දැන් අපි රටට ආදරේ නැද්ද...?

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් අපි රටට ආදරේ නැද්ද...?

    depositphotos_11095151-Map-of-Sri-Lanka-with-waving-flag-isolated-on-white.jpg

    දැන් අපි රටට ආදරේ නැද්ද...?
    අපිට උපන්න මව්බිම ගැන කැක්කුමක් නැද්ද..?

    කැක්කුම තියෙන්නෙ, ආදරය තියෙන්නෙ ටිබෙට් ජාතික එස් මහින්ද හිමි ලියාපු කවි පෙළක් එලෝ මෙලෝ නැතුව මතුරන එකේ නෙමෙයි... කැක්කුම, ආදරය තියෙන්නෙ ඔය කඩු උරුක් කරගෙන බෙරිහන් දීලා බෑන්ඩ් එකේ ජාතික ගීය ගහනකොට ඒකට චූන් වෙන එකේ, ලොකු ලොක්කෝ කොඩි උස්සන කොට ඒ තේජසට උෂාර් වෙන එකේ නෙමෙයි... කවුරුවත් හදපු ෆිල්ම් පඩංගුවල නෙමෙයි.... සින්දු වල වත්, ගැට බෙර, උඩරට බෙර, පහත රට බෙර, මළ බෙර වල වත් නෙමෙයි.. අර "බූ....ඌ...ඌ...ඌ...ඌ....ඌ...වක්" ගාලා පිඹින මුහුදු ජීවියෙකුගේ කට්ටේ වත් නෙමෙයි.... කොටින්ම කිව්වොත් කොඩියෙ ඉන්න සිංහයගෙ වත් ඌ වටේ තියෙන මොන අහවල් එකේ වත් නෙමෙයි... ආනන්ද සමරකෝන් මහත්තයාට වත් උරුම නොවිච්ච සින්දුවේ වත් නෙමෙයි.... සුද්දන්ට සිංහලෙන් බනින එකේ වත් නෙමෙයි...

    රටට කරන ආදරේ තියෙන ඒ රට ගැන සැබෑවටම ඇතිවෙන කම්පාවෙ... ඔය සියලු මායා රංගන පිටි පස්සෙ මැද පෙරදිග කිළිටි උලලා, තෙල් සල්ලි නිසා සත්තු වෙච්ච උන් ඉදිරියේ නිරුවත් වෙන ගෑණු පරාන ටික ගැන දුකක් ඇති වෙනව නම්, අන්න එතන ආදරේ තියෙනවා... කෝටි ප්‍රකෝටි ගණන් ජාතික දේපළ, ධනය හොරා කන හොර තක්කඩි දැකලා උන්ගේ රෙදි කඩලා දාන්න උත්සාහ කරනව නම්, අන්න එතන ආදරේ තියෙනවා... මිනිමරුවෝ, ස්ත්‍රී දූෂකයො සමාජයේ ඉහළින් වැජඹෙනවා දකින කොට, උන්ව ඉන්න තැන් වලින් ඇදලා දාලා, උන්ගෙ නිකටට පයින් ගහන්න තරම් කේන්තියක් එනවා නම් අන්න එතන ආදරේ තියෙනවා...

    අවුරුද්දකට තුන් ලක්ෂ හැට දාහක් පමණ මේ රටෙන් පිට වෙන්න ඕන කියලා වෙනත් රටවලට වීසා දානවා නම් අන්න ඒ රටේ ප්‍රශ්ණයක් තියෙනවා.. අවුරුද්දකට පනස් දහසකට කිට්ටු සංඛ්‍යාවක් විවිධ රටවලට නීති විරෝධීව යන්න දඟලනව නම්, අන්න ඒ රටේ ප්‍රශ්ණයක් තියෙනවා.. අවුරුද්දකට හයදාස් දෙසීයකට අධික සංඛ්‍යාවක් නීති විරෝධීව පිටරටවල ඉඳලා අහුවෙලා, උන්ගෙන් සපත්තු පාර කාලා, කටුනායකින් අනාථයො වගේ ආපහු එනව නම් අන්න ඒ රටේ ප්‍රශ්ණයක් තියෙනවා...

    විනාඩි 90 කට වරක් ගැහැණියක් කෙළෙසනවා නම් අන්න ඒ රටට අභිමානයක් නැහැ... විනාඩි 45 කට වරක් දරුවෙක් අපචාරයට ලක් වෙනවා නම් එහෙම රටකට අභිමානයක් නැහැ... මිනිස්සු කන්න නැතුව කරවිල තම්බන් කාලා සීනි අඩුවෙලා ඉස්පිරිතාලේ ගෙනියනවා නම් එහෙම රටකට අභිමානයක් නෑ...

    මේ ප්‍රශ්ණ වහන්න අපිට උවමනා නෑ... ඒ අපි ඇත්තටම මේ රටට ආදරේ නිසා...

    හෙට අපේ නිදහස් දවසය කියනවා... එහෙම දවසෙ හැන්දෑවේ නිවාඩු පාඩුවෙ ඉන්න ගමන් අපිටත් තිබුණා මේ මායාවට ආදරේ කරන්න... නැති අභිමානයක් බෙර දවුල් තම්මැට්ටම් ගහලා, හක් පිඹලා පෙන්නන කොට "අපිත් බලසම්පන්න ජාතියක්" කියන හීනයේ කිමිදෙන්න... එහෙම කළා නම් අපි දේශ ප්‍රේමියො.. ජාතියෙ සුජාත දරුවො...

    අපි ඒ නිදහස් දවසටත් පෙර දවසෙ හවස ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ ගැනම කථා කරමු... රටේ දුර්භාග්‍යය රජ කරන තැන් පෙන්නමු... ප්‍රශ්ණ වහගෙන නැති නිදහසක් සමරන්න අපට අවශ්‍ය නැහැ...

    අපේය කියලා ජීවත් වෙන්න පුලුවන්, සෞභාග්‍යමත් රටක් ලැබෙන කල් අපි සිංහ කොඩි ප්‍රොෆයිල් පික් එකේ දාගෙන "සසර වසන තුරු " සින්දුව ෂෙයා කරන්නෙ නෑ... මොකද මේ තියෙන තත්වයෙ හැටියට නම් සසර වසන තුරු - නිවන් දකින තුරු තියා මේ ආත්මෙ වත් ඉන්න සුදුසු නැති තැනක් මේක... බොරුවට හිත් රවට්ටගන්න ඕන නෑ... මේක ගැන හිතුවාම ආඩම්බරයක් උපදින්නෙ නැහැ.... ඇතිවෙන්නෙ දුකක්... මේ වනාන්තර වලට, කඳුහෙල් වලට, මුහුදු වෙරළවල් වලට ආදරය කරලා වැඩක් නෑ... ලෝකයා හමුවේ බාල්දු වෙන ජාතියක් අපි... අපේ මිනිස්සුන්ව කිසිම දියුණු රටකට ලේසියෙන් වැද්ද ගන්නෙ නෑ... කොටින්ම කිව්වොත් අසල්වැසි රටවල් ටිකවත් වැඩිය ගණන් ගන්නෙ නෑ... ලෝකය අපිට සලකන්නෙ සත්තුන්ට වගේ... මේ ඇත්ත වහගෙන මොන අභිමානද...?...

    ශ්‍රී ලංකා මාතාවනි ... ඔබව කවදා හෝ දවසක අපි මේ අපායෙන් ගොඩ ගන්නෙමු... එතෙක්

    " පිළිගනු මැන අප භක්ති පූජා...!"


    ©ද.කෙ