දකුණු අධිවේගී මාර්ගයේ හොල්මන්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
දකුණු අධිවේගී මාර්ගයේ හොල්මන්

Source http://www.lankagossipgirl.com/2014/12/ghosts-in-southern-expressway.html


මගේ බිරිඳගේ මව නැතහොත් මගේ නැන්දනිය මීට වසර දෙක හමාරකට පෙර අභාවප්‍රාප්ත වූවාය. ඒ 2012 වසරේ මැයි අට වන අඟහරුවාදාය. අවමඟුල පැවැතියේ බෙලිඅත්ත කුඩාහීල්‍ලේ පිහිටි බිරිඳගේ මහගෙදරය. කෙටි කලක් රෝගාතුරව සිට මෙලොව හැර ගිය නැන්දනියගේ අවසන් කටයුතු සිදුකරන ලද්දේ ඊට දින දෙකකට පසු, එනම් මැයි දහවන බ්‍රහස්පතින්දා සවස් යාමයේය. බිරිඳගේ මහ ගෙදර සමීපයේ එනම් කුඩාහීල්ල හතේ කණුව අද්දර පිහිටි ඔවුන්ගේ පවු‍ලේ සුසාන භූමියේ දේහය මිහිදන් කිරීමෙන් පසු අපි යළි එදින සන්ධ්‍යාවේ බිරිඳගේ මහගෙදරට පිය නැගීමු. එහෙත්, තම මවගේ වියෝව පිළිබඳ දුක සොයුරියන් ඇතුළු සෙසු පවු‍ලේ ඥාතීන් සමග තවදුරටත් බෙදා හදා ගැනීමට යම් බාධකයක් මගේ බිරිඳ හමුවේ පැන නැගිණි. ඒ අපගේ පුතු ඊට පසුදා අගනුවරදී පැවැත්වෙන ආයතනික විභාගයකට මුහුණ දිය යුතු බැවිනි. පුතු ඒ සඳහා අලුයම නිවසින් පිටත් කරවීමට පෙර බිරිඳ වෙතින් ඉටු විය යුතු කටයුතු කිහිපයක් තිබූ බැවින් ඇගේ පවු‍ලේ සාමාජිකයන්ගේ ද එකඟත්වය මත එක් තීරණයකට එළැඹීමට අපට සිදුවිය. එනම් අවමඟුලට සහභාගි වූ අසල්වැසි ඥාතී මිත්‍රාදීන් එදින රාත්‍රියේ නිවසින් නික්ම ගිය පසු රහසින් මෙන් බෙලිඅත්තෙන් පිටත්ව ගණේමුල්ල දක්වා ගමන් ඇරඹීමටය. ඒ සිය මවගේ හත් දවසේ බණට කල්වේලා ඇතිව පැමිණෙන බවට බිරිඳ පවු‍ලේ ඥාතීන්ට වූ ‍පොරොන්දුව මතය.
මගේ මතකයට අනුව එදින අප බෙලිඅත්තෙන් පිටත් වූයේ රාත්‍රී දොළහයි විස්සට පමණය. මෝටර් රථය පුතු විසින් පදවන ලදී. මම එහි ඉදිරිපස අසුනේ වාඩිවී සිටියෙමි. ගතවූ දෙදින පුරා මව මළ දුකින් සේම කායික, මානසික විඩාබර බවින් යුතුව ඉකුත් දෙදින තුළ රාත්‍රී හරි හැටි නින්දක් පවා නොලද බිරිඳ රථයේ පිටුපස අසුනට වූ සුළු මොහොතකින් නින්දට වැටුණාය.
