඉල්ලුම් කරපු රස්සාවට තමන්ව තේරිලා නැතිනම්, ලැබෙන්න ඕනෙ වන්දියක් දීල නැතිනම් වගේ කාරණා වලින් මේ දේවල් පටන් ගන්න හොඳටම ඉඩ තියනවා. හැබැයි එහෙම හරි ආරම්භයක් වටිනවා. ඊට පස්සෙ මේක ක්‍රමයෙන් ප්‍රචලිත වීමත්, ජනතාව ක්‍රම ක්‍රමයෙන් මේකට හුරුවීමත් එක්ක සමාජයේ පොදු ප්‍රශ්න සම්බන්ධයෙනුත් වැඩිපුර තොරතුරු විමසීම් සිදුවෙන් පුලුවන්. පරිසර විනාශය, දූෂණ සහ අක්‍රමිකතා, අපරාධ ආදිය සම්බන්ධයෙන් තොරතුරු නිරාවරණය කරගෙන සාමූහිකව විශාල බලපෑමක් කරන්න රටවැසියන් හැටියට අපිට අවස්ථාව උදාකරගන්න පුලුවන්.

    ඒ වගේම මේ පනතින් ලැබෙන තොරතුරු නිසියාකාරව ප්‍රයෝජනයට ගන්න එකෙන් වක්‍රාකාරව සැලසෙන වාසි බොහොමයකුත් තියනවා. දැන් හිතන්න දවස තිස්සේ ඉන්ටනෙට් එක හරහා, ටීවී චැනල් හරහා අපිට ලබාදෙන තොරතුරු වලින් කොච්චර ප්‍රමාණයක් හරිද? කොච්චර ප්‍රමාණයක් වැරදිද? කියලා එකම ප්‍රවෘත්තිය උනත් රටේ පිලිගත් මාධ්‍ය කීපයකින් ප්‍රචාරය වෙන්නේ වෙනස් වෙනස් විදිහටනෙ නේද? අන්න ඒ දේවල් අවම කරලා නිවැරදි තොරතුරු හැමවිටම ලබාදෙන්න ජනමාධ්‍යයන්ට උනත් වක්‍රාකාරව බලකිරීමක් සිද්ධ වෙනවා මිනිස්සු අතට මේ තොරතුරු ලැබීම පහසු උනහම. ඒ වගේම තොරතුරු ලබාගැනීමේ නිදහසත් එක්ක වංචා දූෂණ, අක්‍රමිකතා එළිවීමේ වැඩි අවදානමක් තියන නිසා ඒ දේවල් වල නිරත වන පුද්ගලයන් සහ ආයතන වලටත් යම් බලපෑමක් අනිවා සිද්ධ වෙනවා. හැබැයි මේ මොන දේ වෙන්නත් අපි මේ ලැබුණු අයිතියෙන් උපරිම ඵල නෙලාගත යුතුමයි. පනත ඔහේ තිබිද්දෙන් අපි මෙහේ ඉඳින්නම් කියල හිටියට නම් කිසි වෙනසක් වෙන එකක් නෑ.



    11. කවදා ඉඳන්ද මේ තොරතුරු ලබාගන්න පුලුවන්?



    පෙබරවාරි 4 වැනිදා ඉඳන් පුලුවන්.

    පෙබරවාරි 4 වැනිදා, එනම් නිදහස් දවසේ ඉඳලා මේ තොරතුරු දැනගැනීමේ අයිතිය අපිට ලැබෙන්නට නියමිතයි. හැබැයි පෙබරවාරි 4 වැනිදා වෙනකොට ලංකාවේ සෑම රාජ්‍ය ආයතනයකම තොරතුරු ලබාදීමේ හැකියාවක් නම් ලැබෙන එකක් නෑ. මේ සඳහා පුහුණු කිරීම් සහ නිලධාරීන් පත්කිරීම් තවම අවසන් නැති නිසයි ඒ. කොහොම වෙතත් ඉදිරි මාස 6, 7 ඇතුලත සියලුම ආයතන අවරණය කරන්නට බලාපොරොත්තු වෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කරල තියනව.

    ඉතින් අපි බලාගෙන ඉමු ඒ දේවල් නිසි කාල වකවානු ඇතුලත ක්‍රියාත්මක වෙනවාද කියල, එතකම් තොරතුරු ලබාගන්න පුලුවන් ආයතන වලින් උපරිම ප්‍රයෝජන ගන්නටත් මතක තියාගමු.


    Issuwe. Aniwa.lk
     
    • Like
    Reactions: D T and WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක යටතේ තමා wikileaks එකේ තියෙන ගොඩක් ඒව ඇමරිකාවෙ රජයෙන් අරං තියෙන්නෙ :sorry: :sorry:
    ලංකාවට මේක ගෙනාවාම වෙන්නෙ රාජ්‍ය රහස් ප්‍රසිද්ධ වෙන එක :sorry: :sorry:
    ඒක රටේ ආරක්ශාවට තර්ජනයක් මේ කරන්න හදන්නෙ අනාගතේ ඇතිවෙන ත්‍රස්තවාදීන්ට ලංකාවෙ කෑල්ලක් ගන්න ලේසි වෙන විදිහට පනත් සම්මත කරන්න :sorry: :sorry:
    දේශප්‍රේමී අධිරාජ්‍ය විරෝධී අපි හැමෝම එකාවන්ව අත්වැල් බැඳගෙන පේ පනතට හැකි උපරිමයෙන් විරෝධය දක්වන්න ඕනෙ :sorry: :sorry:
    මේක නොතිබ්බ නිසා තමා ප්‍රභාකරන්ට රටේ කෑල්ලක් ගන්න බැරිවුනේ :sorry: :sorry:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕක යටතේ තමා wikileaks එකේ තියෙන ගොඩක් ඒව ඇමරිකාවෙ රජයෙන් අරං තියෙන්නෙ :sorry: :sorry:
    ලංකාවට මේක ගෙනාවාම වෙන්නෙ රාජ්‍ය රහස් ප්‍රසිද්ධ වෙන එක :sorry: :sorry:
    ඒක රටේ ආරක්ශාවට තර්ජනයක් මේ කරන්න හදන්නෙ අනාගතේ ඇතිවෙන ත්‍රස්තවාදීන්ට ලංකාවෙ කෑල්ලක් ගන්න ලේසි වෙන විදිහට පනත් සම්මත කරන්න :sorry: :sorry:
    දේශප්‍රේමී අධිරාජ්‍ය විරෝධී අපි හැමෝම එකාවන්ව අත්වැල් බැඳගෙන පේ පනතට හැකි උපරිමයෙන් විරෝධය දක්වන්න ඕනෙ :sorry: :sorry:
    මේක නොතිබ්බ නිසා තමා ප්‍රභාකරන්ට රටේ කෑල්ලක් ගන්න බැරිවුනේ :sorry: :sorry:

    Seriously!!! :no::no::no: