කාසාය කණ්ඨක පිළිබඳ ඔබ අසා තිබෙනවාද? කාසාය කණ්ඨක යනුවෙන් හැඳින්වෙන පුද්ගලයකු මේ ලොව පහළ වන බව බුදු රජාණන් වහන්සේ දේශනාකොට තිබේ. මේ පුද්ගලයා ජීවත් වන්නේ පන්සලක නොවන බවත්, ජීවත් වන්නේ නිවෙසක බවත් උන්වහන්සේ දේශනා කර තිබෙනවා. සිවුර සහ අඳනය ඉවත් කර කාසාය කණ්ඨක ගිහි ඇඳුමින් සැරසී සිටින බවත් මස්මාංශ අනුභව කරමින්, මත්පැන් පානය කරමින් ඔහු දිවි ගෙවන බවත් බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. කණ්ඨකටත් සාංඝික කර දන් දීමට සුදුසු බව ද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
කාසාය කණ්ඨකටත් දන්දීම සුදුසු බව බුදුරජාණන් වහන්සේ සහේතුකවයි දේශනා කරන්නේ. එවැනි කාල වකවානුවක කාසාය කණ්ඨකයි සමාජයේ සිල්වත්ම පුද්ගලයා වන්නේ. එසේනම් ඔබ නුවණින් ගළපා බලන්න සමාජය එදිනට කෙතරම් දුසිල්වත් වී තිබෙනවා ද?
එවැනි පුද්ගලයකුටත් බුදු රජාණන්වහන්සේ දන් දීමට කියා තිබෙනවා නම්, අප කිසිම පුද්ගලයකුගේ වැරැදි සෙවීමට අවශ්‍ය වන්නෙ නැත. පන්සල, ආරණ්‍ය, සිල්වත් දුසිල්වත් යනුවෙන් වර්ග කිරීමට අවශ්‍ය වන්නේ නැත. සංඝයා කෙරෙහි වැරැදි චිත්තයක් අප ඇති කරගත හොත් එය පිළිස්සෙන අකුසලයක් බවට පත්වන බව බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා.
වනාන්තරයක, ආරණ්‍යයක ජීවත් වන ස්වාමීන්වහන්සේලා අතර අධිගමලාභී ස්වාමීන්වහන්සේලා ජීවත්විය හැකියි. එමෙන්ම, පන්සල තුළත් අධිගමලාභී ස්වාමීන්වහන්සේලා ජීවත් විය හැකියි.
සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගැනීමට අප දක්ෂ විය යුතුයි. නිරතුරුව ඔබට මුණගැසෙන ඕනෑම ස්වාමීන්වහන්සේ නමක් අරමුණු කොටගෙන දන් දෙන්න. අතීතයේ වැඩ සිටියා වූ උතුම් රහතන් වහන්සේලා අරමුණු කොටගෙන ඕනෑම ස්වාමීන්වහන්සේ නමකට ගෞරව දක්වන්න. පුද පූජා වත් පිළිවෙත් පවත්වන්න. එයින් ඔබට සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගැනීමට හැකියාව ලැබෙනවා.
තුනුරුවන් කෙරෙහි ඔබ ශ්‍රද්ධාව ඇති කර ගන්න. මේ කාරණා ත්‍රිත්වය ධර්ම මාර්ගයේ මුලින්ම අප තුළ තිබෙන්නට අවශ්‍යය යි. සාමාන්‍ය ජීවිතයේ දී ඇතැම් පිංවතුන් සිටිනවා ජීවිත කාලය පුරාම භාවනා කටයුතුවල නිරතවී සිටින නමුත් ස්වාමීන් වහන්සේලාගේ ගුණදොස් පමණයි ඔවුන් දකින්නේ. කොතරම් භාවනා කළත් එම පුද්ගලයන් තුළ සම්මා දිට්ඨිය වර්ධනය වී නැහැ.
එමෙන්ම මහා සංඝරත්නය ලෙස අපත් දැන ගත යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ස්වාමීන්වහන්සේලා තුළ යම් සීලයක් තිබෙනවා නම්, යම් ගුණයක් තිබෙනවා නම්, යම් සමාධියක්, ප්‍රඥාවක් තිබෙනවා නම් ඒ හේතුවෙන් බාහිර ලෝකය අකුසල් නොකර සිටින දිශාවට කටයුතු කළ යුතුයි.
යම් පුද්ගලයකු මහා සංඝරත්නයට චෝදනා කරනවා නම්, අගරු කරනවා නම් මහා සංඝරත්නය එය දැකිය යුත්තේ එම පුද්ගලයා මෙලොවෙහි බලවත්ම අකුසලය සිදුකරන්නා බවයි.
දිනක් මා එක් වීදියක පිණ්ඩපාතය වඩිද්දී වීදියේ ආරම්භයේ සිට අවසානය දක්වාම සුනඛයන් විසින් මට හිරිහැර කළා. ඊළඟ දිනයේ ද මා පිණ්ඩපාතයට වඩිද්දී ඈත තියාම සුනඛයන් මා වෙතට පැමිණියා. සුනඛයන්ට පාපයක් සිදුවන බව වටහාගත් මා නැවතත් කිසිම දිනක ඒ වීදියේ පිණ්ඩපාතෙ වැඩියෙ නැහැ.
සංඝයා කියන අරමුණට ඒ සුනඛයන් කේන්තියෙන් බුරාගෙන පනිද්දී ඒ සුනඛයන් මේ ලොවෙහි තිබෙන බලවත්ම අකුසලය සිදු කරගන්නවා. ඒ නිසාම ස්වාමීන්වහන්සේලා එවැනි කාරණා ද නුවණින් දැකීමට දක්ෂ විය යුතු ය.
සියලුම ස්වාමීන්වහන්සේලා දක්ෂ විය යුතුයි තමන් නිසා ලෝකයා අකුසල් සිදු නොකරගන්නා තැනට පත් කරන්නට. යම් හෙයකින් එවැනි හේතු නිසා ස්වාමීන්වහන්සේලා ආවේගශීලීභාවයට පත්වුවහොත් එවැනි හේතුන් නිසා ගිහි පින්වතුන් අප්‍රමාණ අකුසල් සිදු කර ගැනීමට පුළුවනි.
මේ සියලු කරුණු පිළිබඳ ඔබ ඉතා නුවණින් යුතුව සිතා බලා යහපත් දැක්මකින් යුතුව කටයුතු කරන්න. නිරතුරුවම තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගන්න. කාසාය කණ්ඨක වැන්නවුන්ටත් දන් පිළිගන්වන ලෙස බුදුරජාණන් වහන්සේ සහේතුකව දේශනා කොට තිබෙනවා නම් එම බුදු වදන් පිළිපදින්නට ඔබත් කාරුණික වන්න. එය ඔබට නිර්වාණාවබෝධයට උපකාරී වේවි.