මනාව කාපට් අතුරන ලද සහ වාහනවලින් හිස්ව තිබූ මාර්ගය ඔස්සේ තරමක වේගයකින් ධාවනය වූ මෝටර් රථයට පැය එකහමාරකටත් අඩු කාලයක් තුළ පින්නදූව පිවිසුමින් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වීමට හැකි විය. එතෙක් සාමාන්‍ය වේගයකින් පැමිණි මෝටර් රථය පින්නදූව පිවිසුමින් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසුණු සැනින් “ඉබ්බා දියට දැම්මාක් මෙන්” වැඩි වේගයකින් නිදහසේ ඉදිරියට ධාවනය වෙමින් තිබිණ. රථයේ සිරස් පහන් ආලෝකය හා මාර්ගය දෙපස වූ වීදි පහන් ආලෝකය නිසා හාත්පස සැලකිය යුතු අඳුරක් නොවිණි. රෑ පසුයමේ අහස් කුසට මෝදු වී තිබූ අවපස වෙසක් සඳ නිසා අහස් කුස පැතිර තිබුණේ ද සහන් එළියක් බඳු මෘදු සෞම්‍ය කාන්තියකි.
ධාවන පථය දෙපස වූ කළු පැහැති ප්‍රතිදීප්ත සංඥා ආලෝකය මඟ දෙපස පහන් වැටක් සේ බොහෝ දුරක් දක්වා විහිද තිබිණ.
හරියටම එම ස්ථානය කුමක්ද? එය අධිවේගී මාර්ගයේ කිනම් කිලෝ මීටරය අද්දර ද යන්න පිළිබඳව නිනව්වක් දැන් මා තුළ නැත. එහෙත් මාර්ගයේ ධාවන පථය අයිනේ හිඳිනා සුදු හැඳගත් කිහිප දෙනෙකුගේ කණ්ඩායමක් එක්වරම මගේ නෙත ගැටුණි. ඒ පිරිස සුදෝ සුදු සිල් රෙදිවලින් සැරසුණු කාන්තාවන් වියපත් පිරිමින් සහ කුඩා දැරියන් කිහිප දෙනෙකුගෙන් යුතු වූ බව හොඳින් මතකය. එමෙන්ම එම කාන්තාවන්ගේ අත්වල සුදු තුවා සහ සුදු පැහැති ගමන් මළු තිබූ බවත් මට ඉතා හොඳින් දැක ගත හැකි විය. ඒ පෙහෙවස් සමාදන් වීම සඳහා කිසියම් විහාරස්ථානයක් වෙත යන උවසු පිරිසක් බව මට සැනින් වැටහිණ. වේගයෙන් ඉදිරියට පැමිණෙන අප රථය දෙස මහත් උනන්දුවෙන් බලා සිටි එම පිරිසෙන් ඉන් එක් අයෙකු රථයට අත දිගු කිරීමට වෙර දරන අයුරක් ද මට ක්ෂණිකව දැක ගත හැකි විය. එහෙත් ඒ රථය එම පිරිස පසු කරද්දීම වාගේ ඔවුහු එකවරම අතුරුදන් වූහ. එම දර්ශනයත් සමගම මගේ සිත එක්වරම තිගැස්සුණි. එසැනින් මම පුතු දෙස බැලීමි. ඔහු ද එවැන්නක් පිළිබඳ වගේ වගක් නොමැතිව ඉදිරියට බලාගෙන රිය පදවයි. ඒ සමගම මම පසුපස අසුනේ සිටි බිරිඳ දෙස ද බැලීමි. රථයේ පිටුපස අසුන මත ඇය ද තද නින්දකය.
