තම දියණියට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කරන ලදැයි කළුතර මහාධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව ප්‍රකාශ කිරීමට දින නියම කර තිබියදී එහි චූදිත පියා 14 දින ගෙල වැළලාගෙන මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ 59 හැවිරිදි අයෙකි.
වසරක පමණ කාලයක් තිස්සේ තමාට අයත් නිවසේ කාමරයක කුලී පදනම මත සිටි මොහු ගෙල වැළලාගෙන මියගොස් ඇති බවට 14දා උදේ 8.00 ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දී තිබිණි. ඒ අනුව වැලිපැන්න පොලිසියේ කොස්තාපල් (77065) ජයසේකර මහතා සිදු කළ විමර්ශනයේදී අනාවරණයවී තිබුණේ මොහුගේ බිරිඳ වසර 10 කට පමණ පෙර මොහු හැර ගොස් තිබූ බවයි.
මේ පිළිබඳව වැලිපැන්න හදිසි මරණ පරීක්ෂක නිහාල් ජයනෙත්ති මහතා ඉදිරියේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී මොහුගේ මව හා පුත්‍රයා සාක්ෂි ලබාදී තිබිණි. මියගිය අය විසින් ලියන ලද ලිපියක් මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් කර තිබූ අතර කළුතර මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළව තම මව වැරදිකාරියක නොවන බව එහි සඳහන් කර තිබිණි.
මෙහිදී ඉදිරිපත්වූ සාක්ෂි සහ කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.එම්.ටී.බී. ගුණතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද සළකා බැලූ හදිසි මරණ පරීක්ෂකවරයා මරණය ගෙල වැළලා ගැනීමෙන් සිදු කර ගත් සිය දිවි හානි කර ගැනීමක් බව නිගමනය කළේය.
