ථේර ගාථා: මහා කප්පින තෙරුන්ගේ ගාථා

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    ථේර ගාථා: මහා කප්පින තෙරුන්ගේ ගාථා

    මහා කප්පින තෙරුන්ගේ ගාථා

    "තමන්ගෙ අනාගතය ගැන හිතලා හොඳ නරක තෝරා බේරා ගෙන කලින්ම ඒ ගැන නුවණින් දැනගෙන කටයුතු කළොත්, එයාගෙ සිදුරක් හතුරු මිතුරු කාටවත් දැනගන්ට බැහැ.

    බුදු සමිඳුන් වදාළ විදිහටමයි ආනාපානසතිය ප්‍රගුණ කරන්ට ඕනෙ. ඒ විදිහට ආනාපානසතිය සම්පූර්ණ කළොත්, හොඳට භාවනා වශයෙන් වැඩුවොත්, එයාට පුළුවන් ලෝකයම එළිය කරන්න. වළාකුළු වලින් මිදුණ පුන්සඳ වගේ.

    ඇත්තෙන්ම දැන් මගේ හිත හරිම පිරිසිඳුයි. සීමා රහිත කොට සිත වැඩුණු, අවබෝධයෙන් යුක්තව වීරියෙන් වඩපු නිසා හැම දිසාවක්ම බබලනවා.

    නුවණ තියෙන කෙනාට කොයි තරම් ධන හානියක් වුණත්, එයා ජීවත් වෙනවා. නමුත් කොයි ආකාරයේ ධනයක් තිබුණත් ප්‍රඥාව නැති කෙනා ජීවත් වෙන කෙනෙක් නොවේ.

    තමන් අසන ධර්මයේ සැබෑම විනිශ්චය ලබා දෙන්නේ ප්‍රඥාවයි. කීර්ති ප්‍රශංසා ලබාදෙන්නේ ප්‍රඥාවයි. ප්‍රඥාවන්ත මිනිසාට පුළුවන් දුක මැඩ සැප විඳින්නට.

    මේ යථාර්ථය අදාළ වන්නේ අදට විතරක් නොවේ. අනිත් එක මේ කරුණේ අද්භූත පුදුම දෙයක් නෑ. යම් කරුණක තිබෙන්නේ ඉපදීමයි මරණයයි නම් ඒකෙ තියෙන පුදුමය කුමක්ද?

    ජීවිතයක් උපදින කොටම මරණයත් එනවාමයි. උපදින තාක්ම මැරෙන්ට සිදුවෙනවා. සත්වයන්ගේ ස්වභාවය ඔන්න ඔච්චරයි.

    කෙනෙක් මැරුණා ම ඒ වෙනුවෙන් තව කෙනෙක් ඇඬුවා කියල අර මැරුණ කෙනාට කිසිම ඵලක් නෑ. මළ කුණක් වෙනුවෙන් හඬා වැලපීම කීර්ති ප්‍රශංසා ලැබෙන දෙයක් නොවේ. ශ්‍රමණ බමුණන් වර්ණනා කළ දෙයකුත් නොවේ.

    හඬපුවාම ඇස්වලටත් අමාරුයි. ඇඟටත් අමාරුයි. පෙනුමත් නැතිව යනවා. නුවණයි කල්පනාවයි දුර්වල වෙනවා. එතකොට එයාගෙ හතුරන්ට තමයි සතුටු. හිතවතුන්ට ඒකෙන් සතුටක් නෑ.

    එම නිසා ගෙවල්වල ඉන්න අය නුවණ තිබෙන බහුශ්‍රැත උතුමන්ගේ ඇසුරට කැමති වෙන්ට ඕනෙ. ප්‍රඥාවෙන් යුක්තවයි ඒ උතුමන් කටයුතු කරන්නේ. ඒ උතුමන්ගේ ජීවිත වතුර පිරුණ ගංගාවක් තරණය කරන නැවක් වගේ."

    මෙය වනාහී ආයුෂ්මත් මහා කප්පින නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
    උපුටා ගත්තේ "ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා" නම් ග්‍රන්ථ රත්නයෙන්...

    සාදු! සාදු!! සාදු!!!
    තෙරුවන් සරණයි!