“දැන් එන අතරේ සිල් සමාදන් වෙන්න යන කට්ටියක් හයිවේ එක අයිනේ හිටියනේ” ගමනේ අතරමගදී බිරිඳ නින්දෙන් පිබිදුණු පසු මා ලත් එම අසාමාන්‍ය අත්දැකීම මම එලෙසින්ම බිරිඳ හා පුතු හමුවේ අනාවරණය කළෙමි. එහෙත් එය තමන්ගේ නිදි මත කැඩීමට මා දොඩන බේගලයක් සේ වටහා ගත් නිසාදෝ මගේ එම කීමට ඔවුන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
කිසිදු පදිකයකුට ඇතුළු වීමට අවසර නොමැති හා ඒ සඳහා අවකාශයක් ද නොමැති දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවන පථය තුළ දවසේ කිසිම මොහොතක කිනම් හෝ පිරිසක් රැඳී සිටීමේ අවකාශයක් නැත. එමෙන්ම එවිට වෙලාව අලුයම දෙකත් දෙක හමාරත් අතර බව පැහැදිලිය. සාමාන්‍යයෙන් වාහනයකින් මාර්ගයේ ගමන් කරන්නෙකු හට හරිහැටි ධාවන පථය තුළ සිටින පිරිසක් හරි හැටි දර්ශනය වන්නේ ඒ රථය ඔවුනට මීටර් තුන් හාරසීයක් සමීප වූ පසුවය. ඇඳුම් පැළඳුම්, ශරීර ප්‍රමාණ ආදියෙන් ඔවුන් පැහැදිලි ලෙස හඳුනා ගත හැකි වනුයේ වාහනය මීටර් පනහක් පමණ ඔවුන් සමීපයට පැමිණි පසුවය. එහෙත් පැයට කිලෝමීටර් සියයක වේගයෙන් ධාවනය වන රථයකට එවැනි දුරක් පසු කිරීමට ගත වනුයේ තත්පර දෙකකටත් අඩු කාලයකි. එවන් කෙටි කාලයක් තුළ ඉහත සඳහන් උපාසක පිරිස පිළිබඳ එතරම් සවිස්තරාත්මකව කීමට මට හැකි වූයේ කෙසේද? මෙය අපරාධ නඩුවක් සම්බන්ධ සාක්ෂියක් නම් ඒකාන්තයෙන්ම බොරු සාක්ෂි දීමේ වරදට දඬුවම් ලැබිමට පවා මට සිදු වනු ඇත.
කෙසේ හෝ ඊට දින කිහිපයකට පසුව මම මගේ එම අසාමාන්‍ය මායාකාරී අත්දැකීම පිළිබඳව මගේ සමීපතම හිතවතකුව සිටි විශේෂඥ මනෝ වෛද්‍ය ඩී.වී.ජේ. හරිශ්චන්ද්‍රයන්ට කීවෙමි. 2013 වසරේ මාර්තු 01 දා මෙලොවින් සමුගත් ඔහු ගාල්ලේ නම් දැරූ මුල් පෙළේ පුරවැසියෙකි.
“මම මේ කල්පනා කළේ තිලක්; ඔය කතාව මීට දවස් කීපයකට කලින් මට ඔය විදිහටම අහන්න ලැබුණනේ”. මා කී දෙයට සවන් දී සිටි වෛද්‍ය හරිශ්චන්ද්‍ර මඳ නිහැ¾ඩියාවකට පසු තම ප්‍රබල ස්වරය අවදි කරමින් කීය.
“මීට දවස් කීපයකට කලින් මං ගියා හිතවතෙකුගේ පින්කම් ගෙදරකට. මාව දැක්කට පස්සේ එතන හිටපු කීප දෙනෙක් මට ඔය කතාවම කියලා කිව්වා ඔය විදිහට හයිවේ එක අයිනේ පෙනී ඉන්නේ පසුගිය සුනාමියෙන් මැරුණු සිල් සමාදන් වුණු පිරිසක්ලු. ඒත් මං ඇහුවා; සුනාමිය ආවේ දෙදාස් හතරේ, ඔය හයිවේ එක විවෘත කළේ දෙදාස් එකොළහේ. ඒ හින්දා සුනාමියෙන් මැරුණු කෙනෙකුට මේ හයිවේ එක විවෘත වුණා කියලා දැන ගන්න නම් විදිහක් නෑ කියලත්” හරිශ්චන්ද්‍ර කීය. එවන් අද්භූත සිද්ධියට සැහැල්ලු බවක් අරෝපණය කිරීමට ඔහු තුළ පැවැති මනෝ වෛද්‍ය විද්‍යාත්මක සේම මනෝ විද්‍යාත්මක දැනුම ද හොඳටම ප්‍රමාණවත් බව මට රහසක් නොවිණි.
