දානය සහ භාවනා

hpalpola

Well-known member
  • බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නෙ දානය, සීලය සහ භාවනාව ත්‍රිවිධ පුණ්‍යක්‍රියා විදියට. ඒ බව පුඤ්ඤකිරියවත්ථු සුත්‍රයේ සඳහන් වෙනවා. හැබැයි අද වෙද්දි මිනිස්සු හුඟක් උත්සාහ කරන්නෙ භාවනා කරන්න. ඒ වෙනුවෙන් භාවනා වැඩසටහන්වලට පවා සම්බන්ධ වෙනවා. ඇත්ත. වඩාත් පින් සිද්ධ වෙන්නෙ භාවනාවෙන් තමයි. හැබැයි දන් දීම කරන කෙනෙක්ට පහසුවෙන් භාවනා කරන්න පුළුවන්. අපි මොන්ටිසෝරි නොගිහින් එක සැරේම කැම්පස් යන්නනෙ උත්සාහ කරන්නෙ. එහෙම පුළුවන් අයත් ඉන්නවා. ඒ සසරෙ දන් දීලා සිල් රැකලා ඒ කටයුතු සම්පූර්ණ කර ගත් අය. මෙතැනදි මන් කතා කරන්න හිතුවෙ දානය භාවනාවට උපකාර වන ආකාරය ගැන.

    අපි දන්නවා අපිට ප්‍රධාන අකුසල් තුනකින් බලපෑම් එනවා. ඒ අකුසල් නිසා නිවන ඇහිරෙනවා. මේ අකුසල් අතරෙන් එකක් තමයි ලෝභය. ලෝභය දුරු කරන්න නම් මොකක් ද පුහුණු කරන්න ඕනා? දානය. දානය තුළින් ලෝභය, මසුරු කම අඩු වෙනවා. "මච්ඡරියමලං දානං" (දානය මසුරුකම නැමැති මල දුරු කරයි) - AN 3.102. හිත සමාධිගත වෙන්න ලෝභය අඩුවීම උපකාර වෙනවා. භාවනාවයි හිතේ සමාධියයි අතරෙ සම්බන්ධය ඔයා දන්නවා ඇති.

    ඊලඟට, අසතුටින් ඉන්න කෙනෙක්ට ප්‍රායෝගිකව භාවනා කරන්න අපහසුයි. හැබැයි දානය කියන්නෙ සතුට වර්ධනය වන ක්‍රියාවක්. - "දානං දත්වා අත්තමනො හොති" (දන් දී සතුටු සිත් ඇති වේ) - AN 5.148. ඉතිං මේ සතුට තුළින් භාවනාවේ ප්‍රීති සම්බොජ්ජංගය වර්ධනය කරන්න පුළුවන්.

    භාවනා කරද්දි හිත එක ⁣අරමුණකට ගේන්න උපකාර වෙනවා අනිත්‍යතාවය ගැන තියෙන අවබෝධය. අනිත්‍ය සංඥාව වඩන්න දානය හොඳම ක්‍රියාවක්. දන් දීමෙන් හිතේ තියෙන අල්ලා ගැනීමේ ස්වභාවය අඩු වෙනවා. අල්ලා ගැනීම අඩු හිතකට අනිත්‍ය හරි පහසුවෙන් අවබෝධ කරන්න පුළුවන්. අනිත්‍ය සංඥාව බැඳෙන්නේ විපස්සනාවට.

    අනුන් ගැන තියෙන මිතුරු කම, ප්‍රියභාවය පෙන්නුම් කරන භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව. බුදුරජාණන්වහන්සේ සෑහෙන්න වර්ණනා කරන භාවනාවක්. ඉතින් දන් දෙද්දි මොකක් ද හිතට වෙන්නෙ. අනුන් ගැන කරුණාව, මෛත්‍රිය ඇති වෙනවා. නැත්නම් දන් දෙන්⁣නෙ නැහැනෙ. මෙනිසා දානය මෛත්‍රී භාවනාවට උපකාර වෙනවා. "දානං මෙත්තාය පුබ්බභාගො" (දානය මෛත්‍රියේ පෙරනිමිත්තයි)

    භාවනා කරද්දි කතා කරන පස්සද්ධි සම්බොජ්ජංගයට දානය උපකාර වෙනවා. ඒ දන් දීමෙන් හිත සැහැල්ලු වෙන නිසා. ඒ වගේම ශ්‍රද්ධා ඉන්ද්‍රිය වර්ධනයටත් දානය උපකාර වෙනවා. මොකද දන් දෙන කෙනාට මෙලොවදිම දානයේ ආනිශංස දකින්න පුළුවන්. ඒ තුළින් කර්ම විශ්වාසය ඇති වෙනවා.

    භාවනාවේ දි වීර්ය සම්බොජ්ජංගය ගැන කතා කරනවානේ. දන් දෙන කෙනෙක්ගෙ මානසික ශක්තිය වැඩි වෙනවා. ඒ වැඩි වෙන මානසික ශක්තිය හේතු වෙනවා මේ වීර්ය සම්බොජ්ජංගයට.

    මේ ගැන හුඟක් කතා කරන්න පුළුවන්. සරලවම ගත්තම බුදුරජාණන් වහන්සේ දේශනා කලේ "දානං භික්ඛවෙ, භාවනාය උපනිස්සයපච්චයෙන පච්චයො" - "මහණෙනි, දානය භාවනාවට උපනිස්සය ප්‍රත්‍යය වශයෙන් උපකාර වේ." විදියට.

    මෙනිසා දානය භාවනාවේ පූර්ව භූමිකාව ලෙස ක්‍රියා කරන බව තේරුම් ගන්න ඕනා. නිකන්ම භාවනා වැඩමුළුවලට යනවට වඩා දානයත් පුහුණු කරලම යනවා නම් හොඳ ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙම වෙන බවක් නම් පේන්න නැහැ.