ළමුන් අතර මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ වාර්තාවීම ඉහළ ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.ඔහු පවසන්නේ එවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා යොමුවිය යුතු බවයි.
ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් එම රෝගීන් හඳුනාගෙන ඇති බව ය.
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ඇති පුද්ගලයින් වෛද්‍ය ප්‍රතිකාර ලබා නිවෙස්වල රැඳී සිටිය යුතු බව ඔහු පෙන්වා දුන්නේ ය.
"ඉන්ෆ්ලුවෙන්සා රෝගය වෛරසයක් නිසා ඇති වෙන එකක්. ඒ නිසා ඒක ගොඩක් බෝවෙන තත්ත්වයක් තියෙනවා. එවැනි රෝගීන් වෙනත් අයගෙන් ඈත්ව සිටීම වැදගත්. ඒ සඳහා ප්‍රතිජීවක ඖෂධ ගැනීමෙනුත් ඵලක් නැහැ. මේ රෝගය සුව වෙන්න සතියක පමණ කාලයක් ගත වෙනවා," වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවසීය.
ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ මොනවා ද?
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ කිහිපයක් පවතී.
*උණ
*කැස්ස
*උගුරේ ආබාධ
*නාසයේ සොටු ගැලීම
*මස් පිඩු වේදනාව
*හිසරදය
*තෙහෙට්ටුව
*වමනය
රෝගය වැළඳීම සහ සුවවීම
පළමු දින 1 සිට 3 දක්වා - උණ, හිසරදය, මස්පිඩු වේදනාව, උගුරේ අපහසුතා, වියළි කැස්ස සහ ඇතැම් විට නාසයේ බර ස්වභාවක් ඇති විය හැකි ය.
4 වන දිනය - උණ සහ මස්පිඩු වේදනාව තරමක් අඩුවෙයි. එහෙත්, උගුරේ වේදනාව, කැස්ස සහ හෘදයේ සුළු වේදනාවක් ඇති විය හැකි ය.
8 වන දිනය - රෝග ලක්ෂණ පහව යන නමුත්, කැස්ස සහ තෙහෙට්ටුව සති දෙකක පමණ කාලයක් පැවතිය හැකි ය.