තමන් අසන දකින ආඝ්‍රාණය කරන සහ ස්පර්ශ කරන යථාර්ථවාදී ලෙස අර්ථ ගැන්විය නොහැකි දේ සෘජු හේතුන් නොමැති නම් ආසන්නතම හේතුන් මුල් කොට හෝ අර්ථ ගැන්වීමට පෙළැඹීම ස්වාභාවික මිනිස් ගතියකි. ඒ කවර ලෙසකින් හෝ අරුත් ගැන්විය නොහැකි දේ මගින් මනැසේ ශේෂ වන හිස් බව මිනිසාට පීඩාකාරී අත්දැකීමක් වන බැවිනි. ඒ අනුව වෛද්‍ය හරිශ්චන්ද්‍රයන් පැවසූ අන්දමට මා මෙන්ම තවත් පිරිසක් දක්ෂිණ අධිවේගී මාර්ගය තුළදී අත්දුටු මෙවන් මායාකාරී දර්ශන සඳහා දෙදහස් හතර වසරේ සිදුවූ සුනාමියෙන් මිය ගිය වුන් සම්බන්ධ කොට ගැනුණේ සුනාමිය සහ එම මායාත්මක දර්ශන අතර පූර්වාපර සන්ධි කදිමට ගලපා ගත හැකි බැවිනි. එම සිද්ධියට එබඳු මනෝමය ‘අඩ කොටයක්’ නොතැබුවේ නම් එවන් දර්ශනවල සුලමුල සොයමින් නිරන්තරයෙන් මනැස වෙහෙස කරන්නට අපට සිදුවේ.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී මා මුහුණ දුන් එම අත්දැකීම ඒ අයුරින්ම තවත් පිරිසකගේ නෙත ගැටී ඇති බව වෛද්‍ය හරිශ්චන්ද්‍රයන් ප්‍රකාශ කළේ කෙසේද? ඒ මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ පැනනගින පළමු පැනයයි. අප සමාජයේ බොහෝ දෙනකු නොදැන සිටියද මහා මාර්ග සහ අධිවේගී මාර්ග යනු මෙවන් මායාකාරී දර්ශන සම්බන්ධයෙන් ලෝ පතල ඉසව්වලින් එකකි. මහාමාර්ගවල රිය පදවන රියැදුරන් බොහෝ විට අත්දකින සුදු පැහැති මිනිස් රූ පිළිබඳ කතා ලොව සෑම දෙසකින්ම අසන්නට ලැබේ. මහා මාර්ගය අද්දර සිට රාත්‍රියේ තනිවම රිය පදවන රියැදුරන් සහිත වාහන ඉදිරියේ පෙනී සිටින සහ ඊට අත ‍පොවන සුදු නෝනාගේ අවතාරය ඉන් එකකි. මෙය අප රටේ ප්‍රචලිත මෝහිනී අවතාරයම නොවුවත් ඊට ද තරමක් දුරට නෑකම් කියන්නකි.
මහා මාර්ග සහ අධිවේගී මාර්ගවල ධාවනය කරන වාහනවල රියැදුරන් රාත්‍රියේදී මෙන්ම දහවලදීත් මුහුණ දෙන මෙම තත්ත්වය මහා මාර්ග මෝහනය යනුවෙන් හඳුන්වනු ලැබේ.
1963 වසරේදී මෙම තත්ත්වය ඒ නමින් හඳුන්වා දී ඇත්තේ ජී.ඩබ්ලියු විලියම්ස් නමැත්තෙකි. මෙහිදී මෙම මෝහන තත්ත්වය රියැදුරන් පමණක් බහුලව මුහුණ දෙන අත්දැකීමක් සේ හැඳින්වීමට ද විශේෂ හේතුවක් බලපා තිබේ. එනම් බොහෝ වේලාවක් ඒකාකාරී ලෙස නිශ්චිත එල්ලයක් කෙරෙහි අවධානය යොමු කරගෙන හිඳීම යම් මෝහන තත්ත්වයකට තුඩු දෙන බැවිනි. නමුදු රියැදුරකු නොවුවත් එලෙස ධාවනය වන රථයක් තුළ හිඳිමින් අඛණ්ඩව මාර්ගයේ ඉදිරිපස දෙස බලා හිඳින්නකු තුළ වුව මෙම මෝහන තත්ත්වය එලෙසින්ම පැන නැඟිය හැක.
එසේ එක එල්‍ලේ මාර්ගයේ ඉදිරිපස බලාගත්වනම වාහනවල ගමන් කරන්නවුන්ගේ දෙනෙතට රටාත්මකව හසුවන විශේෂ දෙයක් ද තිබේ. එනම් මාර්ගයේ සලකුණු කොට ඇති සුදු කඩ ඉරිය. මෙලෙස කිසියම් දෙයක් රටාත්මකව දර්ශනය වීම ද යමකුගේ සිත තුළ මෝහනමය ඇනවුම් පිබිදුවීමට මනා පසුතලයක් සකසා දෙයි. එනිසාම මෙම තත්ත්වය ‘සුදු ඉරි උණ’ නමින් ද හඳුන්වා තිබේ. 1929 වසරේ දී මේ තත්ත්වය පිළිබඳ විස්තර කොට ඇති මයිල්ස් මෙය හඳුන්වා ඇත්තේ ‘ඇස් විවර කොට නිදා ගැනීමක්’ යනුවෙනි. එමෙන්ම විශේෂිත අරමුණකින් තොරවීම නිසා මොළයේ ක්‍රියාකාරිත්වය ස්වාභාවිකව මන්දගාමී වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම මහා මාර්ග මෝහනය සිදුවන බව අනාවරණය වී තිබේ.
ඇස කන නාසය ආදී ඉන්ද්‍රියන් වෙත ලැබෙන අරමුණු මඳ වීමෙන් ඇති වන මෙම තත්ත්වය සංවේදක විහිනතාව යනුවෙන් ද හැඳින්වේ. එසේ බාහිරින් ලැබෙන අරමුණු මඳ වන තරමට එම අඩුව සපුරා ගැනීමට වෙර දරන මනැස තමන් තුළින්ම එවැනි දේ නිපදවා ගනියි. ඒ මායා භ්‍රාන්ති සහ පරිකල්පන වශයෙනි. එමෙන්ම රාත්‍රියට අප මේ අධිවේගී මාර්ගවල ගමන් කරන විට එකම රටාවකට අනුව නෙත ගැටෙන ධාවන පථය පසෙක ඇති ප්‍රතිදීප්ත ආලෝක සංඥා ද මෙවන් ස්වයං මෝහනයක් සඳහා කදිම උත්තේජනයක් බව මගේ වැටහීමය. ඒ අනුව මගේ නැන්දණියගේ අවමඟුලට ගොස් ආපසු එමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගය තුළ දී මා දුටු එම අද්භූත උවසු පිරිස මගේ මනැස තුළ එසේ ස්වාභාවිකව හටගත් ස්වයං මෝහන තත්ත්වයක් නිසා හටගත් ව්‍යාජ බව භ්‍රාන්තියක් බව මගේ නිගමනයයි. එමෙන්ම මෙවන් ප්‍රකාශ මනෝ විද්‍යාත්මක අතංගුවකට මැදි වී කරන ප්‍රකාශයන් මිස මේ සම්බන්ධ සාකල්‍ය දෘෂ්ටියක් එල්ල කිරීමක් නොවන බව මා හා නිතර පවසන මගේ මිතුරන්ට මේ සමගම අභියෝගයක් කිරීමට ද මම කැමැත්තෙමි. එනම් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මා දුටු මෙම උවසු උවැසියන් පිරිස මුල්කොට ආධ්‍යාත්මවේදී විමර්ශනයක් කොට බුද්ධිමත් ලක්බිම පාඨකයන්ට පිළිගත හැකි ඒ සම්බන්ධ නිගමනයන් ඉදිරිපත් කරන ලෙසය.
 
  • Like
Reactions: sanja_1